මියන්මාරයේ මිලිටරි ජුන්ටාවේ නව විදේශ ඇමැතිවරයාට ලබන මාසයේ පැවැත්වෙන කලාපීය රැස්වීමට ශ්‍රී ලංකාව විසින් ඇරියුම් කරනු ලැබීම ජාත්‍යන්තරයේ සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්ව තිබේ. එය ශ්‍රී ලංකාවේ රජය මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට ලබාදුන් සහතිකයක් යැයි ඇතැමුන් දැඩිව චෝදනා කර තිබේ.
මේ බව පළකරන ඒ.එෆ්.පී. පුවත් සේවය සඳහන් කර ඇත්තේ තමන් එම ආරාධනාව දුටු බවත් අප්‍රේල් 01 වැනිදා ඔන්ලයින් හරහා පැවැත්වෙන “බිම්ස්ටෙක්” කලාපීය සමුළුවට එයින් ඇරියුම් කර ඇති බවත්ය. බංග්ලාදේශ, භූතාන, ඉන්දියා, නේපාල, ශ්‍රී ලංකා, මියන්මාර සහ තායිලන්ත විදේශ අමාත්‍යවරුන් මේ සමුළුව නියෝජනය කරන බවද එහි සඳහන්ය. “ඔබ සියලුදෙනාගේ අගනා සහභාගීත්වය 17 වැනි අමාත්‍ය රැස්වීමට විශිෂ්ට ප්‍රතිලාභ අත්කරදෙනු ඇති බවත් රැස්වීම් වාරය අතරතුරදී සමීප සබඳතා වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වන බවත්” ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඇරියුම් ලිපියේ සඳහන් වෙයි.
මෙම ආරාධනය දැඩිව විවේචනය කරමින් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍යවල මියන්මාර ක්‍රියාකාරීන් විශාල සංඛ්‍යාවක් අදහස් පළකර තිබේ. “ඔබ ලැජ්ජාවක්... ඔබ ඔබගේ බිම්ස්ටෙක් රැස්වීමට බුරුමයේ මිලිටරි ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයකුට ආරාධනා කර තිබෙනවා. ඔබ නිර්ලජ්ජිතව ත්‍රස්ත කණ්ඩායමක් නීත්‍යානුකූල කරනවා” යැයි සඳහන් පණිවුඩය ඉන් එකකි. “ශ්‍රී ලංකාව ත්‍රස්ත කණ්ඩායමට සහාය දැක්වීම චීනයට පසුව පෙන්වා ඇති නරකම ලැජ්ජා නැති හැසිරීමයි...” යනුවෙන් තවත් සටහනක් ඇත.
මේ අතර ශ්‍රී ලංකාවේ කොළඹ මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට හමුදා කුමන්ත්‍රණය හෙළාදකිමින් පසුගියදා උද්ඝෝෂණයක්ද පැවැත්විණි.
මියන්මාර හමුදා විසින් එරට විරෝධතාකරුවන් 2000ක් පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර 60කට අධික පිරිසක් ඝාතනය කර තිබේ.
• විදේශ අමාත්‍යංශය මෙසේ කියයි
මේ අතර ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය පසුගිය බදාදා (16) කෙටි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාව 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුවට මියන්මාරයේ විදේශ අමාත්‍යවරයාට ආරාධනා කළ බවය. එය අප්‍රේල් 1 වැනිදා කොළඹදී ඔන්ලයින් ඔස්සේ පැවැත්වෙන බවද එහි සඳහන්ය. ශ්‍රී ලංකාව මෙම සමුළුවේ සභාපතිත්වය උසුලන රට වශයෙන් සියලුම සාමාජික රටවලට ආරාධනා කළ බවද මේ වසර අගදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවේ ලේඛන කටයුතු අවසන් කිරීම එහි අරමුණ බවද නිවේදනය කියයි.
- ඩේලි එෆ්.ටී.
පළාත් සභා ඡන්දය?
ජූනි මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වෙනු ඇති බවට “සන්ඩේ ටයිම්ස්” පුවත්පතේ මුල් පිටුවේ පළවූ ප්‍රවෘත්තිය බොහෝ දෙනකුගේ අවධානය දිනාගෙන තිබේ. මේ නිසා එවැනි සූදානමක් නැතැයි පළාත් සභා ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශයක් කිරීමටද පෙළඹුණේය.
එහෙත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කරන්නේ නීතිමය අවශ්‍යතා ඉටුවීමෙන් පසුව ජූනි මාසයේදී පළාත් සභා ඡන්දය පැවැත්වීමටය. ඉකුත් සතියේදී ඔහු මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවී මේ පිළිබඳ සාකච්ඡාවක්ද පැවැත්වීය. එහි අදහස වී තිබුණේ මේ වසරේ ජූනි මාසයේ තුන්වැනි සතියේදී පළාත් සභා ඡන්දය පැවැත්වීමට ඇති හැකියාව සොයා බැලීමය.
මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා “පළාත් සභා ඡන්දය ඉක්මණින් පැවැත්වීමේ අවශ්‍යතාව අපි අවධාරණය කළා. අපි පෙන්වා දුන්නේ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මකව පැවතුණත් එහි මහජන නියෝජිතයන් නැති බවයි” යනුවෙන් ප්‍රකාශ කළේය. ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා පවතින තත්ත්වය පිළිගත් බවයි. මහජන නියෝජිතයන් හැකි ඉක්මණින් තෝරාපත් කරගත යුතු බවද ඔහු සඳහන් කළේය. “අපි ජනාධිපතිතුමාට කිව්වේ නීතිමය කටයුතු සම්පූර්ණවීමෙන් පසු මාස දෙකහමාරක් ඇතුළත ඡන්දය පැවැත්විය හැකි බවයි” ඔහු කීය.
රජයේ ආරංචි මාර්ග පැවසුවේ ජූනි මාසයේදී පළාත් සභා ඡන්දය පැවැත්වුවහොත් එය තමන්ට ජයග්‍රහණය කළ හැකි බවය. එහෙත් ප්‍රමාදවීම තමන්ට තිබෙන එම අවස්ථාව අහිමි කිරීමට ඉඩ තිබෙන බවය. එයට හේතුව නරක අතට හැරෙන ආර්ථිකය හෝ කොවිඩ් වසංගතයේ බලපෑම හෝ නොව වෙනත් දේශපාලන වර්ධනයන් බවද සඳහන් කළේය. තවත් හේතුවක් වන්නේ දැනට විපක්ෂයේ පවතින බෙදීම බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්දියාවද මේ වනවිට පළාත් සභා ඡන්දය ඉක්මණින් පැවැත්වීමේ අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවේද ඔවුන් ඒ බව සටහන් කර තිබේ.
- සන්ඩේ ටයිම්ස්