2022 ඔක්තෝබර් 23 වන ඉරිදා

අයි.එම්.එෆ්. ගිහින් දැන් මාස හතයි සතයක්වත් හම්බවුණාද?

 2022 ඔක්තෝබර් 23 වන ඉරිදා, පෙ.ව. 08:00 184

- අජිත් නිවාඩ් කබ්රාල් - හිටපු මහ බැංකු අධිපති

  • මම අධිපති කාලේ ඩොලර් එකක්වත් වැරදියට වියදම් කළේ නෑ
  • කවුද ඇහැව්වේ යුද්දෙ කාලේ සල්ලි හෙව්වේ කොහොමද කියලා
  • අපි ඩොලර් පිරෙව්වා: රට බංකොළොත් වෙන්න ඉඩ දුන්නෙ නෑ
  • අප කළ දේවල්වල වටිනාකම අද බොහෝ දෙනා තේරුම් අරන්
  • හිල්ටන් එක විකුණල තෙල් සංස්ථාව රැකගනිමු
  • බදු අඩු නම් මිනිස්සු ගෙවනවා
  • උද්ධමනය අපි තියාගත්තේ තනි ඉලක්කමේ

• ඔබ කාලයක් මහ බැංකු අධිපති. ඊටපස්සේ දේශපාලනය කළා. ආයේ මහ බැංකු අධිපති වුණා. ඉල්ලා අස්වුණා. දැන් නිශ්ශබ්දයි. මම අහන්නේ ඔබ වැඩියෙන්ම කැමති දේශපාලනයටද? මහ බැංකු අධිපතිකමටද?

මම මෙහෙම කියන්නම්. මම කැමති මේ රටේ යම්කිසි වෙනසක් කරන්න. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නේ කොයි වෙලාවෙද කියලා මම කියන්න දන්නේ නෑ. ඒක තීරණය වෙන්නේ රටේ තත්ත්වය එක්ක. මම දිගටම ඉඳලා තියෙන්නේ ස්ථාවරයක. මගේ ප්‍රතිපත්ති වෙනස් වෙලත් නෑ. මම ආර්ථිකය සම්බන්ධයෙන් හැමදාම හිටියේ එකම ස්ථාවරයේ. ඒ නිසා මම එක දෙයකට කියලා රුචිකත්වයක් නෑ.

• අද වෙද්දී දේශපාලඥයන් සම්බන්ධයෙන් රටේ විරෝධි මතයක් තියෙන්නේ. ඒක ඔබ දකින්නේ කොහොමද?

මම දේශපාලනය කළත් ප්‍රතිපත්තිමය තැනක හිටියේ. මට ඕනම දෙයක් අත් අරින්න තත්පරයයි යන්නේ. මොකද මගේ ප්‍රතිපත්ති වලට ගැලපෙන්නේ නැත්තන් මම අස් වෙලා තියෙනවා. ඒක ඔබලා දකින්න ඇතිනේ. මට මේවා දාලා යන්න අමාරුවක් නෑ. අපේ ජීවිතේ දාලා යනකොට මේවා මොකක්ද? සමහර අවස්ථාවල මම ඉවත්වුණේ මගේ කැමැත්තට. එහෙම නැතුව යන්න හේතු තිබ්බේ නෑ.

• දැන් ඔබේ ඊළඟ පියවර මොකක්ද?

ඒක රටේ වාතාවරණය තීරණය කරයි. දැන් රටේ ගොඩක් දෙනෙක්ට පෙනී යනවා අපි කරපු දේවල් වල අවශ්‍යතාවයයි, වටිනාකමයි. දැන් පේනවනේ අයි.එම්.එෆ්. යන්න කියලා කට්ටිය ඒ දවස්වල කිව්වනේ. ඒත් දැන් ගිහිල්ලා වෙච්ච දේවල් පේනවනේ.

• මම ඒ ප්‍රශ්නයට එන්නම්. ඉස්සෙල්ලා මට මේකට උත්තර දෙන්න. ඉස්සෙල්ලා මට කියන්න අද තියෙන ආර්ථික අවුලට මූලික හේතුව තමයි ගෝඨාභය මහත්තයාගේ ආණ්ඩුව ගත්ත වැරදි තීන්දු කියලා. ඒ චෝදනාව ගැන මොකද කියන්න තියෙන්නේ?

මම මහ බැංකු අධිපතිවරයා හැටියට ඉන්නතාක් ඔය දේවල් වුණේ නෑ. ප්‍රශ්න තිබ්බා. හැබැයි 2020 පළමු මාස තුනේදී අපි ඩොලර් බිලියන 3.1ක් අපි පිරෙව්වා. රට බංකොලොත් වෙන්න අපි ඉඩ දුන්නේ නෑ. අපි ඉන්නකල් පිරෙව්වා. ඊටපස්සේ වුණ දේවල් වලට මට වගකියන්න බෑ. ඊටපස්සේ මොකද වුණේ කියලා මම දන්නේ නෑ. දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට උපදෙස් දුන්න අය හිටියනේ. රටවල්වල අයත් හිටියේ ලොකු ලොකු කමිටුවල. ඉතිං ඒ අයත් වගකියන්න එපැයි. ඇයි මම විතරක් වගකියන්න ඕන?

• එතැනදී දේශපාලනමය වශයෙන් ගත්ත තීන්දු සහ මහ බැංකුව පැත්තෙන් ගත්ත නුසුදුසු තීන්දු හේතු වුණා කියලා චෝදනා තියෙනවා?

මම ඉන්න කාලේ ගත්ත තීන්දු තීරණ ගත්තේ සියල්ල මුදල් මණ්ඩලයේ අනුමැතිය මත. නෛතිකභාවය ඉතාමත් පැහැදිලියි. ඒ කියන්නේ මම නිවැරදි ලෙස තීන්දු අරන් තියෙනවා. ඔය කියන ගොඩක් අය දන්නේ නෑ ආර්ථිකය සම්බන්ධයෙන් තීරණ ගනිද්දී පැති කීයපයක් තියෙනවා කියලා. ආර්ථිකයක් වුණාම තියෙනවා මූර්ත ආර්ථිකය, ඊටපස්සේ මුදල් පැත්ත, ඊටපස්සේ රජයේ පැත්ත, ඊටපස්සේ තියෙනවා බැංකු පැත්ත, තව පැත්තක් තියෙනවා පිටරට එක්ක ගනුදෙනු ගැන. මේ සියල්ල එක්ක ගනුදෙනු කරන්න ඕන. ඒ නිසා එක පැත්තක් බලලා තීරණය කරන්න නරකයි. මම මහ බැංකු අධිපති ලෙස මේ සියල්ල බලලා තුලනය කරලා තමා තීන්දුව ගත්තේ.

• ඔබ කිව්වා වගේ ඔබ කටයුතු කරන කාලෙදී ඔය කියන ආයතන සහයෝගයෙන් වැඩ කළාද? නැත්තන් ඒ අය වෙන වෙන වැඩ කළාද?

මෙහෙමයි ඕක එක එක විදිහට ගන්න පුළුවන්. ඔය කියන අයට නීතිමය පැත්තෙන් පුළුවන් ස්වාධීන තීන්දු තීරණ ගන්න. ඒක මහ බැංකුවටත් පුළුවන්. ඒත් සමහර අවස්ථාවල මේවා අතර යම් යම් හැලහැප්පීම් වෙන්න පුළුවන්. මම කියන්නේ හැම ආයතනයක්ම සහයෝගයෙන් වැඩ කරන්න ඕන. මහ බැංකුව වුණත් අපි රජය එක්ක කතා කරලා තීන්දු තීරණ ගත්තේ. ඔය කවුරුත් අහන්නේ නෑ යුද්දේ කාලේ කොහොමද සල්ලි හොයාගත්තේ කියලා. එදා සල්ලි තිබ්බේ නැත්තන් යුද්ධය කරලා ඉවරයි. අපි සල්ලි හොයලා දුන්නා. ඒ නිසා යුද්ධය කළා. ඒ නිසා දැනුත් අවශ්‍ය වෙන්නේ අවශ්‍යතාවය සහ අරමුණ. ඒ සියල්ල බැලන්ස් කරගෙන යන එක තමයි මේ වෙලාවේ වෙන්න ඕන.

• ඔබට සහතික කරන්න පුළුවන්ද ඒ හැම ආයතනයක්ම එක අරමුණක් වෙනුවෙන් වැඩ කළා කියලා?

ඒක සහතික කරන්න බෑ. ඒ ඒ අයට ඒ ඒ අරමුණු තියෙන්න ඇති. එක එක කණ්ඩායම් හිටියා. දේශපාලන පක්ෂ තිබ්බා. මේ සියල්ලම එකම අරමුණක හිටියේ නෑනේ.

• ආර්ථික අවුල පටන් ගත්ත ගමන්ම තමයි කිව්වේ ඉක්මනින් අයි.එම්.එෆ්. එකට යන්න කියලා. ඒත් ඔබත් අද ආණ්ඩුවෙන් ඉවත් වෙලා ඉන්න සමහර කණ්ඩායමුත් ඒකට විරුද්ධ වුණා එදා. දැන් ලොකුම අරමුණ වෙලා තියෙන්නේ අයි.එම්.එෆ්. ණය. ඒත් කලින් නොගිය එකේ ප්‍රතිපල දැන් විඳිනවා කියලා චෝදනා කරනවා ඔබලාට?

මම දැක්කා මේ පහුගිය දවසක දේශපාලන නායකයෙක් කියලා තිබ්බා අපි ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3.8ක ණයක් ගත්තා කියලා මාස 6ක් ඇතුළත. ඒක හරි. මමත් මහ බැංකු අධිපතිවරයා හැටියට ඉන්න කාලේ ගත්තේ. දැන් අද වෙද්දී අයි.එම්.එෆ්. එකට ගිහිල්ලා මාස හතක්. අපිට සතයක්වත් ලැබිලා තියෙනවද? ඒ ඕන නෑ වෙන කෙනෙක්ගෙන්වත් හම්බවෙලා තියෙනවද? නෑ. අපිට ලැබිලා තියෙන්නේ කොන්දේසි විතරයි. උද්ධමනය අපි හිටිය කාලේ 18%යි. දැන් 70%ත් පැනලා. පොලී අනුපාතය තිබ්බේ 12ට අද 33යි. මේ කතාව කරන මොහොතට පෙර දවසේ මහ බැංකුව භාණ්ඩාගාර බිල්පත් වලින් බිලියන75ක් ගන්න හදනවා. ඒත් හම්බවෙන්නේ බිලියන 16 යි. මුදල් අච්චු ගැහීම මම ඉන්න කාලෙට හා ලක්ෂ්මන් අධිපතිවරයා ඉන්නකාලෙට වඩා 50%කින් වැඩිවෙලා තියෙනවා. මම කියන්නේ ඒවත් විග්‍රහ කරලා බලන්න. බලලා කියන්න කොයි පැත්තද හරි කියලා.

• නෑ දැන් මම අහන්නේ අයි.එම්.එෆ්. එකට ගියා කියලා රටට සෙතක් ඇත්තෙම නැද්ද?

මම අහන්නේ මගෙන් අහන්න එපා. ඕක දැන් හොඳයි කිව්ව අයගෙන් අහන්නකෝ. දැන් ඇවිල්ලා මොකද කරන්නේ කියලා. මම කිව්වේ අර සංසන්දනාත්මකව ඒ අයගෙන් අහන්නකෝ. ඒ අය හොඳයි කියනව නම් හරි. මොකද මම හමදාම එපා කිව්ව තැනනේ හිටියේ.

• ඔබ ඇයි ඩොලරය 203 තියාගන්න ඩොලර් සංචිතය එළියට දැම්මේ. ඒක ඔබට එල්ලවන බරපතළ චෝදනාවක්?

මම එක දෙයක් කියන්නම් මම මහ බැංකු අධිපතිවරයා හැටියට ඉන්න කාලේ ඔය කියන විදිහට එක ඩොලර් එකක් පාවිච්චි කරලා නෑ. අපි ජනතාවගේ අත්‍යවශ්‍යතාවය වෙනුවෙන් ඩොලර් බිලියන 1.8ක් වෙන්කරලා තියෙනවා. ඒක රජයේ ඉල්ලීම අනුව දුන්නේ. ඒ වගේම බැංකුවල ද්‍රවශීලතාවය රැකගන්න ඩොලර් බිලියන 2ක් දීලා තියෙනවා. ඒ ඇරෙන්න එක ඩොලර් එකක් නෑ වැරදි විදිහට යොදවලා තියෙන. ඒ හැමදේම මුදල් මණ්ඩලයේ අනුමැතිය උඩ තමයි සිද්ධකළේ. ඒ නිසා මේ ඔක්කොම බොරුනේ කියන්නේ. අපි එක ඩොලරයක් වගකීමක් නැතුව වියදම් කරලා නෑ.

• දැන් මේ වෙද්දී ඩොලරය පා කරලා තියෙන්නේ. ඔබ හිතන්නේ මොනවගේ දෙයක් වෙයිද අනාගතයේ ආර්ථිකය මේ පා කිරීමත් හරහා?

ඔබ දන්නවා මම මහ බැංකු අධිපතිවරයා හැටියට ඉන්නකාලේ පවා හිටිය ස්ථාවරයක් තමයි රුපියල ස්ථාවරව පවත්වාගෙන යා යුතුයි කියලා. මට කොච්චර බැන්නද? අන්තිමේ මහ බැංකුවේ නිලධාරීන් ඉල්ලීමක් කළා. ඒ අනුව තමයි අපි ඩොලරය 299ට ගෙනාවේ. මම යද්දී ඩොලරය 299 තිබ්බේ පස්සේ 375 දක්වා වැඩිවුණා. අනික කියන්න ඕන දැනුත් රුපියල ස්ථාවර කරලා තියෙන්නේ. පා වෙන්නේ නෑ. 2022 මැයි මාසේ 12 වෙනිදා ඉඳලා රුපියල නැවත ස්ථාවර කළා. අනික දැන් ස්ථාවර කරලා තියෙන්නේ 203 නෙමෙයි 370 වේ. ඒ නිසා දැන්නම් රුපියල ශක්තිමත් කරන්න ඕන.

• මේකෙන් කළුකඩ මුදල් ව්‍යාපාරය ශක්තිමත් වුණා නේද?

මෙහෙමයි ලෝකේ හැමතැනම කළුකඩ ව්‍යාපාර තියෙනවා. ඒක ලෝකේ කොහෙත් එහෙමයි. අපි මේ වෙලාවෙදී ශක්තිමත් වෙලා වැඩ කරන්න ඕන. ඒකට රුපියල ස්ථාවර කරන්න ඕන. එතකොට කළුකඩ ව්‍යාපාරයක් නැගිටින්නේ නෑ.

• ඉතිහාසයේ ලොකුම බදු ගැසීමට මේ වෙද්දී ජනතාව ලක්වෙමින් ඉන්නේ. මේක ජන ජීවිතයට බරපතළ ප්‍රශ්නයක්. ඔබ දකින්නේ කොහොමද මේ බදු අය කිරීම?

අර ඉස්සෙල්ලා ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙන්නේ. මොකද බදු වැඩි කරන්න කරන්න බිහිවෙන්නේ කළුකඩ. බදු අඩු කරන්න කරන්න මිනිස්සු බදු ගෙවන ප්‍රවණතාවය වැඩිවෙනවා. ඒත් වැඩි කරන්න කරන්න ගෙවන එක මග අරිනවා. දැන් වෘත්තීය මට්ටමෙන් බදු ගෙවීම පැහැර හරින්න කටයුතු කරනවා. බදු ගන්න ඕන අර කතාවට කියන්නේ මල නොතලා රොන් ගන්නවා වගේ වැඩක්. මල විනාශ කරල ගන්න බෑ. එහෙම ගන්න පුළුවන් කියලා හිතනවා නම් අපි බලමු, හැබැයි එකක් මේක සාමාන්‍ය අයි.එම්.එෆ්. එකේ වට්ටෝරුවේම කොටසක්. අයි.එම්.එෆ්. එකට ගියාම ඕක කියනවා. හැබැයි මතක තියාගන්න ඔය උපදෙස් දුන්න අය හොයාගන්න නෑ.

• ඇත්තටම ඇයි ඔබ ඕකට ඔච්චර විරුද්ධ?

මම කියන්නම්කො මම තමයි 2009-2010 අතර කාලේ ලංකාවේ ලොකුම අයි.එම්.එෆ්. සාකච්ඡාව කළේ මම. ඒ සියල්ල ආණ්ඩුවත් එක්ක මම සාකච්ඡා කළා. ඉතිං මම ඒ ගැන දන්නවා. ඒ නිසා අපි දන්නවා කොයි වෙලේද යන්නේ කියලා. යන්න ඕන කොයි වෙලේද කියලත් අපි දන්නවා. පාරේ ඉන්න මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නෑ. අපි එහෙම නොකර ඉන්න හේතුවක් ඇති. මොකද පිස්සුවට නොවේනෙ එහෙම කළේ. මට හිතෙනවා නම් මේ වෙලාවේ යන්න ඕන කියලා මමත් එකඟ වෙනවා. දැන් පේනවනේ මාස හතක් ගිහිල්ලත් සතයක් නෑනේ.

• මේ වෙද්දී ආණ්ඩුව රජයේ ආයතන විකුණන්න තීරණය කරලා තියෙනවා. ඔබලා හිටිය කාලේ විකුණපු ආයතන ආණ්ඩුවට පවරා ගත්තා. ඔබ හිතන්නේ මොකක්ද ආණ්ඩුවේ ප්‍රතිව්‍යුහගත කිරීම?

රජයේ ආයතනයක් වුණත් හරියට පාලනය කළොත් ලාබ ලබන්න පුළුවන්. මම කියන්නේ ඕනෑම ආයතනයකට බලපෑම් කරන්නේ නැතුව ස්වධීනව වැඩ කරන්න දෙන්න ඕන. එහෙම වුණාම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද යම් වගකීමක් දෙනකොට ස්වාධීනත්වයක් දෙන්න ඕන. මම ඒ අදහසේ ඉන්නවා. අනික උපායමාර්ග සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මම කැමති හිල්ටන් හෝටලය විකුණනවට. ඒත් ඛනිජ තෙල් සංස්ථාව විකුණන එකට මම විරුද්ධයි. මොකද තෙල් නැතිවුණොත් ලොකු ප්‍රශ්නයක්. ඒ නිසා මම කියන්නේ ඒ වගේ ආයතන රැක ගැනීම අවශ්‍යයි. ඒ වගේ අවශ්‍යතාවයක් නැති ඕනෑම ආයතනයක් මට විකුණුවාට කමක් නෑ. මොකද මේ වගේ වෙලාවක යම් කිසි මුදලක් අවශ්‍ය නිසා.

• එමිරේට්ස් සමාගමට තිබ්බ ශ්‍රී ලංකන් එක තියෙන්නේ අපිට. ඒක පවර ගත්තේ ඔබලා. ඒත් බිලියන ගානක් දැන පාඩුයි. දැන් ආයෙත් විකුණන්න යනවා. මොකක්ද හිතන්නේ?

දැන් අපේ රටේ පාඩු ලබන ආයතන තියෙනවා. ඒවා වහන්නේ නෑ. හේතුව උපායමාර්ගික වශයෙන් අවශ්‍ය කරන ආයතන. ඒ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමගම දූපතක් හැටියට අපේ රටේ තිබිය යුතු ගුවන් සමාගමක්. කොවිඩ් වසංගතය වෙලාවේ ලෝකෙ වටේම යවලා අපේ ළමයිව ගෙනාවේ මොකේද? අනෙක් එයාර්ලයින් නෑ. ඒ නිසා ‍රටට පෞද්ගලික ගුවන් සේවයක් ඕන. සංචාරකයන්ට පවා ඕන.

• අවසාන වශයෙන් අහන්නේ ඔබ දකින්නේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ ආර්ථික ප්‍රතිපත්තියද? රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ආර්ථික ප්‍රතිපත්තියද?

මහින්ද මහත්තයා ගන්නකොට ඇමරිකානු ඩොලර් බිලියන 24ක තිබ්බ ආර්ථිකයක් ඩොලර් බිලියන 79 දක්වා වැඩිවුණා. උද්ධමනය තිබ්බේ තනි ඉලක්කමේ. පොලී අනුපාතය තනි ඉලක්කමේ. සංවර්ධනය වෙමින් තිබ්බා. අපි යුද්දේ කරද්දී කිසිම බරක් රටට් දැම්මේ නෑ. යම්කිසි ක්‍රෙඩිට් එකක් අපිටත් ඒකෙදී එන්න ඕන. මම කැමති නෑ වර්තමානයේ දේවල් කතා කරන්න ඒවා අතීතයට බාර දෙමු. 2030දී 2040 ඉන්ටවිව් කරද්දී බලන්න. අපි වැරදි නම් බනින්න. හොඳයි නම් ක්‍රෙඩිට් එකක් දෙන්න.

I ගයාන් ගාල්ලගේ

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00