2023 පෙබරවාරි 12 වන ඉරිදා

පොරොන්දු - අපේක්ෂා සහ කෙරුවාව

 2023 පෙබරවාරි 12 වන ඉරිදා, පෙ.ව. 06:00 75

''වෙනස්වීම පටන් ගන්න ඕනෑ තමන්ගෙන්මයි. අපි අපෙන්මයි. අපි හැමෝම වෙනස් විය යුතුයි. නැත්නම් ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අපි කාටවත් බෑ. පාර්ලිමේන්තුව වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. විධායකය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. අධිකරණය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. රාජ්‍ය සේවය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි.''

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහෙම කිව්වේ පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ රාජාසන කතාවේදීය. නමවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සැසිය ආරම්භයේදී මේ කතාව සිදුවිය. පසුගිය වසරේ අගෝස්තු 03 වැනිදා ද ජනාධිපතිවරයා රාජාසන කතාවක් පැවැත්විය. ජූලි 13 වැනිදා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව පාර්ලිමේන්තුවේ වාරාවසානය සිදුකර යළි ආරම්භ කළ අවස්ථාවේ එම කතාව කළ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ අනුව මාස 06ක් තුළදී දෙවරක් රාජාසන කතා පවත්වා තිබේ. එය සාමාන්‍යයෙන් අසාමාන්‍ය තත්ත්වයකි. ඒත් රට මුහුණ දී සිටින දැඩි අර්බුදකාරී තත්ත්වය යටතේ එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශ වරින්වර සිදුකිරීම ගැන පුදුම විය යුතු නැත.

ඒ කොහොම වුණත් ධුරයට පත් වූදා සිට ජනාධිපතිවරයා වරින්වර අවස්ථා ගණනාවකදී ජාතිය අමතා විශේෂ ප්‍රකාශ ගණනාවක් සිදු කළේය. මේ හැම අවස්ථාවකදීම ඔහු තදින්ම අවධාරණය කළේ රට මුහුණ දී සිටින අතිශය බැරෑරුම් අර්බුදයෙන් ගොඩඒමට විශාල වෙහෙසක් දැරිය යුතු වන බවය. ජනතාවට දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවනු ඇති බවය. ජනතාව කැප කිරීම් කළ යුතු බවය. ඒ කතා අතුරින් මෙවර වෙනසකට ඇත්තේ පසුගිය මාස 06ක කාලය තුළදී රටේ පැවති තත්ත්වය යම්තාක් දුරකට යහපත්, අතට හැරවීමට හැකියාව ලැබුණ බවය. ඔහු තම ප්‍රකාශයේ ඒ බව සඳහන් කළේ මෙහෙමය.

''ඍණ ආර්ථිකයක සිට ධන ආර්ථිකයක් කරා අප දැන් ගමන් කරමින් ඉන්නේ. මම ජනාධිපති ලෙස මේ පාර්ලිමේන්තුව මුලින්ම අමතද්දී රටේ උද්ධමනය සියයට 70යි. අපේ ක්‍රියා පිළිවෙත් නිසා 2023 ජනවාරි වෙද්දී එය සියයට 54ක් දක්වා පහත හෙළන්න අපට හැකිවුණා. පසුගිය පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින් තම අදහස් දැක්වූ අවස්ථාවේ රට වැටී තිබුණු තත්ත්වය ඔබ සැමගේ සිතේ රුඳී ඇතැයි මම විශ්වාස කරනවා. මීට මාස හත අටකට කලින් රටේ තිබුණ තත්ත්වයක් ඔබට මතක ඇති.

පාසල් වැහිලා. විභාග පවත්වන්න බැරිවෙලා. පොහොර නැතිව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත කඩා වැටිලා. ගොවියන් අසරණ වෙලා. සංචාරක කර්මාන්තය පිරිහිලා. පැය දහය දොළහ විදුලිය කප්පාදුවෙලා. ගෑස් නැත්තටම වගේ නැතිවෙලා. නාගරික ජනතාව ඉවුම් පිහුම් කරගන්න බැරුව නන්නත්තාර වෙලා. භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල දවස් ගණන් රස්තියාදු වෙන්න සිද්ධ වුණා. හෙම්බත් වූ පුරවැසියන්ගේ ජීවිත පෝලිම්වල ඉන්දැද්දීම නැතිවුණා. ඒ පීඩනය දරාගන්න බැරිව ජනතාව පාරටබැස්සා. හැබැයි අද වෙද්දී තත්ත්වය වෙනස්. ජනතාවට කිසියම් අස්වැසිල්ලක් දැනෙනවා. අනතුරුදායක වැල්පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්නට අපට පුළුවන් වෙලා තිබෙනවා. අපි ඒ ආවේ ලේසි පහසු ගමනක් නොවේ. හැබැයි ගමන තාම ඉවර නෑ.''

මේ ටිකට අමතරව තවත් බොහෝ කරුණු රාශියක් ජනාධිපතිවරයාගේ කතාවට ඇතුළත්ව තිබිණි. සාමාන්‍ය සම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශයකට වඩා දීර්ඝ වූ මේ කතාවට විනාඩි 50ක පමණ කාලයක් වැයවිය. කතාවේ අවසාන කොටසේ ඉදිරි කාලය පිළිබඳව ඉතා ධනාත්මක රෑපයක් මැවූ ජනාධිපතිවරයා කෙනකුට අදහාගත නොහැකි තරමට වෙනස්කම් ඇතිකරන බවට ප්‍රතිඥා දුන්නේය. ඒ අතරේ සහනාධාර කෙළින්ම බැංකු ගිණුම්වලින්, ජාතික ඉඩම් සභාවක්, උතුරු සංවර්ධනයට වෙනම සභාවක්, සීමා නිර්ණය අනුව නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස, කලාව නිර්මාණ වර්ගීකරණ පනතක්, දේශපාලන පක්ෂ ගැන සොයාබලන වැඩපිළිවෙළක්, මාධ්‍යයට ප්‍රතිසංස්කරණ, වතුකර ජනතාවගේ සුබසිද්ධියට පියවර, දූෂණය මැඩලීමේ පනතක්, ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්වී සොරකම් කළ වත්කම් යළි සොයාගැනීම ඇතුළු ආර්ථික අර්බුදයක් ඇති කිරීමට හේතුවන ඉඩකඩ අහුරා දමන දූෂණය මැඩලීමේ පනතක් ගෙන ඒම වැනි කාරණාද එයට ඇතුළත් විය. තරුණ තරුණියන් සඳහා වන යෝජනාද එයට ඇතුළත් විය.

මේ කතාව ඇහැව්වාම කෙනෙකුට එකවර පැනනගින ප්‍රශ්නය වන්නේ පාර්ලිමේන්තුවේ වසර 45ක අත්දැකීම් ඇති කෘතහස්ත,  පළපුරුදු දේශපාලන නායකයකු වන රනිල් වික්‍රමසිංහ මහතා බලයේ සිටි කාලයේදී මේ අදහස් ක්‍රියාත්මක කළ නොහැකි වූයේ ඇයිද යන්නය. ඔහු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ සිටියේ ඉතා අඩු කාලයකි. ඉන්පසුව නියෝජ්‍ය අමාත්‍යවරයකු වී ඉතා කෙටි කාලයකින් කැබිනට් අමාත්‍යවරයෙක් විය. ඊටපසුව අග්‍රාමාත්‍ය ධුරය 06 වරක් දැරෑ රනිල් වික්‍රමසිංහ මහතා දැන් රටේ ජනාධිපතිවරයාය. ජනාධිපති ධුරය ලැබෙනතුරු මෙවැනි ජනතාවට අවශ්‍ය ජනතාවගේ ආකර්ෂණය දිනාගත හැකි යෝජනා ක්‍රියාත්මක කිරීමට නොහැකි වීමට හේතුවූයේ කුමක්දැයි සොයාබැලුවොත් රටේ වෙනස්කම් ඇතිකිරීම ගැන අලුතින් හිතන්නත් සිදුවීමට පුළුවන. මේ රාජාසන කතාවේ යහපත් යෝජනා රාශියක් තිබුණත් ඒ ගැන විවේචනාත්මක ඇසින් බැලීමේ වරදක් නැත. අවශ්‍යතාව රට හැදීම නම් ඒ සඳහා රාජ්‍ය නායකත්වය ඉහළින්ම ආදර්ශය සැපයිය යුතු බැවිනි.

මෙය හොඳින් පැහැදිලි කරගත හැක්කේ ජනාධිපතිවරයා රාජාසන කතාව පවත්වන අවස්ථාවේ රටේ උද්ගතව තිබූ තත්ත්වය සැලකිල්ලට ගැනීමෙනි. එදා රටේ සියලුම වෘත්තිකයන් සිටියේ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට විරෝධය පා පාරට බැහැලාය. හාමුදුරුවරු විශාල පිරිසක් ජනාධිපතිවරයා ගෙඩි පිටින්ම 13 ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට දරණ උත්සාහයක් අභියෝගයට ලක්කරමින් පාර්ලිමේන්තුව අවට ප්‍රදේශවල උද්ඝෝෂණය කරනු දැකිය හැකි විය. ටී.එන්.ඒ. එක සහ සුළු පක්ෂ නියෝජනය කළ මන්ත්‍රීන් කිහිප දෙනකු හැර සෙසු විපක්ෂයම ජනාධිපතිට විරෝධය පා රාජාසන කතාව වර්ජනය කර සිටියෝය. තවත් විපක්ෂයේ පිරිසක් ජනාධිපතිවරයා කතාව කරගෙන යද්දී පාර්ලිමේන්තුවෙන් එළියට බැස මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනයට ලක් කළේය. මෙහෙම වුණේ ඇයි? මේ සියලු දෙනාටම රට හැදීමේ උවමනාවක් නැති නිසාද? නැත්නම් ජනාධිපතිගේ ක්‍රියා කලාපයට විරෝධය දැක්වීමක් ද?

කෙළින්ම පෙනී යන්නේ එය ජනාධිපතිගේ ක්‍රියාකලාපයට විරෝධය දැක්වීමක් බවය. බදු ගෙවීම පැහැර හරින විශාල පිරිසකට සහ ආයතනවලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමකින් තොරව බදු ගෙවමින් සිටින ජනතාවටම යළි යළිත් බදු ගැසීම ජනතාවගේ කෝපය අවුස්සන බව පළපුරුදු දේශපාලන නායකයකු වන ජනාධිපතිවරයා නොදන්නවා විය නොහැක. ඔවුන් ප්‍රකාශ කරන්නේ තමන් විරෝධය දක්වන්නේ බදු ගෙවීමට එරෙහිව නොවන බවය. එහෙත් අසාධාරණ ලෙස බදු ගෙවීමට බල කිරීමෙන් තමන්ගේ ආදායම් අහිමි වීම දරාගත නොහැකි මට්ටමකට වැටීමට විරෝධය දක්වන බවය. විපක්ෂය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයා හොරුන් ආරක්ෂා කරමින් බරපතළ වැරදි කළ පුද්ගලයන් සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගෙන පුරවැසියන් තලා පෙළා බදු ගැසීමට පියවර ගැනීමට විරුද්ධ වන බවය. ඒ වගේම කතා පැවැත්වීමෙන් පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකි බවටද ඔවුහු චෝදනා කරති.

ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පරිදි රටේ ආර්ථිකය කඩා වැට්ටවූ පුද්ගලයන් නීතියේ රුහැනට අසුකර ගැනීමට කවදා හෝ අණපනත් සම්මත කර ගන්නා තුරු ජනතාව ඉවසන්නේ නැත. ඔවුන් එසේ සියලුම වරප්‍රසාද භුක්ති විඳීමින් සිටියදී අයි.එම්.එෆ්. ණය ලබා ගැනීමට දැඩි කොන්දේසිවලට එකඟ වනු ඇතැයි ජනතාවගෙන් බලාපොරොත්තු විය නොහැක. තමන් මුහුණදෙන දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් බදු පැනවීමට එරෙහිව පාරට බැස සටන් කරන වෘත්තිකයන් කඩාකප්පල්කාරීන් වශයෙන් දකිනවා නම් මේ ගැටලුවට විසඳුම් සොයාගැනීම පහසු වන්නේ නැත. 13 වැනි ව්‍යවස්ථාව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට එරෙහිව භික්ෂූන් වහන්සේලා ඇතුළු දැඩි මතධාරී දේශපාලකයන් සමඟ සංවාදයක් පැවැත්වීම ප්‍රතික්ෂේප කරන්නේ නම් රාජාසන කතා කොතරම් කළත් රටේ ප්‍රගතියට එය හේතුවන්නේ නැත. තරුණ තරුණියන්ගේ අනාගතය සඳහා හොඳ යෝජනා කොතරම් ඉදිරිපත් කළද ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමටද හැකිවන්නේ නැත.

කොටින්ම කිවයුත්තේ රාජාසන කතාවෙන් ජනාධිපතිවරයා රට හමුවේ තැබූ බලාපොරොත්තු ඉටු වීමට නම් ජනාධිපතිවරයාගේ පටන් ආණ්ඩුවේ සියලු ප්‍රධානීන්ගේ ආකල්ප පවා වෙනස් කරගත යුතු බවය. අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ස්වාධීන කොමිෂන් සභා ප්‍රධානීන් සමඟ හප්පා ලබාගත හැකි ජයග්‍රහණයක් නැත. ඒවා යල්පැනගිය දේශපාලන ජිමික් පමණි. රටට සැබෑ ලෙස ආදරය කරන බුද්ධිමත් අලුතින් සිතන අය උපදේශකයන් වශයෙන් පත්කර ගැනීමද අවශ්‍යය. එවැනි ප්‍රබල වෙනස් කිරීම් ඇතිකර ගැනීමකින් තොරව ජනතාව සියල්ල කැපකරනු ඇතැයි බලාපොරොත්තු වීම විහිළුවකි.

අඩුම තරමින් මැති ඇමැතින් තමන් භාවිත කරන සුපිරි වාහන සහ ඒවාට ඉන්ධන පිරවීම සඳහා රටේ ජනතාවගේ බදු මුදල් භාවිත කරන ප්‍රතිපත්ති හෝ වෙනස් කොට ජනතාවට ආදර්ශයක් දීම අවශ්‍යය. දැන් රටේ වෘත්තීයවේදීන්ගේ සංගම් නියෝජිතයන් ප්‍රකාශ කරන්නේ රජය බදු ප්‍රතිපත්තිය මඳක් ලිහිල් කරමින් නිකුත් කළ නිවේදනයෙන්ද විශාල ප්‍රතිලාභයක් අයිතිවන්නේ ආණ්ඩුවේ මැති ඇමැතින්ට බවය. ආණ්ඩුව මෙවැනි ප්‍රකාශ කෙරෙහි වෛරී සහගතව නොබලා සැබෑ ගැටලු හඳුනාගෙන ක්‍රියා කිරීමට තරම් ප්‍රජාතන්ත්‍රවාදී නොවුණොත් ඊළඟ රාජාසන කතාවත් මේ වගේම වීමට හොඳටම ඉඩ තිබේ.

I ශශීන්ද්‍ර