“විවිධ පුද්ගලයන් විවිධ අර්බුද හදන්න උත්සාහ දරනවා. රාජපක්ෂ පවුල අර්බුදවලින් විනාශ කරන්න බෑ. අර්බුද හදන්න පුළුවන් පවුලක් නොවෙයි අපි. අපේ ජයග්‍රහණයේ ප්‍රධානම සාධකය වුණේ මහින්ද රාජපක්ෂ කියන චරිතය. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතා පක්ෂයක් නිර්මාණය කරලා රජයක් බිහි කරන්න ජයග්‍රහණයක් ඇති කරන්න මේ රටේ වාතාවරණය සකස් කිරීම අවිවාදයෙන් පිළිගත යුතු කාරණයක්. මෙවැනි නායකයන් දෙදෙනෙක් සමඟ රජය ඉදිරියට ගෙන යන්න අපට ඉතාම පහසුයි. මේ දෙන්නාම මට කිසිම අවස්ථාවක කිසිම බලපෑමක් කරලා නෑ.”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහෙම කිව්වේ පසුගිය 12 වැනිදා ජනාධිපති කාර්යාලයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් සභා සංසදයේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේය.
“එක වතාවක් අපි ආණ්ඩුවක් හදලා ගල්ලෙන බිඳගෙන යනකම් බලාගෙන හිටියා. සමහරු සියලු වරප්‍රසාද ගත්තා. කුණු ඔක්කොම අපේ කරේ දැම්මා. හැබැයි මේ පාර ගල්ලෙන බිඳගෙන යනකම් ඉන්නෙ නෑ. ඊට කලින් ඕනෑ එකෙක් එළවලා දානවා. කලින් කරපු මෝඩකම් මේ පාර කරන්නෙ නෑ.”
ආණ්ඩුව පිටුපස සිටින මහමොළය වශයෙන් හඳුන්වන බැසිල් රාජපක්ෂ මහතා මේ කතාව කිව්වේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂවරුන් ගැන කළ කතාවට දවස් කිහිපයකට කලින් පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම සමඟ පැවැති හමුවකදීය.
මේ කතා දෙකටම පස්සේ කුරුඳු සිගරට් එකක් කටේ ගහගෙන කර්මාන්ත ඇමැති වශයෙන් දේශීය කර්මාන්තවලට සහාය දෙන බව කියමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ විමල් වීරවංශ ඇමැතිවරයා කියා තිබුණේ විවිධ බලපෑම්වලට අසුවී සිටින ඇතැම් පුද්ගලයන් මෙවැනි දේශීය කර්මාන්තවලට “බාල්දියක්” පෙරළීමට බලා සිටින බවය. ඒ වගේම ඔහු ඊට පෙර කළ කතාවකදී බොහොම සැරෙන් කියා තිබුණේ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන මුස්ලිම් අන්තවාදීන් සමඟ දීග කන්න බලාගෙන සිටින පුද්ගලයන්ගේ මතවාද පරාජය කළ යුතු බවය. එයට ඉඩ නොදෙන බවය.
මේ කතා තුන ආණ්ඩුව අද මුහුණදී සිටින තත්ත්වයේ සැබෑ මුහුණුවර පෙන්වා දෙයි. සියලු ජාතිකත්ව බලවේගවල සහාය ලබාගෙන එතෙක් කාලයක් යූ.එන්.පියේ සම්ප්‍රදායික බලකොටු බවට පත්ව තිබුණු කතෝලික ප්‍රජාවගේ ඡන්ද පදනමද තමන් නමට ලියාගෙන රජුන් තනන්නන් වශයෙන් ලියාපදිංචි වී සිටි මුස්ලිම් දේශපාලන පක්ෂ සහාය මුළුමනින්ම අතහැර දමමින් විශාල ඡන්ද ජයග්‍රහණ දෙකක්ම ලබාගත් පොදුජන පෙරමුණ ආණ්ඩුව ඇතුළේ මොකද දැන් මේ වෙන්නේ කියන එක ලොකුම ගැටලුවයි.
සාමාන්‍යයෙන් ආණ්ඩුවක් බලයට පත්වී වසර කිහිපයක් යනතුරු ඒ ඇතුළේ මතභේද හටගන්නේ නැත. එහෙම ඉක්මනින් මතභේද හටගත් ආණ්ඩුවක් වුණේ 2015 දී පිහිටවූ වික්‍රමසිංහ - සිරිසේන යහපාලන ආණ්ඩුවයි. හැබැයි ඇතුළේ මතවාදී අරගල පැවතුණත් ඒවා මේ තරම් ඉක්මනින් කරළියට ආවේ නැත. ඇමැතිවරුන් දෙදෙනකුටම ඉල්ලා අස්වීමට සිදුවුණත් ඒ ගැන එළියේ ගහගත්තේ නැත.
එහෙම නම් මෑතකදී පිහිටවූ ශක්තිමත්ම ආණ්ඩුව වශයෙන් සැලකෙන පොහොට්ටු ආණ්ඩුවට මෙහෙම දෙයක් වුණේ ඇයි? අපේ පවුල ප්‍රශ්න ඇති කරලා විනාශ කරන්න පුළුවන් පවුලක් නොවේ කියලා ගෝඨාභය ජනාධිපති කියන විට මේ පාර ගල්ලෙන බිඳිනකම් ඉන්නේ නෑ. යන එකෙක් ඉක්මනටම යවනවා කියලා බැසිල් මහතා කියන්නේ ඇයි? ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන විමල්, ගම්මන්පිලලා කරන ප්‍රකාශ ආණ්ඩුවට ගහන ගැහිල්ලක් හැටියට රාජපක්ෂවරැන් සිතන නිසාද? එහෙමත් නැත්නම් ආණ්ඩුව තමන් බලයට පත් කිරීමට මූලික වූ ජාතික බලවේගවලින් ඈත්වෙන ප්‍රතිපත්තියකට ප්‍රවේශ වී සිටින නිසාද? මේ හේතු වගේම එයට බලපාන තවත් හේතු තිබේ.
මුලින්ම පෙනෙන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් වුවද ඇමැති මණ්ඩලය ඇතුළේ පවා ඒකමතික බවක් නැති බවය. ආණ්ඩුව තමන් බලයට පැමිණීමට තරග කළ ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී මුස්ලිම් දේශපාලන පක්ෂවල සහාය එළිපිටම ප්‍රතික්ෂේප කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරය හොඳම සටන් පාඨයක් වී තිබෙන විට මුස්ලිම් දේශපාලන පක්ෂවලට එම වේදිකාවේ ඉඩක් ලැබෙන්නේ නැත. මේ මැතිවරණ ප්‍රචාරය කොතරම් තදින් සිදුවූවාදැයි කිව්වොත් මෙරට සියලු මුස්ලිම් දේශපාලනඥයන් පාස්කු ප්‍රහාරයට වගකිව යුතු අන්තවාදීන් බවට අදහසක් රට පුරා ජනගත විය. කතෝලික පල්ලියත් එහෙම හිතූ බව පෙනෙන්නට තිබිණි. ආණ්ඩුව එය තාවකාලික උපක්‍රමයක් වශයෙන් භාවිත කළා විය හැකිය. එහෙත් රටේ පොදු මහජනතාවට එසේ නොවීය.
එවන් තත්ත්වයක් තුළ ආණ්ඩුවේ අධිකරණය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රී මහතා පත් කරනු ලැබීම ආණ්ඩුවට සහාය දැක්වූ ජාතිකවාදී බලවේගවලට දරුණු පසුබෑමක් විය. අලි සබ්‍රී මහතාගේ උගත්කම, හැකියාවන් සහ ඔහු නීති ක්ෂේත්‍රය තුළ ලබා ඇති ගෞරවනීය තත්ත්වය මේ එකක්වත් ජාතිකවාදී දේශපාලනයේ සිටි ජනතාවට අදාළ වූයේ නැත. විමල්ලා මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වැනි ආණ්ඩුව වෙනුවෙන් දරදිය ඇද්ද මහ සඟරුවනටද මේ පත් කිරීම මුල සිටම ඔරොත්තු දුන්නේ නැත. අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව දිගට හරහට අලි සබ්‍රී ඇමැතිට පහර දුන්නේය. ඒක නැවතුණේ ඒ සම්බන්ධයෙන් අලි සබ්‍රී ඇමැතිවරයා නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුවය. ආණ්ඩුව ඇතුළේ පැවැති මුස්ලිම් විරෝධය සඟවාගත හැකි මාතෘකාවක් නොවීය.
විමල්ලාට “ගල්ලෙන බිඳින” කතා අහගන්න පදනම වැටුණේ මේ පසුබිමේය. 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේදී ආණ්ඩුව ඇතුළේ සිටිමින් විමල්ලා ගම්මන්පිලලා බාල්දි පෙරළද්දී විපක්ෂයේ සිටි මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීන් පිරිසකගේ සහාය ආණ්ඩුවට ලැබුණි. එය බැසිල්ගේ දේශපාලන උපායශීලී බවේ ප්‍රතිඵලයකි. ඒ බව විමල්ලාද නොදැන සිටින්නට හේතුවක් නැත. කොතරම් අමාරු තත්ත්වයක් තුළදී වුවද විමල්ලාට මෙය ඉවසන්න පුළුවන් කාරණයක් නොවූ බව පැහැදිලිය. “අපි මේ සංශෝධනයේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ වගන්තියට එරෙහි වුවත් ආණ්ඩුවේ සමගිය ආරක්ෂා කර ගැනීමත් විරුද්ධවීමේ වාසිය විපක්ෂය අතට යාම වැළැක්වීම සඳහාත් සංශෝධනයට සහාය දක්වන බව කියන්න විමල්ට සිදු විය.
ඒ අවස්ථාවේදීත් කෙළින් නොකිව්වාට විමල්ලා විරුද්ධ වුණේ බැසිල් පාර්ලිමේන්තුවට පැමිණීමට තිබූ බාධාව ඉවත් කරන වගන්තියටය. ඒ විරසකය දෙදෙනාම අතර වර්ධනය වන විට විමල් එළියට බැස රාජපක්ෂ පවුලේ සහෝදරයන් අතර මතභේද ඇතිවන ප්‍රකාශයක් කළේය. ඔහු කීවේ ජනාධිපති ගෝඨාභය පොදුජන පෙරමුණේ නායකයා විය යුතු බවය. ඔහුට සහාය දක්වන්න ඉදිරියට ආවේ ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවූ ජාතිකවාදී බලවේග පමණි. ආණ්ඩුව ඇතුළේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම විමල්ලාට විරුද්ධව ප්‍රසිද්ධියේ අවි එසවූයේ ඒ සමඟය. මෙය කොතරම් දුරදිග ගොස් ඇතිදැයි ගෝඨාභය ජනාධිපතිවරයා තම පවුලේ විරසක ඇති කිරීමට කාටවත් බැරි බවට කළ ප්‍රකාශයත් ගල්ලෙන බිඳින්න පෙර ඕනෑ එකකු එළවා දමන බැසිල්ගේ කතාවත් තුළින් පැහැදිලි විය.
ඊළඟට සිදු වුණේ ආණ්ඩුවේ 40කට ආසන්න පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් විසින් අගමැතිට ලියුමක් ලියා විමල් වීරවංශ මහතා දැඩිව විෙව්චනය කර ඔහුට එරෙහිව පියවරක් ගන්නැයි ඉල්ලා සිටීමය. ඇමැතිවරයකු ධූරයෙන් ඉවත් කිරීමට 20 වැනි සංශෝධනයට අනුව අගමැතිට බලයක් නැත. එම බලය පැවරී ඇත්තේ ජනාධිපතිවරයාටය. අගමැතිවරයා මේ ලිපිය සම්බන්ධයෙන් උනන්දු වූ බවක් දැනගන්නට නැත. කෙසේ වුවද විමල්ට සහාය දක්වන පිරිස කියන්නේ ආණ්ඩුව ඇතුළේ ඇමැතින් සහ මන්ත්‍රීන් විශාල පිරිසකගේ සහාය විමල් වීරවංශ ඇමැතිට ලැබෙන බවය.
ආණ්ඩුව මුහුණදී ඇති එකම ගැටලුව මෙය පමණක් නොවේ. ආණ්ඩුව ඇතුළේ විවිධ මත ප්‍රකාශ කරන ඇමැතිවරුන් හේතුවෙන්ද බරපතළ ගැටලු ඇතිවී තිබේ. ඇමැති සරත් වීරසේකර බුර්කා, නිකාබ තහනම් කිරීමේ යෝජනාවට තමන් අත්සන් තැබූ බවට කළ ප්‍රකාශයත් අසාත් සාලි අත්අඩංගුවට ගන්නා බවට සිදු කළ ප්‍රකාශයත් ආණ්ඩුව බරපතළ අසීරුවකට ඇද දැම්මේය. සීනි මගඩිය සම්බන්ධයෙන්ද ඇමැතිවරුන් දරන්නේ විවිධ අදහස් බවද පෙනෙන්නට තිබේ. ඒ අතර ආණ්ඩුවට එරෙහිව විපක්ෂය නගන චෝදනාවලට පිළිතුරු දීමට සිටින්නේ මහින්දානන්ද, රෝහිත හා ජොන්ස්ටන් ඇමැතිවරු පමණක්ද යන තරමට සමහර ඇමැතිවරු නිහඬව සිටිති.
මේ සියලු අභියෝග මැද ඉදිරියට යන ආණ්ඩුවට හිත සනසා ගත හැකි එකම කාරණය විපක්ෂයද ආණ්ඩුව දෙන සියලු “උඩ පන්දු” අතහරින තත්ත්වයකට වැටී සිටීමය. මහජනතාව නම් මේ දෙපිරිසම දෙස බලා සිටිමින් ඊළඟ ඡන්දය තෙක් ඇඟිලි ගැන ගැන සිටිනවා නම් ඒ ගැන පුදුම විය යුතු නැත.
ශශීන්ද්‍ර