පාතාලයේ අපරාධකරුවන් සහ දේශපාලනඥයන් අතර පවතින විවිධ සම්බන්ධකම් ශ්‍රී ලංකාවේ දේශපාලනයට අමුත්තක් නොවේ. මරදානේ චොප්පෙ, අග්ගොන චන්දරේ, ගෝනවල සුනිල්, සොත්ති උපාලි, බැද්දගානේ සංජීව ඒ චරිත කිහිපයකි. මේ පාතාලයෝ ආණ්ඩුව මොකක්ද එහි බලවත් චරිතයකට හෝ චරිත කිහිපයකට හෝ හේත්තු වී තමන්ගේ වැඩේත් කරගෙන දේශපාලකයාගේ වැඩත් කරදී වැජඹෙති. වරින්වර දේශපාලන වේදිකාවල පවා මොවුන්ගේ නම් ගම් සහ ඔවුන්ට සම්බන්ධ දේශපාලනඥයන් ගැන විවිධ කතා මතුවෙයි. නමුත් මේ රටේ දේශපාලනයට තවමත් පාතාලය සමඟ පවතින සබඳතා දුරුකර ගැනීමට බැරි වී තිබේ. මධූෂ්ගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ දේශපාලන කරළියම කැළඹී ගියේ ඒ හේතුවෙනි.
මධූෂ් නිකම්ම පාතාලයෙක් නොවීම මීට හේතුවය. ඔහු සමඟ අඩුම තරමින් දුරකතනයෙන් හෝ ගනුදෙනු කළ දේශපාලනඥයන් 20ක් පමණ මැතිසබයේ සිටින බව හෙළි වී ඇතැයි කියයි. විවිධ දේශපාලන පක්ෂවලට අයත් මේ මන්ත්‍රීන් පිරිස මධූෂ් සමඟ පැවැත්වූයේ කුමන ආකාරයක සම්බන්ධයක්දැයි තවම හෙළිවී නැත. සමහරැන් මධූෂ් මෙරට සිටියදීද තවත් සමහරැන් ඔහු ඩුබායි සිටියදීද හමුවී කතාබස් කර ඇති බවද කියති. එවැනි හමුවීම් සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික් සාක්ෂි* පවා තිබෙන බවද නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. මේ නිසා මධූෂ් ඇල්ලීම සමහර දේශපාලනඥයන්ට නින්ද නොයන රාත්‍රීන් උදාකර ඇතැයිද පැවැසෙයි.
මධූෂ් හැදුණේ වැඩුණේ දකුණේය. එහෙත් ඔහුට සම්බන්ධකම් ඇති දේශපාලනඥයන් සිටියේ දකුණේ පමණක් නොවන බව සඳහන්ය. ඔහු ලංකාවේ සිටියදී කිහිපවරක්ම අත්අඩංගුවේ සිටියත් පසුව ඉන්දියාවට පැනගත් බවත් ඉන්දියාවේදී කොටුවූ අවස්ථාවේදී මධූෂ් මෙරටට කුදලාගෙන ඒමට තිබූ හොඳම අවස්ථාවක් වැළැක්වුණු බවත් ඒ දවස්වල කතා පැතිරුණේය. ඉන්පසුව වාර්තා වුණේ මධූෂ් ඉන්නේ ඩුබායිවල බවය. එහි සිටිමින් ශ්‍රී ලංකාව තුළ මත්කුඩු ජාවාරම සහ මිනීමැරුම්, කප්පම් ගැනීම් ඇතුළු බිහිසුණු අපරාධ මෙහෙයවන බවය. මේ කතා රටේ බොහෝ දෙනාට චිත්‍රපට කතාවලට දෙවැනි වූයේ නැත. ඔහු ඩුබායි සිට මොන දේ කළත් ඩුබායි පොලීසිය මගින් සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට පත් වෙන තෙක් මධූෂ් මෙරටට ගෙන්වා ගැනීමට කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන තිබුණේ නැත. අඩුම තරමින් උත්සාහයක් හෝ දරා තිබුණාදැයි සැකය.
මධූෂ්ගේ නම දේශපාලනයට වඩාත් ගෑවුණේ ජනාධිපති සිරිසේන සහ ගෝඨාභය ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ කතාව එළියට බැසීමත් සමඟය. එක් අවස්ථාවකදී ප්‍රකාශ වී තිබුණේ එම කුමන්ත්‍රණයට මධූෂ් හවුල්කර ගැනීමට සමහරැන් උත්සාහ කර ඇති බවය. දැන් උසාවිය හමුවේ කියැවෙන්නේ දැනට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ඩී.අයි.ජී. නාලක සමඟ මධූෂ් එක්ක ඇල්ලූ ගායක අමල්ගේ ළඟ සම්බන්ධයක් තිබූ බවකි. මේ සිදුවීම් එළියට ඇදෙන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට විවිධ වේදිකාවලදී ප්‍රකාශ කිරීමට බොහෝ කරුණු එකතුවෙයි. ඒ අවස්ථා ජනාධිපතිවරයා දෑතින්ම බදා අල්ලා ගන්නා බව පැහැදිලිය.
ජනාධිපතිවරයා දැන් දිගින් දිගටම ප්‍රකාශ කරන්නේ කුඩු පාතාලය මර්දනය දැඩිව සිදුකෙරෙන්නේ තමන්ගේ බාරයට පොලීසිය පවරා ගැනීමෙන් පසුව බවය. මේ තරමට කුඩු ජාවාරම්කරැවන් වටලා අත්අඩංගුවට ගැනීමක් මින් පෙර නොසිදු වූ බවද ජනාධිපතිගේ කතාවල සඳහන් වෙයි. මධූෂ් අල්ලා ගැනීමෙන් පසුව ඊට උප්පැන්න ලබාදීමට ඇතැම් අය කටයුතු කරන බවද ඔහු කියා තිබිණි.
යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයෝ කියන්නේ මධූෂ් කොටුකර ගත්තේ තමන් සිදුකළ දැල එලීම නිසා බවය. මධූෂ් සම්බන්ධයෙන් තොරතුරු ලබාගෙන එම තොරතුරු සම්බන්ධයෙන් අදාළ පිරිස් දැනුවත් කිරීම ඩුබායි සිටි මධූෂ් කොටුකර ගැනීමට හේතු වූ බවද ඔවුන්ගේ අදහස විය.
කෙසේ වුවද පැහැදිලි වන්නේ මධූෂ් අල්ලා ගැනීම ඇතැම් දේශපාලනඥයන්ට සතුටට කරැණක් වන අතර තවත් පිරිසකට එය කම්පනයක් වී ඇති බවය. ඒවාට හේතු පසුව හෙළිදරව් වීමට ඉඩ තිබෙන අතර ඇතැම්විට ඒවා කවදාවත් හෙළි නොවීමටද ඉඩ තිබේ. පවතින තත්ත්වය තුළ මධූෂ් වැනි පාතාලයේ මහ කෙරැමකු අල්ලා ගැනීමට ලැබීම තමන්ගේ දේශපාලන වාසියට යොදවා ගැනීමටද සමහරුන් කල්පනා කරන බව පෙනේ. ඒ අතින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉන්නේ ඉදිරියෙනි.
ජනාධිපතිවරයා මුලසිටම කියා සිටියේ මේ මත්කුඩු උවදුර මුලිනුපුටා දැමීමට තමන් කටයුතු කරන බවය. ඒ සඳහා පොලීසියට අවශ්‍ය කරන සියලු නිදහස තමා ලබාදෙන බවද කියා තිබිණි. සිරගෙදර සිටිමින් මත්කුඩු ජාලය මෙහෙයවන අපරාධකරැවන් පෝරකයට යවන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. එළඹෙන ජනාධිපතිවරණයේදී තමන්ගේ පැත්තට ලකුණු වැඩිකර ගැනීමට ජනාධිපතිවරයා මේ සියල්ල භාවිත කිරීම ගැන පුදුම විය යුතු නැත. ඔහු තම පිලිපීන සංචාරයද මතට එරෙහි සටනට ලකුණු එකතු කිරීමට යොදා ගත්තේය.
පළාත් සභා ඡන්දය පිළිබඳව කුමක් කතාකළද එය පැවැත්වීමට ඇත්තේ ඉතා සීමිත ඉඩක් පමණි. එම ඉඩද ලැබෙන්නේ යූ.එන්.පී.ය පාර්ලිමේන්තුවට පරණ ක්‍රමය යටතේ ඡන්දය පැවැත්වීමට අදාළ යෝජනාව ගෙන ආවොත් පමණි. එය සිදු නොවන්නේ නම් පළාත් සභා ඡන්දය පැවැත්වීම පැහැර හැරීම පිළිබඳව යූ.එන්.පී. ප්‍රමුඛ ආණ්ඩුවට බැණවැදීම හැර ජනාධිපතිවරයාට වෙනත් කළ හැකි යමක් නැත. එහෙත් එයද සිදුකළ හැක්කේ තව මාස කිහිපයක් පමණි.
ජනාධිපතිවරයාත් අගමැති ප්‍රමුඛ ආණ්ඩුවත් මෙතෙක් කල් මුහුණට මුහුණ ගැටුණේ නැතත් එය දැන් ආසන්න වශයෙන් සිදුවෙමින් පවතී. ජනාධිපතිවරයා ඉකුත් සතියේ පාර්ලිමේන්තුවට පැමිණ කළ ප්‍රකාශයට අගමැති රනිල් දැඩි පිළිතුරක් දුන්නේය. ඉන්පසුව විජයදාස රාජපක්ෂද යළිත් අගමැතිගේ කථාවට ජනාධිපතිවරයා වෙනුවෙන් දැඩි පිළිතුරක් ලබාදී තිබිණි. මේ වාග් ප්‍රහාර ඉදිරි කාලය තුළදී වඩාත් උත්සන්න වීමට හොඳටම ඉඩ තිබේ. ජනාධිපතිවරණයේදී පොහොට්ටු-අත සන්ධානයෙන් සිරිසේන මහතාට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට මෙවැනි ලකුණු එකතු කිරීම් හේතුවනු ඇතැයි ජනාධිපතිවරයාට සහාය දක්වන පිරිසගේ මතය වී ඇති බව පෙනෙන්නට තිබේ. එහේත එසේ විමට ඇත්තේ ඉතා සුළු ඉඩක් පමණක් බවද පැහැදිලිය.
තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ඇති අවස්ථා පිළිබඳව ජනාධිපතිවරයා තුළ කිසියම් ගණන් බැලිමට ඇති බවට සැහකයක් නැත. එහෙත් එම ගණන් බැලීම්වලට පොහොට්ටුවෙන් ලැබෙන ප්‍රතිචාර නම් සුබවාදී නොවේ. පොහොට්ටු මන්ත්‍රීවරුන් ගණනාවක්ම පසුගිය කාලය තුළදී සිරිසේන මහතාට අපේක්ෂකත්වය ලබාදීමට ප්‍රසිද්ධියේ විරෝධය දක්වා තිබිණි. ඒ සෑම අවස්ථාවකදීම මහින්ද ඔවුන්ගේ දැඩි අදහස් සමනය වන ආකාරයට කටයුතු කළේය. එහෙත් බැසිල් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමේදී මහින්ද එරෙහි වන්නේ නැත. පොදුජන එක්සත් පෙරමුණ (පොහොට්ටුව) පිහිටුවා පෝෂණය කොට පුංචි ඡන්දයේ විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට මගපාදා දුන් බැසිල්ට මහින්ද ඉදිරි දේශපාලනය ගැන පෞද්ගලිකව කරැණු කියනවා හැරෙන්නට ප්‍රසිද්ධි කතා කරන්නේ නැත. කෙසේ වුවත් බැසිල් ජනාධිපතිවරණය පිළිබඳ අදහස් දැක්වීමේදී තමන්ගේ මතය පැකිලීමකින් තොරවම කියා දැමූ අවස්ථා දෙකක් පසුගිය දිනවල ඇසිය හැකි විය. මේ කතා දෙකම ඔහු කියා තිබුණේ පොහොට්ටුවේ සාමාජිකයන් සමඟ පැවැති හමුවීම්වලදීය.
මීට සති දෙකකට පමණ පෙර ඔහු ප්‍රකාශ කළේ මීළඟ ජනාධිපතිවරණයේදී යූ.එන්.පී.යට එරෙහිව ඉදිරිපත් කෙරෙන අපේක්ෂකයා නිසැකවම පොහොට්ටුවේ සාමාජිකයකු බවය. සිරිසේන මහතා ශ්‍රීලනිප නායකයා වී සිටින තත්ත්වයක් තුළ මේ කියන්නේ පොහොට්ටුව සිරිසේන මහතා අපේක්ෂකයකු වශයෙන් සලකා නොබලන බවය. මේ පිළිබඳව විමසූ විට මහින්ද කියා තිබුණේ අපි ඉදිරිපත් කරන්නේ දිනන්න පුළුවන් අපේක්ෂකයකු බවය. බැසිල් ඉන්පසුව පසුගිය බ්‍රහස්පතින්දා (14) පොහොට්ටු සාමාජිකයන් හමුවීමකදී ප්‍රකාශ කර තිබුණේ පොහොට්ටුව බිහිකිරීමට වසර 02ක් ගියත් ජනාධිපති අපේක්ෂකයකු තේරීමට තමන්ට ගත වන්නේ සුළු කාලයක් පමණක් බවය. ඊළඟ ජනාධිපතිවරණයේදී වඩාත් වැදගත් වන්නේ අපේක්ෂකයා කවුද යන්න නොව ප්‍රතිපත්ති බවද ඔහු කියා තිබුණි. (මේ කතාව පහළින් වෙනම පළවෙයි) මේ කියන්නේත් පොහොට්ටුව අපේක්ෂකයා තෝරාගත්තේ තමන්ට අවශ්‍ය ආකාරයකට බවය. ඒ තුළ සිරිසේන මහතාට ඇත්තේ කොපමණ අවස්ථාවක්ද යන්න ගණං බැලීම අපහසු නැත. මෙතෙක් ඉදිරිපත් නොවූ අපේක්ෂකයකු සම්බන්ධයෙන් පොහොට්ටුව වඩාත් බලාපොරොත්තුව තබාගෙන සිටින බවක්ද එයින් කියැවෙන බවක් පෙනී යයි.
මීට වසර හතරකට පෙර ආණ්ඩුව බිහිවූ ගමන් පොලීසියට, සී.අයි.ඩී.යට, එෆ්.සී.අයි.ඩී.යට, උසාවියට යමින් එමින් සිටි බැසිල් මාස ගණනාවක් සිටියේ රෝහල්ගත රිමාන්ඩ් සිරකරුවකු වශයෙනි. ඔහුගේ පාස්පෝට් එකද තිබුණේ උසාවි භාරයේය. බොහෝ දෙනෙකුගේ අදහස වී තිබුණේ බැසිල්ට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී තිබෙන බැවින් ඔහුට බොහෝ කාලයක් සිරගත වී සිටිනු ඇතැයි යන්නයි. එහෙත් ආණ්ඩුවට වසර හතරක් ගෙවී යන විටදි අද බැසිල් මේ රටේ බිහිවූ අලුත් ශක්තිමත්ම පක්ෂයේ තීරණ ගන්නා බලවතා බවට පත්ව සිටින්නේය. ඔහුගේ දේශපාලන ගමනක අවසානය බලාපොරොත්තුවෙන් සිටි සියලුදෙනා දැන් දකිමින් සිටින්නේ මීළඟ ජනාධිපතිවරණයෙන් දිනුවොත් එවිට බිහිවන ආණ්ඩුවේ බලවත්ම පුද්ගලයකු වීමට සියලු සුදුසුකම් සපුරන බැසිල් දෙසය. මෙය මේ රටේ දේශපාලනයේ එක් පැතිකඩක ජීවමාන උදාහරණයකි.
කෙසේ වුවද යූ.එන්.පී.යද මීළඟ ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව තබා ඇත්තේ විශාල බලාපොරොත්තුවකි. අපේක්ෂකයා වනු ඇත්තේ රනිල්ද, කරුද, සජිත්ද එසේත් නැතිනම් වෙනත් පොදු අපේක්ෂකයෙක්ද යන්න තවම පැහැදිලි නැත. එහෙත් දැනට ඉදිරියේ සිටින්නේ රනිල්ය. කරුගේ නමද සලකා බලමින් පවතින බවද සඳහන් වෙයි. යූ.එන්.පී. ජ්‍යෙෂ්ඨයෝ ගණනාවක් තමන්ගේ හිතවතුන් සමඟ ප්‍රකාශ කර ඇත්තේ යූ.එන්.පී.ය මීළඟ ජනාධිපතිවරණයට යා යුත්තේ අලුත් අපේක්ෂකයකු සමඟ බවය. එසේ නොතිබුණොත් අලුත් ඡන්ද ආකර්ෂණය කර ගැනීම තබා යූ.එන්.පී. ගමේ සාමාජික ඡන්ද තබා ගැනීම පවා අසීරැ විය හැකි බවය. අලුත් මුහුණු අවශ්‍ය වන්නේ යූ. එන්.පී.යට පමණක් නොවේ. පොහොට්ටුව සහ ශ්‍රීලනිපයද අලුත් මුහුණු සමඟ එළියට නොබැස්සොත් තරුණ ඡන්ද ලබාගැනීම නම් බෙහෙවින් අසීරු වනු ඇත.
- ශශීන්ද්‍ර