2022 අප්‍රේල් 10 වන ඉරිදා

ගෝ හෝම් සටන!

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 172

ලංකාවේ බලයට පත්වෙච්ච ආණ්ඩුවක් අතරමගදී බලයෙන් වැටුණු අවස්ථා ගණනාවක් තිබිණි. ඒ හැම අවස්ථාවක්ම පාර්ලිමේන්තුව ඇතුළේ බල පෙරළියකින් හෝ වැදගත් පනතක් පරාජය වීමෙන් හෝ සිදුවිය. ඊට වඩා වෙනසක් වුණේ ^53 හර්තාලය වෙලාවේ ඩඩ්ලි ආණ්ඩුව අතහැර ගෙදර යාමෙනි.

ඒ කෙසේ වුණත් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව එහෙම ආණ්ඩු වැටුණේ 2003 දී රනිල්ගේ ආණ්ඩුව පමණි. හැබැයි හිටපු හැම ජනාධිපතිවරයකුම බලයේ සිටියදී විවිධ අභියෝගවලට මුහුණ දී තිබිණි. මුල්ම විධායක ජනාධිපති ජේ.ආර්. ගේ පාලන කාලයේ උතුරේත් දකුණේත් ත්‍රස්තවාදී ක්‍රියා ආරම්භ වී ඒවා රටේ ආර්ථිකයටත් එදිනෙදා පාලනයටත් දැඩි බලපෑමක් කළේය. එහෙත් ජේ.ආර්. අස්වුණේ නැත. ^88 ජනාධිපතිවරණයක් පවත්වා ප්‍රේමදාස ජනාධිපති වීමෙන් පසුව ජේ.ආර්. විශ්‍රාම ගියේය.

ප්‍රේමදාස බලයට පත්වී වසර දෙකක් යනකොට ඇතුළෙන්ම ආපු දෝෂාභියෝගයකට මුහුණ දීමට සිදුවිය. පක්ෂය දෙකට කැඩී ලලිත්ලා ගාමිණීලා වෙන්ව ගියහ. එහෙම වුණත් ප්‍රේමදාස විධායක ජනාධිපති පදවියෙන් අස්වුණේ නැත. දෝෂාභියෝගය කෙසේ හෝ විසිකරවා දමා පාලනය දිගටම ගෙන ගියේය. ඔහු කොටි බෝම්බයකින් ඝාතනය වනවිට ජනාධිපති ධූරයේ වසර 04ක් කටයුතු කර තිබිණි.

ඊළඟට බලයට පැමිණි චන්ද්‍රිකා ලොකු අභියෝගවලට මුහුණ දුන්නේ නැතිවුණත් පළමු ධූර කාලය අවසන් වනවිට හිටියේ ජනාධිපතිවරණයෙන් පරදින තත්ත්වයකය. රනිල් ඒ වෙලාවේ තමන්ගේ ඇමැති මණ්ඩලය සහ නිලධාරීන්ද ලැයිස්තු ගත කර රටේ පාලනය භාරගැනීමට සූදානම් වෙමින් සිටියේය. චන්ද්‍රිකාත් සටන අතහැරියේ නැත. නමුත් ඡන්දයට දින කිහිපයක් තියා කොටින්ගේ මාරාන්තික බෝම්බ ප්‍රහාරයකින් ඇසක්ද අහිමි කරගෙන යන්තමින් දිවි ගලවාගත් චන්ද්‍රිකා එහි බලපෑමෙන් ජනාධිපතිවරණයෙන් ඉහළින්ම ජය ගත්තාය. දෙවැනි ධූර කාලයත් ගත කළ චන්ද්‍රිකාගේ කාලයේ ආර්ථිකය ඍණ තත්ත්වයට පත් විය. ඒ අතර පාර්ලිමේන්තු මැතිවරණයෙන් රනිල් නායකත්වය දුන් එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බලය ලැබුණේය. ඒත් චන්ද්‍රිකා අස්වුණේ නැත. 2005 දී මහින්ද ජනාධිපතිවරණයෙන් ජයගන්නා තෙක් චන්ද්‍රිකා ආණ්ඩුවේ පාලනය ගෙන ගියාය. ඒ අතරේ රනිල්ගේ ආණ්ඩුවද අවුරුදු දෙකකදී වැට්ටවීමටද ඇය සමත් වූවාය.

මහින්ද වසර 05ක් ගිය තැන යුද්ධයත් ජයගෙන ජනාධිපතිවරණයක් පවත්වා ඉහළින්ම ජය ගත්තේය. ඊළඟට පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක ආණ්ඩුවක් හදාගන්න තරම් විශාල බලයක් සහිත ජයක් ලැබුවේය.

ඒ තරම් බලයක් ජනප්‍රියත්වයක් තිබුණත් වසර 04ක් ගතවන විට මහින්දගේ ආණ්ඩුව පිරිහී තිබුණි. මහින්දගේ පාලනයට ජාත්‍යන්තර ප්‍රජාවගෙන් දැඩි බලපෑම් එල්ලවෙමින් තිබූ අතර ආර්ථික සම්බාධක වැටෙන තරමට තත්ත්වය දරුණු වෙමින් තිබිණි. ඇත්තෙන්ම ඒ වනවිට යුරෝපා සංගමයේ තහංචි හේතුවෙන් මත්ස්‍ය අපනයනය තහනම් වීම නිසා රටට විශාල ධනයක් අහිමි විය. ජී.එස්.පී. ප්ලස් නැති කිරීම නිසාද විශාල ඩොලර් ආදායමක් ඇන හිටියේය. ජාතික ප්‍රශ්නයට විසඳුම් ලබාදීමට නිසි වැඩපිළිවෙළක් නොවීම නිසා ඉන්දියාවද සිටියේ මහින්දගේ පාලනය ගැන අමනාපයෙනි.

මේ කොතරම් ගැටලු තිබුණත් මහින්ද අස්වුණේ නැත. මහින්දගේ පාලනය පිරිහෙමින් තිබුණත් රටේ ජනතාව &මහින්ද ගෝ හෝම්* කියා කෑගහන්න ගියේත් නැත. 2015 ජනාධිපතිවරණයෙන් පසුව පරාජය වූ මහින්ද දකුණේ ජනතාවගේ ආශිර්වාදය මැද මැදමුලනට ගියේය. ඔහුගේ ගේ වැටලීමට කවුරුත් ගියේ නැත. ඒ වෙනුවට වුණේ මහින්ද බලන්න රට වටෙන්ම සෙනග මැදමුලනට පැමිණීමය.

මෛත්‍රීපාල සිරිසේන ඊළඟට ජනාධිපති වී විධායක ජනාධිපති ධූරයේ බලතල කිහිපයක් කපා දැම්මේය. විශේෂයෙන් ධූර කාලය වසර 06ක සිට 05 දක්වා අඩුකිරීම කැපී පෙනුණි. ඔහුගේ ධූර කාලයේදී මහ බැංකු මගඩිය වැනි කතාද අගමැති රනිල් සමඟ ගැටුම ආණ්ඩුව බලයෙන් පහකිරීම දක්වා වන අර්බුදයක් දක්වා ඇදී ගියද ඔහු අස්වුණේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අනුව රනිල්ගේ ආණ්ඩුව යළි පිහිටුවීමට සිදුවුවද රටේ ජනතාව සිරිසේන ගෝ හෝම් කියා කෑගැසුවේද නැත. පාස්කු ප්‍රහාරයෙන් පසුව රටට ගෝඨාභය රාජපක්ෂගේ නායකත්වය අවශ්‍ය වන බවට ප්‍රබල මතයක් ජනගත වුවද ජනතාව පාරට බැස මෛත්‍රීපාල සිරිසේනගේ ආණ්ඩුවට විරෝධය පළ කළේ නැත.

ගෝඨාභය ජනාධිපති වුණේ විධායක ජනාධිපති ක්‍රමයේ මේ ඓතිහාසික පසුබිම සමඟය. ඔහු බලයට පැමිණ මෛත්‍රීපාල සිරිසේන තටු කපා දමා තිබූ විධායක ජනාධිපති ධූරයේ බලතල වැඩිකර ගත්තේය. මහ මැතිවරණයෙන් තුනෙන් දෙකේ පාර්ලිමේන්තුවක්ද හදාගත්තේය. රට සංවර්ධනය කිරීමට එවැනි වෙනස්කම් අවශ්‍ය බවට ජනතාවද සිතන බවක් පෙනෙන්නට තිබිණි.

එහෙම වුණත් ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලනයට වසර දෙකහමාරක් ගතවන විට එනම් ධූර කාලයෙන් අඩක් ගෙවෙන විට රට පුරා ජනතාව &ගෝඨා ගෝ හෝම්* කියා වීදි බැස අරගල කිරීමට පටන්ගෙන තිබේ. මේ අරගලය පසුපස දේශපාලන බලපෑම් තිබිය හැකි වුවද වඩාත්ම කැපීපෙනෙන්නේ ගෝඨාභය මහතා බලයට ගෙන ඒමට කැප වී වැඩ කළ තරුණ පරපුරම අද ඔහුට ගෙදර යන ලෙසට බලකර පාරට බැසීමය. එදා ගෝඨාභය වෙනුවෙන් මහත් බලාපොරොත්තු තබාගෙන මහ පාර අයිනේ තාප්පවල චිත්‍ර ඇන්ද තරුණ පිරිස අද ඒ අත්වලින්ම බෝඩ් උස්සාගෙන ගෝඨාභයට ඉවත් වන්නැයි බලකර සිටින තත්ත්වයක් උදා වී තිබේ.

එම අරගලය අද පාර්ලිමේන්තුවේ බලයටද දැඩි ලෙස බලපෑම් කරමින් සිටී. තුනෙන් දෙකත් ඉක්මවාගෙන යන බලයක් තිබූ ගෝඨාභයගේ ආණ්ඩුව අද ආසන 117 දක්වා පල්ලම් බැස තිබේ. ඇමැතිවරුන්ට ඉල්ලා අස්වීමට සිදුවී තිබේ. එහෙත් රටේ විරෝධතා අවසන් නැත. ඔවුන් දැන් ඉල්ලා සිටින්නේ ජනාධිපති ඇතුළු රජයම ඉල්ලා අස්විය යුතු බවය. රාජපක්ෂ පාලනයේ අවසානයක් දකින තුරු තමන්ගේ සටන අත්නොහරින බව මහ පාරේ අරගලයේ ප්‍රමුඛ සටන් පාඨයක් බවට පත් වී තිබේ.
මේ මහජන බලවේගය අද ආණ්ඩුව සම්පූර්ණයෙන් අකර්මණ්‍ය කර දමා තිබේ. මෙහෙම තත්ත්වයක් මේ රටේ නිදහසින් පසු ඉතිහාසයේම තිබුණේ නැත. ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම සිටි බලවත් ජනාධිපතිවරයකු මේ තරම් කෙටි කාලයකින් පහළම තට්ටුවට වැටීම මේ රටේ දේශපාලනයේ අමුතුම කතාවකි. ඒ කතාවේ කේන්ද්‍රය රටේ ආර්ථිකය බින්දුවටම කඩා වැටීමය. මෙය කවදාවත් මේ රටේ ජනතාව බලාපොරොත්තු වූවක් නොවේ. රටේ භාණ්ඩාගාරය හිස් බව මීට පෙර ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වූ පසුව කියන පොදු කතාවකි. තමන්ට ලැබුණේ පරණ ආණ්ඩුව හිස් කරන ලද භාණ්ඩාගාරයක් බව ඔවුන් කියන්නේ වැඩ පටන්ගන්නත් කලිනි. ඒ කතා රටේ මිනිස්සු ඒ තරම් ගණන් ගත්තේ නැත. එහෙත් මේ පාර කතාව ඊට වඩා වෙනස්ය.
ඒ වෙනස නම් රටේ භාණ්ඩාගාරයේ හිස් බව තමන්ගේ කුස්සියට, සාක්කුවට, රැකියාවට පමණක් නොව බෙහෙත් පෙත්තට පවා දැනෙන්න පටන් ගැනීමය. අද සල්ලි අතේ තිබුණත් ගෑස් නැත. වාහන තිබුණත් ඒවා දුවන්න ඩීසල් නැත. බලාගාර හදා තිබුණත් ඒවායින් විදුලිය උත්පාදනයට අවශ්‍ය ඩීසල් නැත. රෝහල් තිබුණත් බෙහෙත් හිඟය.

අනෙක් අතට පෙට්රල්, ඩීසල්, භූමිතෙල් මේ සියල්ලම මිල වැඩි වුණේ මහා පරිමාණයෙනි. ගෑස්ද එසේමය. ඒවායේ ප්‍රතිඵලයක් හැටියට ආහාර ද්‍රව්‍යවල සිට සියලු අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළ ගියේය. සහල් මිලද උහුලා ගැනීම අපහසු තරමට වැඩි විය. ගොවීන්ට පොහොර ටික නැති විය. ස්වයංරුකියාවල නියුතුවූවන්ට ආදායම් අහිමි විය.

අද ජී.එස්.පී. ප්ලස් පහසුකම රටට තිබේ. එහෙත් ඩොලර් නැත. අපනයනය ටික ටික වැඩිවෙමින් තිබේ. නමුත් ඇති තරමට ඩොලර් ලැබෙන්නේ නැත. රටේ ජනතාව අරගල කරන්න පටන්ගත්තේ මේ ආර්ථික කඩා වැටීම ඇඟට දැනෙන්න පටන් ගැනීමත් සමඟිනි. මීට අවුරුද්දකට කලින් රසායනික පොහොර තීන්දුව ගත් අවස්ථාවේ ආණ්ඩුවේ බුද්ධි මණ්ඩල ඒ තීන්දුව හේතුවෙන් අනාගතයේ සිදුවිය හැකි මහා විනාශය ගැන ජනාධිපතිවරයා නිසි පරිදි දැනුම්වත් නොකිරීම බරපතළ වැරුද්දකි. එවැනි තීන්දු ගණනාවක් හේතුවෙන් රටේ ප්‍රශ්න ගොඩගැසුණි. &රට රුකගන්නා විරුවා* යන සන්නාමය ගෝඨාභය ජනාධිපතිවරයාගෙන් ගිලිහී වැටුණේ බලා සිටියදීමය. අද ඒ වෙනුවට රට වටින්ම ඇහෙන්නේ ගෝඨා ගෝ හෝම් හඬය.

මෙතෙක් බලයේ සිටි විධායක ජනාධිපතිවරුන් කිසිවකුත් මුහුණ නුදුන් තත්ත්වයකට ගෝඨාභය මහතාට මුහුණදීමට සිදුවූයේ ඇයිද යන්න ගැන නිවැරදි කියවීමක් ආණ්ඩුව තුළ දැන්වත් තිබිය යුතුය. ආණ්ඩුවට විරෝධය දක්වන්නේ අන්තවාදීන් කඩාකප්පල්කාරීන් යැයි කීමෙන් මේ ගැටලුව විසඳෙන්නේ නැත. ජනතාවට අභියෝග කිරීමද ඵල රහිතය. රට ඇතුළේ සැබෑ තත්ත්වය ගැන නිසි අවබෝධයකින් තොරව තීරණ ගැනීම ගැටලු තවත් උග්‍ර කිරීමක් පමණි. අද වත්මන් රජය බලයට ගෙන ආ බලවේග සියල්ලම ඉල්ලන්නේ ආණ්ඩුව අස්විය යුතු බවය. රාජපක්ෂවරුන්ගේ පාලනය අවසන් විය යුතු බවය.

එපමණක් නොව රටෙන් කොල්ලකා ගත් ධනය ආපසු රටට ගෙනැවිත් දිය යුතු බව එම අරගලයේ සටන් පාඨයක් වී තිබේ. බොහෝමයක් විරෝධතා රුලිවල එය ප්‍රබල සටන් පාඨයක් බවට පත්ව තිබෙන බව පෙනෙන්නට තිබේ. රටම දුප්පත් වනවිට රටේ පවුල් කිහිපයක් අසීමිත ලෙස ධනවත් වීම ඔවුහු ප්‍රශ්න කරති. පසුගිය දශක කිහිපය තුළ විවිධ ආණ්ඩු සමඟ කටයුතු කරමින් පරම්පරා ගාණකට හම්බ කරගත් හිටපු මැති ඇමැතින් සියලු දෙනාම මේ විරෝධතාකරුවන්ගේ දැඩි විවේචනයට ලක්ව සිටින බව යථාර්ථයයි.

හොරුන් අල්ලන බවට පොරොන්දු වී බලයට පැමිණි කිසිම ජනාධිපතිවරයෙක් ඒ පොරොන්දුව අනුව කටයුතු කර නැත. චන්ද්‍රිකා 1994 දී මුල්වරට බලයට පැමිණියේ භීෂණය - දූෂණය තුරන් කරන බවට දහසක් පොරොන්දු දෙමිනි. ඒ දෙකම සිදුවුණේ නැත. මෛත්‍රීපාල සිරිසේන මහතා ද මෙවැනි පොරොන්දු දුන්නේය. ඒ කාලයේදී හිටපු ලොකු ලොක්කන් කිහිප දෙනකුම සති කිහිපයකට සිරගත වුණත් බලවත් දූෂිත චෝදනා ලැබූ පුද්ගලයන් කිසිවකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූයේ නැත. මේ සමහරු වත්මන් ආණ්ඩුවේත් නිලතල දරති. පසුපස සිටිමින් විපක්ෂයත් මෙහෙයවති.

මේ රටේ ජනතාව අරගල කරන්නේ තමන් විඳින දුක් පීඩා උහුලාගත නොහැකි තත්ත්වයකට පත්වීම හේතුවෙනි. ආණ්ඩුවේ ඇමැතිවරුන් ඉල්ලා අස්වුණේ එහි බරපතළකම දැනුණු නිසා විය යුතුය. නමුත් විරෝධතාවලදී පැහැදිලිවම ඇසෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ධූරයෙන් ඉවත් විය යුතු බවට වන හඬය. රාජපක්ෂවරුන් සමඟ යළිත් දේශපාලනය නොකරන බවට ආණ්ඩුව සමඟ සිටි දේශපාලන නායකයෝද කියති. රාජපක්ෂවරුන් සිටින රජයකට තමන් කිසිසේත් සම්බන්ධ නොවන බව විපක්ෂයේ නායකයෝ කියති.

ඉතිහාසයේ ප්‍රථම වතාවට විධායක ජනාධිපතිවරයකු ප්‍රමුඛ රජයකට ඉල්ලා අස්වන ලෙසට බල කෙරෙන අරගලය හේතුවෙන් මේ රට දැන් තිබෙන්නේ ගිනි ගොඩක් උඩය. ඇමැතිවරුන් අස්වීමෙන්, අලුත් ඇමැතිවරුන් පත්කිරීමෙන් මේ අර්බුදය විසඳෙන බවක් පෙනෙන්නේ නැත. මෛත්‍රීපාලගේ කාලයේ අර්බුදයට උසාවිය හරහා විසඳුමක් ලැබුණත් මේ අරගලයට එවැනි විසඳුමක්ද නැත. ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස විශාල පිරිසක් ඉල්ලීම් කරති. එය සිදුවෙයිද නොවෙයිද යන්න නම් කියන්න බැරිය. මේ නිසා රටේ හෙට දවස ඉතාම තීරණාත්මක තැනකට තල්ලු වෙමින් සිටී.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00