2022 දෙසැම්බර් 18 වන ඉරිදා

මැයි 09 - ජූලි 09 ජාතික ආරක්ෂාව ගැන ලොකු ගැටලුවක් තිබෙනවා

 2022 දෙසැම්බර් 18 වන ඉරිදා, පෙ.ව. 06:00 135

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය 

  • වත්මන් ජනාධිපතිතුමා හරියටම හරි විදියට තීරණ ගන්න කෙනෙක්
  • අපි කවුරුවත් දඩයම් කරන්නෙ නෑ: කාගෙන්වත් පලි ගන්නෙත් නෑ
  • ගෝඨාභය මහත්තයාට තීන්දු ගන්න හැකියාවක් තිබුණෙ නෑ
  • කාන්තා විමුක්තිය ගැන කතා කරපු අය ගෑනුන්ගේ රෙදි ගලවලා ගැහැව්වේ 
  • අපි ඉන්නේ අලුත් දේශපාලන යුගයක
  • ජානගතවෙච්ච ලේකල්ලියක් ප්‍රචණ්ඩත්වය ඇති කළා
  • පොහොට්ටුව එජාපය එකතුවීම ඉතාම වැදගත්
     

සමහර අමාත්‍යංශ තියෙනවා ඉතාම බරපතළ සහ සකීර්ණ. ඒ වගේ අමාත්‍යංශයක් තමයි ආරක්ෂක අමාත්‍යංශය කියන්නේ. රටේ ආරක්ෂාව යටත් වෙලා තියෙන්නේ ඔබට. කොහොමද මේ අමාත්‍යංශය දැනෙන්නේ?

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය තරුණ මන්ත්‍රීවරයකු වෙත පැවරීම ගැන ඉස්සෙල්ලම ජනාධිපතිතුමාට ස්තූති කරන්න ඕන. අපි දන්නවා පහුගිය කාලෙත්, මේ වෙද්දිත් රට ඉතාම අමාරු කාලයක් ගතකරමින් ඉන්නේ. ඒත් අපිට පේනවා අමිහිරි කටුක කාලය මහ හැරෙමින් අපි අලුත් මාවතකට යමින් ඉන්නවා කියලා. ඉතාම බරපතළ සහ සංවේදී කාරණයක් තමයි ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයත් ආණ්ඩුවත් ඉෂ්ට කළේ කියලා කියන්න ඕන. ආරක්ෂක අමාත්‍යංශය වැදගත් අමාත්‍යංශයක්. මේ අමාත්‍යංශය සතුව ආයතන 6ක් තියෙනවා. ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව, බහුකාර්යසාධක බලකාය, ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රීමත් ජෝන් කොතලාවල රෝහල සහ විශ්ව විද්‍යාලය ආදී විෂයයන් මේ ආයතන හයේ තියෙනවා.

රට ඉතාම දරුණු ආර්ථික අර්බුදයක තියෙන්නේ. මේකෙන් ගොඩ එන්න ලොකූ ආර්ථික සැලැස්මක් ඕන. එහෙම තත්ත්වයක් තිබිලත් මේ පාර අයවැයෙනුත් වැඩිම මුදල ආරක්ෂක අමාත්‍යංශයට කියලා විපක්ෂය චෝදනා කරනවා. ඇත්තට ඇයි ඒ?

මේක ගැන ගොඩක් දෙනෙක් හිතන්නේ සරල සහ පටු විදිහට. යුද්ධය ඉවර වෙන්න පුළුවන්, ඒත් අන්තවාදී මතවාද, බෙදුම්වාදී මතවාද රට තුළත් රටින් පිටත් තවම ක්‍රියාත්මක වෙනවා. ඕනෑම වගකිවයුතු පලාකයකුට, නායකයකුට, වර්තමාන සහ අනාගත අභියෝග පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මේ අයවැයෙන් බිලියන 400ක් වෙන් කළත් ඒකෙන් 86% තියෙන්නේ පුනරාවර්තන වියදම්. ප්‍රාග්ධන වියදම්වලට බිලියන 50යි මේ අයවැ‍යෙන් වෙන් කළේ. ත්‍රිවිධ හමුදාවක් ඉන්න රටකට ඒ ගාණෙන් සෑහීමකට පත්වෙන්න බෑ. මේ සල්ලි අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පරීක්ෂණවලට වෙන් වෙන්නේ.

දැන් පහුගිය කාලයේ තිබ්බ අරගලය අද වෙද්දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට කියලා තියෙනවා. අරගලකරුවන් අත්අඩංගුවට ගන්නවා, රඳවා ගන්නවා. ඇයි මේ හොරාට අරගලයෙන් පළිගන්නේ? ඇයි අරගලකරුවො දඩයම් කරන්නේ?

එක මම පළිගන්න කියන වචනයට විරුද්ධයි, දෙක දඩයම් කරන වචනයට විරුද්ධයි. ඕනෑම රටක නීතියේ ආධිපත්‍ය තියෙන්න ඕන. ජාතික ආරක්ෂාව තියෙන්න ඕන. දේශපාලන ස්ථාවරත්වය තියෙන්න ඕන. එතකොටයි රටේ ආර්ථික සංවර්ධනය ලබාගන්න පුළුවන්. එහෙම ස්ථාවරත්වයක් නොවී රටක ආර්ථිකයක් ගොඩනගන්න බෑ. ඒක එක. දෙවැනි කාරණය ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕන ඕන දේවල් කරන්න පුළුවන් එක නෙමේ. ගෙවල් ගිනි තියන එක, පාර්ලිමේන්තු අල්ලන්න යන එක, ජනාධිපති මන්දිර අල්ල ගන්න එක, වාහන ගිනි තියන එක, මිනිස්සු මරණ එක නෙමෙයිනේ ප්‍රජාතන්ත්‍රවදාය. අරගලය මුවාවෙන් අපරාධ සිද්ධවුණා. අහිංසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගහලා මැරුවා. මහජන නියෝජිතයෝ 84 කගේ ගෙවල් ගිනි තිබ්බා. අපිට විතරක් නෙමේ විපක්ෂ නායකතුමාටත් ගැහුවා. කුමාර වෙල්ගමට ගැහුවා. ජවිපෙ අයටත් හූ කිව්වා. මොකක්ද මේ අරගලය.

ඔබ කියන විදිහට අරගලයෙන් පාර්ලිමේන්තුවේ හැම පක්ෂයම පීඩා විඳලා. දැන් ඔබලා කියන දෙයක් තමා මේ පිටුපස්සේ පෙරටුගාමී පක්ෂය ඉන්නවා කියන එක. ඔවුන්ව ත්‍රස්තවාදීන් වගේ හඳුන්වන්නේ. මොකක්ද මේකට හේතුව? ලියාපදිංචි පක්ෂයක් ඒකත්?

ලියාපදිංචි පක්ෂයක් වුණ පලියට ඒ පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදීද කියලා ප්‍රශ්නයක් තියෙනවා. පක්ෂයක් කියලා සාධාරණය කරන්න අපිට පුළුවන් කමක් නෑනේ. අපි දැක්කා 9 වැනිදා මහා භීෂණයක් රටේ ක්‍රියාත්මක වුනා. කාන්තා විමුක්තිය ගැන කතා කරපු කණ්ඩායම් ගෑනුන්ගේ රෙදි ගලවලා ගැහුවේ. ගෙවල් ගිනි තිබ්බා. එහෙම අයට අපි දඬුවම් දියයුතු නැද්ද? අපි ඉවසන් ඉන්න ඕනද? මන්ත්‍රී කෙනෙක් ඝාතනය කළා. ඒ අයට දඬුවම් දියයුතු නැද්ද? ව්‍යවස්ථාව කියන්නේ මේ රටේ ඉහළම නීතිය ඒකට පිටින් වැඩ කරනවා නම් අනීතිකයි. ඒ අයට අපි දඬුවම් දියයුතු නැද්ද?

වටින් ගොඩින් ඕන නෑ. මැයි 9 ප්‍රහාරයට කවුද ඉන්න දේශපාලන පක්ෂ කණ්ඩායම?

මෙහෙමයි එක කණ්ඩායමක් නෙමේ. විවිධ දේශපාලන කණ්ඩායම් හිටියා. විවිධ මට්ටමේ විවිධ ක්‍රියාකාරීන් හිටියා. මේ අතර ජානගතවෙච්ච ලේවලම ගෑවුණු කණ්ඩායමක් ප්‍රචණ්ඩත්වය ඇති කළා. අපිට ඇඟිල්ල දික්කරලා මේ අය කියන්න බෑ. නමුත් සියලුදෙනා වගකියන්න ඕන විවිධ ප්‍රමාණයෙන්.

අපි දැක්කා මැයි 9 සහ ජූලි 9 වගේ අවස්ථාවල ආරක්ෂක අංශ ආණ්ඩුව කෙරෙහි කැමැත්ත මන්දගාමී වුණා. පස්සේ ඔබලාගේ මන්ත්‍රීවරු චෝදනා කළා ඇතැම් ආරක්ෂක අංශ ප්‍රධානීන් සද්ද නොකර හිටියා කියලා. ඇත්තටම එහෙම දෙයක් වුණාද? ඒ ගැන විමර්ශනයක් කළාද?

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට ඒ ඒ දිනවල ප්‍රශ්නයක් තියෙනවා. සේනාධිනායකයා වෙච්ච ජනාධිපතිතුමාට වෙච්ච දේත් එක්ක අපිට ප්‍රශ්නයක් තියෙනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් එතන ගැටලුවක් පේනවා. මේ සියල්ලට කලින් මේ ගැන හොයන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කමිටුවක් පත්කළා ඔය මැයි 9 සිදුවීම ගැන.

කෝ ඒ වාර්තාව? මොනවද තියෙන්නේ?

ඒක ජනාධිපතිතුමාට දීලා තියෙනවා. ඒකේ අන්තර්ගතය ගැන මට මේ වෙලාවේ කියන්න බෑ. ඒක ආරක්ෂක වාර්තාවක් නිසා. කොහොම වුණත් අංක එකටම මේ රටේ එහෙම සිදුවීමක් ඇති වෙන්න දෙන්න බෑ. ඒ වාර්තා අනුව ජනාධිපතිතුමා පියවරක් ගනී.

දැන් ජනාධිපතිවරයා නිතර කියනවා ආයේ අරගලයක් කරන්න දෙන්නේ නෑ කියලා. දැන් මම අහන්නේ අරගලයක්, උද්ඝෝෂණයක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙන්නේ කොහොමද?

පාලකයා, නායකයා කියන්නේ තීන්දු ගන්න එක. අවාසනාවට ගෝඨාභය මහත්තයට එහෙම තීන්දු ගන්න හැකියාවක් තිබුණේ නෑ. ඒක ඇයිද කියලා අපි තවම හොයනවා. ඒත් නායකයෙක්ට සමහර අවස්ථාවල රටේ ස්ථාවරභාවය වෙනුවෙන්, රටේ ආරක්ෂාව වෙනුවෙන් රටේ ජනතාව අකමැති තීන්දු ගන්න වෙනවා. කොහොමත් තීන්දුවකදී අදහස් බෙදෙනවා. ඒක සාමාන්‍යයි. ඒත් ජනතාව ඒක පිළිගන්න ඕන.

වර්තමාන ජනාධිපතිවරයගේ තීන්දු තීරණ හරිද?

මම දැක්ක හොඳම දේ මෙතුමා තීරණ ගන්න වෙලාවට ගන්නවා. ඕනම හරි දෙයක් වෙනුවෙන් නොපැකිලිව තීරණ ගන්නවා. රටකට එහෙම ඕන එවැනි නායකයෙක්. ඕන ඕන දේවල් කරන්න දෙන්න බෑ. අනීතික දෙයක් හෝ වල්බූරු නිදහසක් දෙන්න බෑ. මෙතුමා හරියටම හරි විදිහට තීරණ ගන්න කෙනෙක්. අපි ඒ නිසා මෙතුමා ගැන විශ්වාස කරනවා. රටට එරෙහිව යම් දෙයක් වෙනවා නම් එතුමා ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා.

පොදුජන පක්ෂයත් එජාපයත් එකම දේශපාලන වේදිකාවකට එන්න යනවා. ඒක සාර්ථක වෙයිද? නැත්තන් පොහොට්ටුවට එල්ලෙන්න පිදුරු ගහක් හොයනවද?

පොහොට්ටුවට එල්ලෙන්න පිදුරු ගස් හොයන කතාව නම් වැරදි. වසර 75ක් පරම්පරා තුනක් වෙන්වෙලා මරාගත්ත කණ්ඩායම් දෙකක් අතිශය තීරණාත්මක මොහොතක එක් වෙන එක සුබදායී. කොයි පැත්තෙන් බැලුවත් ඒක නරක නෑ. මේ එක්තු වීම බොහොම වැදගත්.

කොච්චර එකතුවෙන්න ගියත් තවම පොහොට්ටුවේ ඇමතිධුර ටික ලැබුණේ නෑ කියලා ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒ ප්‍රශ්නය මොකද?

දේශපාලන පක්ෂ කියන්නෙම විවිධ අදහස් මතවාද තියෙන කණ්ඩායම්. ඒ පක්ෂ ඇතුළෙම තියෙනවා එවැනි අදහස්. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ එහෙමයි. කොහොම වුණත් රජය තවදුරටත් කරගෙන යන්න මේ කණ්ඩායම් එකතුවෙන් වැඩකරයි.

විපක්ෂය ඉල්ලන්නේ ඡන්දයක්. දැන් පළාත් පාලන මැතිවරණය තියන්න යන්නේ. ඒත් ඒක නවත්තන්න හදනවා කියලා කියනවා. මොකක්ද ආණ්ඩුව කරන්නේ?

මෙහෙමයි මගේ පෞද්ගලික මතය මේ රටේ දියුණුවට අවශ්‍ය මොකක්ද කියන එක අපි බලන්න ඕන. මේක ඉතාම අමාරු යුගයක්. ඒ නිසා ස්ථිරභාවයකට එන්න ටිකක් කල් ඕන. කොහොම වුණත් මැතිවරණ කල්දානවා කියන්නේ විපක්ෂය විතරයි. අපි නෙමෙයි. ආණ්ඩුවේ මතයක් එහෙම කියලා නෑනේ. අපි මැතිවරණයකට සුදානම් වෙනවා. ආණ්ඩු පක්ෂයේ වැඩ.

අපි දන්නවා පොහොට්ටුවේ නායකත්වය රාජපක්ෂ පවුලට තියෙන්නේ. මම අහන්නේ පොහොට්ටුවේ නායකත්වයද වෙනස් වෙන්න ඕන පක්ෂයේ විදිහද?

අපි දැනගන්න ඕන රටේ ඇතිවෙලා තියෙන තත්ත්වය. ඒ මොහොතේ අපි පාඩම් ඉගෙන ගෙන, පාඩම් දැනගෙන ඕනෑම දේශපාලන පක්ෂයක් කාලානුරෑපීව වෙනස් වෙන්න ඕන. අපි ඉන්නේ අලුත් දේශපාලන යුගයක. අපි ඒක තේරුම් ගන්න ඕන.

I ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00