2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා

ජිනීවා තුරුම්පුව

 2021 පෙබරවාරි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 94

“මෙම කවුන්සිලයේ හදිසි අවධානයට ලක්විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේද නැතහොත් මෙම උද්ඝෝෂණය අත්‍යාවශ්‍යයෙන්ම මෙම කවුන්සිලය පිහිටුවා ඇති සාරධර්ම හා මූලධර්මවලට පටහැණි දේශපාලන පියවරක්ද යන්න පිළිබඳව ඔවුන්ගෙන්ම තීන්දුවක් ගැනීමට මම මෙම කවුන්සිලයේ සාමාජිකයන්ට සහ නිරීක්ෂකයන්ට බාර කරමි. විදේශවල සිදු කරන මිලිටරි මෙහෙයුම්වලදී තම සොල්දාදුවන්ට එරෙහිව නඩු පැවරීමෙන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන මොහොතක, මෙයින් පෙන්වා දෙනු ලබන්නේ ඔවුන්ගේ චේතනා දෙබිඩි බව සහ කුහක ස්වභාවය පමණි. ත්‍රස්තවාදයට එරෙහි අරගලයේ යෙදී සිටින රටවල් අතර සැලකිය යුතු අන්දමින් චිත්ත ධෛර්යය නැතිවීම සඳහා මෙය හේතු විය හැකිය.”

මේ පාඨය උපුටා ගත්තේ ආණ්ඩුව මේ දවස්වල මුහුණදී සිටින ලොකුම අභියෝගය වන ජිනීවා සමුළුවේ තර්ජනයට රජය වෙනුවෙන් දිනේෂ් ගුණවර්ධන විදේශ ඇමැති දුන් පිළිතුරෙනි. පසුගිය 22 වැනිදා ආරම්භ වූ මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ආණ්ඩුවට තීරණාත්මක බලපෑමක් එල්ල කරනු ඇතැයි මුල සිටම පෙනෙන්නට තිබිණි. ආණ්ඩුව එයට කවර ආකාරයකින් මුහුණදෙනු ඇතිදැයි පිටතට පෙනෙන්නට නොතිබුණත් සැර පිළිතුරක් සූදානම් කරගෙන තිබූ බව දිනේෂ්ගේ කතාවෙන් පැහැදිලි විය. ලංකාවට එරෙහි යෝජනාව ඇතැම් රටවල දෙබිඩි, කුහක පිළිවෙතක් බවට කෙරෙන චෝදනාව ජාත්‍යන්තර වශයෙන් කුමන බලපෑමක් එල්ල කරනු ඇතිදැයි දැන්ම කිව නොහැක. එහෙත් මෙවැනි ප්‍රකාශ කිරීම පමණක් මේ වෙලාවේ ප්‍රමාණවත්ද?

මේ වැනි කතා ලංකාව ඇතුළේ දේශපාලනය තුළ නම් උණු උණුවේම හොඳට මාකට් කළ හැකි මාතෘකාවකි. ආණ්ඩුව ඉදිරි කාලය තුළදී පළාත් සභා ඡන්දයට යාමට අදහසක් තිබේ නම් එහිදී සජබ සහ යූ.එන්.පී. ඇතුළු විපක්ෂයම අඹරවා දැමීමට මේ ජිනීවා කතාව හොඳ සටන් පාඨයකි. 

යුද්ධය අවසන් වූ පසුව රාජපක්ෂ ආණ්ඩුව ඊළඟ වසර කිහිපයම ජිනීවා හිදී කළේ මෙවැනි කතාය. ඒවාට රට ඇතුළේ හොඳ ඉල්ලුමක් තිබූ අතර ඉදිරිපත් වූ හැම ඡන්දයකින්ම ලොකු ජයක් ලබාගැනීමට ආණ්ඩුව මේ තුරුම්පුව පාවිච්චි කළේය. ජිනීවා ග්‍රහණය වැඩි වෙත්ම රට ඇතුළේ රාජපක්ෂවරුන්ගේ ජනප්‍රියත්වයද ඉහළ ගියේය. එහෙත් වසරින් වසර ජාත්‍යන්තරය තුළ ලංකාව හුදෙකලා වෙමින් තිබුණි. ඒ බව වසං කර ගැනීමට ආණ්ඩුව කොතරම් දහිරියක් දැම්මත් රටට ආසන්නම බලවතා වන ඉන්දියාව පවා අහක බලාගන්නා තත්ත්වයක් උද්ගත වීමත් සමඟ වැඩේ කනපිට හැරුණේය. අමෙරිකාව, යුරෝපය ඇතුළු රටවල් මානව හිමිකම් කඩවීම් සහ යුද අපරාධ චෝදනා සහ වගවීම් පිළිබඳ විවිධ කාරණා ඉදිරියට ගනිමින් ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව වැඩ කඩොලු බඳින විට රජය ලොකු අමාරුවක වැටුණි. ලංකාවට විශාල විදේශ විනිමයක් ලබාදුන් යුරෝපයට අපනයනය කෙරුණු මත්ස්‍ය වෙළෙඳාමත් අමෙරිකාව ඇතුළු බටහිර රටවලට ජී.එස්.පී. ප්ලස් සහනය යටතේ ඇඟලුම් ඇතුළු වෙනත් භාණ්ඩ විකුණා ගැනීමට තිබුණු අවස්ථාවත් ඇහිරීම සමඟ ලංකාව ආර්ථික වශයෙන් නිල නොලත් සම්බාධක පැනවීමට මුහුණ දුන්නේය. එයින් අහිමි වූ ආදායම ලොකු ගැටලුවක් නොවන බව ආණ්ඩුව කිව්වත් එය බොරුවක් බව ජනතාවට අවබෝධ වීමට වැඩි කලක් ගියේ නැත. වසර හතරකට පසුව ආණ්ඩුව පරාජය වීමට ජාත්‍යන්තර වශයෙන් ලංකාව හුදෙකලා වීමේ තර්ජනයද ලොකු සාධකයක් වූ බව රහසක් නොවේ.

එය යහපාලන ආණ්ඩුව බිහිවීමට අත්තිවාරම දැමීමක් විය. එම අත්තිවාරමට බදාම අනා දුන්නේ ඉන්දියාව බවත් පැහැදිලි විය. තමන්ගේ යුද්ධය ශ්‍රී ලංකාව තුළ සාර්ථකව ක්‍රියාත්මක කළ රාජපක්ෂලාගේ ආණ්ඩුව පරාජය වනු දැකීමට එදා ඉන්දියාව පෙළඹුණේ ඇයිදැයි රාජපක්ෂ ආණ්ඩුවට දරදිය ඇද්ද පිරිස් පසු විපරමක යෙදුණාදැයි කියන්න දන්නේ නැත. එහෙත් ඉන්දියාවත් සමඟ පසුගිය මාස කිහිපය තුළ රාජපක්ෂ ආණ්ඩුව ගනුදෙනු කළ ආකාරයෙන් නම් ප්‍රකාශ වන්නේ එවැනි කිසිම හැදෑරීමක් සිදුකර නැති බවය. එහෙම කළා නම් ජිනීවා යෝජනාවක් ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුවට එරෙහිව මේ තරම් ඉක්මනට නොඑන්නට ඉඩ තිබුණා පමණක් නොව එහෙම ආවත් ඉන්දියාව මෙවර සිදු කළ ආකාරයේ කොකු දැමීමක් සිදු නොකරන බවද නිසැකය.

දැන් පෙනෙන්න තිබෙන්නේ ජිනීවාවලදී ඉදිරිපත් කෙරෙන යෝජනාව ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස ගලපා ගැනීමට හෝ එය සම්මත වීමෙන් වළක්වා ගැනීමට හෝ තිබෙන ඉඩකඩ ඉතා අඩු බවය. චීනය, රැසියාව, පාකිස්තානය වැනි බලවත් රටවල් සහ ස්වභාවයෙන්ම අමෙරිකානු සහ යුරෝපා රටවලට එරෙහි ස්ථාවරයක සිටින තවත් රටවල් කිහිපයක සහාය ලංකාවට ලැබුණත් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් 47කට ඡන්ද බලය හිමිව තිබීම තීරණාත්මක සාධකයයි. එයින් බහුතර සාමාජික රටවල සහාය නොලැබෙන්නේ නම් මෙවැනි යෝජනාවක් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන්නේ නැත. ඒ ගැන මානව හිමිකම් කවුන්සිලය තමන්ගේ “හෝර්ම් වර්ක්” හොඳින් සිදු කර ඇතැයි පෙනී ගියත් ශ්‍රී ලංකාව නම් “හෝම් වර්ක්” කර නැති බව පමණක් පැහැදිලිය. රට ඇතුළේ තුරුම්පුවලට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් නැති බව අවබෝධ කර ගන්නා තුරු මේ තත්ත්වයෙන් කවදාවත් ගැලවෙනු නොහැකිය.

ජිනීවා යෝජනාවෙන් යුද අපරාධ සම්බන්ධයෙන් විභාග කළ යුතු බවට සහ එහි වැරදිකරුවන්ට දඬුවම් දිය යුතු බවට වන යෝජනාවලට ශ්‍රී ලංකාවේ ජනතාවගේත් දෙමළ දේශපාලන පක්ෂ හැර සෙසු දේශපාලන පක්ෂවලත් එකඟත්වයක් නැත. ලොව දරුණුම ත්‍රස්තවාදීන් පරාජය කළ හමුදාවකට එරෙහිව කටයුතු කිරීම ශ්‍රී ලාංකිකයන් ඉවසන්නේ නැත. එහෙත් මේ යෝජනාවට සම්බන්ධ කර ඇති මානව හිමිකම් ප්‍රශ්න සහ රාජ්‍ය පාලනය මිලිටරීකරණ වෙමින් පවතින බවට වන යෝජනාද නීතියේ කඩා වැටීම් ප්‍රශ්න කෙරෙන යෝජනාද සම්බන්ධයෙන් පවතින අදහස් එසේ නොවේ. ජනතාව තමන් භුක්ති විඳින දේශපාලන නිදහස අහිමි කර ගැනීමට කැමැති වන්නේද නැත. සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට ස්වාධීන මාධ්‍යවලට සිදුවන සීමාකිරීම්ද 20 වැනි සංශෝධනය හේතුවෙන් ස්වාධීන අධිකරණ පද්ධතිය, මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිසම වැනි ආයතන කඩාවැටෙන බවට ද මහ කොමසාරිස්වරියගේ වාර්තාවෙන් ප්‍රකාශ කර තිබෙන බව සඳහන්ය. කෙසේ වුවද මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කර ඇති වාර්තාවේ අඩංගු නිගමන සහ නිර්දේශ ශ්‍රී ලංකා රජය දැඩිව ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් සමුළුව අමතමින් ප්‍රකාශ කර තිබිණි.

කෙසේ වුවද ශ්‍රී ලංකාව තමන් වෙනුවෙන් කතා කිරීමට රටවල් 21ක කැමැත්ත ලබාගැනීමට හැකිවීමද කැපීපෙනෙයි. රුසියාව, චීනය, පාකිස්තානය, වියට්නාමය, ඉරානය, පිලිපීනය, සිරියාව සහ උතුරු කොරියාව ඇතුළු එම රටවල් 21 සමුළුවට සමගාමීව පැවැත්වෙන අන්තර් ක්‍රියාකාරී සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට සහාය දක්වමින් කතා කර තිබිණි. නමුත් එම රටවල් 21 අතුරින් මානව හිමිකම් කොමිසමේ සාමාජිකත්වය දරන්නේ රටවල් 10ක් පමණි. බ්‍රිතාන්‍ය, නෝර්වේ, කැනඩා, අමෙරිකා, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල් 15ක් ශ්‍රී ලංකාවට එරෙහිව අදහස් දක්වා ඇත. මෙහිදී වඩාත් කැපීපෙනෙන්නේ ඉන්දියාව සහ ජපානය මධ්‍යස්ථ පිළිවෙතක රැඳී සිටීමය. ඔස්ට්‍රේලියාවද ශ්‍රී ලංකාවට කතා කර ඇත්තේ මධ්‍යස්ථ ස්ථාවරයක සිටිමිනි.
එහෙත් 13 වැනි සංශෝධනයට අනුව ශ්‍රී ලංකාව බලය බෙදීම සිදු කළ යුතු බවට ජිනීවා හි සිටින ඉන්දීය තානාපති ඉන්ද්‍රමානි පාණ්ඩේ විසින් කළ ප්‍රකාශය ඉන්දියාව ශ්‍රී ලංකාවට එල්ල කරන ලද රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාරයක් බව පෙනෙන්නට තිබේ. 13 වැනි සංශෝධනයට එරෙහිව රජය තුළ සිටින ඇමැතිවරුන් පවා විරෝධය දක්වන අවස්ථාවක 13 වැනි සංශෝධනය මුළුමනින්ම ක්‍රියාත්මක කළ යුතු බවටත් ජාතික ප්‍රතිසන්ධාන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බවටත් වන ප්‍රකාශයක් ජිනීවා සැසිය තුළදී ඉදිරිපත් කිරීම හරහා ඉන්දියාව ප්‍රබල පණිවුඩයක් ලංකාවට ලබා දී තිබෙන බව පැහැදිලිය. ශ්‍රී ලංකාව තමන්ගේ ආසන්නම අසල්වැසි රට මෙන්ම සමීපතම මිත්‍රයකු වශයෙන් හඳුන්වා දෙමින් මේ කතාව කළ පාණ්ඩේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් පෙනී සිටින බවද සඳහන් කර තිබිණි.

මේ පසුබිම යටතේ ජිනීවා සැසියේදී තමන්ට එරෙහි යෝජනාව සම්මත කර ගැනීම වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුවහොත් එය රජයේ සුවිශේෂ ජයග්‍රහණයක් වශයෙන් සටහන් වනු ඇත. ඡන්දය හිමි සාමාජික රටවල් 47න් රටවල් බොහොමයක් තමන්ගේ අභිමතය තවම ප්‍රකාශ කර නැත. මැදපෙරදිග රටවල සහයෝගය ලබාගැනීම රජයේ බලාපොරොත්තුවකි. මුස්ලිම් කොවිඩ් මෘතදේහ භූමදානයට අවසර දෙමින් රජය ගැසට් එක නිකුත් කළේ එම සහාය ලබාගැනීමේ අරමුණින්දැයි කෙනකුට සැක පහළවීම සාධාරණය. එහෙත් එම පියවර ගැනීමට රජය මෙතරම් කාලයක් ප්‍රමාද වීම අවාසියක් වීමටද ඉඩ තිබේ.

කොවිඩ් වසංගතය, පාස්කු කොමිසමේ වාර්තාව සහ පිරිහෙමින් පවතින ආර්ථිකය වැනි අභියෝග මැදින් ආණ්ඩුව යන ගමනට ජිනීවා සැසිය හරස්වීම තීරණ ගැනීමේ සහ විදේශ ප්‍රතිපත්තිය සැකසීමේදී රජය දක්වන අවිනිශ්චිත බවට උදාහරණයකි. මේ අභියෝගය එන බව දැන දැනම ඉන්දියාව, ජපානය අමනාප වන ආකාරයකට කටයුතු කිරීම එම අවිනිශ්චිත බව හොඳින්ම පෙන්වා දෙයි. ජාත්‍යන්තරයට අභියෝග කරමින් රට ඇතුළේ මැතිවරණ ජයගැනීමේ තුරුම්පුව දිගටම කරගෙන යනවාද යන්න ආණ්ඩුව හැකි ඉක්මනින් තීරණය කළ යුතුව තිබේ.

 ශශීන්ද්‍ර