2023 මාර්තු 05 වන ඉරිදා

ජේ.ආර්- රනිල් සහ ඡන්ද

 2023 මාර්තු 05 වන ඉරිදා, පෙ.ව. 06:00 102

"ශ්‍රී ලංකාවේ ජනතාවගේ ජනමතය ප්‍රකාශ කිරීමේ අයිතිය නොසලකා හැරීමට දරණ හැම උත්සාහයක්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි. එය ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් ඍජු ලෙස උල්ලංඝනය කිරීමක්. මේ නිසා තවදුරටත් ප්‍රමාද නොකර නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පවත්වන්නැයි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා."

මේ කතාව කිව්වේ එසේ මෙසේ කෙනෙක් නොවේ. අමෙරිකාවේ සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ සභාපති බොබ් මෙනෙන්ඩස් ය. ඔහුගේ මේ කතාවට පදනම් වුණේ ලංකාවේ පාර්ලිමේන්තුවේ කළ කතාබහක් හෝ මැතිවරණ කොමිසමේ නිවේදනයක් දැකලා හෝ නොවේ. ලොවේ සුප්‍රකට වෙබ් අඩවියක් වන "බ්ලූම්බර්ග්" විසින් නිකුත් කර තිබූ වාර්තාවක් හේතුවෙනි.

"ලංකාවේ පුංචි ඡන්දය ප්‍රමාද නොකර තියන්න. එහෙම නොවුණොත් ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධියි" කියා එහෙම කිව්වේ ඇමෙරිකාවේ ජනාධිපතිවරයා නොවේ. සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටු සභාපතිවරයායි. එහෙම වුණත් ඒක ආමෙරිකාවේ නිල ස්ථාවරය මිස පුද්ගලයකුගේ අදහසක් නොවන බව විශිෂ්ට ගණයේ රාජ්‍ය තාන්ත්‍රිකයකු වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නොදන්නවා විය නොහැක. කොහොමත් යූ.එන්.පී.ය අමෙරිකාවේ ඉල්ලීමක් නොසලකා හරින්නේ නැත. ඒ ගැන අදහසක් ගන්න යූ.එන්.පී.යේ නායකයන්ගේ පරණ පැටිකිරිය ටිකක් හෙවිය යුතුය.

ලංකාවේ රාජ්‍ය නායකයන් එදා සිටම ඇමෙරිකානු හිතවාදීන්ද එසේත් නැත්නම් රතු රටවල්වලට හිතවාදීද යන්න තීරණය කෙරුණේ ඔවුන් ඒ ඒ රටවල්වලට දක්වන කැමැත්ත මතය. මේ ගැන නායකයන් කෙළින්ම ජනතාවට ප්‍රකාශයක් නොකළත් මේ ලොක්කා අමෙරිකන් ගැත්තෙක් එහෙමත් නැත්නම් ඒ කොමියුනිස්ට් ගැත්තෙක් හැටියට හඳුන්වා දුන්නේ ජනතාවය. ඒ ගැන ලොක්කන් එතරම් සැලකිල්ලක් දැක්වූයේ නැතත් තමන්ගේ විදේශ ප්‍රතිපත්තිය හදනකොට තමන්ගේ කැමැත්ත ඇති රටවල් එක්ක සමීපව සම්බන්ධතා පැවැත්වීමට මුල් තැනක් දීමට වග බලාගෙන තිබිණි.

ඒ අනුව ජේ.ආර්. හැඳින්වුණේ අමෙරිකන් ගැත්තෙක් හැටියටය. ඔහුට ඒ කාලයේ සිටම යැංකි ඩිකී නම පටබැඳුණේද ඒ හේතුවෙනි.  මේ යැංකි ඩිකී ඕනෑවට වඩා ඇමෙරිකානු හිතවාදී වීමට ගොස් ඉන්දියාව තරහා කරගෙන ඒ කාලයේ හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරාගේ දේශපාලන වෛරයට පාත්‍ර විය. එහි එක් ප්‍රතිඵලයක් වුණේ ජේ.ආර්.ට පාඩමක් උගැන්වීමට ලංකාවේ හිස ඔසවමින් තිබූ දෙමළ බෙදුම්වාදීන්ට ඉන්දියාවේ රුකවරණ ලබාදීමයි. ඔවුන්ට කඳවුරු පවත්වාගෙන යාමට පමණක් නොව අවි පුහුණුව ලබා ගැනීමට පවා ඉන්දිරාගේ උදව් උපකාර ලැබුණි. මේ ගැන ඒ කාලයේ ඉන්දියාවේ පුවත්පත්වලින් පවා අනතුරු ඇඟවීම් කෙරුණත් බහුතරය සිටියේ ඉන්දිරා හරි කියන මතයේය. ඒකට ලොකුම හේතුවක් වුණේ ඒ කාලයේ තිබූ ජාත්‍යන්තර දේශපාලනයයි.

ලංකාවේ ජේ.ආර්. අමෙරිකාවේ මිත්‍රයකු වනවිට ඉන්දියාවේ ඉන්දිරා එවකට තිබූ සෝවියට් රුසියා දේශයේ හිතවතියක් විය. ඉන්දියාවත් සෝවියට් රුසියාවත් අතර ආරක්ෂක ගිවිසුමක් පවා ක්‍රියාත්මක විය. අමෙරිකානු - සෝවියට් බලකඳවුරු අතර පැවති සීතල යුද්ධයේදී ඉන්දියාව කෙළින්ම සිටගත්තේ සෝවියට් රුසියාව සමඟයි. ජේ.ආර්.ට තිබුණේ මේ පාර්ශ්ව දෙකම එක හා සමානව හොඳින් තියාගැනීම වුණත් ඔහු අමෙරිකාවට ගැති විය. එය එදා තිබූ ජාත්‍යන්තර දේශපාලනය සමඟ සැලකීමේදී වැරදි තීන්දු ගැනීමක් විය. 

ඉන්දියාවේ රැකවරණය සහ අවි පුහුණුව ලැබූ දෙමළ බෙදුම්වාදීන් තමන්ගේ ත්‍රස්තවාදී හස්තයෙන් ජේ.ආර්.ගේ ආණ්ඩුව හොල්ලන්න පටන් ගත්තත් අමෙරිකාව ජේ.ආර්.ගේ උදව්වට ආවේ නැත. අවි ලබාදුන්නේත් නැත. ඒ වෙනුවට අමෙරිකාව කළේ මානව හිමිකම් හේතු උඩට අරගෙන ලංකාවේ යුද්ධ කළ දෙමළ ත්‍රස්තවාදීන්ට තමන්ගේ කඳවුරේ රටවල රැකවරණ ලබාදෙන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි.

ඒක ජාත්‍යන්තර දේශපාලනයේ හැටිය. අමෙරිකාවට ඉන්දියාව තමන්ගේ බලකඳවුරේ නොහිටියත් ඒ රටේ තිබෙන ව්‍යාපාරික අවස්ථාත් දකුණු ආසියාවේ නැගී එන චීන - රුසියා බල කඳවුරේ අමෙරිකන් විරෝධය හරහා මතුවෙන ආරක්ෂක බලපෑම මෙල්ල කර ගැනීමටත් වැදගත් වුණේ ඉන්දියාවයි. ඒ වෙලාවේ ලංකාව ගැන අමෙරිකාවට හිතන්න වෙලාවක් වත් තිබුණේ නැත. සෝවියට් දේශය කඩා වැටී රටවල් වෙන් වී රුසියාව අතට එම බල කඳවුරේ බලය තැන්පත් වූ විට අමෙරිකාව ඉන්දියාවේ මිත්‍රයෙක් විය. දෙරට අතර වෙළෙඳ සබඳතා ඉතා ශක්තිමත් තත්ත්වයට පත්වී ආරක්ෂක ගිවිසුම් පවා ඇතිකර ගැනිණි. අද ඉන්දියාවත් අමෙරිකාවත් අතර ඇත්තේ නොබිඳෙන ඉතාම ශක්තිමත් සම්බන්ධතාවකි.

යුද්දෙත් ඉවර වී ලංකාව යථා තත්ත්වයට පත්වෙන විට අමෙරිකාවත් අමෙරිකාවට හිතවත් යුරෝපයත් වැඩ කළේ ලංකාවට ඕනෑ විදියට නොව ඉන්දියාවට ඕනෑ විදියටය. ජේ.ආර්.ගේ දැඩි අමෙරිකානු හිතවාදී ප්‍රතිපත්තිය නිසා බෙදුම්වාදී ත්‍රස්තවාදය යුද්ධයක් දක්වා වර්ධනය වී මහා විනාශයකට මගපෑදුණත් එතැනදි ජේ.ආර්.ගේ "යැංකි" කමින් වැඩක් වුණේ නැත. ඊට වඩා ඉන්දියාවේ "යැංකි" කම අමෙරිකාවට වඩාත් වැදගත් විය.

මහින්ද යුද්ධය ඉවර කිරීමට ප්‍රයෝජන ගත්තේ ඇමෙරිකාවත් ඉන්දියාවත් අතර පැවති මේ ශක්තිමත් සම්බන්ධතාවයයි. කොටින්ට අතහිත දී කිරිපොවා හැදුවත් ඔවුන් අනෙක් පැත්තට හැරී ඉන්දිරාගේ පුතා රජීව් මරාගත් විට ලංකාවේ යුද්ධය ඉන්දියාවේත් යුද්ධය බවට පත්වුණි. ඒ වෙනකොට ඉන්දියාවේ "සික්" ත්‍රස්තවාදයේ ගොදුරක් බවට පත්ව ඉන්දිරා ද ඝාතනය වී තිබුණි. 

මහින්ද හරියටම නාඩිය ඇල්ලුවේය. ලංකාවේදී දැඩි අමෙරිකාන් විරෝධක් පෙන්නුවත් මහින්ද යුද්ධය ඉවර කිරීමට අමෙරිකාව යටින් ලබාදුන් තාක්ෂණික සහායත් ඉන්දියාව යටින් ලබාදුන් ප්‍රබල දේශපාලන සහායත් නිසා මහින්ද වීරයෙක් විය. හැමදාමත් ත්‍රස්ත විරෝධී ස්ථාවරයක සිටි චීනයත් ඒ වෙලාවේ ලංකාවට උදව් කළේය.

හැබැයි එතැනින් පසුව ජාත්‍යන්තර දේශපාලනය ගැන නිවැරදි අවබෝධයකින් කටයුතු නොකිරීම හේතුවෙන් යුද ජයග්‍රහණය ජාත්‍යන්තර ජයග්‍රහණයක් බවට පෙරළා ගැනීමට මහින්ද අසමත් විය. මේ නිසා මහින්ද අමෙරිකානු කඳවුරේ සතුරෙක් බවට පත්විය. එහෙම වුණත් ඉන්දියාවේ හිතවත්කම රුකගැනීමට මහින්ද දිගටම සමත් විය. මේ තත්ත්වය ටිකක් දුරට වෙනස් වුණේ අමෙරිකාවට එල්ල වූ බින් ලාඩන්ගේ ත්‍රස්ත ප්‍රහාරය සමඟිනි. බින් ලාඩන් එතෙක් පටන් අමෙරිකාවේ ප්‍රභාකරන් බවට පත් විය.

මේ සමස්ත ක්‍රියාදාමය රනිල් වික්‍රමසිංහ නිහඬව බලා සිටියේය. ඔහුට 2001 වසරේදී ලැබුණු ජනවරම ප්‍රයෝජනයට ගනිමින් අමෙරිකානු කඳවුරත් ඉන්දියාවත් හවුල් කරගෙන සාම ගිවිසුමකට යනකොට රනිල් නිකම් බලා සිටි නැති බව රටම තේරුම් ගත්තේ ය. එම සාම ක්‍රියාදාමයේ බොහෝ අඩුපාඩුකම් තිබුණත් එය ඒ අවස්ථාවේදී රටට වසර දෙකක යුද විරාමයක් ලබා දුන්නේය. එහි අරමුණ වුණේ කොටින් යුද්ධයෙන් ඈත්කර දැමීමෙන් ඔවුන් ඔවුන්ගේම විනාශය ළඟා කරගනු ලැබීමය. එය තරමක් දුරකට හරි ගියත් රනිල්ගේ ආණ්ඩුව වට්ටා දැමීම නිසා එම කාර්යය මගදී නතර විය. එහෙත් මහින්ද  ලැබූ යුද ජයග්‍රහණයට රනිල්ගේ සාම ගිවිසුම හේතුවෙන් සිදුවූ කොටි සංවිධානයේ දෙකඩ වීම තීරණාත්මක කාර්යභාරයක් ඉටුකළ බව යථාර්ථයයි.

මේ හැම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ තමන්ගේ අමෙරිකාවට තිබෙන කැමැත්ත හංගාගෙන වැඩ කළේ නැත. අමෙරිකාව පමණක් නොව බටහිර ලෝකයේත් යුරෝපයේත් රනිල් සැලකුම් ලබන්නේ විශිෂ්ට රාජ්‍යතාන්ත්‍රිකයකු වශයෙනි. මොන බාධා ආවත් ප්‍රජාතන්ත්‍රවාදය අංක එකට සලකන නායකයකු හැටියටය. රනිල් සැමවිටම කතා කළේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම ගැනය. මේ නිසා ඔහුට ඇමෙරිකාවෙන් පවා හොඳ පිළිගැනීමක් ලැබුණේය. රනිල් ලංකාවේ ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයා වශයෙන් පත්වූ විට අමෙරිකාවද සුබපැතුම් එක් කළේය.

කොටින්ම යහපාලන ආණ්ඩුව ව්‍යවස්ථා කුමන්ත්‍රණයකින් රනිල් අගමැතිකමින් ඉවත්කර  මහින්ද අගමැති කර දවස් 52 ආණ්ඩුවක් පිහිටුවූ අවස්ථාවේත් අමෙරිකාව ගත්තේ රනිල්ගේ පැත්තය. ඔවුන් දිගටම බලපෑම් කළේ මේ ව්‍යවස්ථා අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් විසඳාගන්නා ලෙසටය. රනිලුත් ඒ වෙලාවේ කිව්වේ පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස එම ගැටලුව විසඳා ගත යුතු බවය.

එහෙම කියපු හැමදාමත් විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයකු වශයෙන් සැලකුම් ලැබූ රනිල් වික්‍රමසිංහ දැන් රටේ ජනාධිපතිවෙලා ප්‍රජාතන්ත්‍ර විරෝධී විදියට වැඩ කරයිද?

එහෙම නොකරනු ඇති බවට තිබූ විශ්වාසය පසුගිය කාලය තුළ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ක්‍රියාකළ ආකාරය නිසා ප්‍රශ්න සහගත බවට පත්විය. එම බිඳීයාම වඩාත් තහවුරු වුණේ පසුගිය පෙබරවාරි 10 වැනිදා පාර්ලිමේන්තුවට පැමිණ "ඡන්දෙ කල්දාලා නෑ. කල්දාන්න ඡන්දයක් නෑ" කියමින් කළ කතාවෙන් පසුවය. මුදල් නැති නිසා මේ වෙලාවේ ඡන්දයක් තියන්න බැහැ කියූ ජනාධිපති රනිල් ඊට දවස් කිහිපයකට පසුව ඉඟිකර තිබුණේ ලබන වසරේ ඡන්දයක් තියන්න හැකිවනු ඇතැයි කියාය.

ඊට පස්සේ පසුගිය 24 වැනිදා මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය මාර්තු 09 වැනිදා නොපැවැත්වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබුණි. අමෙරිකාව තම ස්ථාවරය කිව්වේ ඊට පස්සේ ඒ බව තහවුරු කර දැන ගැනීමෙන් පසුවය. හැබැයි මීට පෙර අරගලය අවස්ථාවේ නිවේදන පිට නිවේදන නිකුත් කළ ලංකාවේ ඉන්න අමෙරිකා තානාපතිනිය ජුලි චැන්ග් නම් වචනයක්වත් කිව්වේ නැත.

40 වසරක තම දේශපාලන ජීවිතයේ අමෙරිකාවේ මිත්‍රයකු වශයෙන් සිටි යූ.එන්.පී.යේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වෙලාවේ පුංචි ඡන්දය තියන්නැයි අමෙරිකාව කරන ඉල්ලීම අහක දායිද?

ඒක නම් එකපාරටම හිතන්න අමාරුය. ඒ වුණත් ජාත්‍යන්තරයේ පවතින දේශපාලනය සමඟ ගනුදෙනු කිරිමට වඩා මේ වෙලාවේ රට ඇතුළේ දේශපාලනය සමඟ ගනුදෙනුවකට යාම කොතරම් දුෂ්කරදැයි රනිල් ජනාධිපතිවරයා හොඳින්ම දැන සිටී. අමෙරිකාවේ හොඳහිත රැකගන්න ගිහින් තමන්ගේ බලය පරදුවට තබනවාද නැත්නම් මහින්ද වගේ රට ඇතුළට ඕනෑ විදිහට ගේම් එක ගහගෙන ඡන්දය නොතියා අමෙරිකාවට තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නයි කියනවාද යන තීරණය ඇත්තේ රනිල්ගේ අතේය.

■    ශශීන්ද්‍ර