2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

නිමල් ලන්සා ආණ්ඩුව කළඹයි

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 423

  • අධිභාර බද්දෙන් ඊ.පී.එෆ්. - ඊ.ටී.එෆ්. ඉවත් කරයි
  • පොලිස් ඇමැතිට ජනපතිගෙන් තද පිළිතුරක්
  • රන්ජන් දේශපාලන පළිගැනීම් කොමිසමේ
  • කතෝලික ප්‍රජාව සමඟ ජවිපෙ සාකච්ඡාවක 
  • හරීන්ට තම ගුරුවරයා මතක් වෙයි
  • රනිල් - චම්පික වෙල්ගම රහස් සාකච්ඡාවක?
  • චමුදිතගේ නිවෙසට ගිය දේශපාලනඥයෝ

ගල් ගැසීම්, සිත් රිදීම්, ඇද වැටීම්, නැගිටීම්  බහුල සතියක් ගෙවී ගියේය. රහස් සාකච්ඡා කිහිපයක් පිළිබඳ තොරතුරු වාර්තා වෙමින් තිබුණි. පක්ෂ විපක්ෂ අභ්‍යන්තර අර්බුද ද ජනතාව හමුවේ එළිදරව් වන්නට විය. මේ සියල්ල අතරේ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් පිළිබඳව අනතුරු සංඥා නිකුත් වෙමින් තිබුණි.

පසුගිය සතිය ඇරඹුණේය. ඒ කැබිනට් මණ්ඩලයේ වූ විශේෂ සංවාදයක් සමඟිනි. සඳුදා (14) පස්වරුවේ කැබිනට් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී විශේෂ අවධානයක් යොමුවුණේ සියයට විසිපහේ අධිභාර බද්ධ පිළිබඳවයි. මේ සම්බන්ධ කැබිනට් සාකච්ඡාවක් සිදුවෙතැයි දේශපාලන ආරංචි මාර්ග තහවුරු කොට තිබුණි. කෙසේවෙතත් අධිභාරය සම්බන්ධ සාකච්ඡාවට ප්‍රවේශය ලබා ගත්තේ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාය.

මේවා විශ්‍රාම වැටුප් අරමුදල් එකොළහකටත් වැටෙනවා. ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. අරමුදල් දෙකටත් වැටෙනවා. මේක රාජ්‍ය සමාගම් පිළිබඳ ගිය ආණ්ඩුව ඉදිරිපත් කරපු නිර්වචනයේ ප්‍රතිඵලයක්. ගිය ආණ්ඩුව තමයි මේ ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. දෙක රාජ්‍ය සමාගම් කියන අර්ථකථනය යටතට දැම්මේ. මෙවන් අදහසක් ඉදිරිපත් කරමින් සංවාද ආරම්භ කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඊ.ටී.එෆ්., ඊ.පී.එෆ්. දෙක රාජ්‍ය සමාගම් යටතේ තැබීම නොසුදුසු බවයි. ඒ නිසාවෙන් මෙම අරමුදල් සම්බන්ධ සංවේදීව කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය.

මේ අතර මෙය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට විෂය වන කරුණක් නිසාවෙන් ඒ පිළිබඳ අදහස් දැක්වීමට ඔහු ඉදිරිපත් විය. මේකට ඒ ආයතන ඇතුළත් වෙලා තිබ්බේ නෑ. ගිය ආණ්ඩුව කරපු අර්ථකථන නිසා තමයි මේවා ඇතුළත් වෙලා තියෙන්නේ. තව විශ්‍රාම වැටුප් අරමුදල් 12ක් ඇතුළත් වෙලා තියෙනවා. මේ ටික අයින් කරන්න පුළුවන්. එතකොට අපිට රුපියල් බිලියන 80ක් විතර ආදායමක් නැති වෙනවා. එහෙම වුණොත් ඒ මුදල හොයාගන්නේ කොහොමද? මෙලෙස ප්‍රශ්න කරමින් බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා පවසා සිටියේ වැට් බද්ද සීයට තුනකින් වැඩි කොළොත් මේක හොයා ගන්න පුළුවන් යනුවෙනි.

මෙහිදී නැගී සිටි උදය ගම්මන්පිල අමාත්‍යවරයා කියා සිටියේ ඇමතිතුමා මේකේ පොඩි ප්‍රශ්නයක් තියනවා. අධිභාර බද්ද කියන්නේ සෘජු බද්දක්. ඒ නිසා ඒ බද්ද අයින් කරලා පාරිභෝගිකයන්ට බලපාන වැට් බද්ද වැඩි කරොත් ජනතාවට දරාගන්න අමාරුයි. යනුවෙන් පැවසුවේය. ඒ අනුව උදය ගම්මන්පිල මහතා කියා සිටියේ අධිභාර බද්ද කොටස් වශයෙන් අයකිරීම උචිත බවයි. මෙහිදී නිමල් සිරිපාල අමාත්‍යවරයා ද අධිභාර බද්දෙන් කම්කරු ජනතාවට යහපතක් සිදු නොවන බව කියා සිටියේය. මේ හා සම්බන්ධ තවත් ඇමතිවරු කිහිප දෙනෙක් අදහස් දක්වනට වූහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද කියා සිටියේ මේ ආකාරයෙන් බදු අය කිරීම එතරම් සුදුසු නොවන්නේ යැයි තමන්ද අදහස් කරන බවයි. එම නිසා මේ සම්බන්ධව යම් වෙනසක් සිදුකිරීමට අග්‍රාමාත්‍යවරයාද යෝජනා කර සිටියේය. අවසානයේ බැසිල් රාජපක්ෂ මහතාද ඊට එකඟ වූ අතර මේක මේ අර අර්ථකථන නිසා සිද්ධ වුණු දෙයක්. ගැටලුවක් නෑ. කැබිනට් එක කියන විදිහට මේකට මං සංශෝධන ඉදිරිපත් කරන්නම් යනුවෙන් කීය.

මේ අතර කැබිනට්ටුවේදී ජනපති සතුටු නොවන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළේ අමාත්‍ය සරත් වීරසේකරය. ජනාධිපතිතුමනි, රටේ හැමතැනම උද්ඝෝෂණ පෙළපාළි අරවා මේවා තියෙනවා. ඒ නිසා රටේ ලොකු අවුලක් ඇතිවෙලා. අධිකරණ නියෝග පවා නොතකා සමහර අය උද්ඝෝෂණය කරනවා. අපිට සිද්ධ වෙනවා පොලිසිය දාලා මේවා දැඩි ලෙස පාලනය කරන්න. නැත්තම් බෑ. මේක හරි කරදරයක් වෙලා තියෙන්නේ ආදී වශයෙන් පවසමින් දිගු කතාවක් කළ සරත් වීරසේකර අමාත්‍යවරයා කියා සිටියේ ජනපති, අගමැති සහ කැබිනට් මණ්ඩලය තමන්ට අවසර ලබාදෙන්නේ නම් පවතිනා උද්ඝෝෂණ ආදිය තමන්ට පාලනය කළ හැකි බවයි.

මෙම ප්‍රකාශය සම්බන්ධ ජනපති එතරම් සතුටු වූයේ නැත. පොලීසිය දාලා උද්ඝෝෂණ පාලනය කරන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. මේකට කරන්න පුළුවන් හොඳම දේ අපි මැදිහත් වෙලා හොයලා බලලා කරන්න පුළුවන් දේ කරලා දෙන එක. කරන්න බැරි දෙයක් නම් කරන්න දෙයක් නෑ. අද උදෙත් මම කාර්යාලයට එනකොට මෙතන උද්ඝෝෂණයක් තිබ්බා. මම කිව්වා පස් දෙනෙක් කතා කරලා ඇතුළට අරගෙන ඒ ගොල්ලොත් එක්ක කතා කරලා ප්‍රශ්න නිරාකරණය කරන්න කියලා. කරන්න පුළුවන් දේ කරන්න ඕනෑ. කරන්න බැරි ඒවා කරන්න බෑ. යනුවෙන් ජනපති පැහැදිලි කිරීමක් සිදු කළේය. පොලීසිය දාලා උද්ඝෝෂණ පාලනය කරන කතා නැවත මට කියන්න එපා. ඒක වැරදි පූර්වාදර්ශයක්. ජාත්‍යන්තර වශයෙනුත් ඒවා අපිට බලපානවා. ඔය ජිනීවා සමුළුවත් එනවා. මං මෙච්චර කාලෙකට උද්ඝෝෂණවලට කිසිම දෙයක් කරේ නෑ. ඉස්සරහටත් ඒකම තමා මගේ ප්‍රතිපත්තිය.

මේ අතර පසුගිය සති කිහිපයේ තරමක් නිහඬව සිටි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී සහ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය සතියේ විශේෂ ප්‍රකාශයක් කළේය. සමගි ජනබලවේගය පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ විශ්ලේෂකයන් විසින් තමා ඇතුළු පිරිසට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කර ඇතැයිද ඔහු පවසා තිබුණි. ස්වාධීන අදහස් ගරු කිරීමට අකැමැති මෙම කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාද අපහසුතාවට පත් කරමින් සිටින බවද හරීන් ප්‍රනාන්දු සඳහන් කළේය. අන්තර්ජාල නාළිකාවක් ඔස්සේ මේ හා සම්බන්ධව ඔහු වැඩිදුරටත් අදහස් දක්වා තිබුණි. කවුරුන් කුමක් පැවසුවද තම දේශපාලන ගුරුවරයා අන් කවරකු හෝ නොව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවද ඔහු එහිදී පැවසීය. මෙහිදී හරින් ප්‍රනාන්දු මහතා සජිත් ප්‍රේමදාස මහතා හඳුන්වා දී තිබුණේ තමන්ගේ දේශපාලන ගමන් සගයා සහ ලොකු අයියා ලෙසයි.

මේ අතර සමගි ජනබලවේගයේ අභ්‍යන්තර අර්බුද පිළිබඳ විවිධ කතා පසුගිය සතිය පුරාද පැතිර යමින් තිබුණි. ඒ අනුව පැතිර ගිය නවතම කතාව වූයේ නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම මහතාගේ පක්ෂය අතර සාකච්ජා ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. සමාජ ජාල තුළ මෙන්ම වෙබ් අඩවි කිහිපයක මේ සම්බන්ධ පුවත් පළවන්නට විය. අදාළ රහස් සාකච්ඡා සම්බන්ධ අප පාර්ශ්ව කිහිපයක් විමසා සිටි නමුත් ඒ පිළිබඳ නිශ්චිතව තොරතුරු තහවුරු කිරීමට දේශපාලන ආරංචි මාර්ග අපොහොසත් විය. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සිය පක්ෂය කේන්ද්‍ර කරගනිමින් නව සන්ධාන ගොඩනැගීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබුණි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සතියේ ඉහළ අවධානයක් දිනාගත් දේශපාලන චරිතයකි. ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති නිමල් ලන්සා සිය ඇමැති ධුරයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පසුගිය සතියේ අඟහරුවාදා වනවිට දේශපාලන ආරංචි මාර්ග තහවුරු කළේය. ඔහු සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයටද අමාත්‍යාංශයෙන් ඉවත් වන ලෙස පවසා තිබුණි. මේ අනුව අප වෙත දැනගන්නට ලැබුණේ පසුගිය කාලය පුරාවටම රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා සිය රාජකාරි කටයුතු සම්බන්ධව සිත්තැවුලෙන් පසු වූ බවකි. ඊට එක් හේතුවක් වී තිබුණේ මහාමාර්ග අමාත්‍යාංශයේ විෂයභාර ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරයාට නිසි ලෙස රාජකාරි පවරා නොතිබීම බවද කියැවිනි.

කෙසේ වෙතත් මෙම සිදුවීමට බලපෑ ප්‍රධානතම හේතුව වූයේ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ලේකම් මහාචාර්ය රංජිත් දිසානායක අමාත්‍යාංශයේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා නොදීම සම්බන්ධ සිදුවීමකි. 2022 වර්ෂයේදී රාජ්‍ය අමාත්‍යංශයට වෙන්කළ මුදල රුපියල් බිලියන දහයකි. ඒ අනුව පසුගිය වසරේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට මුදල් ගෙවීම සහ මෙම වසරේ මුදල් වැය කිරීම පිළිබඳව රාජ්‍ය ඇමැතිවරයා සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අතර මත ගැටුමක් නිර්මාණය වී තිබේ. මෙහිදී අමාත්‍යවරයා අලුත් ව්‍යාපෘති සඳහා මුදල් ඉල්ලා සිටියද ලේකම්වරයා එම මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇත. පසුගිය ව්‍යාපෘතිවලට අදාළ ණය ගෙවීමට තිබෙන බව පවසමින් ඔහු මෙලෙස අමාත්‍යවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ තරමක් විශාල මත ගැටුමක් අමාත්‍යාංශ අභ්‍යන්තරයේ හටගෙන ඇතැයි කියැවේ.

මීට ඉහතදීද මහාමාර්ග අමාත්‍යාංශයේ ඇතැම් කටයුතුවලට සහභාගී නොවී සිටීමට රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා කටයුතු කර ඇති බව දැනගන්නට ලැබේ. මධ්‍යම අධිවේගී මාර්ගය විවෘත කිරීමේ උත්සවයටද ඔහු සහභාගී නොවීය. කෙසේ වෙතත් මෙම ආසන්න සිදුවීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා අමාත්‍යාංශයෙන් ඉවත් වීමට සැරසෙන බව ජනාධිපතිවරයාට පවා දැනගන්නට ලැබී තිබුණි. ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ඇතුළු පිරිසක් මේ පිළිබඳ ජනපති දැනුවත් කර ඇත. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතාට උපදෙස් ලබාදී ඇත්තේ කඩිනමින් අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කරන ලෙසයි.

එම සාකච්ඡාවල සහ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ මැදිහත්වීම මත මේ වනවිට නිමල් ලන්සා මහතා ඉවත්වීමේ තීරණය වෙනස් කොට ඇතැයි දැනගන්නට ලැබේ. ඉදිරි සතිය ඇතුළතදී අමාත්‍යාංශයේ ලේකම්වරයා මාරු කිරීම හෝ අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ මාරු කිරීම සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් නිමල් ලන්සාගේ මෙම තීන්දුව සම්බන්ධව පොහොට්ටුවේ රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්න පසුපෙළ මන්ත්‍රීවරුද දැඩි ලෙස කලබල වී සිටි බව දැනගන්නට ලැබේ.
රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා සම්බන්ධ හඬ පටය ද ගෙවුණු සතියේ මාධ්‍ය කැළඹුවේය. නිමල් ලංසා මහතා හට ආණ්ඩුවේම තවත් රාජ්‍ය අමාත්‍යවරයකු වන සනත් නිශාන්ත මහතා දුරකථන ඇමතුමක් ලබා දී තර්ජනාත්මකව බැණ වදින ආකාරයේ හඬ පටයක් මෙසේ සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබුණි. මෙම හඬ පටයට අනුව ලංසා මහතාට ඇමතුමක් ලබා දී ඇති සනත් නිශාන්ත මහතා ශ්‍රීලනිපයේ නියෝජිතයන්ට මාර්ග සකස් කිරීමට ඉඩ ලබා දෙන්නේ නම් තමන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා කුඩුවෙන්න ගසන බවට ඔහු තර්ජනය කරයි. 

අමාත්‍යාංශයෙන් ඉවත්වීමේ තීරණය පිළිබඳ මාධ්‍ය කළ විමසීමකදී නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයා තමා කලකිරීමෙන් සිටින බව ප්‍රසිද්ධියේ පවසා තිබුණි. පසුගිය බ්‍රහස්පතින්දා ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත. ජනාධිපතිවරයා මුණගැසුණු පසු එය හා සම්බන්ධ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමට තමා සූදානම් බවත් ඔහු එහිදී පැවසීය. එසේම තමා අමාත්‍යංශයෙන් බඩු ඉවත් කරගත් බවත් නැවතත් එම අමාත්‍යාංශයට යාමට බලාපොරොත්තු නොවන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.
බන්ධනාගාරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසමට පසුගිය බදාදා රුගෙන ඒමට බන්ධනාගාර බලධාරීන් කටයුතු කළේය. පෙරවරු 9.30ට පමණ රන්ජන් රාමනායක මහතා එම කොමිසමේ පොලිස් විමර්ශන අංශය වෙත රුගෙන විත් තිබුණි. 2015–2019 යහපාලන ආණ්ඩු සමයේදී සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ එම කොමිසම විසින් විමර්ශන සිදුකරන අතර රන්ජන් රාමනායක මහතා එම රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස කටයුතු කරනු ලැබීය. මේ අතර රන්ජන් රාමනායක නිදහස් කිරීම සම්බන්ධවද විවිධ කතා කරළියේ පැතිර යමින් තිබුණි. ඉන් එක් කතාවකට අනුව කියවුණේ ළඟදීම ඔහු නිදහස ලබන බව සහ අනතුරුව විදෙස් රටක පදිංචියට යාමට බලාපොරොත්තු වන බවය.

මේ අතර සිරගතකොට ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක වැලිකඩ බන්ධනාගාරය තුළ සුවසේ අධ්‍යාපන කටයුතුවල නියැලී සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පසුගිය සතියේ පවසා තිබුණි. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා පෙබරවාරි 16 වැනිදා බදුල්ල බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවකදී මේ බව පවසා ඇත. රංජන් රාමනායකට ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා තාක්ෂණ උපකරණ ලබාදී ඇති බවත් ඔහු බන්ධනාගාරය නිලධාරීන්ගේ අධික්ෂණය යටතේ අධ්‍යාපන කටයුතු කරගෙන බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා එහිදී අවධාරණය කළේය.

මේ අතර කාලයේ ජාතික ජන බලවේගය එළඹෙන පෙබරවාරි 26 වැනිදා දැවැන්ත රුලියක් පැවැත්වීමට පිඹුරුපත් සකසමින් සිටියේය. පොහොට්ටුවේ අනුරාධපුරය ජන රුලියට අභියෝග කරමින් මෙම රුලිය දකුණේ තංගල්ල ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව කියැවේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ කතෝලික ප්‍රජාව සමඟ සාකච්ඡා කර ඇති බවටද ගෙවුණු සතියේ අනාවරණය විය. විදෙස්ගත කතෝලික ප්‍රජාව සමඟ ඔවුන් සාකච්ඡා කරමින් සිටින බවට මේ වන විටත් වාර්තා පළ වී තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෑතකාලීනව මතුව ඇති ආන්දෝලනාත්මක තොරතුරු මෙම සාකච්ඡා සඳහා පදනම වී ඇතැයි අනුමාන කෙරෙයි.

මේ දිනවල විපක්ෂයේ පොදු බලවේගයක් ගොඩනැගීමේ ක්‍රියාවලියට දිගින් දිගටම ජාතික ජන බලවේගයට ආරාධනා ලැබෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වසර අවසන් වනවිට මෙම සන්ධානය ගොඩනැගීම සඳහා යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කටයුතු කළ පිරිසක් වෙහෙස වෙමින් සිටින බව කියැවේ. කෙසේ වෙතත් ජාතික ජන බලවේගය මෙම සන්ධාන ක්‍රියාවලිය පිළිබඳ එතරම් අනුකූලතාවක් නොදක්වන බව දැනගන්නට ලැබේ. කෙසේ වෙතත් පසුගිය සති කිහිපය පුරා පාර්ශ්ව කිහිපයක් ඉදිරි කටයුතු සඳහා එකඟතා ගොඩනගා නැගීමට සන්නිවේදනය කරමින් සිටි බවට වාර්තා වේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට එල්ල වූ අසූචි ප්‍රහාර සම්බන්ධව ඉහළ සමාජ අවධානයක් යොමුවිය. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින නමුත් මෙම ප්‍රහාර සම්බන්ධ චෝදනා පාර්ශ්ව කිහිපයක් වෙත එල්ලවනු දැකගන්නට ලැබිණි. කෙසේ වෙතත් මෙම ප්‍රහාර සමඟ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට පැමිණ තොරතුරු සොයා බැලීමට පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු කිහිප දෙනෙක් ඉදිරිපත් වූහ. ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා එලෙස චමුදිතගේ නිවෙසට පැමිණි පිරිස අතර ප්‍රමුඛයෙක් විය. ඔහු මෙම ප්‍රහාර දැඩි ලෙස විවේචනය කළේය. 

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට පැමිණ තොරතුරු සොයා බැලූ බව වාර්තා විය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් තොරතුරු විමසා ඔහුගේ අනුදැනුම යටතේ වජිර අබේවර්ධන මෙම ගමන පැමිණ තිබුණි. බොහෝ වෙලාවක් ඔහු එම ස්ථානයේ රුඳී සිටි බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම අමතා සිදුවීම පිළිබඳ විමසා සිටි බවට වාර්තා වී ඇත. එහිදී චමුදිත තමන්ට නිශ්චිතව සැක කිරීමට අයකු නොමැති බව අග්‍රාමාත්‍යවරයාට පවසා ඇති බව කියැවේ.

කොරියාවේ සෝල් නුවරදී ආරම්භ වූ ලෝක සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත දේශනය පැවැත්වීමට එරට බලා පිටත්ව ගිය ශ්‍රීලනිප නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති අන්තය ගත කළේ කොරියාවේය. ඔහු සිය දේශනයේ දී ශ්‍රී ලංකාවේ වර්තමාන ආණ්ඩුවට රිදෙන්නට යමක් නොකියා කියා ඇතැයි දේශපාලන විචාර පළවිණි. ඒ අනුව ශ්‍රී ලංකාවේදී ත්‍රස්තවාදීන් සමඟ සාමය සඳහා ගත් ක්‍රියාදාමයන් අසාර්ථක වීම නිසා සාමය උදාකිරීම වෙනුවට යුද මාර්ගයට පිවිසුණද එය මෙරටින් උගත යුතු යහපාඩමක් නොවන බව කී හිටපු ජනාධිපතිවරයා යුද්ධය යනු මිනිසාට අතිශයින්ම තිත්ත දෙයක් යැයි ද කියා තිබුණි. මෙම සංචාරයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් ඇතුළු විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් කිහිප දෙනකු හමුවීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට අවකාශය ලැබී තිබුණි.

මේ අතර ශ්‍රීලනිප අභ්‍යන්තර මතගැටුම් සහ සිත් රිදවීම් පිළිබඳව ද විවිධ කතා දේශපාලන කරළියේ අසන්නට ලැබුණි. ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සහ එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවේදී එල්ල කළ චෝදනාවලට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව පක්‍ෂයේ දේශපාලන බල මණ්ඩලයක් රුස් කර තීරණය කිරීම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තීරණය කර ඇති බව කියැවිණි. එසේ නමුත් ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ දැඩි මතභේදාත්මක ස්වරූපයක් පක්ෂ අභ්‍යන්තරයේ හටගෙන ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. දිගින් දිගටම සාකච්ඡා පැවැත්වෙන්නේ ඒ හේතුවෙන් යැයි ඒ අනුව කියැවිණි. 

එළඹෙන ජිනීවා මානව හිමිකම් සැසිය එල්ල කර ගනිමින් දෙමළ ජාතික සංවිධානය ද විවිධ දේශපාලන ක්‍රියාකාරකම්වල නිරත වන ආකාරය පසුගිය සතියේ නිරීක්ෂණය විය. වෙනදා මෙන් උතුරට පමණක් හුදෙකලා නොවී ඔවුන් මෙවර දකුණේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරකම්වල නිරතවීම සුවිශේෂී විය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වහා අහෝසි කරන්නැයි බල කරමින් ජනතා අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් ඔවුන් අරඹා තිබුණි. දැනටමත් මෙම පෙත්සම් ව්‍යාපාරය දීපව්‍යාප්තව සිදුවන අතර කොළඹ දිස්ත්‍රික්කයේදී මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිදුවිය. වාර්තා වන පරිදි මේ වනවිට පෙත්සමට  අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අත්සන් යොදා තිබේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන්  මහතා  අගරදගුරු හිමිපාණන් හමුවී මේ පෙත්සම ඉදිරිපත් කර තිබිණි.

පසුගිය සිකුරාදා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර විශේෂ රාජ්‍ය තාන්ත්‍රික ලිපි ගනුදෙනුවක් සිදුවී තිබුණි. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 65ක් සපිරීම නිමිත්තෙන් මෙලෙස සුබ පැතුම් ලිපි හුවමාරු කර ගැනීම සිදුවිය. ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් මහතාට සහ රුසියානු ජනතාවට සුභ පැතුම් එක්කර තිබුණි. 

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා සිය ලිපියෙන් සිහිපත් කර ඇත්තේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රය තුළ ශ්‍රී ලංකාව සහ රුසියාව විවිධ ක්ෂේත්‍ර සම්බන්ධව සමීපව සහයෝගයෙන් කටයුතු කර ඇති බවයි. රුසියානු - ශ්‍රී ලංකා සබඳතා සෑම අංශයකින්ම තවදුරටත් පුළුල් ලෙස වර්ධනය කරගත හැකි බව තමා විශ්වාස කරන බවද රුසියානු ජනාධිපතිවරයා පවසා තිබේ. එසේම මිත්‍රශීලීව ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලන අතර කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව සහතික කරන බවද වැඩිදුරටත් පවසා තිබුණි. 

පසුගිය සිකුරාදා වනවිට තවත් සුවිශේෂී සිදුවීමක් වාර්තා විය. එනම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට එරෙහිව එල්ල වී තිබූ සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියෝග කරනු ලැබීය. මේ සමඟම හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ද පාස්කු නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කර තිබුණි.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත එල්ල වන චෝදනා බරපතළ වෙමින් පවතින බව පෙනී ගියේය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නඩු නොපවරන්නේ තුනෙන් දෙකේ බලය රුකගන්න දැයි අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා ඉකුත් බ්‍රහස්පතින්දා ප්‍රශ්න කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ පියතුමා මෙම ප්‍රකාශය සිදුකර තිබුණි.

  චමිදු නිසල්

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00