2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා

ප්‍රසන්න සහ 22

 2022 ඔක්තෝබර් 29 වන සෙනසුරාදා, ප.ව. 04:00 110

''මිනුවන්ගොඩ ආසනයේ මගේ බල මණ්ඩලය තීන්දු කරල තියෙනවා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ සමඟ ඉදිරියට යා යුතුයි කියලා. අපි ජනාධිපතිතුමා සමඟ ආණ්ඩුවේ වැඩවලට සහාය දක්වනවා කියන්නේ අලියා පිටේ නැගීමක් නොවෙයි. පොහොට්ටුව අතහැර යාමකුත් නොවෙයි. පොහොට්ටුවත් රැකගෙන ඉදිරියට යාමක්.''

මේ කතාව පහුගිය දවසක කිව්වේ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාය. ඔහු කැබිනට් අමාත්‍යවරයකු පමණක් නොව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ද වෙයි. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාම යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සහයෝගයෙන් වැඩ කළ යුතු බව කියනකොට ඒකෙන් කියැවෙන්නේ ලොකු කතාවක් බව පැහැදිලිය. ඒ කතාව වඩාත් පැහැදිලි කර ගැනීමට ප්‍රසන්නගේ දේශපාලන පසුබිමත් එක්ක එය සලකා බැලිය යුතුය.

ප්‍රසන්න ආරම්භයේ පටන්ම පට්ට ශ්‍රී ලංකා කාරයෙකි. බණ්ඩාරනායක මැතිනිය එක්ක දේශපාලනය කරපු ගම්පහ රණතුංගලාගේ ඊළඟ පරපුරේ දැනට සිටින ප්‍රබලයාය. මේ නිසාම දේශපාලන වේදිකාවේදී යූ.එන්.පි.යට ගැහැව්වේ කන පැලෙන්නය. ^77 ඡන්දයෙන් පසුව ඒ පළාතේ යූ.එන්.පී. කාරයන් එකතුවෙලා තමන්ගේ මහ ගෙදරට ගිනි තැබූ බව ප්‍රසන්නට අදටත් අමතක වී තිබිය නොහැක. මේ නිසා හැම දේශපාලන සටනකදීම ඔහු යූ.එන්.පී. පතුරු ගැසුවේය. රනිල් වික්‍රමසිංහ ද ඔහුගේ නිර්දය විවේචනයට ලක්වූ ප්‍රධාන දේශපාලන චරිතයක් විය.

ප්‍රසන්න චන්ද්‍රිකා එක්කත් දේශපාලන වේදිකාවට ගොඩවිය. තීරණාත්මක පළාත් සභා ඡන්දයක බස්නාහිර ප්‍රධාන අමාත්‍ය අපේක්ෂක සටනේදී චන්ද්‍රිකාගේ තේරීම වූයේ ප්‍රසන්න රණතුංගය. ඔහු අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවක් අරගෙන ජය ගනිමින් චන්ද්‍රිකාගේ තේරීම හරි බව රටටම පෙන්නුවේය. ඊට පස්සේ පාර්ලිමේන්තුවට තේරී කැබිනට් අමාත්‍ය ධුරයක් දක්වා ප්‍රසන්න ඉදිරියටම ආවේ මහින්ද රාජපක්ෂ එක්ක දේශපාලන වේදිකාවේ එකට ඉඳිමිනි. ඒ හැමදාම ඔහු විශාල වැඩි ඡන්දවලින් පත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහුට ඡන්දය දුන්නේ ශ්‍රී ලංකා කාරයන් සහ පාවෙන ඡන්ද නියෝජනය කළ තවත් පිරිසකි. යූ.එන්.පී. කාරයෙක් නම් වැරදිලාවත් ප්‍රසන්නට ඡන්දය දුන්නේ නැත.

ඊළඟට මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප මහලේකම් වශයෙන් සිටිමින් ලංකාවේ ලොකුම දේශපාලන කරණම ගසා යූ.එන්.පී. ප්‍රධාන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ විට ශ්‍රීලනිපයේ සිටි සමහරු මෛත්‍රීපාල සමඟ එක්වූහ. ඡන්දය දිනාගෙන ජනාධිපති ධුරයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන දේශපාලන වශයෙන් ශ්‍රීලනිපයට ද නායකත්වය දී ඉදිරියට යන විට ප්‍රසන්න රණතුංග සිටියේ ''මහින්ද සුළඟට'' පණ පෙවූ පිරිස අතරේය. නුගේගොඩ එහි පළමු රැස්වීමට ප්‍රසන්න ආවත් ඔහු ඒ වේදිකාවට ගොඩ නොවී වේදිකාව අසලට වී සිටියේ ගම්පහින් ආ විශාල ආධාරකරුවන් පිරිසක් අතරය. පහසුවෙන් මෛත්‍රීපාල - වික්‍රමසිංහ ආණ්ඩුවට හේත්තු වී කැබිනට් ඇමැති ධුරයක් ලබාගැනීමට අවස්ථාව තිබුණත් ප්‍රසන්න රණතුංග ඒ වෙලාවෙදි තෝරාගත්තේ යූ.එන්.පියට එරෙහිව රාජපක්ෂලාගේ නායකත්වයෙන් බිහිවුණු පොහොට්ටුවය. ඔහු බැසිල් රාජපක්ෂගේ සමීප දේශපාලන සගයකු වශයෙන් නමක් ද දිනා සිටියේය.

එහෙම හිටපු ප්‍රසන්න 2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය දිනවීමේ සටනේ හිටියේ බැසිල්ගේ දකුණු අත වගේය. පොහොට්ටුව සහ ශ්‍රීලනිපය අතර යළි සංවාදයක් ඇතිවෙන විට වැර යොදා මෛත්‍රීපාලට - දයාසිරිට ගහන්න බැසිල් හොඳ හැටි ප්‍රසන්නව පාවිච්චි කළේය. මේ පක්ෂ දෙක අතර ඇතිවෙන්න ගිය දීගයට ''දෑවැද්ද'' හරස්වීමේ කතාව ආවේ මේ පසුබිමේ ප්‍රසන්න රඟදැක්වූ භූමිකාවත් සමඟිනි. ඒ වගේම ප්‍රසන්න රණතුංග යූ.එන්.පී. දේශපාලනයටත් දිගටම පහර දුන්නා මිස ඔවුන් සමඟ කිසිම ඇයි හොඳයියකට ගියේ නැත. ගම්පහ දේශපාලනයේ ප්‍රබල ශ්‍රීලනිප බල කණුවක් වී සිටි ප්‍රසන්න ඊට පස්සේ පොහොට්ටුවේ හොල්ලන්න බැරි බල කණුවක් බවට පත් විය.

මේ ඔක්කොම වෙනස් වුණේ ගෝඨාභයගේ ''ෆේල් වීමත්'' සමඟ රට ඇතුළේ හටගත් දේශපාලන අරගලය, අර්බුදයක් බවට පත්වී ගෝඨාභයට සහ මහින්දට ඉල්ලා අස්වන තැනට කරුණු යෙදී අරගලය ප්‍රචණ්ඩත්වයට පෙරළී රටම ගිනි ගැනීමෙන් පසුවය. ඒ ගින්නට ප්‍රසන්න රණතුංගගේ නිවෙස ද හසුවිය. හැබැයි ඒ අර්බුදය ගිනි ඇවිලවූ ගෝල්ෆේස් අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට ප්‍රසන්නගේ නම ගෑවී තිබුණේ නැත. එහෙත් ඔහු ජීවිත සහ දේපොළ හානි වූ අය වෙනුවෙන් දිගටම කතා කළේය. ඒ වෙනුවෙන් වන්දි ලබාදීමේ සටනට පණ පෙව්වේය. ඒ එක්කම සිදුවුණේ පෙරුළියත් සමඟ ඇතිවූ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ කැබිනට් ඇමැති ධුරයක් ලබා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරයට ද පත් වීමය.

එහෙම වෙනකොට ප්‍රසන්න රණතුංග බැසිල් සමඟ තිබූ දේශපාලන මිත්‍රත්වය පළුදු වෙමින් තිබූ බවට ආරංචි පැතිරුණේය. 22 ව්‍යවස්ථා සංශෝධනය ගොඩදා ගැනීම පොහොට්ටුව සහ රනිල් වික්‍රමසිංහ අතර අප්‍රකාශිත සටනක් බවට පත්වෙන විට ප්‍රසන්න හීන් සීරුවේ මේ සටනින් මගහැර ගියේය. 22 ගේන්නේ බැසිල්ගේ ද්විත්ව පුරවැසිභාවය ඉලක්ක කර ගනිමින් බවට පොහොට්ටුවේ නිල මතය වශයෙන් ප්‍රකාශ වුණත් ප්‍රසන්න ඒ මතය වෙනුවෙන් පෙනී සිටියේ නැත. ඒ මතය පාර්ලිමේන්තුව තුළදී පරාජය වීම වළක්වා ගැනීම සංවිධානය කිරීමේ වගකීම පැවරී තිබුණේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා වන ප්‍රසන්නට වුණත් ඔහු කාටත් නොකියා රහසේම විදෙස්ගත විය. පොහොට්ටුව විරුද්ධ වීම නිසා 22 සංශෝධනය පරදිනු ඇති බවට මතයක් ද පැතිරුණේය. එහෙම තියෙද්දිත් ප්‍රසන්න විදෙස්ගත වූයේ ඔහු වෙනම න්‍යාය පත්‍රයක සිටි බව තහවුරු කරමිනි. එක්කෝ ඔහු මෙසේ මගහැර ගියේ පොහොට්ටුවෙන් කැඩී ගොස් සිටින ප්‍රබල බැසිල් විරෝධී කණ්ඩායම් සහ සජබ එකතුවීම නිසා 22 සංශෝධනය ගොඩ යනු ඇති බවට තිබූ විශ්වාසය නිසාය. නැතහොත් 22 ගොඩදා ගැනීමෙන් පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ස්ථාවරභාවය වඩාත් ශක්තිමත් වනු ඇතැයි යන බලාපොරොත්තුව නිසාය. එසේ වුණොත් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ දේශපාලන ගමනකට මග පාදාගනිමින් ඊළඟ පියවරට යාමටය. ඒ පියවරට යාමට මාර්ගය ද ඔහු විදේශගත වීමට පෙරම සකස් කර තිබුණි. ඒ මිනුවන්ගොඩ ඔහුගේ දේශපාලන බල මණ්ඩලයේ සාමාජිකයන් අතර රහස් ඡන්දයක් පැවැත්වීමය.

ඒ රහස් ඡන්දයෙන් අසා තිබුණේ තවදුරටත් පොහොට්ටු දේශපාලනයේ රැඳී සිටිය යුතුද නැතහොත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ඉදිරියට යා යුතුද යන්නය. ප්‍රසන්න රණතුංග විදෙස්ගතව සිටියදී මේ ඡන්දය පැවැත්වූ අතර එහි ප්‍රතිඵලය ඔහුට දන්වා යවා තිබිණි. මේ සටහනේ මුලින්ම අප සඳහන් කළේ එම ප්‍රතිඵලය පිළිබඳ ප්‍රසන්න රණතුංග දරණ අදහසය.

කවදාවත් යූ.එන්.පියට එකතු නොවූ දේශපාලනය තුළ හැමදාම යූ.එන්.පිය පට්ට ගැසූ ඒ වගේම රාජපක්ෂවරුන්ගේ විශේෂයෙන්ම බැසිල්ගේ දකුණු අත වගේ හිටපු ප්‍රසන්න රණතුංග යූ.එන්.පී. නායක රනිල් වික්‍රමසිංහට මෙහෙම සහාය පළ කිරීම ඉදිරියේදී පොහොට්ටුව තුළ සිදුවිය හැකි මහා දේශපාලන කුණාටුවක පෙර නිමිත්තක්ද? එහෙමත් නැත්නම් බැසිල්ගේ දේශපාලන උපාය මාර්ගයක කොටසක් වශයෙන් ගහන ගේම් එකක්ද? ඒ ගැන හරියට අදහසක් ගන්න නම් 22 සංශෝධනය 2/3ක වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීම හේතුවෙන් රටේ දේශපාලනය තුළ ඇතිවූ සහ ඇතිවෙමින් පවතින දේශපාලන වාතාවරණය ගැන විමසා බැලිය යුතුය.

22 සංශෝධනය වශයෙන් ඉදිරිපත් කර එය සම්මතයෙන් පසුව 21 සංශෝධනය හැටියට හැන්සාඩ් ගතවූ එසේම ''ද්විත්ව පුරවැසි'' සංශෝධනය වශයෙන් පොදුවේ සමහරුන් හඳුන්වන එම සංශෝධනයට පාර කැපුණේ රටේ සිදුවූ දේශපාලනය අර්බුදයේ ප්‍රතිඵලයක් හැටියටය. එයින් අරමුණු කෙරුණේ ගෝඨාභය හිටපු ජනපති තම ආධාර කණ්ඩායම් සියලු දෙනාගේම පාහේ විරෝධය මැද ගෙන ආ 20 සංශෝධනය ආපසු හැරවීමය. මේ හැරවීම නැවැත්වීම සඳහා පොහොට්ටුවේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ප්‍රමුඛ පිරිසක් දැඩි විරෝධයක් දියත් කළහ. ඒ පසුපස සිටියේ බැසිල් බව පොදු පිළිගැනීම විය. එය බැසිල් අමෙරිකාවේ හිටියත් ප්‍රතික්ෂේප කළේ නැත. 22 ගෙනාවේ පුද්ගලයකු ඉලක්ක කරගෙන බැවින් එයට තම පක්ෂය විරෝධය දක්වන බව සාගර කාරියවසම් පුන පුනා ප්‍රකාශ කළේය.

මුලදී පෙනෙන්න තිබුණේ සාගරලාගේ මතය සමඟ පොහොට්ටුවේ වැඩි පිරිසක් සිටින බවට විශ්වාසයක් තිබූ හෙයින් 22 චකබ්ලාස් වන බවය. හැබැයි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මේ සංශෝධනය ගේන බවට චෝදනා කරන විට එයින් ආපසු හැරවීමට හදන 20 සංශෝධනය ගෙන ආවේද පුද්ගලයකු ඉලක්ක කරගත් වගන්තියක් සමඟ බව පොහොට්ටුවේ සමහරුන්ට අමතක වී තිබිණි. නමුත් ඒ බව පොහොට්ටුවෙන් කැඩී ගිය පිරිස් අමතක නොකළ බව ඡන්ද විමසීමේදී පැහැදිලි විය.
20 ගේනවාට දැඩිව විරුද්ධ වූ නමුත් කළ හැකි දෙයක් නොමැති නිසා එයට සහාය දැක්වූ විමල් - උදය - වාසු දැන් පක්ෂ 10ක එකතුවෙන් උත්තර ලංකා සභාව හදාගෙන වෙනම සංවිධානය වී සිටී. ඊළඟට කැඩී ගිය පොහොට්ටු සභාපති ජී.එල්. සහ ඩලස් ඇතුළු මන්ත්‍රීන් පිරිසක් ඉන්නේ නිදහස් ජාතික සභාව නමින් වෙනම සංවිධානය වෙලාය.

මේ ඔක්කොගෙම සහාය ලබාගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමත් වනු ඇති බවට බොහෝ දෙනකුට වැටහීමක් නොතිබිණි. හැබැයි ප්‍රසන්න රණතුංග නම් ඒ බව හොඳින් වටහාගෙන සිටියේය. සාගරලා සිටියේ වැරදි වැටහීමක බවත් ප්‍රසන්නලා ඉන්නේ හරි වැටහීමේ බවත් ප්‍රතිඵලයෙන් සනාථ විය. අන්තිමට සාගරලා ඇතුළු පිරිසකට සිදුවුණේ එදින ඡන්ද විමසීම මගහැරීමටය. සමහරු සිටියේ රෝහල්ගත වෙලාය. මේ පිරිස ගැන විමල් වීරවංශ එදින විවාදයේදී කියා තිබුණේ මෙහෙමය.
''මේ සංශෝධනයට විරුද්ධ වන එහෙම නැත්නම් ඡන්දය දීම මගහැර සිටින කවරකු හෝ වේ නම් එහෙම කරන්නේ අමෙරිකාවේ ඉඳන් මෙහෙයුම කරන මොළ හතානෝගේ කීම මත බව පැහැදිලියි.''

එහෙම බලන විට විදෙස් ගතවෙලා මේ ඡන්දය මගහැර සිටි ප්‍රසන්න රණතුංග ලබා දී තිබෙන්නේ වෙනම සංඥාවක් බව පැහැදිලිය. ඔහු යූ.එන්.පී. ජනාධිපතිට සහාය දීමට කැමැති වී සිටී. මහින්දානන්ද අලුත්ගමගේත් ඉන්නේ ඒ ස්ථාවරයේම බව පැහැදිලිය. කැබිනට් ඇමැති ධුර නොලැබීමෙන් කලකිරීමට පත්ව සිටින රෝහිත අබේගුණවර්ධන සහ ජොන්ස්ටන් ප්‍රනාන්දු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිට එරෙහි ස්ථාවරයක් දරණ බවත් බැසිල් ලංකාවට පැමිණි වහාම ඔහු සමඟ ඔවුන් එක්වී වෙනම ගමනකට මුල පුරනු ඇති බවත් පෙනෙන්නට තිබේ. ''මහින්ද සමඟ නැගිටිමු'' වේදිකාව හදන්නේ ඒ සඳහා බවත් පැහැදිලිය.

එහෙම වුණත් 22 සංශෝධනයේදී සිදුවුණු දේ එක්ක ආපසු බැසිල්ට පොහොට්ටුවත් එක්ක යා හැකි ගමන කුමක්දැයි දැන්ම කීම අමාරුය. ප්‍රසන්න රණතුංග වැනි පොහොට්ටුවේ බල කණුද යූ.එන්.පී. නායකයා සමඟ ගමනක් යාමට සූදානම්ව සිටියදී පොහොට්ටුවේ ඉඳන් තමන්ගේ දේශාපලන අනාගතය ගැන සිතන කවුරුවත් ආපහු රාජපක්ෂවරුන්ගේ වේදිකාවලට ගොඩවනු ඇතැයි සිතිය නොහැක. මේ ඔක්කොම එල්ලෙන්නේ තමන්ට දිනන්න පුළුවන් නායකයකු හෝ පක්ෂයක් සමඟය. 22 සංශෝධනයෙන් බැසිල්ගේ හඬ ලැබූ පරාජයත් සමඟ පොහොට්ටුව සමඟ ඉදිරියට යාමට සිටි සියල්ලන්ම දැන් ඉන්නේ වැඩ උඩය.

22 සම්මතයත් සමඟ වසර 2 ½ කට පසුව පාර්ලිමේන්තුව විසිරවීමේ තීන්දුව ද ජනාධිපතිවරයාට ගත හැකිය. ලබන වසරේ මාර්තුවේදී පළාත් පාලන ඡන්දය පැවැත්විය යුතු අතර එය කල් දැමීමට ගන්නා ඕනෑම පියවරකට එරෙහිව ආණ්ඩුව සමඟ නැති සියලුම පක්ෂ එකතු වී සිටී. මේ නිසා යම් විදිහකින් එම ඡන්දය කල් දැමීමට හේතුවන කිසියම් හෝ පනතක් ගෙන ආවොත් 22 සංශෝධනයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දැක්වූ සහාය ආපසු කැරකෙනු ඇති බව පැහැදිලිය. ප්‍රසන්න රණතුංගත් 22 දී රනිල්ට ලබා දුන් සහාය ඡන්ද කල් දැමීමේ උත්සාහයට ලබා දෙනු ඇතිදැයි බලා සිටිය යුතුයි.

■ ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00