2021 මාර්තු 13 වන සෙනසුරාදා

ගිනි වළලු පැනීම

 2021 මාර්තු 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 132

“හැම කලාපයකම හැම ජාතියක්ම විසින් දැන් තීන්දුවක් ගත යුතුව තිබේ. ඔබ අපත් සමඟ සිටිනවාද නැත්නම් ත්‍රස්තවාදීන් සමඟ සිටිනවාද යන්නයි.”

අමෙරිකාවේ ජනාධිපති ජෝර්ජ් බුෂ් මෙහෙම කිව්වේ 9/11 ත්‍රස්ත ප්‍රහාරයෙන් අමෙරිකාවේ අභිමානය වූ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය බිමට සමතලා වීමෙන් පසුව ආරක්ෂිත බංකරයක සැඟවී සිටියදීය. අමෙරිකාවට ලජ්ජා හිතෙන මේ ත්‍රස්ත ප්‍රහාරය සිදුවෙන තුරුම ත්‍රස්තවාදයේ බිහිසුණු ම්ලේච්ඡත්වය ගැන හැඟීමක් අමෙරිකාවට තිබුණේම නැත. ඒ වනතුරු ඔවුන් ලොව පුරා ත්‍රස්තවාදීන් හැඳින්වූයේ විමුක්තිකාමීන් නැතහොත් සටන්කාමීන් වශයෙනි. මේ ”විමුක්තිකාමීන්”ගේ මානව හිමිකම් අමෙරිකාව ඇතුළු බටහිරටත් යුරෝපයටත් හැමදාම කතා කළ හැකි මාතෘකාවක් වී තිබුණි. “විමුක්තිකාමීන්ට” ඒ රටවල්වල දොර නිරතුරුවම විවෘතව තිබුණේය. ඒ රටවලට රිංගාගෙන එහි මිනිසුන්ගෙන් මුදල් ලබාගෙන ඒවායින් ආයුධ‍ අරගෙන ලංකාවේ දේශපාලන නායකයන්, දෙමළ ජාතියේම විද්වතුන් ඝාතනය කරන විට අමෙරිකාවේ යකඩ හස්තය මගින් පාලනය වුණු එක්සත් ජාතීන්ගේ සංවිධානයක් මානව හිමිකම් කවුන්සිලයේ කතා කළේ එල්.ටී.ටී.ඊ. “විමුක්තිකාමීන්” විඳින දුක් ගැහැටය. ඔවුන්ගේ මානව හිමිකම් රැකදීමට කළ හැකි හැම පියවරක්ම ගැනීමටය. ලොව දරුණුම ත්‍රස්තවාදීන් වශයෙන් හංවඩු ගැසී තිබුණු එල්.ටී.ටී.ඊ. මිනීමරු සංවිධානයට එරෙහිව ශ්‍රී ලංකාවේ හමුදාව ගෙන යන යුද්ධය නතර කිරීම ඔවුන්ගේ ලොකුම ඉල්ලීම වී තිබුණි.

එහෙම හිටපු අමෙරිකාව ත්‍රස්තවාදීන්ට එරෙහිව තමන් ගෙන යන සටනට සහාය නොදෙන සියලු රටවල් සිටින්නේ ත්‍රස්තවාදීන් සමඟය යන තීන්දුවට එළඹුණේ අමෙරිකාවේ හදවතටම ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ පසුය. ත්‍රස්තවාදීන් සුරතල් කරමින් ඔවුන්ගේ විමුක්තිය පිළිබඳ බණ දෙසමින් සිටි යුරෝපයද තම රටවල අගනගර ඉලක්ක කර ගනිමින් අයි.එස්. ත්‍රස්ත ප්‍රහාර එල්ලවීමෙන් පසුව “රිවර්ස්” විය. ඔවුන් එහෙම රිවර්ස් වන විට ලංකාවේ හමුදාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයන් පරාජය කොට රට යුද්ධයෙන් තොර සාමකාමී රටක් බවට පත්කර තිබුණේය. මේ යුද්ධය අවසන් කිරීමේදී ඉන්දියාව දැක්වූ රාජ්‍යතාන්ත්‍රික සහයෝගයත් අමෙරිකාව විසින් ලබාදුන් තාක්ෂණික සහායත් සුවිශේෂ විය. එසේම පාකිස්තානය සහ චීනය යුද අවි සපයමින් දැක්වූයේ විශාල සහායකි.

යුද්ධය ඉවර කරන්න එහෙම සහායක් ලබාදුන් මේ රටවල් ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුවේදී මෙවර සම්මත කරන්න යන යෝජනාවේදී ඉන්නේ කොහේද?

අපිත් එක්ක නැත්නම් ඉන්න ඕනෑ ත්‍රස්තවාදීන් සමඟයි කියූ අමෙරිකාව ලංකාවට එරෙහි යෝජනාවේ යොදා ඇති වචන තවදුරටත් තද කළ යුතු බවට උපදෙස් දෙන තත්ත්වයට පත්ව සිටී. ඔවුන් මානව හිමිකම් සමුළුවේ සාමාජිකත්වය නොදැරුවත් ශ්‍රී ලංකාවේ යෝජනාවට බලෙන් අත පොවමින් සිටී. ඉන්දියාව ලංකාවට එරෙහි යෝජනාවට ඡන්දය විමසීමේදී ඡන්දය දීමෙන් වැළකී සිටින බවට ඉඟි කර තිබේ. පාකිස්තානයේ සහාය ඡන්ද විමසීමේදී ලබාදෙන බව ප්‍රකාශ කර තිබුණත් පසුගිය සඳුදා (08) පැවැති අන්තර්වාර සාකච්ඡා වාරවලදී යෝජනාවේ සඳහන් මුස්ලිම් කොවිඩ් මෘතදේහ අනිවාර්ය ආදාහනය කිරීම සාකච්ඡාවට ගැනීමේදී දැඩි ලෙස නිහඬව සිටීම කැපී පෙනුණේය. ඒ අනුව යුද්ධය ජයගත් අවස්ථාවේ ලංකාවත් සමඟ එකට සිටගත් රටවල් අතුරින් අද ලංකාව සමඟ සීයට සීයක්ම එකට ඉන්නේ චීනය සහ රුසියාව ඇතුළු රටවල් කිහිපයක් පමණි. ලංකාවට ජාත්‍යන්තර මිතුරන් සොයාගැනීම මේ තරම් අමාරු ඇයි? ඒ ගැන කරුණු සොයා බැලීමට රජය බොහෝ ප්‍රමාද වී ඇති බව ජිනීවා වලින් ලැබෙන වාර්තාවල හරයයි.

ලංකාවට එරෙහි යෝජනාවේ සියලු ඇණ මුරිච්චි තද කරමින් සිටියදී ඒ පිළිබඳ කැපීපෙනෙන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකාව අසමත්ව සිටීම අවාසනාවකි. අපට සහාය දෙන රටවල් සහ මධ්‍යස්ථව සිටින රටවල් සංඛ්‍යාව ගණන් කරමින් සිටීම පමණක් මෙහිදී ප්‍රමාණවත් වන්නේ නැත. එයට සූදානම් විය යුතුව තිබුණේ මාස ගණනාවකට පෙරදී සිටමය. මානව හිමිකම් කවුන්සිලය මගින් ඉදිරිපත් කෙරෙන යෝජනාවට විරෝධය පළ කර ප්‍රතික්ෂේප කිරීමද මේ අවස්ථාවේදී ප්‍රමාණවත් නැත. ඒ අතර ඡන්දය දීමේදී මධ්‍යස්ථව සිටින රටවල් සියල්ල ශ්‍රී ලංකාවට සහාය පළ කරන රටවල් වශයෙන් සැලකීම සිත නිවන කතාවක් පමණි.

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් යැයි ප්‍රකාශ කිරීමද ආණ්ඩුවේ සටන් පාඨයකි. එසේ කීමෙන් පමණක් මේ ගැටලුව විසඳෙන්නේ නැත. එය ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් පමණක් නම් අපේ ළඟම අසල්වැසි බලවතා අවශ්‍යම අවස්ථාවේ නිහඬ වන්නේද නැත. ලංකාවටම ඇවිත් සියලු සහාය ලබාදෙන බව කී පාකිස්තානය භූමදාන - ආදාහන කතාව යෝජනාවට ඇතුළු කළ යුතු බව කියද්දී නිහඬව සිටින්නේද නැත. පසුගිය වසර කිහිපය තුළදීම කොතරම් ගතු කීවත් ලංකාව හිර කිරීමට දැඩිව කටයුතු නොකළ අමෙරිකාව සහ යුරෝපය මේ තරමට මේ වසරේදී යෝජනාවේ වචන පවා වෙනස් කරමින් ලංකාව හිර කිරීමට මේ තරම් උත්සාහයක් දැරීමට කුමක් හෝ වැදගත් හේතුවක් තිබිය යුතුය. මේ හේතුව ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තරයේ විසඳාගත යුතු ප්‍රධානම ගැටලුව කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීමද? එසේත් නැත්නම් මේ ගැටලු නිරාකරණයට විශේෂ හැකියාවක් ඇති සුදුසු පුද්ගලයන් ඒ ඒ තැන්වල ස්ථානගත කිරීමට රජය අපොහොසත් වීමේ ප්‍රතිඵලයක්ද?

බැලූ බැල්මට නම් පෙනෙන්නේ කතාව ඒක බවය. ජාත්‍යන්තර කටයුතු නිසි ලෙස කළමනාකරණය කිරීමට සමත්කම් දක්වන පුද්ගලයන්ට වඩා වත්මන් රජය දේශපාලනික වශයෙන් තමන්ට සහාය දැක්වූ පිරිස් සැනසීමට මුල්තැනක් දීමේ එක් ප්‍රතිඵලයක් ජිනීවාවලදී ශ්‍රී ලංකාව නොසිතූ තරමට වැඩේ දිග්ගැසීම බව පැහැදිලිය. මේ කටයුතු සම්බන්ධයෙන් රාජකාරිය පැවරී සිටින ශ්‍රී ලංකාවේ ජිනීවා නියෝජිතයා වන සී.ඒ. චන්ද්‍රප්‍රේම මහතා මුල් කාලයේදී මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47න් ශ්‍රී ලංකාවට සහාය ලබාගත හැකි රටවල් සමඟ සාකච්ඡා පැවැත්වීමට ප්‍රමාණවත් තරම් උනන්දු නොවූ බව මෙරට ප්‍රකට දේශපාලන විචාරකයන් කිහිප දෙනකුගේම මතය වී තිබේ. මෙය ගැටලුවේ සැබෑ ගැඹුර පිළිබඳව අවබෝධයකින් තොරව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වීමටද ඉඩ තිබේ. එම අවබෝධය ලබාගැනීමට ජාත්‍යන්තරයේ කැපීපෙනෙන චරිත සමඟ සබඳතා පවත්වා ගැනීම අවශ්‍යමය. ඒ සඳහා විශේෂඥ දැනුමක් සහ පළපුරුද්දක් තිබිය යුතුය.

ජිනීවා යෝජනාවේදී ශ්‍රී ලංකාව ලෝකයේ බලවත් රටවලට එරෙහිව දැඩි සටනක් දී රටේ අභිමානය බේරාගත් බවට උදම් ඇනීම රට ඇතුළත දේශපාලන ජයග්‍රහණ ලබාගැනීමේ තුරුම්පුරුවක් පමණි. ඒ හැර වෙනත් ලබාගත හැකි දෙයක් නැත. එම කාර්යය සඳහා ජිනීවා හි නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යාමද පලක් නැත.

ජාත්‍යන්තරයට අභියෝග කොට රටේ ඡන්ද දිනීමේ ක්‍රමය 2010න් පසුව රාජපක්ෂ ආණ්ඩුවේ තියරියක් විය. එම තියරිය අනුගමනය කරමින් ඒ ආණ්ඩුවට යා ගත හැකිවූයේ වසර 04ක් පමණි. එහෙම වුණත් 2014 වන විට ආණ්ඩුව දෙදරා ගොස් 2015 දී ජනාධිපතිවරණය පරදින තුරු පැවැත්වූ සියලු ඡන්ද රාජපක්ෂ ආණ්ඩුව දිනුවේය. ඒ හැම ඡන්දයකම ලොකුම සටන් පාඨයක් වූයේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ පරදවා රට බේරාගත්තේ තම ආණ්ඩුව බවය. හැබැයි මේ කතාව 2015 දී නම් ජනතාව පිළිගත්තේ නැත. ඒ වගේම පැරදුණාට පස්සේ රාජපක්ෂවරුන් කිව්වේ තමන් පැරදුණේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් හැටියට බවය. ඒක එහෙමදැයි කියන්න දන්නේ නැත. එහෙත් ඊළඟට බලයට පත් යහපාලන ආණ්ඩුව යටතේ ලංකාවේ අභ්‍යන්තරයට සිදුකෙරුණු අතපෙවීම් නම් යෝජනාවලට පමණක් සීමා වී තිබුණි.

ආණ්ඩුව ජාත්‍යන්තර ගනුදෙනුවලදී ප්‍රවේශමින් කටයුතු කළ යුතුය. ඒ සඳහා රාජ්‍යතාන්ත්‍රික නිපුණත්වය ඇති කාර්යක්ෂම නිලධාරීන් යොදවා ගැනීමද සිදුවීම අවශ්‍යය. එසේ නොවන විට සිදුවන්නේ අඬුව තිබියදී අත පුච්චා ගැනීමකි. ජිනීවා යෝජනාවේදී ඉන්දියාව කුමක් කරයිද කියා විමසූ විට ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ ඉන්දියාව තම රටට සහාය දක්වනු ඇතැයි බලාපොරොත්තු වන බවය. අල් ජසීරා නාළිකාවට ලබාදුන් සාකච්ඡාවකදී විදේශ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ කියා තිබුණේ මේ අවස්ථාවේදී ඉන්දියාව ශ්‍රී ලංකාව තනි නොකරනු ඇතැයි බලාපොරොත්තු වන බවය. මෙහිදී ලංකාව විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නේ මාධ්‍ය හරහාද යන ගැටලුව පැන නැගීම ගැන පුදුම විය යුතු නැත.

කෙසේ වුවද ලංකාව සහ මිතුරු රටවල් කිහිපයක බලපෑම් හේතුවෙන් ජිනීවා යෝජනාවේ වගන්ති කිහිපයක් වෙනස්කර සැර බාලකර ඇති බවද දැනගන්නට තිබේ. එය ලංකාව පැත්තෙන් යහපත් ප්‍රවණතාවකි.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ කැනඩාව තවත් රටවල් කිහිපයක්ද සමඟ ජිනීවා හිදී එල්ල කරන තර්ජනයට මුහුණදීම ශ්‍රී ලංකාවේ පැත්තෙන් නම් ගිනි වළල්ලෙන් පැනීමක් තරම් බරපතළ වී තිබේ. ජිනීවා යෝජනාව ස්වාධීන රටක් වන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අතපෙවීමක් බවද එකහෙළාම කිව හැකිය. හැබැයි එහෙම වුණේ ඇයි කියන එකට හරි උත්තරයක් සොයා ගැනීමට ප්‍රමාද වෙන තරමට ආණ්ඩුවට පැනීමට සිදුවන ගිනි වළලු ප්‍රමාණයද වැඩි වනු ඇත.

 ශශීන්ද්‍ර