2022 නොවැම්බර් 20 වන ඉරිදා

කැබිනට් එකට යනවට වඩා හොඳයි ගෙදර යන එක

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 74

 පාර්ලිමේන්තු මන්ත්‍රී - අනුර ප්‍රියදර්ශන යාපා

  • අපේ රටේ වරායවල් තවදුරටත් රජය යටතේ තියාගන්නේ ඇයි?
  • ජනතාව එළියට බැස්සේ මේ දේශපාලනයට එරෙහිවයි: ඒ සංස්කෘතිය තාම වෙනස්වෙලා නෑ
  • රට දැන් තියෙන්නේ ඉතාම බියකරු තැනක
  • අවිනිශ්චිත බවට තල්ලු වෙනවා නම් මැතිවරණයකට යා යුතු වෙනවා
  • අපි පක්ෂය මාරු කළෙත් නෑ: සජබට ගියෙත් නෑ
  • පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි
  • ආණ්ඩුව කල් මරණකොට පෙරහර ගිහින් ඉවරයි

ඔබ පසුගිය ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේදි ස්වාධීන වුණා. ඊට පස්සෙ කණ්ඩායමක් එක්ක පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළා. අපි දැක්කා පසුගිය සතියේ ඔබ සමගි ජන බලවේගයට එකතු වුණා. ඇත්තටම මොකක්ද ඒ වුණේ?

නෑ නෑ ඒක වැරදියි. පක්ෂයක් මාරු කළේවත් සජබයට ගියෙවත් නෑ. ඇත්තටම වුණේ පාර්ලිමේන්තුවේ වැඩ කරනකොට විරුද්ධ පක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම එක්ක එකමුතුව වැඩ කරන්න අපි තීන්දුවක් අරගෙන තියෙනවා. අන්න ඒ කාරණය තමයි ඔය පසුගිය දවස් ටිකේ සාකච්ඡාවට බඳුන් වුණේ. 

ඒ කියන්නෙ ඔබලගේ යම් ආකාරයක පක්ෂග්‍රාහී බවක් සිදුවෙන්නෙ නෑ?

නෑ අපි තාමත් ස්වාධීනව ඉන්නෙ. ඔය පාර්ලිමේන්තුවේදි වැඩ කරන වෙලාවට එකමුතුව වැඩ කරන්න විතරයි අපි තීන්දුවක් අරගෙන තියෙන්නෙ. 

ඇත්තටම ඇයි ඔබ විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම තෝරාගත්තෙ?

විපක්ෂයේ අසුන් ගත්ත දවසේ ඉඳන්ම අපි ඒ අය එක්ක යහපත් සම්බන්ධතාවයක් තිබුණා. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ කටයුතුවලදි අපිට ඔවුන් සහායක් වුණා. ඔය වෙලාව ලබාගැනීම් වගේ අවස්ථාවලදි. ඒ නිසයි ඒ සම්බන්ධතාවය වැදගත් කියලා අපි පිළිගන්නෙ. 

ඒ කියන්නෙ ඔබගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා පක්ෂයක් මාරු කරන්න අදහසක් නෑ?

නෑ. එහෙම කිසිම වෙනසක් සිදු කරන්න බලාපොරොත්තුවක් නෑ. 

අපි දන්නවා ඔබ ගෝඨාභය රාජපක්ෂ මහත්මයගෙන් වෙන්වෙලා ස්වාධීන වුණා කියලා. නමුත් දැන් ඔහු නෑ. ඉන්නෙ රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඔබට බැරිද ජනාධිපතිවරයාත් එක්ක එකතුවෙලා වැඩ කරන්න?

ඇත්තටම ඒක පහසු ක්‍රියාවක්. රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් තනතුරු තානාන්තර ගන්න එක මට ලොකු ප්‍රශ්නයක් නෙමේ. නමුත් මම කැමැති නැහැ තවදුරටත් ආණ්ඩුවට සම්බන්ධවෙලා වැඩ කරන්න. හේතුව මම හිතනවා තවමත් ආණ්ඩුවේ පාර්ශ්ව රටේ අනාගතය ගැන සුබවාදීව බලන තැනක නෑ. ඒ වගේම මෙරට තියෙන සාම්ප්‍රදායික දේශපාලනය තමයි තවමත් තියෙන්නෙ. අපි අවුරුදු ගාණක් නායකයෝ පසුපස ගියා. ඒක දැන් වෙනස් වෙන්න ඕනෙ. දැන් නායකයන්ට වඩා ප්‍රතිපත්තිමය කාරණාවලට එකඟව කටයුතු කරන්න වෙනවා. මට තනතුරු ගැන ලොකු හැඟීමක් නෑ. එහෙම තනතුරක් දරන්න පුළුවන් මානසිකත්වයක් හැදෙන්නෙ අපි හෘද සාක්ෂියට අනුව වැඩ කළොත් විතරයි. මම හිතනවා ඒ තත්ත්වය තවම උදාවෙලා නෑ කියලා. 

ඔබට ආරාධනා ලැබිලා තියෙනවද ආණ්ඩුවට එකතු වෙන්න කියලා?

මට කිහිප අවස්ථාවකම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පැත්තෙන් ආරාධනා ආවා. ඒ හැම අවස්ථාවක්ම මම ඉතාම ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළා. මට ඒකෙන් එතුමාට අගෞරවයක් සිද්ධ කරන්න බලාපොරොත්තුවක් නෑ. එතුමගේ නායකත්වය යටතේ රට වෙනුවෙන් කරන දේවල්වලට ඕනෑම අවස්ථාවක අපි සහයෝගය දෙනවා. හැබැයි පොදුවේ බලද්දි තාම අපේ දේශපාලන සංස්කෘතිය වෙනස්වෙලා නෑ. 

ඉතින් රට වෙනුවෙන් මේ වෙලාවේ එකතුවෙලා වැඩ කරන්න පුළුවන්නෙ?

රටේ ජනතාව එළියට බැස්සේ මේ දේශපාලන සංස්කෘතියට විරුද්ධව. ඉතින් ඒක වෙනස්වෙලා නැත්නම් මට කිසිම ආසාවක් නෑ ඒවා දරන්න. 

රට හදන්න ගොඩක් අය ඇමැතිකම් ඉල්ලනවා. ඇත්තටම රට හදන්න ඇමැතිකමක් ඕනෙද?

රට හදන්න අවශ්‍ය ප්‍රතිපත්තිමය කාරණා හදන්න විධායකය සමඟ සමීප විය යුතුයි. ඒක තමයි හොඳම සරලම ක්‍රමය. නැත්නම් කෑගහලත් ඉන්න පුළුවන්. විශේෂයෙන් විධායකය සහ පාලක පන්තිය අතර විශාල වෙනස්කම් රුසක් මේ වෙනකොට සිද්ධවෙලා තියෙනවා. යම් යම් අවස්ථාවල අපි ආණ්ඩුවේ වෙනස්කම් සඳහා සහ රටේ වෙනස්කම් සඳහා විවිධාකාරයෙන් වක්‍රව සහයෝගය ලබා දෙනවා. එහෙම නැතිව ඍජුව ඊට සහාය වෙන්න අපේ අදහසක් නෑ. 

මේ වෙනකොට රටේ කැබිනට් මණ්ඩලයක් ක්‍රියාත්මක වෙනවා. අන්න ඒ කැබිනට් මණ්ඩලය ගැන ඔබේ තීරණය මොන වගේද?

මට නම් පේන්නෙ ඒ අයට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමේ වුවමනාවක් නෑ. ඒ වගේම ඒ අයට මේ කාරණය සහමුලින්ම වැටහුණාද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ අය තාම ඉන්නෙ පාරම්පරික සාම්ප්‍රදායික ක්‍රමවේදයක. අපිට එහෙම වැඩ කරන්න බෑ.

මේ වෙද්දි ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා හැටියට එළඹෙන වසර සඳහා අයවැය ඉදිරිපත් කරලා තියෙන්නෙ. ඔබ ඒ අයවැය දකින්නෙ මොන ආකාරයටද?

ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වගේ අයවැයක් ඉදිරිපත් කරන්නෙ. අයවැයක් ඉදිරිපත් කරන්න තරම්වත් රටේ ආදායමක් නැතිවෙලා. වියදම් කරන්න ඕන මුදල අපිට තාම හොයාගන්න බැරිවෙලා. බදු වැඩි කරලා. බැංකු පොලිය වැඩි කරලා. අපි ඉන්නෙ ඉතාම බියකරු තැනක. මෙතන ජනාධිපතිතුමා කල්පනා කරලා තියෙනවා සංකල්ප හැටියට කාරණා කිහිපයක් ඉදිරිපත් කරන්න. මේක සංකල්ප පත්‍රිකාවක්. ඇතැම් කාරණා ඉෂ්ඨ කරන්න අවුරුදු ගාණක් යනවා. අපේ ජාතික ආදායම වැඩි කිරීම සඳහා අපනයන ආදායම වැඩි කරන තුරු, නාස්තිය දූෂණය අවසන් කරන තුරු මේ ප්‍රශ්නය විසඳගන්න අමාරුයි. මේ සඳහා සියලු දෙනාම එක්විය යුතුයි. ඒ වගේම ජනාධිපතිතුමා ඒ වගකීම ගත යුතුයි. ඒකත් කරන්න බැරි වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි දැන් ඉන්නෙ මංසන්ධියක. දැන් තෝරාගන්න ඕනෙ යා යුතු නිවැරදි මාවත. මේ රට දියුණු කිරීම සඳහා පොදු වැඩපිළිවෙළක් අපි හදාගන්න ඕනෙ. ඒ වෙනුවෙන් අපි කිසිම බාධාවක් කරන්නෙ නෑ. 

ගොඩක් අය කියනවා මේ තත්ත්වයෙන් මිදෙන්න නම් ජනතාව පිළිගත යුතු ආණ්ඩුවක් පත් කරගත යුතුයි කියලා. ඔබලා ඒකට ලෑස්තිද?

මේ තත්ත්වය තල්ලු වෙන්නෙ අවිනිශ්චිතතාවය පැත්තට නම් අනිවාර් යෙන් සිද්ධ වෙනවා මැතිවරණයකට යන්න. හැබැයි මැතිවරණයට ගිහිල්ලා බලාපොරොත්තු නොවුණු දේක ප්‍රතිඵලයක් ලැබුණොත් ඒ විපාකයත් ජනතාවට දරන්න වෙනවා. කොහොම වුණත් මේ තත්ත්වයෙන් ගොඩ එන්න නම්, යම් ස්ථාවරයකට එන්න නම් සියලු දෙනා එක ස්ථාවරයකට ගෙන එන්න ජනාධිපතිවරයාට පුළුවන් වෙන්න ඕනෙ. දැන් හැමෝම ලෑස්තියි එකමුතුවෙන් වැඩ කරන්න. ඒකට ජනාධිපතිතුමා මූලිකත්වය අරන් කටයුතු කරන්න ඕනෙ. අපි දන්නවනෙ පසුගිය ටිකේ ජනතාව විරෝධතා දක්වලා කියපු දේවල්. ආර්ථිකමය වශයෙන් තීන්දුවක් ගන්න ඒ සඳහා ප්‍රතිපත්තිමය කාරණයක් අවශ්‍යයි. මට හිතෙන්නෙ තාම ඒක පරක්කුයි. තාම ඒ ගැන සංකල්ප පත්‍රිකාවක් විතරයි ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඒක මට හිතෙන්නෙ බරපතළ කාරණයක්. 

ඔබ හිතන්නෙ මේ වෙලාවේ ආණ්ඩුව ඉක්මනින්ම ගත යුතු ක්‍රියාමාර්ගය මොකක්ද?

ඉක්මනින්ම ගත යුතු ක්‍රියාමාර්ගය තමයි පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕනෙ. දෙවැනි කාරණය කඩා වැටුණු කෘෂිකර්මාන්තයට සහාය දෙන්න ඕනෙ. තුන්වෙනුව අපේ මේ සංවර්ධන වැඩ කටයුතු නවත්තලා දාලා දුගී දුප්පත් ජනතාව බලාගන්න ක්‍රමයක් හදාගන්න ඕනෙ. ජනතාවට කොහොමත් මේ බඩු මිල දරාගන්න බෑ. මොකද ඉස්සරහට එන බදු ක්‍රමයත් එක්ක ජනතාවට ඒක දරාගන්න බෑ. මේ අවදානම ගැනවත් අඩුම තරමේ කියන්නෙ නෑ. කියන්නෙ හෙට හොඳ වෙනවා අනිද්දා හොඳ වෙනවා කියලා. ඒක ඇත්ත නෙමෙයිනෙ. තාම අපි පාඩු ලබන ආයතන තියාගෙන මේ කතා ටික කියන්නෙ. මේ වෙද්දි ඇතැම් තරුණ පිරිස්වලට රුකියා පවා නැතිවෙලා තියෙනවා. ඒ නිසා අපි මේ ගැන අඩුම තරමේ සාකච්ඡාවක්වත් කරන්න ඕනෙ. 

මේ ආර්ථික අවුලෙන් ගොඩ එන්න ඔබ හිතන්නෙ මොන වගේ ආර්ථික ප්‍රතිපත්තියකට යා යුතුද?

ඇත්තටම අපේ වෙළෙඳපොළ විවෘත කළ යුතුයි. ආයෝජන සඳහා වගේම ආයෝජන ඉඩකඩ වැඩි කළ යුතුයි. වැඩේ දිගු කාලීන වුණත් ඉක්මනින් විදේශ විනිමය ගෙන්වාගන්න පුළුවන්. ඇත්තටම අපේ රටේ වරායවල් පවා තවදුරටත් රජයේ තබාගැනීමට කිසිම හේතුවක් මට පේන්නෙ නෑ. මේ විවෘත කිරීමේ වැඩේට ආණ්ඩුව තවදුරටත් කල් මරණකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. අපිට තියෙන ආර්ථික උත්තරය ඕක තමයි.

පාර්ලිමේන්තුවේ 225ට මේක දැනෙන්නෙම නැද්ද?

නෑ. 225ට දැනෙනවා. ඒ වගේම මෙතන ඉන්නවා නිලධාරී පැළැන්තියක්. ඒ අයට අත්දැකීම් තියෙනවා. අඩුම තරමේ ඒ අයටවත් මේකට විසඳුමක් ඉදිරිපත් කරන්න පුළුවන්නෙ. නමුත් ඒ අයත් රජය ඉදිරිපත් කරනකම් බලාගෙන ඉන්නවා. මේ හැමෝම හොර ගල් අහුලනවා. මේ තත්ත්වය මෙහෙම තියාගෙන කැබිනට් මණ්ඩලයකට එකතු වෙනවට වඩා හොඳයි ගෙදර යන එක. 

අපි දන්නවා ලෝකේ ආර්ථික ඝාතකයෝ හැටියට පුද්ගලයෝ හඳුන්වනවා. අපේ රටේ ආර්ථිකය ඝාතනය කරන්න ඇතැම් අය හේතු වුණා. ඒ වුණාට ඒ අයට කිසිම දඬුවමක් නෑනෙ?

ලංකාවේ ඉතින් නොකෙරෙන්නෙත් ඒකනෙ. ඕන කෙනෙක්ට වැරුද්දක් කරන්න පුළුවන්. නමුත් ඒ ගැන කිසිදු සොයා බැලිල්ලක් නෑ. මේක සුවිශේෂී තත්ත්වයක්. මේකට වගකිව යුතු කිහිප දෙනෙක් ඉන්නවා. ඒ නිසා අපි මේ ගැන හොයලා බලන්න ඕනෙ. මොකද එහෙම හොයලා බලන්නෙ නැවත මේ වගේ දෙයක් සිදු නොවිය යුතු නිසා. මොකද හැම එකටම දේශපාලනඥයෝ සම්බන්ධ නෑ. සමහර දේවල් නිලධාරින් හරහා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේවා ගැන හොයලා බලන්න ඕනෙ. අපිට තවදුරටත් කල් මරන්න බෑ. 

I ගයාන් ගාල්ලගේ

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00