2023 මාර්තු 19 වන ඉරිදා

මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ කැඳවයි

 2023 මාර්තු 19 වන ඉරිදා, පෙ.ව. 06:00 54

පිළිගත් දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ලබන බ්‍රහස්පතින්දා (23) සාකච්ඡාවක් සඳහා කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මේ සාකච්ඡාව එදින පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතය. සියලු දේශපාලන පක්ෂ සමඟ මෙවැනි සාකච්ඡාවක් පැවැත්විය යුතු බවට වන තීන්දුව ගෙන ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා (16) පැවති මැතිවරණ කොමිෂන් සභා රැස්වීමේ දීය.

එම රුස්වීමෙන් පසුව, මේ වනවිට අවිනිශ්චිතභාවයට පත්ව තිබෙන පළාත් පාලන මැතිවරණය සහ එහි තැපැල් ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කෙරෙනු ඇතැයි බලාපොරොත්තුවක් තිබුණද එවැනි ප්‍රකාශයක් සිදු නොකෙරුණි. ඒ වෙනුවට කොමිෂන් සභාව 2021 වර්ෂය සඳහා විගණනය කරන ලද ගිණුම් වාර්තා ලබාදීමට මෙතෙක් අපොහොසත් වී ඇති සියලු දේශපාලන පක්ෂ එම වාර්තා මාර්තු 29 ට පෙර ලබාදිය යුතු බවට දැනුම් දීමක් කිරීමය. එසේ නොකිරීම එම පක්ෂවල පිළිගත් තත්ත්වය අහිමි වීමට පවා හේතුවිය හැකි බවටද එම දැනුම්දීමේ සඳහන් විය.

මැතිවරණ කොමිසම සහ රජයේ මුද්‍රණාලයාධිපතිනිය දිගින් දිගටම ඉල්ලීම් කළත් භාණ්ඩාගාරය තවමත් පළාත් පාලන මැතිවරණය සඳහා අවශ්‍ය අරමුදල් මුදාහැර නැත.

මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කරන්නේ තැපැල් ඡන්දය මාර්තු 28 වැනිදා ඇරඹීමට දින යොදා තිබුණත් තවමත් ඉතිරි තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අත තබා නැති බවය. මේ වනවිට දිස්ත්‍රික්ක 25න් 17ක පමණක් තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර තිබේ. කෙසේ වුවද මුද්‍රණාලයාධිපතිනිය කොමිසමට ලිඛිතව දැනුම් දී ඇත්තේ අවශ්‍ය මුදල් ලැබුණොත් දින 06ක් තුළදී තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කළ හැකි බවය. ප්‍රධාන මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට දින 30ක් ගතවන බවද ඇය දැනුම් දි තිබේ. කෙසේ වුවද තමන් මුදල් ඉල්ලා භාණ්ඩාගාරයට යැවූ ලියුමට පිළිතුරක් නොලැබුණ බවද මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කරයි.

ලබන 19 වැනිදා මධ්‍යම රාත්‍රියේ සියලුම පළාත් පාලන ආයතන නිල කාලය අවසන් වෙයි. පසුගිය අඟහරුවාදා (14) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සියලු ආණ්ඩුකාරවරුන් අරලිය ගහ මැඳුරට කැඳවා එම ආයතන සම්බන්ධ කටයුතු මින් ඉදිරියට පවත්වාගෙන යා යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීය. ආණ්ඩුකාරවරුන් 09 දෙනාට අමතරව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන ලේකම් නීල් හපුහින්න සහ අග්‍රාමාත්‍ය නීති උපදේශක ආචාර්ය ජයතිස්ස ද කොස්තා යන මහත්වරුද ඒ සඳහා සහභාගි වී සිටියහ.

   ඩේලි එෆ්.ටී.

පොලිස්පති ධුරය වටා කැරකෙන කතා

මේ මාසයේ අගභාගයේදී පුරප්පාඩු වීමට නියමිත පොලිස්පති ධුරය සම්බන්ධෆයන් මාධ්‍යවල විවිධ තොරතුරු පළවෙයි. වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා ලබන 25 වැනිදා විශ්‍රාම ලැබීම හේතුවෙන් එම ධුරයට ඊළඟට පත්වන නිලධාරියා කවුද යන්න වටා මේ කතා කේන්ද්‍රගත වී තිබේ.

මේ ධුරයට පත්වනු ඇති බවට තිදෙනකුගේ නම් මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයට පත්වූයේ දින කිහිපයක සිටය. එම ධුරය ලබාගැනීම සඳහා තිදෙනකු තරග වැදී සිටින බවටත් ඉන් එක්  නිලධාරියකුට පොලිස්පති ධුරය ලබාදීමට දැනටම තීන්දු කර ඇති බවටත් පසුගියදා හදිසියේම පුවත් පළ විය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාද මොණරාගල රුස්වීම අවස්ථාවේදී ප්‍රකාශ කර තිබුණේ පොලිස්පති ධුරය ලබාගැනීම සම්බන්ධයෙන් තමන්ට කිහිප දෙනකුම කරදර කරන බවය.

කෙසේ වුවද අපට ලැබී තිබෙන තොරතුරු අනුව සඳහන් වන්නේ මීළඟ පොලිස්පති ධුරයට පත්කරන්නේ කවුද යන්න පිළිබඳව රජයේ ඉහළින් මේ වනතුරු අවසන් තීන්දුවක් ගත් බව නිල වශයෙන් තහවුරු කර නැති බවය. මේ ධුරය සඳහා නම් ඉදිරිපත් වූ විට ව්‍යවස්ථා සභාව කැඳවා සුදුස්සා තෝරා ගැනීම සාමාන්‍ය ක්‍රමවේදයයි.

එහෙත් ව්‍යවස්ථා සභාව මේ දිනවල කැඳවා නැත. එහි සභාපති ධුරය හොබවන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ දිනවල සිටින්නේ විදේශගතවය. ව්‍යවස්ථා සභාව කැඳවනු ඇත්තේ ඒ මහතා ආපසු පැමිණීමෙන් පසුවය. එසේම තවත් ආරංචි මාර්ගයකින් ප්‍රකාශ වෙන්නේ වත්මන් පොලිස්පතිවරයාට තවත් කෙටි කාලයකට සේවා දිගුවක් ලැබීමටද ඉඩ ඇති බවයි.

ස්කෑනර් වැඩ නැති බව නිලධාරීන් සෞඛ්‍ය ඇමැතිට කියා නෑ

කොළඹ ජාතික රෝහලේ ක්‍රියාවිරහිතව තිබූ ''පෙට්'' හ ''සී.ටී.'' ස්කැනර් යන්ත්‍ර යළි ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය අමතර කොටස් සහ උපකරණ වහාම සැපයීමට සෞඛ්‍ය  අමාත්‍යංශ බලධාරීන් අවශ්‍ය පියවර ගෙන තිබේ. මෙම යන්ත්‍ර විරහිතව තැබීම සම්බන්ධයෙන් ''සන්ඩේ ටයිම්ස්'' පුවත්පත කළ විමසීමකින් පසුව මේ පියවර ගෙන ඇතැයිද සඳහන්ය.

ඉකුත් සතියේදී ''සන්ඩේ ටයිම්ස්'' පුවත්පත සඳහන් කලේ එකී යන්ත්‍ර දෙක අක්‍රීයව දිගු කාලයක් තිබී ඇත්තේ අදාළ අමාත්‍යංශ නිලධාරීන් ඒ ගැන පියවර නොගැනීම හේතුවෙන්.

ස්කෑනර් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය  විකිරණශීලී උපකරණ මෙරටට සැපයූ ඉන්දීය සැපයුම්කරු එම සැපයුම අත්හිටුවීම නිසා මාස 2ක් තිස්සේ යන්ත්‍ර ක්‍රියාවිරහිත වී තිබිණි. ඔවුන් එම සැපයුම අත්හිටුවා තිබුණේ රුපියල් මිලියන 40ක් ඉක්මවන බිල්පත් නොගෙවීම හේතුවෙනි.

රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ නොගෙවූ බිල් ගොඩගැසෙමින් පවතින බවට අනතුරු ඇඟවීම් කළත් ඒ ගැන කිසිදු පියවරක් නොගත් බවය. අවසානයේ සිදුවූයේ සැපයුම්කරු සැපයීම අත්හිටුවීම බවය.
රෝහලේ පෙට් ස්කෑන් යන්ත්‍රය සඳහා සතියකට රෝගීන් 30ක් 40ක් අතර සංක්‍යාවක් යොමු කෙරෙති. එය ක්‍රියා විරහිතවීම නිසා එම රෝගීන් පෞද්ගලික රෝහල්වලට නිර්දේශ කිරීමට වෛද්‍යවරුන්ට සිදුව තිබූ අතර එහිදී එක් ස්කෑන් කිරීමක් සඳහා රුපියල් 175,000ත් 200,000ත් අතර මුදලක් වැය කිරීමට රෝගියාට සිදුවෙයි.

මේ අතර ''සී.ටී.'' ස්කෑන් යන්ත්‍රය මාස 09ක් තිස්සේ ක්‍රියා විරහිතව තිබේ. මේ සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ නිලධාරීන් අතර සාකච්ඡා පැවතියත් ප්‍රතිඵලයක් නැත. ආසියානු සංවර්ධන බැංකු අරමුදලින් අලුත් සී.ටී. ස්කෑනරයක් මිලදී ගත හැකි බව නිලධාරීන් ප්‍රකාශ කර තිබුණත් එය මෙතෙක් පලදරා නැත.

කෙසේ වුවද සී.ටී. ස්කෑනරයට අවශ්‍ය අමතර කොටස් ලබාදීම සඳහා ජර්මන් නිෂ්පාදකයා සමඟ ගිවිසුමක් ඇතිකර ගත්තත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් එය රේගුවෙන් නිදහස් කර ගැනීමට ක්‍රියා නොකිරීම නිසා තවමත් එම ස්කෑනරය ඇත්තේ ක්‍රියා විරහිත තත්ත්වයෙනි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වහාම නිලධාරීන් කැඳවා සාකච්ඡා කිරීමෙන් පසුව එම අමතර කොටස මුදාගැනීම සඳහා ඖෂධ අධිකාරියට උපදෙස් ලබාදී තිබිණි. ඒ අනුව එම අමතර කොටස ඉකුත් සතියේ සිකුරාදා රෝහලට ගෙනැවිත් බාර දී තිබිණි.

පෙට් ස්කෑන් යන්ත්‍රයේ උපකරණ ලබාගැනීම සඳහා අමාත්‍යවරයා අමාත්‍යංශයේ අරමුදල් මගින් කොටස් වශයෙන් හිඟ බිල්පත් ගෙවීමට පියවර ගන්නැයි උපදෙස් දී ඇත. මේ සම්බන්ධයෙන් තමන් දැනුවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් අමාත්‍ය රඹුක්වැල්ල මහතා ''සන්ඩේ ටයිම්ස්'' පුවත්පතට ස්තූති කළ අතර සෑම දෙදිනකටම වරක් තමා නිලධාරීන් සමඟ ප්‍රගති සමාලෝචන රුස්වීම් පැවැත්වුවත් එම නිලධාරීන් මේ කාරණය තම අවධානයට යොමු නොකළ බවද සඳහන් කළේය.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00