2023 පෙබරවාරි 26 වන ඉරිදා

අයි.එම්.එෆ්. බලාපොරොත්තුවට හරස් වෙන ’’පවර්’’ එක

 2023 පෙබරවාරි 26 වන ඉරිදා, පෙ.ව. 06:00 163


ශ්‍රී ලංකාව මහත් බලාපොරොත්තු තබා සිටින අයි.එම්.එෆ්. ණය ලබාගැනීමේ උත්සාහයට ඉදිරියේදී තවත් බාධකයක් අභියෝගයක් එල්ල වෙමින් තිබේ. ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රබල බලපෑමක් සිදු කරන අමෙරිකානු රාජ්‍ය නිලධාරිනියක වන සමන්තා පවර් එම අභියෝගයට හේතුවයි. ඇය ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු ඒජන්සියේ (යූ.එස්.ඒඩ්) වත්මන් ප්‍රධානියාය.

අයි.එම්.එෆ්. ණය පහසුකම් පළමු වාරිකය මාර්තු මාසයේදී ලැබෙනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේදී විශ්වාසය පළ කළේය. එම ණය වාරිකය අපේක්ෂිත පරිදි ශ්‍රී ලංකාවට ලැබුණොත් ඒ සමඟ ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි ගෝලීය ණය දෙන ආයතන ද ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමේ හැකියාව ඒ සමඟ විවෘත වන බැවින් අයි.එම්.එෆ්. තීන්දුව ශ්‍රී ලංකාවට ඉතාම තීරණාත්මකය.

අයි.එම්.එෆ්. ශ්‍රී ලංකාවට අරමුදල් පහසුකම් සැපයීමට අනුමැතිය ලබා දුන් පසු එම ණය දෙන ආයතන ශ්‍රී ලංකාවට අලුත් ණය ලබා දීමට සූදානම් බවට දැනටම ඉඟි කර තිබේ. එහෙත් ලෝක බැංකු පාලනාධිකාරියේ ඉදිරියේදී සිදුවන අනපේක්ෂිත සිදුවීමක් පිළිබඳ පසුගිය සතියේදී ගනු ලැබූ තීරණයක් එම ක්‍රියාවලියට බාධාවක් විය හැකි බව සඳහන් වේ. ලෝක බැංකුවේ වත්මන් සභාපතිවරයා වන ඩේවිඩ් මැල්පාස් තමන් වසරකට කලින් විශ්‍රාම ලබන බවට කළ ප්‍රකාශය එයට හේතුවයි. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ලෝක බැංකු සභාපති ධුරයට පත් කෙරුණු ඩේවිඩ් මැල්පාස්ගේ ධුර කාලය අවසන් වීමට නියමිතව තිබුණේ තව වසරකට පසුව වුවද ඔහු ඉකුත් සතියේදී ප්‍රකාශ කළේ තමන් විශ්‍රාම ගන්නා බවයි. එම විශ්‍රාම ගැනීමෙන් පසුව එම ධුරයට පත් කරනු ලැබීමට නියමිත පුද්ගලයන් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ සමන්තා පවර් ය.

ශ්‍රී ලංකාවේ කටයුතු සම්බන්ධයෙන් සමන්තා පවර් දක්වන දැඩි උනන්දුව හේතුවෙන් ශ්‍රී ලංකා රජයේ ප්‍රධානීන් ලෝක බැංකුවේ මීළඟ සභාපති ධුරය පිළිබඳව දැඩි විමසිල්ලකින් පසුවන බව වාර්තා වෙයි. මේ සතියේදී තමන් විශ්‍රාම ගන්නා බව පැවසූ ලෝක බැංකු වත්මන් ප්‍රධානියා අමෙරිකානු පාලනයේ දැඩි උදහසට ලක් වූයේ කාලගුණ විපර්යාස වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඔහු දැක්වූ ප්‍රතිචාර හේතුවෙනි.

අමෙරිකානු සහ යුරෝපීය නායකයන් අතර පවතින අලිඛිත එකඟත්වයකට අනුව අයි.එම්.එෆ්. ප්‍රධානියා වශයෙන් පත් කරනු ලබන්නේ යුරෝපීය ජාතිකයෙකි. ලෝක බැංකු සභාපති අමෙරිකාවේ තේරීමකි. මීළඟ ලෝක බැංකු සභාපති ධුරය අපේක්ෂාවෙන් සිටින පුද්ගලයන් අතර සමන්තා පවර්ට අමතරව යූ.එස්.ඒඩ්. හිටපු ප්‍රධානී රාජ් ෂා ද සිටී.

පසුගිය සැප්තැම්බරයේදී සමන්තා පවර් ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදුණාය. යූ.එස්.ඒඩ්. සංවිධානය මගින් මෙරට දියත් කර ඇති ආහාර සුරක්ෂිතා වැඩපිළිවෙළ අධීක්ෂණයට පැමිණි සමන්තා පවර් ඒ අවස්ථාවේදී කොළඹට ආසන්නයේ ගොවීන් පිරිසක් සමඟ එකට සිටිමින් ඔවුන්ගේ දුක් ගැනවිලිවලට සවන් දුන් අවස්ථාව මෙරට මාධ්‍ය ප්‍රමුඛත්වයක් ලබා දෙමින් වාර්තා කර තිබිණි.


තානාපති නිලධාරිනියට නොසිතූ අකරතැබ්බයක්

ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට විදේශ අමාත්‍යාංශයෙන් පත්වීමක් ලබා සිටින නිලධාරිනියක සම්බන්ධයෙන් කිසියම් මතභේදාත්මක තත්ත්වයක් මතු වී තිබේ. එම මතභේදය පැන නැගී ඇත්තේ ස්ඩීඩ්න් තානාපති කාර්යාලයේ පළමු ලේකම් (වාණිජ) වශයෙන් විදේශ අමාත්‍යාංශය මගින් නිර්දේශ කෙරුණු නිලධාරිනිය සම්බන්ධයෙනි.

රජය මගින් පැහැදිලිව රාජ්‍ය වියදම් කපා දැමීමට උපදෙස් ලබා දී තිබියදී එම නිලධාරිනිය ස්වීඩනයට ගෙන යාමට නියමිත තම බඩු බාහිරාදිය සඳහා අඩි 20ක කන්ටේනරයක් අවශ්‍ය බවට කළ දැනුම් දීම හේතුවෙන් මේ කාලබැගෑනිය ඇති විය. රජයේ උපදෙස් එම අමත්‍යාංශයට දැනුම් දී තිබියදී පවා මෙවැනි ඉල්ලීමක් කිරීම ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ දෙබැම ඉහළ නංවා තිබේ.

අදාළ නිලධාරිනියගේ වසර තුනක සේවා කාලය සඳහා තානාපති කාර්යාලයට වැය වන සියලු වියහියදම් පිළිබඳ තොරතුරු ලබා දෙන තුරු එම නිලධාරිනියගේ පත්වීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි සඳහන්ය. එම තොරතුරු අතර ඇයගේ ගුවන් ගමන් වියදම්, විශාල භාණ්ඩ තොගය යැවීම සඳහා වැය වන ගාස්තුව සහ පසුගිය වසර 05ක කාලය තුළදී ස්වීඩනය සහ ශ්‍රී ලංකාව අතර සිදු වූ ද්විපාර්ශ්වික වෙළෙඳාම් ප්‍රමාණය පිළිබඳ විස්තරද තිබිය යුතු බවද අමාත්‍යාංශය දන්වා ඇතැයි වාර්තා වේ.

- සන්ඩේ ටයිම්ස්

විපක්ෂයේ වැඩේ ආණ්ඩුව කළැයි සජබ විරෝධය

මහජන මුදල් පිළිබඳ පාර්ලිමේන්තුවේ නව කාරක සභාවේ සභාපති ධුරයට සජබ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මයන්ත දිසානායක පත් කරනු ලැබීම හරහා සජබ ඇතුළේ අර්බුදයක් හටගනිමින් තිබේ. පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට පෙර තිබූ මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය දැරුවේ සජබ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වාය.

විපක්ෂයේ මන්ත්‍රීවරයකු විසින් දරණ මෙම තනතුර සඳහා සජබ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මෙවරද යෝජනා කර තිබුණේ හර්ෂ ද සිල්වාගේ නමය. එහෙත් හර්ෂගේ නම කතානායකවරයා විසින් ප්‍රකාශයට පත් නොකිරීම හේතුවෙන් පසුගියදා ඒ පිළිබඳව සජබ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළත් ඒ ගැන පැහැදිලි පිළිතුරක් නොලැබිණි.

ඉන් පසුව පසුගිය බ්‍රහස්පතින්දා (23) එම සභාපති ධුරයට මයන්ත දිසානායක පත් කිරීමට තේරීම් කාරක සභාව තීරණය කළ බව ප්‍රකාශ විය. මයන්තගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් කාරක සභාව එදිනම පස්වරුවේ රැස්විය.

මෙම ධුරය සඳහා නාමයෝජනා කළ යුත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ය. එහෙත් මයන්තගේ නම යෝජනා කර ඇත්තේ ආණ්ඩු පක්ෂ නියෝජිතයන් බව සඳහන්ය. ඒ අවස්ථාවේදී කිරිඇල්ල දුරකථන ඇමතුමක් දී මයන්තගෙන් එම ධුරය බාරගන්නේ දැයි කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කර තිබුණේ තමා එම ධුරය බාරගන්නා බවය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක විසින් කළ යුතු යෝජනාව ආණ්ඩු පක්ෂ නියෝජිතයන් විසින් සිදු කිරීම විහිළුවක් යැයි කිරිඇල්ල ප්‍රකාශ කර තිබිණි. කෙසේ වුවද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සජබ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය කුමක්දැයි ප්‍රකාශ කර නැත. මේ හේතුවෙන් හර්ෂ ද සිල්වා දැඩි ලෙස කනස්සල්ලට පත්ව සිටින අතර මෙය සජබ ඇතුළේ අර්බුදයක් නිර්මාණය වීමට හේතු වනු ඇතැයි සඳහන්ය. විපක්ෂයේ කාර්යය ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් ඉටු කරද්දී සජබ නිහඬව සිටින්නේ කුමක් නිසාදැයි ගැටලුවක් පැන නගින බවද සමහරු කියති.