2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 91

ශ්‍රී ලංකා ජනාධිපති ඉන්දියාවේ ආරක්ෂක උපදේශක හමුවෙයි

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව් නගරයේ පැවැති එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස ජාත්‍යන්තර සමුළුවට සහභාගි වීමට එරටට ගිය ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ පෙළේ ලෝක රාජ්‍ය නායකයන් ගණනාවක්ම හමුවී අදහස් හුවමාරු කර ගැනීමට සමත් විය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීම එක අවස්ථාවකි. එම හමුවේ ඡායාරෑපය මෝදි අගමැති විසින් ද ජනාධිපති ගෝඨාභය මහතා විසින් ද ට්විටර් ඔස්සේ ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය.

ඉන් ස්වල්ප මොහොතකට පසුව නිකුත් වූ ඡායාරෑපයකින් ඕස්ට්‍රියානු චාන්සලර් ඇලෙක්සැන්ඩර් ෂැලෙන්බර්ග් හමුවීමට ද ගෝඨාභය ජනාධිපතිවරයාට හැකිවූ බව ප්‍රකාශයට පත් විය. එහෙත් එම ඡායාරෑපය දුටු ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුගේ අවධානය දිනාගත්තේ එම අවස්ථාවේ පසුබිමේ දිගහැරෙමින් තිබූ සිදුවීම්ය. එහි දකින්නට තිබුණේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා වූ අජිත් දොවාල් සමඟ සාකච්ඡා කරමින් සිටින බවය. එහිදී සාකච්ඡාවට භාජනය වූයේ කුමක්දැයි යන්න බොහෝ දෙනාගේ කුතුහලයට ලක් විය. ජනාධිපතිවරයා සහ අජිත් දොවාල් මහතා හොඳින් දැන හඳුනන දෙදෙනකු වීමත් ගෝඨාභය මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව අජිත් දොවාල් දෙවරක් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමත් එයට හේතුවය. 2020 ජනවාරියේදී සහ නොවැම්බරයේදී එම සංචාර සිදුවිය.

එසේම පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේදී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ද හමුවිය. සාමාජිකයන් 54කින් යුත් පොදුරාජ්‍ය මණ්ඩලයේ නාමමාත්‍රික ප්‍රධානියා වශයෙන් එළිසබෙත් මහරුජිණට පසුව පත්වනු ඇති බවට සැලකෙන්නේ චාල්ස් කුමරුය. එහෙත් එය තවම තහවුරු වී නැත. චාල්ස් කුමරු මේ ධුරය සඳහා ප්‍රසිද්ධියේ කැම්පේන් කළත් නොකළත් ඒ ධුරයට ඔහුගේ ඇති කැමැත්ත පිළිබඳ අවිශ්වාසයක් නැත. ඔහු සමුළුවේදී අනාගත පරම්පරාව වෙනුවෙන් හැඟීම්බර කතාවක් ද කර තිබිණි.

ලෝක සුපිරි බලවතුන්ට ලංකාව කෙළිබිමක් වෙලා!

මේ අතර ඇතැම් බලවත් රටවල් මගින් පසුගිය දිනවල නිකුත් කරන ලද ප්‍රකාශ සලකා බැලීමේදී ශ්‍රී ලංකාව සුපිරි බලවතුන්ගේ කෙළිබිමක් බවට පත්වෙමින් පවතින්නේදැයි කෙනකුට සැකයක් පහළවීම වැළැක්විය නොහැක. භූ දේශපාලනික වශයෙන් සිදුවන වර්ධනයන් පසුගිය කාලය තුළදී ඉහළ යාම මීට හේතුවෙයි.

අමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව එකතු වී පිහිටුවාගන්නා ලද ත්‍රිපාක්ෂික ආරක්ෂක ගිවිසුම විවේචනයට ලක් කරමින් නිකුත් වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති කුයි ෂෙන්හොන්ගේ ප්‍රකාශයේ සඳහන් වූයේ එය පැසිපික් ඉන්දීය සාගර කලාපයේ රටවල්වල නායකයන්ගේ හිස මතට කඩුවක්* තබාගෙන සිටීමක් බවය. එකී ගිවිසුම් යටතේ ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන් අඩුම වශයෙන් 08ක් ලබාදීමට කටයුතු කිරීම සැලකිල්ලට ගනිමින් කොළඹ චීන තානාපති කාර්යාලය මේ ප්‍රකාශය කර ඇති බව පෙනී යයි.

චීන තානාපති එහිදී ශ්‍රී ලංකාව ගැන ද විශේෂයෙන් සඳහන් කරයි. &ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ඉන්දීය සාගරයේ කේන්ද්‍රයේයි. ඉන්දීය සාගරයට ඇතුළු වන්නේ න්‍යෂ්ටික බලැති සබ්මැරීන ද යන්න නොව වැදගත් වන්නේ න්‍යෂ්ටික අවි තරගය ඉහළ යාමයි. එසේම අධිපතිවාදී රටවල් කුඩා සහ මධ්‍යම ප්‍රමාණ රටවල්වලට පැත්තක් ගන්නා ලෙසට බලපෑම් කිරීමට කල්ලි ගැසෙන බව පෙනී යයි. එය ශ්‍රී ලංකාවට අති විශාල ආරක්ෂක අවදානමක් ඇතිකිරීම නොවැළැක්විය හැකියි.

මේ ප්‍රකාශයෙන් දින කිහිපයකට පසුව අමෙරිකා ආරක්ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය වන පෙන්ටගනය මගින් නිකුත් කරන ලද සවිස්තරාත්මක වාර්තාවක සඳහන් කර තිබුණේ චීනය විසින් &මහජන විමුක්ති හමුදා කඳවුරු* පිහිටුවීමට අරමුණු කරගෙන සිටින රටවල් අතරේ ශ්‍රී ලංකාව ද සිටින බවය. නාවික, ගුවන් සහ පාබල හමුදා සඳහා සහ සයිබර්, අභ්‍යවකාශ බලය ඇතුළු හමුදා උපකරණ සහ අතිරේක පහසුකම් ලබාදීමට සලකා බලන රටවල් අතරේ ශ්‍රී ලංකාව ද සිටින බවත් එම වාර්තාවේ සඳහන්ය. මේ රටවල චීන හමුදා කඳවුරු පිහිටුවීමට අපේක්ෂිත බවද අමෙරිකා කොංග්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කළ එම පෙන්ටගන් වාර්තාවේ සඳහන් වෙයි. 

මේ සඳහා චීනය සලකා බලන සෙසු රටවල් වන්නේ කාම්බෝජය, මියන්මාර්, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, පාකිස්තානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කෙන්යා, සේෂෙල්ස්, ටැන්සානියා, ඇංගෝලා සහ තජිකිස්තානයයි. මෙම වාර්ෂික වාර්තාවෙන් චීනයේ මහජන විමුක්ති හමුදා කඳවුරු ඉහත සඳහන් රටවල්වලට තවදුරටත් ව්‍යාප්ත කිරීමට තිබෙන ඉඩකඩ පිළිබඳව අනතුරු අඟවයි.

- සන්ඩේ ටයිම්ස්

 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00