2022 නොවැම්බර් 27 වන ඉරිදා

මැතිසබයේ ගිනි පුපුරු

 2022 නොවැම්බර් 27 වන ඉරිදා, පෙ.ව. 06:00 179

මේ රටේ රාජ්‍ය නායක සහ මුදල් අමාත්‍ය ධුර දෙකම එක් අයකු විසින් දැරීම සිදුවුණේ විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ වීමෙන් පසුවය. එහෙත් ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. මුදල් අමාත්‍ය ධුරය දැරුවේ නැත. නිදහස ලැබීමෙන් පසු ලංකා ආණ්ඩුවේ ප්‍රථම මුදල් අමාත්‍යවරයා වුණත් ජේ.ආර්. විධායක ජනාධිපති වී රටේ නායකයා වූ විට මුදල් ඇමැතිකම තමන් දැරීම නුසුදුසු බව කියා තිබිණි. රටේ මුදල් පාලනය පාර්ලිමේන්තුව සතු විෂයක් බැවින් එයට තමන් ඇඟිලි ගැසීම නොකළ යුත්තක් බවට අදහසක් ඔහු තුළ තිබුණා විය හැක. ඔහු මුදල් ඇමැති වශයෙන් තෝරාගත්තේ ශ්‍රීලනිපය අතහැර යූ.එන්.පියට එක්වී සිටි රොහී ද මැල්ය.

මේ තත්ත්වය වෙනස් කළේ චන්ද්‍රිකාය. පිටරට අධ්‍යාපනය ලබා මේ රටේ දේශපාලනයට එකවරම උඩින් පාත් වූ චන්ද්‍රිකා ගත් ඇතැම් දේශපාලන තීන්දු රුඩිකල් ස්වභාවයක් ගත්තත් මුදල් අමාත්‍ය ධුරය තමන් සන්තකයේ තබා ගත්තාය. මේ වැඩේ නොකළ යුතු බවට ඒ කාලයේ ලොකු හඬක් නැගුණත් චන්ද්‍රිකා තම තීරණය වෙනස් කළේ නැත. හැබැයි අයවැය ඉදිරිපත් කිරීමට චන්ද්‍රිකා පාර්ලිමේන්තු ආවේ නැත. ඒ වෙනුවට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ධුරය කැබිනට් අමාත්‍යවරයකු වූ ජී.එල්. පීරිස්ට පවරා අයවැය ඉදිරිපත් කිරීම ඔහුට බාර දුන්නේය. අයවැය ඉදිරිපත් කිරීම ඕනෑම කැබිනට් අමාත්‍යවරයකුට සිදු කළ හැකි වුණත් මුදල් අමාත්‍යවරයා සිටියදී වෙනත් අමාත්‍යවරයකු අයවැය ඉදිරිපත් කිරීම සිදුවුණේ චන්ද්‍රිකාගේ කාලයේය. ඒ කාලයේ මුදල් ඇමැතිට එල්ල වන අයවැය විවාදයේ ගල් මුල් සියල්ලට උත්තර බැඳීමට ශක්තිමත් තරුණ අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් පිරිසක් සිටීම නිසා චන්ද්‍රිකාගේ ආණ්ඩුවට අයවැය ජය ගැනීම ප්‍රශ්නයක් වුණේ නැත.

චන්ද්‍රිකාගෙන් පසුව ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ ද මුදල් අමාත්‍ය ධුරය තමන් යටතේම තබා ගත්තේය. හැබැයි මහින්ද අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට ආවේය. ඒ ආවේ නිකම්ම නොව යූ.එන්.පී. ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ''සැලුන් දොරෙන්'' ආණ්ඩුව ඇතුළට ගනිමිනි. ඒ කාලේ මුලින්ම එහෙම පක්ෂ මාරු කළ අයෙක් වූයේ රෝහිත බෝගොල්ලාගම ය. චන්ද්‍රිකාගේ කාලෙත් එහෙම සිද්ධීන් තිබිණි. ආචාර්ය සරත් අමුණුගම එසේ යූ.එන්.පිය අතහැර චන්ද්‍රිකාට එකතු වූ දේශපාලනඥයෙක් විය. පසුව අයවැය ඉදිරිපත් කිරීමේ අවස්ථාවද සරත් අමුණුගමට හිමිවිය.

මහින්ද අයවැයත් එක්ක විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක්ද තමන්ගේ මල්ලට දමාගෙන දිගටම රට කරගෙන ගියේය. මහින්ද අයවැය ඉදිරිපත් කරද්දී කොතරම් සූක්ෂමව කටයුතු කළාද කිවහොත් වරක් තම කතාව අතරතුරදී ප්‍රකාශ කළේ ''මම මෙහෙම ඉස්සරහ බලාගෙන හිටියට මට හොඳට පිටිපස්ස පේනවා.'' කියාය. මහින්ද පාර්ලිමේන්තුව තුළ තම දේශපාලනය හසුරුවා ගත්තේ එහෙම කතා කියමිනි. ඔහු තම විරුද්ධවාදීන්ට තර්ජනය කිරීමට අයවැය කතාව යොදා ගත්තේ නැත. හැබැයි යුද්ධය දිනා ගැනීමෙන් පසුවත් මහින්ද මුදල් අමාත්‍ය ධුරය අතහැරියේද නැත.

මහින්දගෙන් පස්සේ බලයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සහ ආණ්ඩුවේ නායකයා වුවත් පාර්ලිමේන්තු පාලනය තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතේය. මේ නිසා මුදල් අමාත්‍ය ධුරය රවි කරුණානායකට ලැබුණි. මහ බැංකුවේ සිද්ධිය හේතුවෙන් රවිට මුදල් අමාත්‍ය ධුරයෙන් අස්වීමට සිදු වුණත් මෛත්‍රීපාල ජනාධිපති හෝ රනිල් අග්‍රාමාත්‍යවරයා හෝ මුදල් ඇමැතිකම ගත්තේ නැත.

ඉන්පසු ජනාධිපති වූ ගෝඨාභය රාජපක්ෂ යටතේ මුදල් අමාත්‍ය ධුරය දැරුවේ අගමැති මහින්ද ය. පසුව එම ධුරය බැසිල්ට ලබා දෙන ලෙසට එල්ල වූ දැඩි පීඩනය හමුවේ මහින්ද අකැමැත්තෙන් වුවද බැසිල්ට මුදල් අමාත්‍ය ධුරය පිරිනැමුවේය. ලංකාවේ ඉතිහාසයේ ප්‍රථම වරට ආණ්ඩුවක ප්‍රධානම තනතුරු තුනම අයියා මලෝ විසින් උසුලනු ලැබූ පළමු අවස්ථාව එය විය. එය ලෝක දේශපාලනයේද සටහන් තැබූ වාර්තාවක් විය.

එහෙත් බැසිල්ගේ මුදල් ඇමැතිකම රුඳුණේ මාස කිහිපයක් පමණි. රටේ ආර්ථිකයේ කඩා වැටීමත් සමඟ බැසිල්ට තනතුර අත්හැරීමට සිදුවිය. රටේ ප්‍රධාන තනතුරු තුනක් වන ජනාධිපති, අගමැති සහ මුදල් ඇමැති තනතුරු අයියා මලෝ අතින් එකවර ගිලිහී ගියේය. ඒ සමඟ ලංකාවේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියැවුණි.

ඒ ඓතිහාසික වෙනසින් පසුව රටේ ජනාධිපති වූ රනිල් වික්‍රමසිංහ ද මුදල් අමාත්‍ය ධුරය තමන් අතේ තබාගැනීම කිසියම් වෙනසක් විය. ඒ එක්කම ඔහු අයවැය ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු ආවේය. ඊට පසුවත් විවාදය පැවැත්වෙන අතරතුර දින කිහිපයකදීම ජනාධිපති රනිල් පාර්ලිමේන්තුවට පැමිණ ඉතා සැරට අදහස් දැක්වූ බව පෙනෙන්නට තිබිණි. විධායක ජනාධිපතිවරුන් අතරින් පාර්ලිමේන්තු රැස්වීම්වලට කෙටි කාලයක් තුළදී වැඩිම වාර ගණනාවක් සහභාගි වූයේ රනිල් වික්‍රමසිංහ මහතා බවට විවාදයක් නැත. ඔහු වෙනත් ජනාධිපතිවරුන් මෙන් නොව පාර්ලිමේන්තුව තම අදහස් දැක්වීමට නිතරම නොපැකිලිව යොදා ගනිමින් සිටී. එය කැපීපෙනෙන වෙනසකි. එසේම ජනාධිපති වශයෙන් දැඩිව අදහස් ප්‍රකාශ කරන බවද පෙනී යයි. එය වෙනදා අසන දකින අදහස් දැක්වීම්වලට වඩා ලොකු වෙනසකි.

විධායක ජනාධිපතිවරුන් වශයෙන් සිටිමින් මුදල් අමාත්‍ය ධුර දැරෑ දේශපාලනඥයන් අතුරින් රනිල් මෙහෙම සැරට අදහස් දක්වන්නේ ඇයි? ඒ අදහස්වලට විපක්ෂ නායක සජිත් ද ඒ ආකාරයටම සැරට උත්තර දෙන්නේ ඇයි? රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ බරපතළකම ඊට හේතුවද?

පේන්න නම් තිබෙන්නේ ඒකට හේතුව අරගලය බවය. අරගලයෙන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික, පාරම්පරික නිවෙසද එහි කෞතුක වස්තූන් සහ වටිනා ග්‍රන්ථ රාශියක් සමඟ ගිනි තබා විනාශ කෙරුණි. ඒ සමඟ පොහොට්ටුවේ මැති ඇමැතින් ගණනාවකගේ නිවාස හා දේපළ ද විනාශ කරනු ලැබීය. එක් මන්ත්‍රීවරයෙක් ඇතුළු කිහිප දෙනකුට ජීවිතයද අහිමි විය. ඒ ගිනි ජාලාවේ දුම් රොටු අයවැය විවාදයේදීද එළියට ආවේය.

අයවැය කාරක සභා විවාදයේ වැය ශීර්ෂ 25ක විවාදය පාර්ලිමේන්තුවේ පැවැත්වෙමින් තිබියදී සබා ගැබට ආ ජනාධිපති රනිල් කිව්වේ ආණ්ඩුව වෙනස් කරන්න තවත් අරගලයක් කිරීමට ඉඩ නොදෙන බවය. ''අරගල කරන්න ආවොත් හමුදාව සහ හදිසි නීතිය යොදවනවා. ඕන කෙනකුට රුස්වීම් තබා රනිල් ඒකාධිපතියකු කියා කෑගසන්න නිදහස තිබෙනවා. බලපත්‍ර නැතුව පාරේ පෙළපාලි යනවා නම් ඒක නවත්වන්න පොලීසියට කියා තිබෙනවා. මේවා පිටිපස්සේ කුමාර් ගුණරත්නම් සහ පෙරටුගාමී සංවිධානය ඉන්නවා. බැසිල් රාජපක්ෂ පිටවී යා යුතු යැයි බොහෝ දෙනා කිව්ව කතාව පිළිගනිමු. එහෙම නම් පෙරටුගාමී කුමාර් ගුණරත්නම් ඔස්ට්‍රේලියාවේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසියෙක්. මැයි 09 වැනිදා සිදුවුණේ මොකක්ද? පන්සල් කීයකට තර්ජනය කළාද? ගිනි තියනවා කියලා. මගේ නිවසට ගිනි තිබ්බා. පාර්ලිමේන්තුව අල්ලන්න ආවා. ඇතැම් මාධ්‍යයත් පසුපස හිටියා. ගිනි තියන්න කිව්වේ මොන මාධ්‍ය ද බලමු. සියල්ල හොයන්න කොමිෂන් සභාවක් පත් කළ යුතුයි.''

ඊළඟට ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය විවාදයට පැමිණි ජනාධිපතිවරයා යළිත් වරක් සැර ප්‍රකාශයක් කළේය. මැයි 12 වැනිදා විපක්ෂ නායක සජිත් ජනාධිපති ගෝඨාභයට යැවූ ලියුමක් ජනාධිපතිවරයා කියෙව්වේය. ''සිවුරු ඇඳගත් බට්ටො දාලා තර්ජනය කරන විට අපි නිකම් ඉන්නෙ නෑ. ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව හමුදාවට යුතුකමක් තිබෙනවා එය නවත්වන්න.'' යැයි කියූ ජනාධිපතිවරයා තම දීර්ඝ අදහස් දැක්වීමේදී මුදලිගේ ගේ නමද විද්‍යුත් නාලිකාවක නමද ඇතුළු තවත් නම් ගණනාවක් සඳහන් කර තිබුණි.

මේ කතාවලට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආරක්ෂක, මහජන ආරක්ෂක හා තාක්ෂණ අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය අවස්ථාවේ තද පිළිතුරක් දුන්නේය. තමන්ගේ ප්‍රශ්නවලට පාරට බැසීමට මේ රටේ ජනතාව කාගෙන්වත් අවසර ගත යුතු නැති බවත් ''පොර ටෝක්'' දී ජනතාවගේ අයිතිවාසිකම් විනාශ කිරීමට කිසිම ජගතකුට අයිතියක් නැති බවත් ඔහුගේ කතාවේ සඳහන් විය. ''රටේ පොදුජන අරගලය සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදීයි. ජනාධිපතිවරයා අරගලය ගැන පොට පටලවාගෙන සිටිනවා. මා සැබෑ අරගලකරුවන් සමඟ සිටගෙන ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට බහිනවා. මැතිවරණය කලට වේලාවට පවත්වා විකෘති ජනමතය ප්‍රකෘති කිරීමට කටයුතු කළ යුතුයි. ජනාධිපතිතුමා මේ රටේ අරගලයට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. මොකද එතුමා ඔතැනට ආවේ අරගලය නිසයි. සාමකාමී පොදුජන අරගලය හිංසනය, ප්‍රචණ්ඩත්වයට යොමු වුණේ මයිනා ගෝ ගමට සහ ගෝඨා ගෝ ගමට ප්‍රහාර එල්ල කරපු නිසායි.

ගෙවල් ගිනි තියපු එක වැරදියි. ඒ අයට දැඩි දඬුවම් ලබා දිය යුතුයි. වෙල්ගම ඇමැතිතුමාට පහර ගැහුවා. අතුකෝරළ මන්ත්‍රීතුමා මැරුවා. ඒක අරගලයක් නොවෙයි. ඒකට කියන්නේ ත්‍රස්තවාදයයි. මේ රටේ පොදුජන අරගලය සාධාරණයි. ප්‍රජාතන්ත්‍රවාදීයි. හිංසනයෙන් තොර ඒ අරගලයට ම්ලේච්ඡත්වය ගෙනාවේ අරලියගහ මන්දිරයෙන්. මම මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයෙක් කියලා ජනාධිපති කියලා තියෙනවා. මම එහෙම අනුගාමිකයෙක් නම් මම අද ජනාධිපති. මම වැඳ වැටිලා ජනාධිපතිකම් ඉල්ලුවේ නෑ. ජනාධිපතිතුමා නම් එතුමාගේ අනුගාමිකයෙක්. සක්විති රජකම දෙනවා කිව්වත් අපි ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැහැ.''

මේ ''සැර කතා'' සහ ''පොර ටෝක්'' පිළිතුරු රටේ දැන් තිබෙන සමාජ - ආර්ථික අර්බුදයේ ගැඹුර හොඳින්ම පෙන්වා දෙන බව පැහැදිලිය. රටේ ආර්ථිකය යම් පමණකට හෝ හරියන තුරු දැඩි පාලනයක් ගෙන යාමට ජනාධිපතිවරයා සූදානම් බව ඔහුගේ කතාවේ සාරාංශයයි. අරගලය නමින් කිසිවක් කිරීමට තම පාලනය යටතේ කිසිම ඉඩක් නැති බවද එහි අර්ථයයි.

විපක්ෂ නායකවරයාගේ කතාවෙන් කියැවෙන්නේ සැබෑ අරගලයේ අරමුණු සමඟ තමන්ගේ දේශපාලනය ඉදිරියට ගෙන යන බවය. ජනතාවගේ සැබෑ ප්‍රශ්න සමඟ තමන් ද පාරට බැසීමට සූදානම් බවය. ඒ එක්කම මැතිවරණයක් වෙනුවෙන් සටන් කරන බවද ඔහු ඉඟි කරයි.

ජනාධිපතිවරයා සමඟ එක්වී රට ගොඩගැනීමට විපක්ෂයට කොතරම් ආරාධනා කළත් එයින් පලක් නැති බව මේ කතාවලින් පැහැදිලි වෙයි. රටේ සිදුවූ ආර්ථික කඩා වැටීම හරහා අරගලය නිර්මාණය වූ බවත් එම කඩා වැටීමේ වගඋත්තරකරුවන්ට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා තුරු විපක්ෂයේ සහාය ලබාගැනීම අසීරු බවත් ජනාධිපතිවරයා පිළිගන්නා බවක්ද පෙනෙන්නට නැත. රටේ පොදු මහජනතාව ගිනි කන්දක් උඩ අවිනිශ්චිත අනාගතයක් දෙස බලා සිටින බව පමණක් හොඳටම පැහැදිලිය.

■  ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00