2021 මැයි 08 වන සෙනසුරාදා

වඩාත් ඝනකම ලේද? වතුරද?

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 141

මෛත්‍රීපාල සිරිසේනත් රනිල් වික්‍රමසිංහත් 2015 ජනාධිපතිවරණය ජයගෙන ඉන්පසුව පැවැත්වූ මහ මැතිවරණයෙන් යහපාලන ආණ්ඩුව ස්ථාවර කරගැනීමෙන් පසුව විපක්ෂ නායකයා වුණේ හිටපු ජනාධිපති මහින්ද නොවේ. ටී.එන්.ඒ. නායක සම්පන්දන්ය. ජනාධිපති ධුරය දෙවරක් දරා රටේ ජනප්‍රියම දේශපාලන නායකයා වීමේ භාග්‍යය මහින්දට ලැබුණත් යහපාලන ආණ්ඩුව පිහිටුවීමේදී ඔහු නායකත්වය දුන් ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පිරිසක් ගැලවී ගොස් යහපාලනයට එකතුවීම නිසා පාර්ලිමේන්තුව ඇතුළේ තනි පක්ෂයක් හැටියට වැඩිම ආසන සංඛ්‍යාවක් හිමි වී තිබුණේ ටී.එන්.ඒ. එකටය. විපක්ෂනායක ධුරය සම්පන්දන්ට ගියේ ඒ අනුවය.

ජනාධිපති ධුරය දෙවරක් දැරූ මහින්ද ඉන්පසුව පාර්ලිමේන්තුවේ නිකම්ම කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයා විය. ඒ හැර ඔහුට තිබුණේ එ.ජ.නි.ස. නායකත්වය පමණි. ශ්‍රීලනිප නායකත්වය මහින්ද ජනාධිපතිවරණය අවසන් වූ වහාම මෛත්‍රීපාලට බාර දුන්නේය. ඒ වෙලාවේ මේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂව යළිත් රටේ නායකත්වයට ගෙනඒමේ සටන පටන් ගත්තේ විමල්, උදය, වාසු ඇතුළු කසකාර, කටකාර මන්ත්‍රීන් පිරිසකි. ඔවුන් එකතු වී මහමැතිවරණයටත් කළින්ම “මහින්ද සුළඟ” ව්‍යාපාරය අරඹා  මැතිවරණ පරාජයෙන් දැඩිව සිත්තැවුලට පත්ව සිටි මහින්දව යළි නගා සිටුවීමට උර දුන්හ. යහපාලන ආණ්ඩුවත් බලාපොරොත්තු නොවූ ආකාරයට දහස් ගණනක සෙනඟක් කොළඹට රැස්කර පැවැත්වූ රැස්වීම්වල වේදිකාවට ඉන්පසුව සෙසු පිරිසද ගොඩවූහ. ඒ වේදිකාවේ එක් ප්‍රබල චරිතයක් වුණේ මහින්ද තානාපතිවරයකු කළ දයාන් ජයතිලකය.

මහින්ද සුළඟ එළියේ තදින්ම හමා ගියත් පාර්ලිමේන්තුව ඇතුළේ ඔවුන් නිකම්ම මන්ත්‍රී පිරිසක් විය. ඒ සමඟ ටී.එන්.ඒ. ප්‍රධාන විපක්ෂය යහපාලන ආණ්ඩුව සමඟ එකතු වී සංහිඳියා වැඩපිළිවෙළ යටතේ එකට වැඩ කිරීම නිසා මහින්දලාට පාර්ලිමේන්තුව ඇතුළේ බලපෑම් කිරීමට පොටක් පෑදුණේය. ඔවුන්ට විපක්ෂනායක ධුරය අහිමි කෙරුණේ තාක්ෂණික කාරණයක් හේතුවෙනි. ටී.එන්.ඒ. මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මෙන් දෙගුණයකටත් වඩා මහින්දගේ කණ්ඩායමට මන්ත්‍රීවරුන් සිටියත් එයින් පිරිසක් ආණ්ඩුවට එකතු වීම නිසා එජනිස යනු ආණ්ඩුවේම කොටසක් මිස විපක්ෂය නොවන බවට මතු කෙරුණු තර්කය අභිබවා යාමට හැකියාවක් තිබුණේ නැත. ඒකාබද්ධ විපක්ෂය සංකල්පය ඉදිරිපත් වුණේ ඒකට පිළිතුරක් වශයෙනි.

නිකම්ම විපක්ෂ මන්ත්‍රීන් පිරිසක් බවට පත්ව සිටි මහින්දගේ මන්ත්‍රී කණ්ඩායමට ඒකාබද්ධ විපක්ෂය ප්‍රබල උත්තේජනයක් සැපයූ දේශපාලන ඉන්ජෙක්ෂන් එකක් විය. පාර්ලිමේන්තුව ඇතුළේත් එළියේත් ඒකාබද්ධ විපක්ෂය මහින්දලාට ශක්තිමත් වේදිකාවක් බවට පත්වුණේ යහපාලන ආණ්ඩුවත් අන්දමන්ද කරවමිනි. මේ ඒකාබද්ධ විපක්ෂය වඩාත් ජනතාව අතරට යාමට තවත් හේතුවක් වූයේ සම්පන්දන් සහ සුමන්තිරන්ලාගේ නායකත්වයෙන් යුතු ටී.එන්.ඒ. එක විපක්ෂනායක කාර්යය ඉටුකරනු වෙනුවට ආණ්ඩුවට මුක්කුවක් වශයෙන් කටයුතු කිරීම හේතුවෙනි. සංහිඳියා වැඩපිළිවෙළ එයට හේතුවුණත් ඒ වෙනකොට බැඳුම්කර මගඩියත් පළාත් පාලන මැතිවරණය කල්දමා ගැනීමට ආණ්ඩුවට සහාය දැක්වීමත් නිසා ටී.එන්.ඒ. නායකයාගේ විපක්ෂනායක ධුරය හෑල්ලු වී තිබුණි.

ඒකාබද්ධ විපක්ෂය ගොඩනැගුණේ මේ පසුබිමේය. මේ පසුබිම හැදෙන විට ඒකට හරියන ඒකාබද්ධ විපක්ෂ වේදිකාව හැදීමට විමල්, උදය, වාසුදේව, දිනේෂ් පමණක් නොව පාර්ලිමේන්තුවෙන් පිටත සිටි ලසසප, කොපද එකතු විය. මේ කවුරු එකතු වුණත් ඒකාබද්ධ විපක්ෂයේ බලකණු වුණේ විමල්ලා බව මුල සිටම කැපී පෙනුණි. ඒකාබද්ධ විපක්ෂයත් විමල් සහ උදයත් ගහට පොත්ත මෙන් විය. ඔවුන් දෙදෙනා මේ වේදිකාවේ සිට හඬ නගන විට මාධ්‍ය හරහාද ලොකු පබ්ලිසිටියක් ලැබුණි. විමල්ලාගේ &කට* ඊට ලොකුම හේතුවක් විය. පාර්ලිමේන්තුව ඇතුළේ තමන්ට නොතිබූ විපක්ෂ නායකයාගේ කාර්යභාරය මහින්දගේ ඔඩොක්කුවට වැටුණා නොව සිදුවුණේ එය වැට්ටවීමකි.  

ඊට පස්සේ වෙනම පක්ෂයක් නිර්මාණය කිරීමේ වගකීම මහින්ද පවරා දුන්නේ බැසිල්ටය. බැසිල්ගේ මූලිකත්වයෙන්ද ජී.එල්. පීරිස් සභාපති වශයෙන්ද වගකීම් පවරන විට ඒ ගැන ඒකාබද්ධ විපක්ෂය වටා සිටි බොහෝ දෙනකුගේ කැමැත්තක් තිබුණේ නැත. ඒ වුණත් වැඩේ හරියට සිදුවන  බවට මහින්ද තුළ දැඩි විශ්වාසයක් තිබුණි. ඒ වෙලාවේ විමල් සහ උදය ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් තුළ පැවැති බැසිල් පිළිබඳ කහට දේශපාලනයෙන් තෙම්පරාදු වූ මහින්දට අඳුරා ගැනීම අපහසු නොවන්න ඇත. පොහොට්ටුව ගොඩනැගී 2018 පෙබරවාරි 10 වැනිදා පැවැති පුංචි ඡන්දයෙන් යහපාලන ආණ්ඩුව හොල්මං වූ විශිෂ්ට ජයක් රටපුරාම ලැබුණු විට ඊළඟ මහ ඡන්දයේදී තමන්ට බලය හිමිවන බවට පොහොට්ටුව තුළ දැඩි විශ්වාසයක් ගොඩනැගුණේය. එහෙම වෙද්දී මේ පොහොට්ටුව ගොඩනැගුණේ තමන් එකතු වී ගොඩනගාගත් ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන පදනම මත බව හැඟීමක් විමල්ලාට උදයලාට ඇති නොවුණා නම් පුදුමය.

ඒ කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂ වේදිකාව 2018 පුංචි ඡන්දයේ ජයග්‍රහණයෙන් පසුව පොහොට්ටු වේදිකාව බවට පත් වුණි. විමල්ලාද ඒ වේදිකාවට ගොඩවුණත් ඔවුන්ගේ කාර්යභාරය එලෙසම ඉටුවුණත් බැසිල් සමඟ හටගත් දේශපාලන කෝන්තරය දිගටම දලු ලා වැඩුණේය. ජනාධිපතිවරණ ජයගැනීමෙන් පසුව මහමැතිවරණයට සැලසුම් හදද්දී විමල් - උදය සහ බැසිල්ලා අතර ගැටුම එළියට පැන්නේය. විමල්ලා ඉල්ලා සිටි මන්ත්‍රී ආසන සංඛ්‍යාව ඔවුන්ට ලැබුණේ නැත. ඒ සමඟ ශ්‍රීලනිපයද බැසිල් සමඟ ගැටුණේය. එහෙම වුණත් මහින්ද දිගටම විමල්, උදය සහ ශ්‍රීලනිපයත් බැසිලුත් බැලන්ස් කරගෙන මහ මැතිවරණ ජයට පාර කපා ගත්තේය. එතැනදීත් වැඩියෙන්ම කියැවුණේ මේ ගේම් එක ගැහැව්වේ බැසිල් කියාය. බැසිල් නැත්නම් මෙහෙම ජයක් ලැබිය නොහැකි බවට මතයක් පැතිර ගියේය. මේ දේශපාලන සංදර්භය ඇතුළේ තමන්ගේ භූමිකාව පිළිබඳව ඒ වෙලාවේ විමල්ට සහ උදයට සිත් වේදනාවක් ඇති නොවුණා නම් ඒ ගැන පුදුම විය යුතුය.

අද මේ රට පාලනය කරන්නේ එදා ඒකාබද්ධ විපක්ෂය වශයෙන් තමන් හදාදුන් වේදිකාවෙන් පන්නරය ලැබූ පොහොට්ටුව වුණත් අද තමන්ට ඒ තුළ තමන් බලාපොරොත්තු වන පිළිගැනීම නොලැබෙන බව විමල්ලා දැන සිටිති. තමන්ට දේශපාලන පොලු හරස් කරන්නේ බැසිල් බවට ඔවුන් තුළ තදබල හැඟීමක් තිබෙන බව පැහැදිලිය. දේශපාලනඥයකු නොවන ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා වශයෙන් සිටියත් තමන්ගේ දුක් ගැනැවිලිවලට ඔහුට කළ හැක්කේ සවන්දීම පමණක් බවත් විමල්ලා අවබෝධ කරගෙන සිටිති. ගෝඨාභය මහතා ජනාධිපති ධුරය දැරීමට කැමැතිතාක් ඔහුගේ දේශපාලනය වෙනුවෙන් තමන් පෙනී සිටින බව වරක් විමල් කිව්වේය. ඔහු ඒ බව කිව්වේ බැසිල් ඉලක්ක කරගනිමින් දැඩිව අදහස් පළ කළ අවස්ථාවකදීය. විමල් සමඟ ඒ වෙලාවේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ද එක් වුණේය.

මේ සියල්ල දෙස අවධානය යොමුකර සිටින අගමැති මහින්ද පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවූයේ මීට විසඳුමක් සෙවීමට විය යුතුය. එහෙත් ඒ පක්ෂ රුස්වීම විමල්ලා වර්ජනය කළෝය. එතැනට පක්ෂ නායකයකු නොවන බැසිල් පැමිණෙන්නේ දේශපාලන ගේමකට සූදානම්ව බව ඔවුන්ට හැඟී යන්නට ඇත. ඒ රැස්වීම පක්ෂනායක මට්ටමේ රැස්වීමක් බව කියා තිබුණත් ඊට 51 දෙනකුට ආරාධනා කර ඇති බවත් ඔවුන්ට දැනගන්නට ලැබුණි. එය බැසිල්ගේ දේශපාලන උපක්‍රමයක් බව ඔවුන් අවබෝධ කරගන්නට ඇත. විමල්ලාගෙන් රැස්වීමේදී දෝෂාරෝපණ එල්ල වුණොත් තමන් වෙනුවෙන් උත්තරදීමට පිරිසක් සූදානම් කිරීම බැසිල්ගේ සැලසුමක් කියා ඔවුන් සිතීම සාධාරණය. හැබැයි මහින්දත් සමඟ තිබෙන දේශපාලන හිතවත්කම් පලුදු කර ගැනීමට ඔවුන් කැමැති නැත. රැස්වීමට නොඑන බව විමල්ලා මහින්ද හමුවීමට ගොස් කියන්න ඇත්තේ මේ නිසාය.

මහින්ද යළිත් වරක් පක්ෂනායක රැස්වීමක් කැඳවන බවට කියා පසුගිය 04 වැනිදාට දින නියම කළේය. එදාත් දැනගන්නට ලැබුණේ බැසිල් කලින් වතාවේ මෙන්ම තමන් වෙනුවෙන් කණ්ඩායමක් ඒ රැස්වීමට කැඳවා ඇති බවය. එවරත් ඔවුන් කළේ මහින්දට කතාකර ඒ බව දැනුම්දීමය. ඒ වෙලාවේ මහින්ද ඔවුන්ට තමන් පැමිණ හමුවන්නැයි කී අතර එම හමුවට වාසුදේව ඇතුළු පිරිසක් ගොස් තිබිණි. එසේ නම් ලබන 11 වැනිදා යළිත් වතාවක් පක්ෂනායක රැස්වීමකට ඔවුන්ට අවස්ථාව දෙන බව මහින්ද එහිදී දැනුම් දී තිබුණි.

මහින්ද එසේ කිව්වත් 11 වැනිදා නියමිතව ඇති රුස්වීමටද විමල්ලාගේ “ඒකාබද්ධ විපක්ෂයේ” සහභාගීත්වය තීරණය වනු ඇත්තේ බැසිල්ගේ “ඇක්ෂන්” එක අනුව බව පැහැදිලිය. මහින්ද කියූ පරිදි එදාට පැවැත්වෙන්නේ විමල්ලාගේ 11 දෙනාට පමණක් සීමාවූ රැස්වීමක් නම් ගැටලුවක් නොවනු ඇත. එයටද බැසිල් හරස් වෙනවාදැයි බලසිටිය යුතුය. එහෙම වෙනවා නම් එහි තේරුම බැසිල්ට තවදුරටත් විමල්ලා දේශපාලන වශයෙන් වැදගත් නොවන බවය. එය විමල්ලා නැතුව ආණ්ඩුව කරගෙන යාමට හැකි බවට බැසිල් ලබාදෙන සංඥාවකි. විමල්ලාත් දිගින් දිගටම මෙසේ කරන්නේ “හොඳයි.... අපි නැතුව කරලා බලමුකෝ...” යන ආකල්පයෙන් බවද පැහැදිලිය. දේශපාලන වශයෙන් එතරම් සක්‍රීය නොවන භූමිකාවක් ඉටුකරන මහින්ද මේ ගැන හිතන්නේ කොහොමද කියන එක මත ඉදිරියේදී බොහෝ දේ තීරණය වනු ඇත.

මේ සියල්ල සිදුවන්නේ ආණ්ඩුව ආර්ථික වශයෙන්ද කොවිඩ් රෝගයේ බලපෑම් හේතුවෙන්ද බරපතළ ගැටලු ගණනාවකට මුහුණදෙමින් සිටියදී වීම අවාසිදායක තත්ත්වයකි. කොවිඩ් හේතුවෙන් රැකියා සහ ආදායම් අහිමි වී එදිනෙදා ජීවිතය ගෙවා දැමීම පවා දැඩි දුෂ්කරතාවක් බවට පත්ව සිටින ජනතාව තුළද ආණ්ඩුව කෙරෙහි ඇත්තේ දැඩි විවේචනයකි. ඒ අතර කොවිඩ් මර්දනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේදී ආණ්ඩුව දක්වන අවිනිශ්චිත බවද බරපතළ ගැටලු මතුකරමින් තිබේ. ඇතැම් තීරණ සම්බන්ධයෙන් කඹඇදීම් පවතින බව පැහැදිලිය. ඒ අතරේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගැනීම් සහ අත්අඩංගුවට ගැනීමට සූදානම් වීම් නිසා විපක්ෂයද ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග දැඩිකරන බවද පෙනෙන්නට තිබේ. එතරම් සක්‍රීයව කටයුතු කිරීමට අපොහොසත්ව සිටි විපක්ෂයට මේ වාතාවරණය ප්‍රබල උත්තේජනයක් සපයා තිබෙන බව පැහැදිලිය. 

එදා ඒකාබද්ධ විපක්ෂයේ සිටි දයාන් ජයතිලකද දැන් දැඩිව ආණ්ඩුව විවේචනය කරන තැනකට තල්ලු වී සිටී. එහෙම වනවිට අද විමල්ලාගේ “ඒකාබද්ධ විපක්ෂය” ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්නේ නැත. ඔවුන්ගේ නිහඬ බව ආණ්ඩුවට අවාසියකි.
මේ පසුබිමේ එදා යහපාලනයට එරෙහි වූ “ඒකාබද්ධ විපක්ෂය” අද ආණ්ඩුවට එරෙහිව “ඒකාබද්ධ විපක්ෂයක්” වන ලකුණු පහළ කරමින් තිබේ. මේ ගැටලුව විසඳීම මහින්දට පහසු නැත. ඔහු මුහුණ දී සිටින්නේ රුවුලත් කැඳත් දෙකම බේරාගැනීමේ සටනකටය. හැබැයි රාජපක්ෂවරු කවදත් වැඩකරන්නේ qවතුරට වඩා ලේ ඝනකමයි” යන ආකල්පයෙනි. මේ සටනින් දිනන්නේ වතුරද? ලේද? කියා ඉදිරි දිනවලදී තීරණය වනු ඇත.

- ශශීන්ද්‍ර

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00