2017 මැයි 06 වන සෙනසුරාදා

ජපන් අගමැතිගෙන් අපූරු කෑමක්

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 179

ගිය මාසයේ ජපානයට දූත ගමනක් ගිය රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ප්‍රමුඛ කණ්ඩායමට ජපන් අගමැති ෂින්සෝ අබේ ව එක දිනකදී දෙවරක් හමුවිය. උදේ අප කණ්ඩායම අබේගේ කාර්යාලයට ගොස් ජපන් මැති ඇමතිවරුන් සමග ද්වී පාක්ෂික සාකච්ඡා පැවැත්වූවෙමු. එහෙත් අපේ ගමන වඩාත් අලංකාරමත් වූයේ ඔහු විසින් අප වෙනුවෙන් පිරිනමන ලද රාත්‍රී භෝජන සංග්‍රහය නිසාය.

ජපානය ලංකාව සමඟ දීර්ඝ කාලයක් කිට්ටු සබඳතා ඇති කරගත් රටකි. පසුගිය ලෝක මහා සංග්‍රාමයෙන් පසු ජයග්‍රාහී ජාතීන් අමෙරිකාවේ සැන් ප්‍රැන්සිස්කෝහි රැස්වී ජපානයෙන් වන්දි ලබාගැනීම පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූහ. එකල ලංකාවද ජයග්‍රාහී රටක් හැටියට බටහිර නායකයින් විසින් පිළිගන්නා ලදී. ඒ අනුව ලංකාව නියෝජනය කරමින් තරුණ ජේ.ආර්. ජයවර්ධන එම සම්මේලනයට සහභාගී විය. ජේ.ආර්. විසින් පසුව හෙළි කරන ලද කරුණු අනුව ඔහුව මෙම කාර්යය සඳහා තෝරා ගන්නා ලද්දේ ඩී.එස්. සේනානායක විසිනි. තරුණ ජයවර්ධන  ඇමැතිවරයාට සිය අගමැති ඩී.ඇස්. විසින් උපදෙස් දෙන ලද්දේ පරාජිත ජපානයට සහනදායක ලෙස අදහස් දක්වන ලෙසයි. ඒ අනුව බුදුදහම මුල් කර ගෙන දේශනයක් කළ ජේ.ආර්. අන් කථිකයින් අභිබවා සිටියේ ඔහු කිසිම වන්දියක් නොඉල්ලූ නිසාය. අමෙරිකාව හා බ්‍රිතාන්‍ය වැනි රටවල් ජපානයෙන් විශාල ඉඩම් කොටස් හා මිල මුදල් බලහත්කාරයෙන් ලබාගත් අතර, ලංකාව පමණක් “නහීවේරානී” යැයි සඳහන් කරමින්  සහෝදර බෞද්ධ රටක් වෙනුවෙන් කරුණාවන්තව කටයුතු කළේය. බුදු දහම අනුව ජාත්‍යාන්තර සම්බන්ධතා හැඩගස්වා ගැනීම පිළිබඳ මහඟු ආදර්ශයක් හැටියට ජාත්‍යන්තර විචාරකයෝ ලංකාව පැසසුවෝය. ඒ බව බොහෝ නූතන විචාරාත්මක ග්‍රන්ථවල සඳහන් කර තිබේ. ජේ.ආර් ගේ පිළිරුවක් ජපානයේ නාගසාකී නගරයේ ඉදිකර තිබේ. අමෙරිකානුවන් විසින් පරමානු බෝම්බ හෙළා පොළවට සමතලා කළ ජපන් නගර වූයේ නාගසාකී හා හිරෝෂිමාය. පසු කලෙක අති පොහොසත් රටක් වූ ජපානය ජේ.ආර් ව අමතක කළේ නැත. මා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ව සිටි අවදියේ මෙරටට රූපවාහිණිය හඳුන්වා දුන්නේ ජපානය විසිනි. ඔවුන් ඒ මුළු ව්‍යාපාරය සඳහා සතයක් වත් ලංකාවෙන් ඉල්ලුවේ නැත. එය ජේ.ආර්ට කරන උපහාරයක් හැටියට ඔවුහු දුටුවෝය.
ජේ.ආර් හා ජපානය අතර තව රසවත් කථාවක් තිබේ. ඔහු ජනාධිපති වූවායෙන් පසුව ජපන් නායකයින් ඔහුට ඕනෑම තෑග්ගක් දීමට කැමැත්ත ප්‍රකාශ කලෙන් ජේ.ආර් අංග සම්පූර්ණ ආරෝග්‍ය ශාලාවක් තනා දෙන්නැයි ඉල්ලීය. ඒ අනුව ජයවර්ධනපුර රෝහල නොමිලේ ලබාදෙන ලදී. ඔබගේ ලොකුම ආරෝග්‍ය ශාලාවේ ඇඳවල් කීයක් තිබේ දැයි ජේ.ආර් ජපනුන්ගෙන් විමසූවිට ඇඳවල් දාහක් ඇති රෝහලක් තිබෙන බව ඔවුන්ගේ පිළිතුර විය. ඒසේ නම් මට ඇඳවල් එක්දහස් එකක් ඇති රෝහලක් ලබාදෙන ලෙස ජේ.ආර් කීවේය. ජපන්නු ආසාවෙන් එම ඉල්ලීම ඉටු කළ අතර ඔවුන්ගේ එකම කොන්දේසිය වූයේ එම එක්දහස් එක්වෙනි ඇඳ ජේ.ආර් ගේ පරිහරණයට පමණක් වෙන්කළ යුතු බවයි. නිහතමානී ජේ.ආර් එම ඇඳ පවා පරිත්‍යාග කර නවලෝක රෝහලේ වාට්ටු ඇඳක් මත මියගියේය.  

ජපන් අගමැති ෂිංසෝ අබේ ඔහුගේ කථාවේදී ජේ.ආර් ව ආදරයෙන් මතක් කළේය. පැරැණි දේශපාලනඥයන් මෙන්ම ජපන් අගමැතිවරුන් වන ඔහුගේ පියාත් බිරිඳගේ පියාත් යන දෙදෙනාම ජේ.ආර් ගේ මිතුරන් වූ බව ජපන් අගමැතිවරයා අපට අනාවරණය කළේය. 

ෂින්සෝ අබේ අගමැතිතුමා අප කණ්ඩායම වෙනුවෙන් රාත්‍රි භෝජනය සකසා තිබුණේ තෝකියෝ නුවර සුප්‍රසිද්ධ වූ අකසකා මාළිගාව තුළයි. අප අකසකා මාළිගාවට යනවා යැයි කී විට අපේ ජපන් මිතුරෝ විස්මයට පත්වූහ. එයට හේතුව නම් ඔවුන්ට පවා එම මාළිගාව තහනම්ව තිබීමයි. එදා අගමැතිතුමා තීරණය කර තිබුණේ අපට සම්ප්‍රදායික ජපන් කෑමෙන් සංග්‍රහ කිරීමටයි. මීට පෙර ඔහු එම ගෞරවය පිරිනමන ලද්දේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාට පමණි. පැරැණි ජපන් භෝජන ශාලාවක ස්වරූපය දැරූ එම කාමරය තුළ අපට හිඳ ගැනීමට සිදු වූයේ ජපන් ක්‍රමයටය. පුටුවක හිඳ කෑමට පුරැදු වූ මට එය තරමක් අපහසු වූවේය. දර්ශනීය පෙට්ටියක් තුළ අසුරන ලද ඒ ජපන් කැවිලි බෙහෙවින් ප්‍රියජනක විය. එයත් සමඟ පුරුදු පරිදි ඉස්තරම්ම ගණයේ සකේ අපට පිරිනමා තිබුණි. රසවත් ජපන් කෑම අනුභව කරන අතර මම ජපන් දේශපාලනය ගැනද පාඩමක් ඉගෙන ගත්තෙමි.

ජපන් අගමැති හා ඇමැතිවරුන් තෝරාගනු ලබන්නේ ඡන්ද දායකයින් විසින්ම නොවේ. ජපානයේ ආණ්ඩු බලය දීර්ඝ කාලයක් අල්ලා ගෙන සිටින එල්.ඩී.පී පක්ෂය තුළ ප්‍රබලයන්ගේ “කල්ලි” තිබේ. මේ ‘කල්ලි’ ජපන් පාර්ලිමේන්තුව (ඩයට් එක) තුළ හැසිරෙන්නේ තමන්ගේ පක්ෂයේ නියෝග අනුව පමණක් නොව “කල්ලි” නායකයාගේද නියෝග අනුවය. එබැවින් රටේ ප්‍රධානීන් වූ අගමැති හා ඇමතිවරැන් නිරන්තරයෙන් කටයුතු කරන්නේ තමන්ගේ “කල්ලි” හා ඔවුන්ගේ සාමාජිකයින් සතුටු කිරීමටයි. අගමැතිවරයා එවැනි ‘කල්ලි’ සන්ධානයක නායකයා පමණි. කල්ලි නායකයින් අතර සමගිය බිඳ වැටුණහොත් අගමැතිවරයාට සිය ධූරයෙන් ඉවත්වී පක්ෂයේ වෙනත් ‘කල්ලි’ නායකයෙකුට අගමැති ධූරය පැවරීමට සිදුවේ. පක්ෂය තුළ නියම බලය රඳවාගෙන තියෙන ‘කල්ලි’ සෑදෙන්නේ පවුල් බලය, මුදල් බලය, ජනප්‍රියත්වය හා ප්‍රාදේශීය සබඳතා වැනි හේතු මතයි. මේ සාධක අතර ජපානයටම සුවිශේෂී වූ තවත් කරුණක් ඇත. එනම් වර්තමාන කල්ලි නායකයින් මීට පෙර පරම්පරාවේ අගමැතිවරුන්, ඇමතිවරුන්, හා ප්‍රබලයන්ගේ කිට්ටු ඥාතීන් වීමයි. ෂින්සෝ අබේ එවැනි වංශක්කාරයෙකි. ඔහුගේ පියා මෙන්ම ඔහුගේ බිරියගේ පියාද එල්.ඩී.පී පක්ෂයේ අතීත නායකයින්ය. 

අප වෙනුවෙන් පවත්වන ලද භෝජන සංග්‍රහයට අබේ අගමැතිතුමා රැගෙන ආවේ ඔහුගේ කල්ලියේ ප්‍රධානීන් කීප දෙනෙකි. ඔවුන් සමග සිනාසෙමින්, සකේ බොමින්, විහිලු තහලු කරමින් ජපන් අගමැති ඔහුගේ කල්ලිය සහ ඔහුගේ සන්ධානකරුවන් තමාට තවත් ළංකර ගත්තේය. පක්ෂය තුළ සිටින කල්ලි නායකයින්ව තමන්ගේ පිලේම රඳවා තබා ගැනීම ජපන් අගමැතිගෙන් ඉගෙන ගත හැකි වටිනා පාඩමකි.