2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

පුංචි කෑලි

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 103

රිදී ඉරක් නොදකින අපේ ජාතික ගුවන් සේවය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන ගණනාවක් කඩා වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ දේශපාලන ඇඟිලි ගැසීම් සහ දූෂණය බව නොදන්නා කෙනකු නැත. මෙවැනි රාජ්‍ය ආයතන අධිකව පාඩු ලබන විට ඒ සඳහා වැය වන්නේ මහජනතාවගේ බදු මුදල්ය.

මේ සඳහා හොඳම උදාහරණයක් වන්නේ අධික ණය බරින් මිරිකෙන මේ රටේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ආයතනයයි. එහි පැවැත්ම කොවිඩ් වසංගතය හේතුවෙන් ලෝක ගුවන් සේවා කර්මාන්තය මුහුණදුන් දැවැන්ත අර්බුදය හමුවේ වඩාත් අභියෝගාත්මක විය. ලොව පුරා ගුවන් ගමන් ඇනහිටවීමෙන් ගුවන් යානා මාස ගණනාවක් ගොඩබිමේ තැබුණු අතර පියාසර කිරීමක් සිදු නොවීය. ලොව පුරා දහස් ගණනකට මේ හේතුවෙන් රැකියාද අහිමි විය.

ශ්‍රී ලංකන් ආයතනය බින්දුවට ඇද දැමූ දූෂිත සහ වංචනික ගනුදෙනුද පාලනාධිකාරිය විසින් ගනු ලැබූ දුර්වල තීරණද සම්බන්ධ තොරතුරු විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කෙරුණු ජනාධිපති විමර්ශන කොමිසමේදී හෙළි වී තිබිණි. එහෙත් එම කොමිසමෙන් වැරදිකරුවන් වූ කිසිවකුටත් එරෙහිව මේ දක්වා කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් ප්‍රධාන විධායක නිලධාරීට එරෙහිව එංගලන්ත මහාධිකරණයේ සාපරාධී මුදල් අපහරණය පිළිබඳ නඩුවක්ද ගොනු කෙරුණත් ශ්‍රී ලංකාව තුළ කිසිදු ක්‍රියාමාර්ගයක් ගනු ලැබුවේ නැත. එසේ වූයේ ඔවුන්ට ඉතා බලවත් පුද්ගලයන්ගේ රුකවරණය ලැබීම හේතුවෙනි.

පසුගිය සතියේදී ඉන්දියාවේ ජාතික ගුවන් සේවය වන එයාර් ඉන්දියා ආයතනයේ බහුතර කොටස් එරට ප්‍රධානම පෙළේ සමූහ සමාගමක් වන &ටාටා ග_ප්* විසින් අත්කර ගන්නා ලදී. ඒ වන විට එයාර් ඉන්දියා ආයතනය ණය බරින් මිරිකෙමින් තිබිණි.
ඉන්දියාවේ සුප්‍රකට ව්‍යාපාරික පවුලක ප්‍රධානියා වූ ජේ.ආර්.ඩී. ටාටා විසින් එම ගුවන් සමාගම පිහිටුවනු ලැබුවේ මීට වසර 90කට පෙරදීය. මෙම කලාපයේ &හොඳම ගුවන් සේවය* වශයෙන් හැඳින්වුණු &ටාටා එයාර් ලයින්ස්* 1953 වසරේදී එවකට සමාජවාදී රටක් වූ ඉන්දියාව ජනසතු කළේය. අද, එම ආයතනය පිහිටුවූ ටාටාගේ පුතුන් විසින්ම එම ආයතනය ඉන්දීය රුපියල් කෝටි 18,000කට යළි පවරාගනු ලැබ තිබේ. අමෙරිකානු ඩොලර්වලින් එම මුදල බිලියන 2.47කි.

අපේ රටේ ජාතික ගුවන් සේවය සඳහා ආයෝජනය කිරීමට කිසිදු සමාගමක් එන්නේ නැත. පසුගිය යහපාලන රජය මගින් ඒ සඳහා ආයෝජකයකු සොයා ගැනීමට රටවල් ගණනාවක පිහිට පැතූ නමුත් එය සාර්ථක නොවීය. එම ආයෝජනයට අකැමැත්ත පළ කළ ආයතන අතර විදේශීය ගුවන් සමාගම්ද ඉතා ධනවත් ව්‍යාපාරිකයෝද වූහ.

ශ්‍රී ලංකා ආණ්ඩුවල ඇතැම් නායකයන්ද අපගේ ජාතික ගුවන් සේවය තමන්ගේ විදෙස් ගමන් බිමන් සඳහා යොදවා ගැනීමට කැමැත්තක් නොදැක්වීම ලොකුම අවාසනාවය. ඔවුන් බොහෝ විට එම අවශ්‍යතා සපුරා ගන්නේ ගෝලීය ගුවන් සමාගම් වලිනි. කොහොම වුණත් ඒ සඳහා වැය වන්නේ මෙරට බදු ගෙවන මහජනතාවගේ මුදල්ය.

- සන්ඩේ ටයිම්ස්

අයවැයෙන් සෞඛ්‍යයට අධ්‍යාපනයට අඩු සැලකිලි

2022 වසර සඳහා ඉදිරිපත් කෙරුණු අයවැය විසර්ජන පනත් කෙටුම්පතින් සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රතිපාදන කපා හැරීම බොහෝ දෙනකුගේ විශ්මයට හේතු වී තිබේ. කොවිඩ් වසංගතය තවමත් ලොව පුරා පැතිර යමින් තිබියදී බොහොමයක් රටවල් මහජන සෞඛ්‍ය සුරුකීම සඳහා විශාල ආයෝජන සිදුකර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සඳහා වියදම් අඩුකර තිබේ. එසේ සිදුකර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහා වැඩි මුදලක් වෙන් කරමිනි.

එසේම අධ්‍යාපනය සඳහාද ලොවේ සෙසු රටවලට වඩා අඩු ප්‍රමුඛත්වයක් ලබා දී ඇතැයි පෙනී යන්නේ අධ්‍යාපනයට වඩා මහාමාර්ග අමාත්‍යාංශයට මුදල් වෙන්කර තිබීම හේතුවෙනි.

ලබන වසර සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 373.1ක් වන අතර එය පසුගිය වසරට වඩා බිලියන 18ක වැඩිවීමකි. එය 2022 වසර සඳහා අමාත්‍යාංශයකට වෙන් කෙරෙන වැඩිම මුදලයි.

මහාමාර්ග අමාත්‍යාංශයට බිලියන 250.1ක් වෙන්කර තිබෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර ඇත්තේ බිලියන 185.9ක් පමණි. පසුගිය වසරේදී මේ අමාත්‍යාශ දෙකට මුදල් වෙන්කර තිබුණේ මේ ආකාරයටමය.

- ඩේලි එෆ්.ටී.

දවල් කෑම නැතුවම බැරි ඇමැතිවරු!

මෙරට ජනතාවගෙන් විශාල පිරිසක් තුන්වේල ගැටගසා ගන්නේ අමාරුවෙනි. බොහෝ දෙනකුට එය දුෂ්කර ක්‍රියාවකි. එසේ වුවද මහජනතාවගේ නියෝජිතයන්ට නම් දිවා භෝජනය නැතුවම බැරි ඉතාම වැදගත් කාර්යයක් බව ඔවුන් විසින්ම පෙන්වා දී තිබේ.

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ විවාදයක් පවතිද්දී දිවා භෝජනය සඳහා එය නතර නොකර දිගටම පවත්වාගෙන යා යුතු බවට විපක්ෂය යෝජනා කළ අවස්ථාවේ එය පැහැදිලි විය.

බදාදා (06) ඛණිජ සම්පත් කෙටුම්පත පිළිබඳ විවාදය පවතිද්දී දිවා භෝජන අවස්ථාවේ විපක්ෂය යෝජනා කළේ විවාදය දිගටම පවත්වාගෙන යා යුතු බවය. එහෙත් රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා තදින්ම කියා සිටියේ දිවා භෝජන විවේකය වැදගත් බවය. සිකුරාදා (08) 2021 අර්ධ වාර්ෂික මූල්‍ය වාර්තාව විවාදයට ගෙන තිබියදී අධ්‍යාපන ඇමැති සහ පාර්ලිමේන්තුවේ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේ දිවා භෝජනය සඳහා විවාදය නතර කළ යුතු බවය. එය ඉතාම වැදගත් බැවින් දිවා භෝජන විවේකයෙන් පසුව යළි විවාදය පවත්වාගෙන යා යුතු යැයි ඔහු සඳහන් කර තිබිණි.

මෑතකදී රජයේ මන්ත්‍රීවරයකු ප්‍රකාශ කර තිබුණේ ජනතාව වේල් දෙකක් කා එක වේලක් කැප කිරීමට පුරුදු විය යුතු බවය. රට මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතා ඊට හේතු බවද ඔහු පෙන්වා දී තිබිණි. එවැනි අවස්ථාවක රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට දිවා භෝජනය මේ තරම් වැදගත් වීම විමතිය දනවන බව එක් පාර්ලිමේන්තු වාර්තාකරුවෙක් තම සගයන් පිරිසකට පවසා තිබිණි.

- සන්ඩේ ටයිම්ස්