විශ්වාසභංග යෝජනාවක් සාමාන්‍යයෙන් ගෙන එන්නේ අගමැතිට හෝ ආණ්ඩුවට එරෙහිවය. එහෙත් ආණ්ඩුවක ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් එන්නේ කලාතුරකිනි. ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයට ආණ්ඩු පිහිටුවීමෙන් පසුව එහෙම විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවත් එය බලයේ සිටින ආණ්ඩුවට ලොකු අභියෝගයක් නොවේ. කොටින්ම ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව ගෙන ආ දෝෂාභියෝගය හේතුවෙන් ගෙදර යන්න වුණේ ජනාධිපතිවරයාට නොවේ. එය ගෙන ඒමට මූලික වූ ලලිත් ඇතුළත්මුදලිලාටය.
එහෙම වුණත් වර්තමානයේ පවතින යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුව බලයට පත්වූ දා සිටම විශ්වාසභංග අපලයකට මුහුණ දී සිටී. මුලින්ම ආණ්ඩුවේ පළමු මුදල් ඇමැතිවරයා වූ රවි කරැණානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනු ලැබීය. මැතිසබය තුළදී එම යෝජනාව විවාදයට ගැනීම මඟ හැරැණේය. එසේ වූයේ රවි මුදල් ඇමැති පදවියෙන් ඉල්ලා අස්වූ බැවිනි. ඉන්පසුව එවකට සිටි තිලක් මාරපන ඇමැතිවරයාට එරෙහිවද විශ්වාසභංග යෝජනාවක් ගෙන එන ලකුණු පහළ වුවත් ඔහුද ඊට පෙර ඉල්ලා අස්වූයේය. විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාද ඇමැති පදවිය අත්හැරීය. රවි සහ මාරපන දෙදෙනාම දැන් යළි ඇමැති ධුර දරති. ඒ පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගැනීමට සමත් වීම නිසාද කියා එක්වරම පැවසිය නොහැක. එහෙත් දැන් ආණ්ඩුව මුහුණ දී සිටින්නේ තමන්ගේ පාලන කාලය තුළදී එල්ල වූ ලොකුම අභියෝගයටය. රිෂාඩ් බදියුදීන්ට එරෙහි එම විශ්වාසභංගය බැලූ බැල්මට ආණ්ඩුව තුළ ලොකු දෙදරීමක් ඇති කර තිබෙන බවක් පෙනී යයි.
ජනතාවට තදින්ම මතක හිටින ආකාරයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ විට ඕනෑම ආණ්ඩුවක් පත්වන්නේ බලවත් අසීරැ තත්ත්වයකටයි. විශේෂයෙන් වසර 30ක යුද්ධයට පසුව වසර 10ක අසීමිත නිදහසක් විඳි රටක එම නිදහස අහෝසි කර්මයට යැවුණු අවස්ථාවක ජනතාවගේ කෝපය ආණ්ඩුව දෙසට එල්ලවීම බලාපොරොත්තු විය යුත්තකි. එවැනි තත්ත්වයකදී ජනතාවගේ සැකය සහ කෝපය දෙකම එල්ල වන ඇමැතිවරයකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවිට එය කෙළින්ම ආණ්ඩුවේ පැවැත්මට එල්ලවන තර්ජනයක් බවට පත්වීම වැළැක්විය නොහැක. ආණ්ඩුවේ බහුතරය රුකගැනීමට රිෂාඩ්ගේ ආසන 05 ආණ්ඩුවට ඉතා වැදගත් බැවිනි.
ආණ්ඩුව විශ්වාසභංග යෝජනාව ඈතට තල්ලු කර දමා මහින්ද ඇතුළු විපක්ෂයේ දැඩි විරෝධය මැද රිෂාඩ්ට එරෙහි චෝදනා විභාග කර බැලීමට තේරීම් කාරක සභාවක් පත් කරන්නේ මේ පසුබිමේය. එම තේරීම් කාරක සභාවට විපක්ෂය තමන්ගේ නියෝජිතයකු පත්නොකරන බව කියා තිබේ. එහෙත් ජවිපෙ තමන්ගේ එක් මන්ත්‍රීවරයෙකු තේරැම් කමිටුවට නම්කර තිබේ. එසේ වනවිට යූ.එන්.පී.යේ කතෝලික මන්ත්‍රීවරයකු වන කාවින්ද ජයවර්ධන තේරීම් කමිටුවෙන් අස්විය. රිෂාඩ් සාධකය ආණ්ඩුව තුළ ඇතිකර තිබෙන කැළඹීමේ තරම එයින්ම වටහා ගත හැකිය. විශ්වාසභංගයේ බලපෑම මෙතරම් උග්‍රවන තුරු නොසිට ගතහැකි වෙනත් කිසිම ක්‍රියාමාර්ගයක් ආණ්ඩුවට නොතිබිණිදැයි ආණ්ඩුවේ සමීපතමයන් ප්‍රශ්න කිරීමට පටන්ගෙන තිබේ. රිෂාඩ් එරෙහිව රට තුළ තිබෙන විරෝධාකල්ප පිළිබඳව හැඟීමක් නැති ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කරන බවටද තවත් සමහරැන්ගෙන් චෝදනා එල්ල වෙයි. මේ සියල්ල ගලපාගත යුතුවන්නේ පවතින දේශපාලන තත්ත්වය සමගිනි.
රිෂාඩ් බදියුදීන්ට ඇමැති පදවියෙන් ඉල්ලා අස්වීමට අවස්ථාවක් මුලදීම ලබාදුන්නා නම් මේ ප්‍රශ්නය ආණ්ඩුවට මෙතරම් බලපෑමක් නොකරනු ඇති බව සමහරැන්ගේ විශ්වාසයයි. රවිට අස්වෙන්න කියන්න පුළුවන් නම් ඇයි රිෂාඩ්ගෙන් එහෙම ඉල්ලීමක් කරන්න බැරි කියා බොහෝදෙනා අසන බව ආණ්ඩුව නොදැන සිටිය නොහැක. එහෙත් ඒ වෙනුවට ආණ්ඩුව තෝරාගෙන ඇත්තේ රිෂාඩ් වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු ආරක්ෂා කරගැනීමේ තැනකට තල්ලු වී විපක්ෂය සමඟ පාර්ලිමේන්තුව තුළ ගැටුමකට යාමේ පිළිවෙතකි. මෙය එක අතකින් දේශපාලන “ගේම්” එකකි. රටේ සෙසු බරපතළ ප්‍රශ්න සියල්ලටම වඩා දැන් විපක්ෂය කතා කරන්නේ රිෂාඩ් ගැන පමණි. එය ප්‍රශ්නයක් බව සැබෑය. එහෙත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසුව රටේ ඇති වූ තත්ත්වයට විසඳුම රිෂාඩ් ඇමැති තනතුරින් පන්නා දමා ආණ්ඩුව බකල් කිරීම පමණක් නොවන බව විපක්ෂයද තේරුම් ගැනීම අවශ්‍යය.
ආණ්ඩුව ත්‍රස්ත ප්‍රහාරය ගැන නොදැන සිටීමේ වගකීමෙන් මිදෙන්නට කළ සටන මේ හේතුවෙන් යටපත්ව ගොස් තිබේ. ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව බුද්ධි අංශ ලබාදුන් තොරතුරු පමණක් නොව ඉන්දියාව ලබාදුන් තොරතුරුද නොසලකා හැරීමේ ප්‍රතිවිපාක දැන් මුළු රටටම දැනෙමින් තිබේ. ආර්ථිකයට සිදුවූ හානියේ බරපතළකම තව ඉදිරියේදී දැනගන්නට ලැබෙනු ඇත. මේ සියලු ප්‍රශ්න එහෙමම තිබියදී රිෂාඩ්ගේ විශ්වාසභංග යෝජනාවේ එල්ලී සිටීම ආණ්ඩුවට යම් තරමක සහනයක් වී තිබෙන බවද පෙනෙන්නට තිබේ. එම විශ්වාසභංග යෝජනාව මාසයකින් එහාට තල්ලු කරදැමීමට ආණ්ඩුව සූක්ෂම වූයේද පාර්ලිමේන්තුව ඇතුළේ ඒ පිළිබඳ කලබැගෑනියක් ඇතිවන තැනට වැඩ කටයුතු කිරීමෙනි. දිනේෂ්ලා, විමල්ලා කොච්චර කෑ ගැසුවත් දැන් විශ්වාසභංගය විවාදයට ගැනෙන්නේ තව මාසයකට පසුවය. ඒ අතරවාරයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් නැතිව ක්‍රියාත්මක වන තේරීම් කාරක සභාවෙන් රිෂාඩ්ව ශුද්ධ කිරීමේ කාර්ය ඉටුකිරීමට ද තිබෙන්නේ ලොකු ඉඩකඩකි.
තව මාස 05කටත් අඩු කාලයක් තුළදී මේ රටේ ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතය. රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය මත තබා ආණ්ඩුවේ ගමන බකල් කිරීමට විපක්ෂය කටයුතු කරන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසියේම තමන්ගේ බලතල පාවිච්චි කරමින් ඥානසාර හිමියන් ජනාධිපති සමාව යටතේ සිර ගෙදරින් නිදහස් කිරීමට පියවර ගත්තේය. බොහෝ දෙනා මෙය දකින්නේ හදිසියේම මෙවැනි පියවරක් ගෙන ඥානසාර හිමියන් නිදහස් කළේ ජනාධිපතිවරණය පිළිබඳ සිතේ තබාගෙන බවය. පසුගිය සති කිහිපය තුළ වූ සිදුවීම් හේතුවෙන් සිංහල බෞද්ධ ජනතාවගේ හැඟීම් දැඩි ලෙස උත්සන්නව පවතිද්දී ඥානසාර හිමියන් නිදහස් කිරීම එම ජනතාවගේ හැඟීම් සමඟම එකට යාවෙන බව පැහැදිලිය. එයින් ලකුණු ලබාගැනීමට බොහෝ පිරිසක් උත්සාහ දැරුවත් ඒ ලකුණු සියල්ල දේශපාලන වශයෙන් එකතුවෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාටය.
ඥානසාර හිමියන් නිදහස් කිරීම සම්බන්ධයෙන් මහින්ද ඇතුළු ඒකාබද්ධය අනුගමනය කළේ සම්පූර්ණ නිහඬ පිළිවෙතකි. මෙය රෑ වැටුණු වළේ දවල් නොවැටීමට වගබලා ගැනීමක් වශයෙන් පෙනෙන්නට තිබේ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමඟ රට තුළ ඇතිවූ අනාරක්ෂිත තත්ත්වයෙන් උපරිම දේශපාලන වාසිය ලැබුණේ රාජපක්ෂවරුන්ටය. එහිදීද මහින්ද ක්‍රියාකළේ ඉතාම සීරැවෙන් බව පැහැදිලිය. පසුගිය කාලය තුළදී දීර්ඝ මාධ්‍ය නිවේදන නිකුත් කරමින් සිටි මහින්ද පාස්කු ඉරිදායින් පසුව ඒවා කෙටි සටහන්වලට සීමා කළේය. එහෙත් ඔහුගේ එම කෙටි ප්‍රකාශ ආණ්ඩුවේ පාලනයට දැඩි ලෙස රිදවූ බව පැහැදිලිය. ආණ්ඩුවට අවශ්‍යව ඇත්තේ ඒ තත්ත්වයෙන් හැකි ඉක්මණින් ගැලවීමටය. රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය ගෝරි ගොඩක් බවට පත් කරගන්නේ ඒ නිසාදැයි කියන්නත් බැරිය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ ආකාරයට නිදහස් කිරීම මේ රටේ ජාතික දේශපාලනයේ භයානක පූර්වාදර්ශයක් සැපයීමක් බව සමහර දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ. ඥානසාර හිමියන් සිරගතවූයේ උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේය. රාජපක්ෂ පාලනය අවසන් කාලය වනවිට රටපුරා දැඩි මුස්ලිම් විරෝධී හැඟීම් ඇති කිරීමට ඥානසාර හිමියන්ගේ ක්‍රියාකලාපය හේතු විය. අලුත්ගම සහ බේරුවල ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට ඥානසාර හිමියන්ගේ ක්‍රියාකලාපය හේතු වූ බවට ඒ දිනවල දැඩි ලෙස චෝදනා නැගුණේය. එහි ඇත්ත නැත්ත කුමක් වුවත් දේශපාලන වශයෙන් එදා එම චෝදනාවල අවාසිය කරකැවුණේ මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිවය. එය 2015 ජනාධිපතිවරණයේදී තීරණාත්මක සාධකයක් බව පත්විය. ඥානසාර හිමිගේ නිදහස් කිරීම මහින්දලාට මාතෘකාවක් වීමට ඉඩක් නැත්තේත් ඔවුන් මෙහිදී නිහඬව සිටින්නේත් මේ හේතුවෙනි. කෙසේ වුවද පශ්චාත් යුද සමයේ මෙරට බිහිවූ ප්‍රබල සිංහල බෞද්ධ දේශපාලන බලවේගය උන්වහන්සේ නායකත්වය දෙන බොදුබල සේනාව බවට විවාදයක් නැත. එහෙත් එවැනි බලවේගයක් ක්‍රියාත්මක වීම මෙරට තුළ පැවැතිය යුතු ජාතික සමගියට බාධාවක්ද නැත්ද යන්න අනාගතයේදී තීරණය වනු ඇත.
කෙසේ වුවද මීළඟ ජනාධිපතිවරණයේදී ඥානසාර හිමියන් මැතිවරණ වේදිකාවට ගොඩවන්නේදැයි තවම කීමට කල් වැඩිය. එහෙත් උන්වහන්සේ රාජපක්ෂවරුන් නායකත්වය දෙන ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ වේදිකාවට ගොඩවීමට නම් ඉඩක් නැති බව පැහැදිලිය. එසේම ඥානසාර හිමියන්ට නිදහස ලබාදීම මෛත්‍රීපාල සිරිසේන මහතාට දේශපාලන වාසියක් ගෙන දීමට මේ අවස්ථාවේදී හේතු වන බව පෙනෙන්නට තිබේ. ඥානසාර හිමියන් නිදහස් කරන්නැයි දිගින් දිගටම රටේ විවිධ පාර්ශ්ව වෙතින් හඬ නැගුණද පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සමඟ උද්ගත වූ තත්ත්වය උන්වහන්සේ සම්බන්ධයෙන් රට තුළ තිබූ ජනප්‍රියභාවය එකවරම ඉහළ දැම්මේය. එය ජනාධිපතිවරයාගේ තීන්දුව සමඟ මුදුනටම ගොස් තිබේ. මේ තත්ත්වය මත ඉන්දියාවේ මහ මැතිවරණයෙන් මෝදි ලැබූ විශාල ජයග්‍රහණයද ලංකාවේ දේශපාලනයට බලපෑමක් ඇති කිරීමට ඉඩ ඇත. මෝදි ජයගත්තේ ජාතිකත්වය ඉහළම තුරුම්පුව වශයෙන් භාවිත කරමිනි.
ජනපතිවරණයට තවත් දින ළංවෙත්ම මේ සියලු කාරණා එකම තැනකට කේන්ද්‍රගත වීම වැළැක්විය නොහැක. මෙතෙක් මේ රටේ රජුන් තැනූ ක්‍රියාව ඉටුකළ සුළුතර පක්ෂවල ඡන්ද පදනම කෙරෙහි තවදුරටත් විශ්වාසය තබා කටයුතු කිරීම ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන්ට ගැටලුවක් වීම ඊට හේතුවයි. මුල් කාලයේ අෂ්රොෆ්ගේ කාර්යය ඉටු කිරීමට දැන් රිෂාඩ්ලා සිටිති. තොණ්ඩමන්ගේ කාර්යය දිගම්බරම් අතට පත්විය. එහෙත් 21 වැනිදා බෝම්බ ප්‍රහාරය මේ සියලු කතා වෙනස්ම දිශාවකට තල්ලු කරමින් තිබේ. මෙහිදී වඩාත්ම අවධානය යොමුවනු ඇත්තේ රටේ ප්‍රධානම ඡන්ද දායකයන් වන සිංහල - බෞද්ධ ඡන්ද පදනම එකට එකතු කිරීමය. එසේ වීමට නම් පක්ෂ භේදයකින් තොරව රටම පිළිගන්නා පුද්ගලයකු ජනාධිපතිවරණ වේදිකාවට පැමිණිය යුතුය. එවැනි අය සිටිත්ද?
දැනට එවැනි කිසිවකුත් පෙනෙන්නට නැත.
- ශශීන්ද්‍ර