2022 මැයි 01 වන ඉරිදා

කල් මැරීම සහ ඇවිදීම

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 148

1991 අගෝස්තු මාසයේදී ලංකාවේ ජනාධිපති ආර්. ප්‍රේමදාසය. ඒ වනවිට ප්‍රේමදාසට එරෙහිව පක්ෂය ඇතුළේ කැරැල්ලක් සංවිධානය වෙමින් තිබුණි. එය හොර රහසේ සිදුවෙමින් පැවති අතර ප්‍රේමදාස මහතා තොරතුරු ලබාගැනීමේ කොතරම් දක්ෂයකු වී සිටියත් මේ කැරැල්ල ගැන හරි තොරතුරක් දැනගෙන සිටියේ නැත. දෝෂාභියෝගය ගැන ඉන්දියා ටුඩේ පුවත්පත සැප්තැම්බර් 30 වැනිදා පළ කළ ලිපියේ මෙසේ සඳහන් වී තිබිණි.

&එය පැමිණියේ කොහෙත්ම බලාපොරොත්තු නොවූ මොහොතකය. ශ්‍රී ලංකා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස සහ ඔහුගේ පුත් සජිත් ඒ වනවිට සිටියේ ඈත ගම් ප්‍රදේශයක් වූ මාලිගාවිල බිම වැටී තිබූ වසර 1200ක් පැරණි, අඩි 38ක් උස බුද්ධ ප්‍රතිමාවක් කෙළින් කර යළි ස්ථානගත කිරීමේ මෙහෙයුම නරඹමිනි. එම ප්‍රතිමාව වසර සිය ගණනක් තිස්සේ කාගේවත් සැලකිල්ලට ලක් නොවී බිම වැතිරී තිබිණි.

එදිනම එනම් අගෝස්තු 27 වැනිදා විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිනි සිරිමාවෝ බණ්ඩාරනායක ජනාධිපතිවරයාට එරෙහි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වූ දෝෂාභියෝග යෝජනාවට සිය මන්ත්‍රීවරුන්ගේ අත්සන් එකතු කරමින් සිටියාය.

එයටත් වඩා රටම බලවත් කම්පනයට පත් කළ සිද්ධිය වූයේ ප්‍රේමදාස මහතා නායකයා වූ පාලක එක්සත් ජාතික පක්ෂයේම වැදගත් නායකයන් කිහිප දෙනකුම දිගහැරෙමින් තිබූ මේ දෝෂාභියෝග යෝජනා නාටකයේ රඟදැක්වූ භූමිකාවය. ඒ වනවිට එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් ඉහළින්ම ජයගෙන ගත වී තිබුණේ මාස 04ක කාලයක් පමණි.

පසුව පක්ෂ තහනමකට ලක් වූ බලවත් අමාත්‍යවරුන් දෙදෙනකු වූ ලලිත් ඇතුළත්මුදලි සහ ගාමිණී දිසානායක ඇතුළු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රීලනිපය ගෙන ආ මේ දෝෂාභියෝගයට විවෘතවම සහාය දැක්වූහ.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් අඩකට වඩා අත්සන් සහිතව එම දෝෂාභියෝග යෝජනාව කතානායක එම්.එච්. මොහොමඩ් මහතාට භාරදීමත් සමඟ ශ්‍රී ලංකාවේ එතෙක් හොඳින්ම රුකුණු රහස ජනගත විය.

මේ දේශපාලන ප්‍රයෝගය අනුර බණ්ඩාරනායක සහ ගාමිණී දිසානායකගේ සැලැස්මක් විය. එයට පදනම වැටුණේ ඒ වසරේ මැයි මාසයේදී ඝාතනය වූ රජීව් ගාන්ධිගේ අවමංගල්‍ය උළෙලට සහභාගි වීම සඳහා නවදිල්ලි ගිය ගුවන් යානයේදීය. ඒ වනවිට ඇතුළත්මුදලි තමන්ගේ අදහස ගැන ඉඟියක් ලබා දී තිබිණි.

විචක්ෂණශීලී නායකයකු වූ ප්‍රේමදාස තමන් නොදැන මෙය සිදුවීම ගැන පුදුම විය. 1988 දෙසැම්බර් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය භාරදීමට ගිය අවස්ථාවේ තම දෙපැත්තෙන් සිටි දෙදෙනා තමාගේ පසුපස සිට පිහියෙන් ඇන්න බව ඔහු තේරුම් ගත්තේය. එහෙත් ඔහු ඉතා වේගයෙන් යළි ප්‍රකෘති තත්ත්වයට පත් විය. රූපවාහිනිය ඉදිරියේ ත්‍රිවිධ හමුදාපතිවරුන් සමඟ මහජනතාව ඇමතුවේය. ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට පොරොන්දු ලබා දුන්හ. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවත් නීතිය හා සාමය රකින බවටත් ප්‍රතිඥා දුන්හ.

එවකට අගමැති වූ ඩී.බී. විජේතුංග හමුවට තම මන්ත්‍රීවරුන් යැවූ ප්‍රේමදාස ඔවුන්ගේ සහාය තමාට ලැබෙන බවට පොරොන්දු කරවා ගත්තේය. ඇතැම් මන්ත්‍රීවරුන් තමන් මේ අත්සන් ගැහැව්වේ කිසිවක් නොදැන බවට කළ ප්‍රකාශත් සමඟ ප්‍රේමදාස මහතා ඉතා වේගයෙන් ක්‍රියාත්මක විය. පාර්ලිමේන්තු සැසිවාරය සැප්තැම්බර් 24 වැනිදා දක්වා කල් තැබුවේය. තම මන්ත්‍රීවරුන් දෝෂාභියෝගයට තැබූ අත්සන් ඉවත් කරවා ගැනීමට ඔහු මේ කාලය යොදාගත් බව පෙනෙන්නට තිබිණි. එම උපක්‍රමය සාර්ථක වූ බව පෙනී ගියේය.

ප්‍රේමදාස කෙරෙහි තම විශ්වාසය තහවුරු කිරීම සඳහා මන්ත්‍රීවරුන් 116ක් කතානායකවරයා ඉදිරියේ පෙළගැසී සිටියහ. අවසානයේ කතානායක හැර පක්ෂයට විරුද්ධ වූ පිරිස 08 දෙනකුට සීමා විය. ඉතා විශ්වාසයෙන් යුතු වූ ප්‍රේමදාස දෝෂාභියෝග යෝජනාව උපක්‍රමශීලීව මගහැර යාමට සමත් විය.

මේ රටේ ජනාධිපතිවරයකුට එරෙහිව එල්ල වූ එකම දෝෂාභියෝගය එය වූ අතර ඒ ගැන &ඉන්දියා ටුඩේ* සැප්තැම්බර් 30 වැනිදා පළ වූ මේ වාර්තාවේ තවත් බොහෝ කරුණු අඩංගු විය. එහෙත් අද රටේ පවතින දෝෂාභියෝග, විශ්වාසභංග යෝජනාවලට අදාළ වන්නේ ඉහත කාරණා පමණි.

මෙවර දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වුණේ නැත. තිබුණේ එවැනි කතාවක් පමණි. විශ්වාසභාංගය ද තවමත් මන්ත්‍රයක් පමණි. පාර්ලිමේන්තුව ඇතුළේ මේ දෙකම ඉදිරිපත් වුණේ නැත. තවම ඒ ගැන සිදුවන්නේ තර්ක විතර්ක පමණි.
හැබැයි එදා සිදු නොවූ දෙයක් අද සිදුව තිබේ. එදා දෝෂාභියෝගය ආවේ පාර්ලිමේන්තුව ඇතුළෙනි. ඒ යෝජනාවට රටේ ජනතාවගේ සහභාගීත්වය ඉතා අල්ප විය. ජනතාව බලා සිටියේ වෙන්නේ මොකක්ද කියලාය. අද සිදුවන්නේ ඒකෙ අනෙක් පැත්තය. අද පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් නැත. එහෙත් මුළු රටම වසාගෙන දෝෂාභියෝගය රුව් පිළිරුව් දෙමින් තිබේ. ගෝල්ෆේස් පිටියේ නොනවතින අරගලයේ තේමා පාඨය වන ගෝඨා ගෝ හෝම් මෙතෙක් මේ රටේ නායකයකුට එරෙහිව ප්‍රසිද්ධියේ එල්ල වන ලොකුම දෝෂාභියෝගය වශයෙන් සැලකිය හැකිය. නමුත් එදා ප්‍රේමදාස සිදු කළාක් මෙන් පාර්ලිමේන්තුව ඇතුළේ ගේමක් ගසා මේ දෝෂාභියෝගයෙන් ගැලවෙන එක පහසු නැත. එම අරගලයට දිනෙන් දින එකතු වන ජනතාවත් මේ රජය බලයට ගෙන ඒමට සියලු සහාය ලබා දුන් සියලුම බලවේගත් රටේ සෑම අංශයක්ම නියෝජනය වන විවිධ කොටස්වල සහභාගීත්වයක් හේතුවෙන් මේ වැඩේ පාර්ලිමේන්තුවෙන් ගොඩ දමාගත හැකි තත්ත්වයෙන් දැන් ගිලිහෙමින් පවතින බව පැහැදිලිය.

ජනාධිපතිවරයාත්, අග්‍රමාත්‍යවරයාත්, ආණ්ඩුවත් විපක්ෂයත් මේ සියලු දෙනා පාර්ලිමේන්තුව ඇතුළේ දේශපාලන අඩව් අල්ලමින් සිටින අතර රටේ ජනතාව දිනෙන් දින මේ අර්බුදයේ මාර්ග සිතියම අතට ගනිමින් සිටිති. එම ජනතා සහභාගීත්වය කොතරම් ප්‍රබලදැයි දැනුණේ පසුගිය බ්‍රහස්පතින්දා (28) ක්‍රියාත්මක වූ එක් දින සංකේත වැඩවර්ජනයේදීය. 

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බල කරමින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් දියත් කළ එම වැඩවර්ජනය මුළු රටම අකර්මණ්‍ය කිරීමට හේතු විය. ඒවාට විශාල ජන සහභාගීත්වයක් තිබූ බව පෙනෙන්නට තිබිණි. ජන අරගලයකට මුහුණ දීමට පාර්ලිමේන්තුව ඇතුළේ දෝෂාභියෝගයකට, විශ්වාසභංගයකට මුහුණ දෙනවාට වඩා අමාරු වැඩකි. පාර්ලිමේන්තුව ඇතුළේ විශ්වාසභංගය තබා මොන පනතක් සම්මත කළත් එය එළියේ ජනතාවට අදාළ නොවන තැනකට තල්ලු වෙමින් තිබේ. මේ අර්බුදයේ දිග පළල නිසි ලෙස මැනගැනීමට ආණ්ඩුවට හැකි වී තිබේද යන්න ගැටලුවකි.

කෙසේ වුවද මතුපිටින් බලන විට පෙනෙන්නේ ජනාධිපතිවරයා සාකච්ඡා කරමින් කල් මරණ බවය. අග්‍රාමාත්‍යවරයා සියල්ල වෙන්නට ඉඩ දී බලා සිටින බවය. විපක්ෂය විශ්වාසභංගයත් අතේ තබාගෙන ඇවිදිමින් සිටින බවය.

මේ අතරවාරයේ රටේ සියලු ප්‍රශ්න එකින් එක වර්ධනය වෙමින් පවතී. භාණ්ඩ මිල නොසිතූ වේගයකින් ඉහළ යයි. ඒ සමඟ ඇතැම් භාණ්ඩ දැන් හිඟවෙමින් පවතී. රටේ ප්‍රධාන කර්මාන්ත ආයතන සියල්ලම පාහේ පවතින අරගලය මැද බලවත් අසීරුවට පත්වෙමින් සිටී. ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් පෙනෙන තෙක් මානයක නැත. සිම්බාබ්වේ සහ ලෙබනනය ළඟට ලොවේ වැඩිම උද්ධමන අනුපාතය ශ්‍රී ලංකාවේ බව ඉතා මෑතකදී අමෙරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයකුගේ විශ්ලේෂණයක සඳහන් විය. රටේ සියලු දෙනා මේ වැටී සිටින්නේ මේ රට මෙතෙක් පාලනය කළ නායකයන් විසින් කැපූ නරා වළකය. මේ වළට රට ඉක්මනින් තල්ලු කර දැමීමට වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය තදින්ම හේතු විය.

කතා කරමින් කාලය මරණ ආණ්ඩුවකුත් රට පුරා ඇවිදිමින් සිටින විපක්ෂයකුත් සිටින රටකට මීටත් වඩා වින්නැහියක් නම් වෙන්න ඉඩක් නැත.

- ශශීන්ද්‍ර