2021 මැයි 08 වන සෙනසුරාදා

ජූලි අපලය අප්‍රේල්වලට ඇවිත්

 2021 මැයි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 49

ලංකාවේ දේශපාලන කරළිය සාමාන්‍යයෙන් රත්වන්නේ ජූලි මාසයේදී බවට කතාවක් තිබිණි. හැත්තෑ හතේ පටන් ගත්තොත් ජේ.ආර්. හයෙන් පහක ජයක් ලබා සිරිමාවෝගේ රජය අටට බැස්සුවේ හැත්තෑහතේ ජූලි මැතිවරණයෙනි. ඉන්පසුව රටේ බෙදුම්වාදී යුද්ධයකට පණ පොවමින් කොටින් පළමු බෝම්බ ගැසීම සිදුකළේ 83 ජූලි මාසයේදීය. ඒ සමඟ රටපුරා ඇතිවූ ජාතිවාදී කලකෝලාහල ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් විය. එවැනිම තවත් හැරවුම් ලක්ෂයක් වූ ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කළේ 87 ජූලි මාසයේදීය. ඒ සමඟ රටපුරා ජේ.ආර්. විරෝධී දකුණේ කැරැල්ලට මුලපිරුණු අතර ඒ වසරේ ජූලි මාසය අවසන් වුණේ රටම අකර්මණ්‍ය කරමිනි. එසේම රටට බරපතළ හානියක් ගෙනදුන් කටුනායක ගුවන්තොටුපළට කොටි පහරදී ගුවන් යානා ගණනාවක් විනාශ  කරනු ලැබුවේද 2001 ජූලියේදීය. මේ ජූලි මාසය මළ ජූලියක් වූ ඉතිහාසයේ කොටසකි.

හැබැයි දැන් මේ තත්ත්වය වෙනස් වී තිබේ. රටම බරපතළ තැනකට තල්ලු කරමින් සහරාන්ගේ බෝම්බවැල පුපුරා ගියේ 2019 අප්‍රේල් මාසයේ 19 වැනිදා පාස්කු ඉරිදාය. ඊළඟට කොවිඩ් වෛරසය රටට ඇතුළු වූයේ 2020 මාර්තු මාසයේ වුවද එය රටපුරා ලොක්ඩවුන් තත්ත්වයක සිරකරනු ලැබීම හේතුවෙන් එවර අප්‍රේල් මාසයේ අලුත් අවුරුද්ද රටටම අහිමි විය. 2021 අප්‍රේල් මාසය වනවිට රට කොවිඩ් වසංගතයේ භයානකම අදියරට පැමිණියේය. ඉදිරියේදී එය මොන තත්ත්වයකට හැරේදැයි කීම පවා අපහසුය. එසේම රටේ සිදුවූ හදිසි අනතුරුවලින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේද පසුගිය අප්‍රේල් මාසයේය.

පාස්කු බෝම්බ ප්‍රහාරයට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාටත් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාටත් එරෙහිව නඩු පැවරීමට අප්‍රේල් මාසයේ සිට සූදානම් වූ අතර පසුගිය 03 වැනිදා එම නඩු පවරනු ලැබීය. එසේම පාස්කු ප්‍රහාරයට සම්බන්ධ චෝදනා මත හිටපු ඇමැතිවරයකු වන වත්මන් සජබ මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගනු ලැබුවේද අප්‍රේල් මාසයේදීය. ඊට පෙර අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරයේ දෙවැනි සංවත්සරයේදී කාදිනල්තුමාගෙන් රජයට සැර විවේචනයක් එල්ල විය.

මේ අතර කොවිඩ් වසංගතය මර්දනයට නිසි ලෙස කටයුතු නොකරන බවට විපක්ෂය රජයට එරෙහිව දැඩිව චෝදනා එල්ල කිරීමට පටන් ගත්තේ අප්‍රේල් මාසය තුළදී වීම විශේෂයකි. එසේ චෝදනා කරමින් තමන් මේ අවස්ථාවේදී කොවිඩි මර්දන ක්‍රියාවලියට රජයට සහාය දැක්වීමට සූදානම් බවද විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේද අප්‍රේල් මාසය තුළදීමය. එසේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධානීන් කිහිප දෙනෙකුම රට ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාව තදින්ම රජයට පෙන්වා දුන්නේද අප්‍රේල් මාසයේදීය. එහෙත් රජය රට ලොක්ඩවුන් කිරීමෙන් වැළකුණේය.

ජූලි මාසයෙන් අප්‍රේල් මාසයට මාරු වී ඇති දේශපාලන අලකලංචි ඊළඟට මොන මාසයකට හැරේදැයි අනාවැකි පළකිරීම නම් පහසු නැත.

ගොවීන් මිලියන 2ක් අමාරුවේ
- සජබ

රජය මගින් පනවා ඇති රසායනික පොහොර ආනයන තහනම හේතුවෙන් මෙරට ගොවීන් මිලියන 2ක් පීඩාවට පත්වනු ඇතැයි සජබ ප්‍රකාශ කරයි. හදිසි තීරණයක් මත ගත් මේ පියවරෙන් ගොවි ප්‍රජාව බරපතළ අවදානමකට ඇද දමා ඇති බවටද ඔවුහු චෝදනා කරති.

විපක්ෂනායක කාර්යාලයේදී පසුගිය 05 වැනිදා පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී සජබ මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රකාශ කළේ මෙය ආණ්ඩුව දුරදිග නොබලා ගත් තීරණයක් බවය. රසායනික පොහොර භාවිතය අඩු කිරීමට ක්‍රමානුකූලව පියවර ගත යුතු වුවත් එවැනි තහනමක් ක්‍රියාත්මක කළ යුත්තේ ඒ සඳහා විකල්පයක් සූදානම් කර ගැනීමෙන් පසුව බවද එහිදී සඳහන් විය. මෙවැනි හදිසි තීරණවලින් ගොවි ජනතාව අසරණ වෙද්දී එයින් වාසි ගන්නේ කළුකඩ පොහොර මුදලාලිලා බවටද ඔවුහු චෝදනා කළහ.

- ඩේලි එෆ්.ටී.