2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

ඡන්දයක් ඉල්ලල අපි පාරට බහිනවා

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 72

- මුජිබර් රහුමාන් - පාර්ලිමේන්තු මන්ත්‍රී (සමගි ජන බලවේගය)

  • දෙසිය විසිපහම එපා කියන එක පටු අදහසක්
  • ගෝඨාභය මහත්තයා බලය අතහැරියේ ජන විරෝධය නිසයිසක්
  • මොනවා කරන්නත් ජනතාව පිළිගන්න ආණ්ඩුවක් එන්න ඕනා
  • ඩීල් දේශපාලනයට සජිත් මහත්තයා කැමති නෑ
  • මේක ජනමතය උරගා බැලිය යුතු වෙලාවක්
  • ආණ්ඩු විරෝධී සටනේදී ජවිපෙ අපි එක්ක නෑ
  • අරගලය තුළින් ආපු දක්ෂ තරුණයන් දේශපාලනයට ආ යුතුයි

පාර්ලිමේන්තුවේ නිල විපක්ෂයේ කාර්යයට වඩා රටේ එළියේ විපක්ෂයේ කාර්යය ඉහළයි. සමගි ජන බලවේගය මේ වෙද්දී ඒ කාර්යය හරියට ඉෂ්ඨ කරලද?

පැහැදිලිවම අපට පේන දේ තමයි මේ ආණ්ඩුව ජනවරමක් නැති ආණ්ඩුවක්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දාලා ගියාම ඒ ජනවරම නිෂේධ වෙලා ඉවරයි. ගෝඨාභය මහත්තයා විතරක් නෙමෙයිනේ මහින්ද මහත්තයා පවා අතහැරලා ගියේ. ඒ නිසා ඒ ජනවරමත් නිෙෂ්ධ වෙලා ඉවරයි. ඒ වගේම පොහොට්ටුවේ 43 දෙනෙක් විපක්ෂයේ වාඩිවෙලා. ඒ වගේම අපේ පැත්තේ 4ක් ඒ පැත්තේ වාඩිවෙලා. මේ තත්ත්වයත් එක්ක ජනමතය විකෘති වීමක් තමයි තියෙන්නේ. ඒ නිසා දැන් ජනමතය උරගා බලන්න ඕන වෙලාවක්.

ආණ්ඩුව කියන්නෙ මේ සියල්ල ව්‍යවස්ථානුකූලයි කියලා?

ඔව්. ව්‍යවස්ථානුකූලව හරි. ඒක අපිත් පිළිගන්නවා. ඒත් මහ පොළොවේ ජනතාව ඒක පිළිගන්නේ නෑ. පාර්ලිමේන්තුවයි ජනතාවයි අතර අද විශාල විරසකයක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන.

දැන් විපක්ෂයේ කර්යය මොකක්ද මේ වෙලාවේ?

මේ වෙලාවේ පාර්ලිමේන්තුව ඇතුළෙත් ඉන් පිටත් අපේ එකම අරමුණ මැතිවරණයක් ඉල්ලීම. මේ වෙද්දී විපක්ෂ නායකතුමා රට පුරාම ගිහින් ජනතාව දැනුවත් කරනවා. ඉදිරියේදී විශාල ජනතාවක් පාරට ගෙන්නනවා. ඒක තමයි අපේ සැලසුම.

විපක්ෂයේ කණ්ඩායම් දැන් ගොඩක් ඉන්නවා. ඔබලත් එක් කණ්ඩායමක්. ඔබලට කොහොමද ආණ්ඩු විරෝධි ජනමතයෙන් ලැබෙන ප්‍රතිචාර, විශේෂයෙන් ජනතාවගෙන්?

ඇත්තටම ඩලස් අලහප්පෙරුම මහත්තයගේ කණ්ඩායමත්, අනුර ප්‍රියදර්ශන මහත්තයගේ කණ්ඩායමත් අපිත් එක්ක පාර්ලිමේන්තුවේ පිටත් ඇතුළෙත් සමීපව වැඩ කරනවා. ඒ වගේම අපි ඉදිරියේදී වෘත්තිය සමිති එක්කත් ගනුදෙනු කරනවා. මොකද විරෝධතා ව්‍යාපාරවලට. ඒ වගේම පෙරටුගාමී පක්ෂයත් යම් යම් අවස්ථාවල අපි එක්ක එකඟව වැඩ කළා. ඒ නිසා මේ කණ්ඩායම් එක්ක ආණ්ඩු විරෝධී සටනෙදී පොදු එකඟතාවයකට එන්න සූදානම් වෙනවා. ඒත් ජවිපෙ අපි එක්ක නෑ. ඒ අය ස්වාධීන ගමනක් යන්නේ. කොහොම වුණත් මේ කණ්ඩායම් අතරත් ජනතාව අතරත් අපිට හොඳ ඉඩක්, පිළිගැනීමක් තියෙනවා.

ඔබලා හදන්නේ ඊළඟ මැතිවරණයට පොදු සන්ධානයක් හදන්නද?

නෑ. අපි ඉස්සෙල්ලා බලන්නේ ආණ්ඩු විරෝධි පොදු බලවේගයක් හදන්න. ඊළඟට බලමු අපි මැතිවරණයෙදී මොකද කරන්නේ කියලා. කොහොම වුණත් එහෙම වෙන්න පක්ෂ අතර එකඟතාවයකට එන්න ඕන. ප්‍රතිපත්ති අතර එකඟතාවයක් තියෙන්න ඕන. ඒවා බලලා අදහසකට එනවා. ඒ මොනවා කරන්නත් කලින් මේ ආණ්ඩුවෙන් ලොකු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් පුළුල් බලවේගයක් හදන එක තමයි අරමුණ.

ඔබලා ඉස්සෙල්ලම ඉල්ලන මැතිවරණය මොකක්ද?

අපි කියන්නේ පළාත් පාලන මැතිවරණය නියමිත වෙලාවට තියෙන්න ඕන. ඒක අනිවාර්යයි. ඒක කල් දාන්න බෑ. ඊළඟට අපි කියන්නේ ජනතාවගේ මතය වෙනස් වෙලා තියෙන්නේ. ඒ නිසා මාර්තු, අප්‍රේල් වෙද්දි ජනාධිපතිට බලය එනවා මේක විසුරුවන්න. අපි කියන්නෙ ජනතාවගේ මතය පරීක්ෂා කරන්න මහ මැතිවරණයකට යන්න කියලා. මොකද ජනතාවගේ විශ්වාසය තියෙන ආණ්ඩුවක් රටට ඕන.

දැන් දැන් අරගලයේ සමහර චරිත ඔබලා එක්ක එක වේදිකාවේ ඉන්නවා. මම අහන්නේ මේ පුද්ගලයෝ ඔබලා විසින් යෙදෙව්ව අයද? නැත්නම් මේ අය ඔබලා හොයාගෙන ආපු අයද?

අපි අරගලය වෙනුවෙන් කිසිම කෙනෙක් සංවිධානාත්මකව යෙදෙව්වේ නෑ. ඒත් අපේ බිම් මට්ටමේ පිරිස් අරගලය වෙනුවෙන් විවිධ මුහුණුවරින් සහයෝගය දුන්නා. උදාහරණයක් හැටියට ගෝල්ෆේස් එක ගත්තොත් වැඩියෙන් හිටියේ මම නියෝජනය කරන කොළඹ නගරයේ සහ මැද කොළඹ ආසනයේ පිරිස්. විශේෂයෙන් පසුගිය මහ මැතිවරණයේදී අපි කොළඹ දින්න නිසා අපේ ඡන්ද දායකයෝ විශාල වශයෙන් ගෝල්ෆේස් ගියා. ඒක සංවිධානාත්මක දෙයක් නෙමෙයි. අපිට එහෙම කරන්න වුවමනාවකුත් නෑ. මිනිස්සු ස්ව කැමැත්තෙන් ආවේ. ඒකට නායකත්වයක් තිබුණෙ නෑ. ඒ වගේම අරගලයේ හිටිය සමහර ප්‍රධාන අය අද වෙද්දී අපි එක්ක දේශපාලන ගමන යන්න ලෑස්තිවෙලා තියෙනවා. අපි එක්ක විතරක් නෙමෙයි ඒ ඒ අය කැමැති දේශපාලන පක්ෂ දැනටමත් තෝරාගෙන ඉවරයි.

කාලයක් කිව්වා අලුත් කට්ටිය ඕන කියලා දේශපාලනයට, තවත් කාලයක් කිව්වා කාන්තා නියෝජනය වැඩි කරන්න කියලා. දැන් කියනවා වහාම අරගලකරුවන් වෙත ඉඩක් දෙන්න කියලා. ඒකට සජබයේ ප්‍රතිචාරය කොහොමද?

මේ අරගලය මැදින් ආපු විශේෂ දක්ෂ තරුණ ප්‍රජාවක් ඉන්නවා. ඉතින් මම කියන්නේ ඒ අය දේශපාලනයට එන එක හොඳයි. ඒ අය එන එකට කැමැතියි. ඕනම පක්ෂයකින් ඒ අය එනවා නම් හොඳයි මම කියන්නේ. ඕන නම් ඒ අයටම පක්ෂ හදාගෙන එන්න පුළුවන්. ඒ කොහොම වුණත් ඒ අය දේශපාලනයට එන එක හොඳයිනේ.

දැන් අ‍රගලයේ සටන් පාඨයක් තමයි 225ම එපා කියන්නේ. එහෙම කියලා අරගලකරුවෝ ඒ අය එක්කම දේශපාලනය කරන එක හොඳද? 

අරගලයේ 80 ක් විතර කණ්ඩායම් හිටියා. ඒ හැමෝම කිව්වේ නෑ 225ම එපා කියලා. මම විශ්වාස කරන්නෙත් නෑ 225ම එපා කියන කතාව. මොකද පාර්ලිමේන්තුවේ පවා ඉන්නවා හොඳ දක්ෂ මිනිස්සු. තරුණ මන්ත්‍රීවරු. අපේ විතරක් නෙමේ පොහොට්ටුවේ පවා ඉන්නවා. ඒ නිසා මම කියන්නේ 225 එපා කියන දේ පටු අදහසක්.

අපි දන්නවා පසුගිය බල හුවමාරුවෙදී පළවෙනි ආරාධනය තිබුණෙ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට. ඒත් ඔහු බාරගත්තේ නෑ. දැන් හිතෙන්නේ නැද්ද ඒක බාර නොගත්ත එක අපරාදේ කියලා?

ඔව්. අපිට ආරාධනාවක් ආපුවම අපි කිව්වේ ගෝඨාභය මහත්තයා යන දවසක් කියනවා නම් අපි බාරගන්නම් කියලා. මොකද අපිට ආණ්ඩුව අරගෙන ජනතාවගේ මතයට පිටුපාලා එතුමව තියාගන්න බෑ. නමුත් එතුමා කිව්වා අවුරුද්දක් ඉන්නවා කියලා. අපි ඒකට එකඟ වුණේ නෑ. කොහොම වුණත් මේ සාකච්ඡා යන අතරතුර තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයව රාජපක්ෂ පවුලේ අය විසින් තෝරාගන්නේ. ඒ අගමැති හැටියට. මේ ළඟදී මහින්ද රාජපක්ෂ මහත්තයා පවා කිව්වේ රනිල් දැන් හොඳ වෙලා, රනිල් හදාගත්තා කියලා. මතක තියාගන්න රනිල් බාරගත්තේ නෑ, බාර දුන්නා. ඒත් සජිත් ප්‍රේමදාස මහත්තයා ඩීල් දේශපාලනයට කැමැති නෑ.

ඔබලා කියනවා වර්තමාන ආණ්ඩුව බලය යොදලා මර්දනය කරනවා කියලා. අපි දන්නවා විධායක බලය අත්හැරලා, රාජපක්ෂවරු ආණ්ඩුවෙන් ඉවත් කරලා වැඩ කළේ ගෝඨාභය රාජපක්ෂ. දැන් හිතෙනවද ගෝඨාභය රාජපක්ෂ හොඳයි කියලා?

ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඔය දේවල් කළේ කැමැත්තෙන් නෙමෙයි. ජනතාවගේ විරෝධය නිසා. එහෙම නැත්නම් එතුමා ඉන්නවා. එතුමා ඔය තීරණය ගත්තෙ ජනතාවගේ පීඩනය නිසා.

හැබැයි එතුමා මර්දනය ක්‍රියාත්මක කළේ නෑ නේද ඔබලා ඔය අද කියන තත්ත්වය එක්ක?

ඔව්. එතුමාට ඒ ආපු ජන විරෝධය එක්ක එතුමට මර්දනයක් ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඊටත් වඩා ජාත්‍යන්තර වශයෙන් එතුමට තිබුණු චෝදනා එක්ක නැවත ඇමෙරිකානු පුරවැසිභාවය ලබාගැනීමේ අරමුණෙන් වෙන්න ඇති බලය පාවිච්චි නොකරන්න ඇත්තේ. එතුමගේ ඉතිහාසයේ ඉඳලා තියෙන චෝදනා නිසා ඉවසන්න ඇත්තේ. ගොඩක්ම මම හිතන්නේ එතුමා බලය අතහැරියේ මේ ජනතා විරෝධය එක්ක.

දැන් කාට හරි කියන්න පුළුවන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට තිබුණු ජනතා විරෝධය රනිල් වික්‍රමසිංහ මහත්තයට නැති නිසා ජනතා කැමැත්ත වර්තමාන ජනාධිපතිට තියෙනවා කියලා?

ජනතා විරෝධය ආවේ රාජපක්ෂ පාලනයට සහ ඒ පවුලට විරුද්ධව. රාජපක්ෂවරු බලය අතහැරියම ඒ විරෝධය සමනය වුණා. ඒකෙන් කියවෙන්නේ නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයට ජනතාව කැමැතියි කියලා. එහෙනම් එක මන්ත්‍රී කෙනෙක් හරි ජනතා ඡන්දයෙන් එනවනේ. අවුරුදු ගාණක් දේශපාලනය කරපු එතුමා පරාද වුණා කියන්නේ ජනතාවට එපා නිසා.

දැන් ඔබලට ආණ්ඩුව ගත්තොත් කරන්න පුළුවන්ද?

මෙහෙමයි. මේ රට ගොඩනගන්න දීර්කාලීන සහ කෙටිකාලීන වැඩපිළිවෙළකට යන්න ඕන. ඒ මොනවා කරන්නත් ජනතාව පිළිගන්න ආණ්ඩුවක් එන්න ඕන. ජනතාව පිළිගන්න රට ගොඩනගන වැඩපිළිවෙළක් එක්ක ඉදිරියට යන්න ඕන. ඒත් මේ ආණ්ඩුවට ඒක නෑ. ජාත්‍යන්තරය පවා උදව් කරන්නේ දේශපාලන ස්ථාවරයක් තියෙනකොට. වගකීමට කෙනෙක් නැතිව උදව් කරන්නේ නෑ. ඒ නිසා අපි ආණ්ඩුවක් ගත්තොත් වගකීමෙන් ඒක ඉෂ්ඨ කරනවා. ඒ නිසා ජනතාවගේ ආශිර්වාදය සහිත ආණ්ඩුවක් ඕන.

ඡන්දයකට කලින් බලය ලබාගන්න සජබයට අදහසක් තියෙනවද?

අපි ගමින් ගමට යනවා ජනතාව දැනුවත් කරන්න. ඒ හැමදේම කරන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදී මාවතකින්. අපි ඒකයි ඉල්ලන්නේ ඡන්දයක්. අද ජාත්‍යන්තරයෙන් පවා අපිට එරෙහිව යෝජනා සම්මත වෙන්නේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන තියෙන කලකිරීම නිසා. ඒ නිසා අපි උත්සාහ කරන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකින්න. ඒක කරන්න බැරි නම් ජනතාව එක්ක අයිතිය ඉල්ලලා පාරට බහිනවා. ඒ නිසා ආණ්ඩුව තේරුම් ගන්න ඕන තවත් රටේ මිනිස්සු රවට්ටලා යන්න බැ කියලා.

ඔබලා හිතනවද ඊළඟ ජනතා කැමැත්ත ඔබලට කියලා?

අනිවාර්යයෙන්ම. මොකද ජනතාව දැන් බලාපොරොත්තු වෙන්නේ ස්ථාවර ශක්තිමත් රටක්. ඒ වෙනුවෙන් අපේ ඉන්නවා දක්ෂ කණ්ඩායමක්. ඒ කණ්ඩායම ගැන ජනතාවට විශ්වාසයි.


I ගයාන් ගාල්ලගේ