2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා

කතා මැද රජ කතාව

 2021 දෙසැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 220

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ ජනතාව අමතමින් මේ වසරේ (2021) ජූනි 25 වැනිදා විශේෂ ප්‍රකාශයක් කළේය. ඒ ප්‍රකාශය අවසානයට කලින් තිබූ ඡේදය මෙසේ විය. 

මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ මට සහයෝගය දුන් බොහෝ දෙනකු මගෙන් ඉල්ලුවේ රට පෙරදැරි කරගත් නායකත්වයක්. ඒ අය මගෙන් පුද්ගලික ඉල්ලීම් කළේ නෑ. නමුත් මා බලයට ආවාට පසු සමහර දෙනකු පුද්ගලික ඉල්ලීම් ඉටු නොවුණා කියා රජය සමඟ අමනාප වී සිටිනවා. ඔවුන් දැන් රජය විවේචනය කරනවා. රජය අසාර්ථක යයි මතයක් ජනගත කරන්නට උත්සාහ කරනවා. නමුත් මට අවශ්‍ය කිහිප දෙනකු සතුටු කිරීම සඳහා මගේ ප්‍රතිපත්ති වෙනස් කිරීම නොව මා පොරොන්දු වූ ආකාරයට සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමටයි.

සෞභාග්‍යයේ දැක්ම අරගෙන රටට මහත් බලාපොරොත්තු දුන් ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුවට වසර දෙක පිරුණේ පහුගිය නොවැම්බර් මාසයේදීය. ජනාධිපතිවරයා ඉහත සඳහන් කතාව කළේ ඊට මාස 05කට කලිනි. එම දීර්ඝ කතාව කිරීමට හේතුවක් වූයේ ඒ වනවිට ආණ්ඩුව අසාර්ථක බවට මතයක් පැතිර යමින් තිබීමය. එම මතය පතුරුවන්නේ පෞද්ගලික ඉල්ලීම් ඉටුනොවුණු කිහිප දෙනකු තුළ ඇති අමනාපය හේතුවෙන් බව ජනාධිපතිවරයා දැරූ මතය විය. ඒ ගැන කිසිවකුටත් විවේචනයක් නැත. නමුත් ගැටලුව වන්නේ එයින් මාස 06කට පසුව එළඹෙන අලුත් අවුරුද්දකට පා තබන විට ආණ්ඩුවේ පැවැත්ම ගැන මහජනතාව පමණක් නොව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් දරණ මතය ද ඒ පැත්තට හැරෙමින් තිබීමය. 

පසුගිය ජූනි මස වනවිට රටේ තිබුණු ප්‍රධානම ගැටලුවක් වුණේ කොවිඩ් වසංගතය අනපේක්ෂිත ආකාරයකට පැතිර යාමය. අලුත් අවුරුදු කාලේ ජනතාවගේ වගකීම් විරහිත හැසිරීම එයට ප්‍රධාන හේතුව වුණත් ආණ්ඩුවද ඒ වෙලාවේ ජනතාව හසුරුවා ගැනීමේ වගකීම අතහැර දමා සිටි බවටද චෝදනා එල්ල විය. නමුත් එන්නත්කරණය හරහා හොඳ ප්‍රගතියක් ලබාගැනීමට හැකිවීමත් එහි සාර්ථකත්වය ආණ්ඩුවට උදම් ඇනීමට තරම් ඉහළ තත්ත්වයකට පත්වූ බවත් සත්‍යයකි. එහෙම වුණත් රටේ වෙනත් ගැටලු ගණනාවක් කොවිඩ් වසංගතයේ බලපෑම්ද වසාගෙන මතුවිය. එහි ප්‍රධානම ගැටලුව වුණේ රසායනික පොහොර ගෙන්වීම නැවැත්වීමට ගනු ලැබූ තීරණයයි. මේ තීරණයේ ප්‍රතිඵල මේ වනවිට ආණ්ඩුව ඇතුළේ ගිනි කන්දක් බවට පත්ව තිබෙන බව පැහැදිලිය. මේ ගිනි කන්ද දැන් රටේ තැනින් තැනින් අළු - දූවිලි වලා නිකුත් කරමින් දැඩි ලෙස විදාරණය වෙමින් තිබේ.

එපමණක් නොවේ. යුගදනවි ගිවිසුමද රට තුළ බරපතළ ගැටලුවක් ඇතිකිරීමද ආණ්ඩුවට දැඩි හිසරදයකි. එය ජනතාව අතරට යාමත් සමඟ ආණ්ඩුව ඇතුළේද බරපතළ දෙදරීමක් ඇති කරන ලකුණු පහළ කළේය. දැන් ඒ ගැටලුව උසාවිය හමුවේ දිගහැරෙන්නේ ආණ්ඩුවට එරෙහිව ආණ්ඩුවම තත්ත්වයක් යටතේය. යුගදනවි ගිවිසුම අනුමත කළ කැබිනට්ටුවේම සාමාජිකයන් තිදෙනකු වන විමල්, වාසු සහ උදය එම ගිවිසුමට එරෙහිව උසාවි ගිය පාර්ශ්වය සමඟ එකතු වීම හේතුවෙන් ඒ තත්ත්වය උදා විය. මෙහි බලපෑම ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ පැවැත්මට කොතරම් හානියක් සිදු කරනු ඇතිදැයි අනාගතයේදී තීරණය කෙරෙනු ඇත. බැලූ බැල්මට නම් එය පෙනෙන්නේ යුගදනවි ගිවිසුමට සැබෑ ලෙසම පැන නගින විරෝධය යටපත් කිරීමට හෝ වෙන පැත්තකට හරවා යැවීමට හෝ සිදුකෙරෙන දේශපාලන උප්පරවැට්ටියක් බවය. ආණ්ඩුවේ ඇතුළෙන්ම එන මෙවැනි විරෝධතා ගැන ජවිපෙ නායක අනුර කුමාර පසුගියදා අපූරු කතාවක් කියා තිබුණි. එහි මෙසේ සඳහන් විය.

ඔය පී.බී. ජයසුන්දරලාගෙ ප්‍රතිපත්තිවලට විරුද්ධව එළියේ ඉඳන් කෑගහලා පාර්ලිමේන්තුව ඇතුළට ඇවිත් එයාගේ අයවැයට අත උස්සන බොරුකාරයන්ගෙන් ප්‍රවේශම් වෙන්න ඕනෑ.

මේ කතාව කිව්වේ කාට වුණත් ඒක ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුවට විරුද්ධව කෑගසන හැමෝටම වදින බව පැහැදිලිය. හැබැයි මේ කතාව යටින් කියවෙන්නේ දැන් මේ ආණ්ඩුවේ ඉඳලා ඇතිවෙලා කියන කට්ටියකුත් ඉන්න බවට සැකයක් තිබෙන බවකි. ගෝඨාභය ජනාධිපතිවරයාට පසුගිය මාස කිහිපය තුළදී තම &සෞභාග්‍යයේ දැක්ම* ඉදිරියට ගෙන යාමට ඇතිවුණු බාධා ගැන සොයා බැලුවොත් ඇතුළේ ඉඳන් ගේම් ගහන අය ගැන තොරතුරු හොයාගන්නත් බැරිකමක් නැත. එහෙම වුණත් ජනාධිපතිවරයාට තම ආණ්ඩුව මේ අවුරුද්දෙන් ඊළඟ අවුරුද්දට ගෙන යාමට සිදුවන්නේත් මේ පිරිස සමඟමය. වෙනත් විකල්පයක් නැත.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හදිසියේම වාරාවසාන කළේ මේ පසුබිමේ සිටිමිනි. වාරාවසාන කළ පාර්ලිමේන්තුව යළි ආරම්භ කිරීමේදී ජනාධිපතිවරයාට යළිත් රාජාසන කතාව හරහා රටේ ජනතාව ඇමතීමට අවස්ථාව උදාවෙයි. ඒ තම පාලන කාලයේ තුන්වැනි අවුරුද්ද කරන ආකාරය පැහැදිලි කර දීමටය. මේ කතාවේත් කොවිඩ් වසංගතයේ බලපෑමත් එන්නත්කරණයේ සාර්ථකත්වයත් නිසැකවම සඳහන් කෙරෙනු ඇත. නමුත් ගැටලුව වන්නේ ඊට පරිබාහිරව කියන්නේ කුමක්ද යන්නයි. ඒ ගැන යම් අදහසක් ගැනීමට පහුගිය කාලයේ රටේ පැන නැගුණු ප්‍රශ්න ගැන මඳක් විමසා බැලිය යුතුය.

රසායනික පොහොර තහනම සමඟ කාබනික පොහොර විප්ලවයක් ගැන මහා පරිමාණයෙන් කතා කළේ කෘෂිකර්ම ඇමැති මහින්දානන්දය. ඔහු අදත් ඒ මතය වෙනුවෙන් පෙනී සිටියි. අප්‍රේල් මාසයේ ආහාර හිඟයක් ඇතිවන බවත් රටේ වගා බිම් දෙස බැලූවිට එය ප්‍රත්‍යක්ෂ වන බවත් ඊයේ පෙරේදා තනතුරින් ඉවත් කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ. ජයසිංහ ප්‍රකාශ කරන විට කෘෂිකර්ම ඇමැතිවරයා කියන්නේ එහෙම ආහාර හිඟයක් ඇති නොවන බව තමා වගකීමෙන් කියන බවය. නිෂ්පාදනයේ අඩුවක් සිදුවුණත් එය ආහාර හිඟයකට හේතුවක් නොවන බවද මහින්දානන්ද ඇමැති කියා තිබිණි.

ඒ කෙසේ වුවත් කෘෂිකර්ම ඇමැති රසායනික පොහොර සහ කාබනික පොහොර සම්බන්ධයෙන් මීට පෙරද වගකීමෙන් යුතුව කළ ප්‍රකාශ වලට අත්වූ ඉරණම ගැන සලකා බලන විට මේ ප්‍රකාශයට අත්වන ඉරණමද සිතාගත හැක. නමුත් බරපතළ කාරණය වන්නේ පොහොර අර්බුදය විසින් මුළු ආණ්ඩුවේම රෙදි ගලවා තිබීමය. දැන් ආණ්ඩුවට ගොවියාත් නැත. පොහොර ගෙන්වූ සමාගම්ද නැත. පාරිභෝගික ජනතාවද නැත. වෙනකක් තබා කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්වරු පත් කිරීමද ඉවරයක් නැත.

පොහොර තීන්දුව ගෝඨාභය ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ අනාගත ඉරණම තීන්දු කරන ප්‍රබල සාධකයක් බවට පත්වී තිබීම නොදකින දේශපාලනඥයකු ආණ්ඩුවේ සිටිනවා නම් ඔහු හෝ ඇය සිටින්නේ හොරට නිදාගෙනය. හොරට නිදා සිටින අය ඇහැරවීම අමාරු වැඩකි. මේ අය ඇහැරෙන්නේ ආණ්ඩුව තවදුරටත් ගෙන යෑම අසීරු බව දැනුණොත් පමණි. එහෙම ඇහැරෙන්නේත් ගිලෙන නැවෙන් පනින අරමුණෙනි.

බඩු මිල දැරිය නොහැකි තරම් ඉහළට ගොස් තිබේ. එය දිගටම නගිමින් තිබේ. සහල් මිල පමණක් නොව එළවළු මිලද එසේමය. ලොකුම ගැටලුව එළවළු ටිකෙන් ටික වෙළෙඳපොළට පැමිණීමද අඩුවීමය. කිරිපිටි, ගෑස් හිඟය දරුණුය. කුකුළු මස්, බිත්තර නිෂ්පාදනයට සත්ව ආහාර හිඟය දැඩි බලපෑම් ඇතිකර තිබේ. රටේ බොහොමයක් රෙස්ටුරන්ට්, හෝටල්, බේකරි වැසෙමින් පවතී. මෙහෙම තත්ත්වයක් රටේ මෑත කාලයේදී අසන්න, දකින්න නොතිබුණු බව බහුතර ජනතාවගේ මතය වී තිබේ. ඊළඟට තෙල් මිල වැඩිවීම හේතුවෙන් සියලු භාණ්ඩ සහ සේවා මිල ගණන් ඉහළ යාම වැළැක්විය නොහැක. ඊටත් වඩා බරපතළම ගැටලුව ලබන මාසයට ප්‍රමාණවත් තරම් ඉන්ධන ගෙන්වා තිබේද යන්න පැහැදිලි නැතිවීමය.

මේ සියලු දුෂ්කරතා මැද මුදල් අමාත්‍යවරයා රටේත් නැත. රට බරපතළ ආර්ථික අවුලක සිටියදී මුදල් අමාත්‍යවරයා නොසිටීම ආණ්ඩුවේ සමීපතමයන් ද අපහසුවට පත්කර තිබෙන බව පැහැදිලිය. එහෙත් ඒ බවක් ඔවුන් ජනාධිපතිගේ හෝ අගමැතිගේ හෝ මූණට කියන්නේ නැත. වතුරට වඩා රුධිරය ඝනකම බව ඔවුන් දැන සිටින බැවිනි.

ජනාධිපතිවරයා හදිසියේම පාර්ලිමේන්තුව වාරාවසාන කිරීම ආණ්ඩුවේම මැති ඇමැතින් කිහිප දෙනකුගේම විවේචනයට ලක්විය. ඒ අනුව යුගදනවි ගිවිසුම සහ පාර්ලිමේන්තු වාරාවසානය දෙකෙන්ම ආණ්ඩුව ඇතුළේ පිපිරීම තවත් දරුණු වී ඇති බව පෙනී යයි. තවත් පැත්තකින් ඩොලර් නැතිවීමේ ගැටලුවටද ආණ්ඩුවට පිළිතුරක් නැත.

ලබන වසර ආරම්භයේදී සහ මැදදී ආණ්ඩුව ණය ගෙවිය යුතු අවස්ථා දෙකක් එළඹෙයි. එයින් එකක් හෝ ගෙවාගත නොහැකි වුණොත් ලංකාවට බංකොලොත් රටක් වශයෙන් ලේබල් වැදීමද වළක්වාගත නොහැක. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ජනවාරි 18දා යළි ආරම්භ කරමින් කතාව පවත්වන විට රටේ තත්ත්වය ඕකය.

ජූනි 25 වැනිදා තම කතාව ජනාධිපතිවරයා අවසන් කළේ මෙසේය.

මම එදා මෙන් අදත් ඔබට නායකත්වය දෙන්නට සූදානම්. මම මගේ වගකීම නොපිරිහෙලා ඉටු කරනවා. රටට ආදරය කරන, අනාගත පරපුර වෙනුවෙන් වගකීම බාරගන්නට සූදානම් බුද්ධිමත් ජනතාව දිගටම මටත් මගේ රජයටත් අපේ අරමුණු ඉටුකර ගැනීම සඳහා සහයෝගය ලබා දෙයි කියලා.

මේ කතාව මෙහෙමම ජනවාරි 18 වැනිදාත් කියන්න හැකි නම් ජනපතිගේ ආණ්ඩුව සාර්ථකයි කියන එක ඔප්පු කිරීමට වෙනත් සහතික අවශ්‍ය නැත. 

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00