2021 මාර්තු 06 වන සෙනසුරාදා

නාමල් සහ ක්‍රිකට්

 2021 මාර්තු 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 81

ක්‍රීඩා ඇමැති ධුරය නාමල් වැනි තරුණ දේශපාලනඥයකුට කිසිසේත්ම බර වැඩි නැත. එහෙත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවද ක්‍රීඩා අමාත්‍යංශයේම විෂයක් වීම හේතුවෙන් ක්‍රීඩා ඇමැති ධුරය ඉතාමත් සංකීර්ණ විෂයයක් බවට පත්ව තිබේ.

නාමල් පළමු මාස දෙක තුන තුළදීම ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු සමස්ත ක්‍රීඩා විෂය සම්බන්ධයෙන් යහපත් ප්‍රවේශයක් ගත්තේය. මහේල ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා සභාවක් පත් කිරීම එහි අංක 01 විය. එම ක්‍රීඩා සභාව සඳහා විවිධ විෂයයන් සම්බන්ධ ප්‍රවීණත්වයක් උසුලන රටේම පිළිගැනීමට ලක්වූ විද්වතුන් පිරිසක් සම්බන්ධ කර ගැනීමට හැකිවීම නාමල්ගේ ක්‍රීඩා ඇමැති ප්‍රතිරූපය ප්‍රබලව ඉහළට ඔසවා තැබීය. ඊළඟට ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින සංකීර්ණ ගැටලු විසඳීමේ පියවරක් වශයෙන් අරවින්ද ද සිල්වාගේ සභාපතිත්වයෙන් යුතුව පත්කරන ලද තාක්ෂණික කමිටුවද එවැනිම යහපත් පියවරකි. ක්‍රිකට් ක්‍රීඩාවේ මෙතෙක් පැවැති තත්ත්වය හේතුවෙන් ක්‍රිකට් පරිපාලන ක්ෂේත්‍රයෙන් දිගින් දිගටම ඈත් වෙමින් සිටි රොෂාන් මහානාම, කුමාර් සංගක්කාර, මුත්තයියා මුරලිදරන් වැනි ලෝකපූජිත ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයන් පවා යළි ක්‍රිකට් මූලස්ථානයට සමීප වීමද ක්‍රිඩා ඇමැති වශයෙන් නාමල්ගේ විශාල ජයග්‍රහණයක් විය. 

මේ ආකාරයට පවතින ගැටලු විසඳා ගනිමින් ඉදිරියට යාමේදී මේ තත්ත්වය නොඉවසන විවිධ පුද්ගලයන් තමන් වටේ සිටින බව නාමල් නොදන්නවා විය නොහැක. විෂම අදහස් ඇති එබඳු පුද්ගලයන් විශේෂයෙන්ම මෙතෙක් ක්‍රිකට් ක්ෂේත්‍රයට ළං වීමටවත් කැමැති නොවූ එහෙත් රටේ විශ්වාසය සහ ගෞරවය දිනා සිටින හිටපු ක්‍රිකට් ප්‍රවීණයන් ක්‍රිකට් මූලස්ථානයට පා තැබීම ඉවසන්නේම නැත. මේ විෂමාචාරීන්ගෙන් ප්‍රවේශම් වීමට නම් නාමල් ක්‍රිකට් ක්‍රීඩාව සහ දේශපාලනය එකට පටලවා ගැනීමෙන් වැළකිය යුතුය.

එසේ වුවද චමින්ද වාස්ගේ ප්‍රශ්නයේදී ක්‍රීඩා ඇමැති වශයෙන් නාමල් තරමක් ඉක්මන් වීම කනගාටුවකි. වාස් අවසන් මොහොතේදී බටහිර ඉන්දීය සංචාරයෙන් ඉවත්වීම පසුපස තිබූ සැබෑ කතාව පිළිබඳ කරුණු විමසීමකින් තොරව පාර්ලිමේන්තුව තුළදී වාස්ගේ ක්‍රියාව විවේචනයට ලක් කිරීමෙන් එය පෙනී ගියේය. එවැනි විවේචනයක් සිදු කළත් ශ්‍රී ලංකාවට ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායම් කැපී පෙනුණු ක්‍රීඩකයකු වූ වාස් රට වෙනුවෙන් ඉටුකළ කාර්යභාරය පිළිබඳ ප්‍රමාණවත් ඇගයීමක් නොකිරීම වාස්ට සිදුවූ අසාධාණයකි. ක්‍රීඩකයකුද වන නාමල් ඒ බව හොඳින් වටහා ගත යුතුව තිබිණි.

මෙතෙක් රටේ සිටි තමන්ගේ නම ලෝකයේ ඉහළින්ම රැන්දූ ක්‍රීඩකයකු වන චමින්ද වාස් සමාජ මාධ්‍ය ඔස්සේ “ද්‍රෝහියකු” වශයෙන් හංවඩු ගැසීම එහි එක් ප්‍රතිඵලයකි. වාස් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිකුත් කරන ලද ආවේගශීලී කර්කශ නිවේදනය නාමල්ගේ කතාවට හේතු වන්නට ඇත. එමගින් පෙන්වාදී තිබුණේ ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයකු වන, එයින් වැටුපක් ලබන චමින්ද වාස් ඇත්තවශයෙන්ම අවසන් මොහොතේ ඉවත්වීමෙන් ක්‍රිකට් ක්‍රීඩාව, පරිපාලනය සහ ක්‍රීඩකයන් ප්‍රාණ ඇපයට ගත් බවය.

මෙය සැබෑ කතාවද?

එය එසේ නොවන බව සන්ඩේ ටයිම්ස් ක්‍රීඩා පිටුවේ මේ සිද්ධිය පිළිබඳ ලියූ ගවේෂණාත්මක ලිපියක සඳහන් විය. වේගපන්දු පුහුණුකරු තනතුර මීට කලින් දැරෑ ඕස්ට්‍රේලියානු ජාතික ඩේවිඩ් සේකර් ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරග අවසන් වූ වහාම තම කොන්ත්‍රාත්තුව ඔහුම අවසන් කොට යළි සිය රට බලා ගොස් තිබිණි. එහෙත් මේ බව රහසක්ව තබාගෙන සිටි ක්‍රිකට් ආයතනය ඒ බව හෙළි කළේ පෙබරවාරි 19 වැනිදාය. ඒ වනවිට බටහිර ඉන්දීය සංචාරය සඳහා පිටත්ව යාමට තිබුණේ දින 04ක් පමණි. සේකර් කාටවත් නොකියා හොර රහසේ ඉවත්ව යාම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවැනිම කර්කෂ නිවේදනයක් නිකුත් කළාද? නැත. ඒ වෙනුවට ක්‍රිකට් ආයතනය සිදුකර තිබුණේ ඩේවිඩ් සේකර් පෞද්ගලික හේතූන් මත ඉවත්වූ බව පවසමින් ඔහුට සුදු හුණු ගෑමය. විදෙස් පුහුණුකරුවන් ඉදිරියේ මෙවැනි රඟදැක්වීම්වලට ක්‍රිකට් ආයතනය බොහෝ ප්‍රසිද්ධය.

එදිනම ක්‍රිකට් ආයතනය පැවසුවේ චමින්ද වාස් මේ තනතුරට පත්කළ බවය. එය මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි සියලුදෙනාගේ පිළිගැනීමට ලක්විය. නමුත් ඒ වනවිට චමින්ද වාස් එම තනතුරට පත්කර ඇති බව කිසිම ආකාරයකින් දැනුම්වත් කර නොතිබිණි. සිදුවෙමින් පැවැති දේ ගැන වාස් අවබෝධයෙන් සිටියද ඔහු ඒ ගැන නිශ්චිතවම දැනගත්තේ නිල සංචාරක සමාගම ඔහුට කතාකර පාස්පෝට් එක ඉල්ලා සිටි අවස්ථාවේය.

වාස් එම තනතුර ලැබීම ගැන සතුටු වුවද ශ්‍රී ලාංකික පුහුණුකරුවන්ට ක්‍රිකට් ආයතනය කුඩම්මාගේ සැලකිල්ලක් දැක්වීම ගැන සතුටු වූයේ නැත. දිනකට ගෙවන දීමනාව වශයෙන් ඩොලර් 100ක් යෝජනා වී තිබුණද අදාළ තනතුරේ වගකීම් හේතුවෙන් වාස් ඉල්ලා තිබුණේ එය ඩොලර් 200 දක්වා වැඩිකරන ලෙසටය. එය සේකර්ට ගෙවූ දීමනාවය. එහෙත් ක්‍රිකට් ආයතන සභාපතිවරයා අඩුම තරමින් එම ඉල්ලීමට කන්දීම පවා ප්‍රතික්ෂේප කර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත කීය. මේ ගැටලුව පාර්ශ්ව දෙක අතර කතාබහකින් ලෙහෙසියෙන්ම විසඳා ගත හැකිව තිබිණි. එහෙත් ක්‍රිකට් ආයතනයේ “අපි කියන දේ පමණයි” න්‍යාය හේතුවෙන් එය සිදුවූයේ නැත. ශ්‍රී ලංකාව මේ හේතුවෙන් වේගපන්දු පුහුණුකරුවකු නොමැතිව බටහිර ඉන්දීය සංචාරයේ නිරතව සිටී.

කාලයකට පෙර කීර්තිමත් පුද්ගලයන් විසින් මෙහෙයවුණු ක්‍රිකට් පාලනාධිකාරිය අද විශාල මූල්‍යමය අක්‍රමිකතාවලට තෝතැන්නක් වී තිබේ. ඉදිරියේදී හෝ වෘත්තීය පළපුරුදුකම් සහිත පිළිගත් පුද්ගලයන්ගේ අතට ක්‍රිකට් ආයතනය පත් නොවුණොත් ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට යහපතක් නම් නොවනු ඇත.

නාමල් ක්‍රීඩා ඇමැති වශයෙන් අදහස් දැක්වීමේදී වඩාත් ප්‍රවේශම් විය යුතු බව අප මුලින්ම කීවේ එබැවිනි. දුෂ්ට චේතනා සහිත පුද්ගලයන් විසින් සැබෑ තත්ත්වය වසන් කර ලබාදෙන තොරතුරු මත පදනම්ව ශ්‍රී ලංකාවට ලෝක කුසලානය ගෙනදීමට දායක වූ ක්‍රිකට් වීරයකුට ගැන පාර්ලිමේන්තුව තුළදී කතා කළ යුත්තේ පරෙස්සමිනි. වාස්ගේ කතාවේ යථා තත්ත්වය වසංකොට වැරදි තොරතුරු ලබාදුන් අය කව්දැයි සොයාගැනීම නාමල්ගේ වගකීමය.

එසේම නාමල් පසුගියදා පුවත්පතකට ලබාදී තිබූ සම්මුඛ සාකච්ඡාවකදී ක්‍රිකට් ආයතනයට “අන්තර් වාර කමිටු” දැමූ හැම අවස්ථාවකදීම ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටුණු බවට කර තිබූ ප්‍රකාශයද නිවැරදි නොවේ. අන්තර්වාර කමිටු පත් කිරීම හැමවිටම සිදුවූයේ පාලක මණ්ඩලවල අදූරදර්ශී තීරණ, දූෂණ සහ අක්‍රමිකතා හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම් සිදුවූ අවස්ථාවලදී බව යථාර්ථයයි.

මෙරට පළමු අන්තර් කමිටුව රියෙන්සි විජේතිලකගේ ප්‍රධානත්වයෙන් 1999 දී පිහිටුවීය. ‘96 දී ලෝක ශූරයන් වූ ශ්‍රී ලංකාව ’99 දී පළමු වටයෙන්ම ඉවතට විසිවීම ඊට හේතුවය. රියෙන්සිගේ කමිටුවේ තේරීම් කමිටු ප්‍රධානියා වූයේ සිදත් වෙත්තමුණිය. ඔහු තරුණ ජවය එකතු කරමින් අලුතින්ම නම් කළ ටෙස්ට් කණ්ඩායම ප්‍රථම වතාවට ඕස්ට්‍රේලියාව පරාජය කළේය. එසේම තුන්කොන් එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරාජය කරමින් එම ශූරතාවද හිමිකර ගත්තේය. ඒ වනවිට ලෝක ශූරයන් වූයේ ඕස්ට්‍රේලියාවයි.

ඉන්පසුව 2001දී පැමිණි විජය මලලසේකරගේ කමිටුවේ පාලනය යටතේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තරග 10ක් එක දිගට ජය ලබා වාර්තාවක් තැබීය.

තුන්වැනි අන්තර් කමිටුව හේමක අමරසූරියගේ ප්‍රධානත්වයෙන් 2002දී නම් කෙරිණි. අයි.සී.සී. චැම්පියන්ස් කුසලාන ශ්‍රී ලංකාවේ සංවිධානය කෙරුණේ ඒ කාලයේදීය. ශ්‍රී ලංකාව එහිදී සම ශූරතාව දිනුවේ ඉන්දියාව සමඟිනි. ඉන්පසුවද අන්තර් කමිටු යටතේ ශ්‍රී ලංකාව බොහෝ ජයග්‍රහණ ලබා තිබේ. මේ තොරතුරුද නාමල්ගෙන් කිසියම් පිරිසක් වසං කර ඇති බව පැහැදිලිය. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ දා ගැනීමට නම් තමන්ට බොරු තොරතුරු දෙන පිරිසෙන් නාමල් ප්‍රවේශම් විය යුතුය.