2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා

අමුතු චීනේ මාර මාධ්‍ය

 2024 පෙබරවාරි 10 වන සෙනසුරාදා, ප.ව. 02:00 46

ඔන්න මචෝ අද අපි චීනෙ පැත්තෙ සංචාරයක් යන්න ලෑස්තිය. සුදාලා ලංකාවේ වගේම ලෝකේ අනිත් රටවල්වල Y Trend ගැන දන්නවා. සාමාන්‍යයෙන් මේ වෙනකොට මුළු ලෝකයම Social media වලින් පිස්සු වැටිලා ඉන්නේ. ඒත් සුදාලා දන්නවද ලෝකෙම එහෙම වුණත්, චීනේ ඊට වඩා වෙනස් කියලා.

ඒකට හේතුව තමා මචෝ අපි සාමාන්‍යයෙන් භාවිත කරන social media platforms නෙවෙයි චීනෙ භාවිත වෙන්නේ. ඒවා ඒගොල්ලන්ටම අනන්‍ය වුණු ඒවා. ඒ නිසාම මචෝ ඒ වගේ platforms කිහිපයක් ගැන අපි අද කතා කරන්න හිතුවා. මේක ඇතුළෙ සිරාම කතාවක් තියෙනවා. ලොකුවට නැතත් පොඩියට අද අපි ඒ ගැනත් කතා කරනවා.

Sina Weibo, WeChat, TikTok (aka Douyin), Tencent QQ, Baidu Tieba, Tencent Video, Zhihu, Little Red Book (aka Xiaohongshu මේ වගේ අමුතු අමුතු නම් තියෙන චීන සමාජ මාධ්‍ය ගොඩක් තියෙනවා. සූදාලා මේ platforms වලින් සමහර ඒවා ගැන මේ වෙනකොටත් හොඳටම අහලා තියෙනවා. ඒත් සමහර ඒවා නම් කවමදාවත් අහලා නැතුව ඇති. 

හැබැයි මචෝ මේවා තමයි මේ වෙද්දි චීනේ Trend වෙන social media. දැන් සූදාලට ප්‍රශ්නයක් ඇති ඇයි චීන්නු වෙනම Social Media භාවිත කරන්නෙ කියලා. ඒකට උත්තරේ නම් ටිකක් විතර සංකීර්ණයි. ආර්ථික, දේශපාලන, ආරක්ෂක හේතු ගොඩක් ඒ පිටිපස්සෙ තියෙනවා. මේ වෙද්දි මුළු ලෝකෙම අතිශය වටිනාම දේ තමා "තොරතුරු". සමහරු කියන විදියට ඊළඟ ලෝක යුද්ධය ඇතිවෙන්නේ තොරතුරු හේතු කරගෙන වෙන්නත් පුළුවන්.

ඉතින් මචෝ චීනය කැමති නෑ තමන්ගෙ තොරතුරු වෙනත් රටවල්වලට භාවිත කරන්න පුළුවන් වෙන විදියට තියන්න. සරලව කිව්වොත් අපි හැමෝම දන්න Facebook, YouTube වගේ platforms වල servos තියෙන්නේ ඇමෙරිකාවේ. ඒ වගේම Google ඇතුළු ලෝකෙ තියෙන ප්‍රධානම පරිගණක සමාගම් ටිකක් තියෙන්නේ ඇමරිකාවේ. ඇත්තටම කිව්වොත් මිනිස්සු බිලියන පහ හයකම තොරතුරු ඇමෙරිකාව ඇතුළෙ තියෙන servos වල තැන්පත් වෙලා තියෙනවා. නිත්‍යනුකූලව ඒවා access කරන්න බෑ වගේ පෙනුණත්, ඇමෙරිකානු රජයට අවශ්‍ය නම් ඒත් තොරතුරු භාවිත කරන්න පුළුවන්.

මිනිස්සුන්ගේ සිතුම් පැතුම්, දුර්වලතා මේ හැමදෙයකම තොරතුරු අධ්‍යයනය කරලත් තේරුම් ගන්න තොරතුරුවල අයිතිකාරයාට පුළුවන්. ඊටපස්සේ ඒ අයට ඕනෑ විදිහේ පාලනයක් ගොඩනගන්න අවශ්‍ය සැලසුම් හදන්නත් පුළුවන්. මේ සීන් කෝන් එක චීනය හැමෝටම වඩා හොඳට දන්නවා. ඒ නිසා චීනය කියන්නේ තමන්ගේ රටේ ජනතාවගේ තොරතුරු වෙනත් රටවල තබන්න බැහැ කියලා.

අනෙක් පැත්තට චීනේ ඇතුළෙ තියෙන සමාජ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් නිසා, චීනයේ තනි පක්ෂ දේශපාලනයට විරුද්ධව පිරිස් සංවිධානය වීම වළක්වා ගන්නත් චීනෙට ඕනෑ. ඒ නිසා නිතරම ඒගොල්ලෝ සමාජ මාධ්‍ය විතරක් නෙවෙයි, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා වාරණය කරනවා. සුදාලා දන්නවා චීනය කියලා කියන්නේ කොමියුනිස්ට් රටක්. සාමාන්‍යයෙන් ලෝකෙ ප්‍රතිපත්තිවලට වඩා එයාලගේ ප්‍රතිපත්ති වෙනස්.

දැන් අපි බලමු චීනය තමන්ගේ ජනතාවට දීලා තියෙන විකල්ප ටික.

Youku Tudou

මේක මචෝ යූටියුබ් එක වගේ වීඩියෝ platform එකක්. චීනෙට YouTube access නැති නිසා මෙයාලා වීඩියෝ පළ කරන්නේ මේකේ ඇතුළේ. සක්‍රීය පරිශීලකයන් මිලියන 207ක් විතර YouTube වගේ මේ platform එක ඇතුළෙත් ඉන්නවා.

Weibo

ගොඩක් දෙනෙක් කියන්නේ මේක Chinese Twitter එක කියලා. කොහොම වුණත් මේක ෆේස්බුක් එකටත් ටිකක් සමානයි. මේක ආරම්භ කරලා තියෙන්නේ 2009 විතර. මිලියන 582 කට අධික මාසික සක්‍රීය පරිශීලකයන් මේ platform එකට ඉන්නවා කියලා තමා මෙයාලා කියන්නේ.

WeChat 

චීනෙ ෆේස්බුක් එක වගේ වැඩ කරන්නේ WeChat එක. චීනය විතරක් නෙවෙයි, ලෝකයේ ගොඩක් රටවල WeChat භාවිත වෙනවා. ඇත්තටම මේක ගොඩක් පැතිරුණු social media එකක්. අපි පාවිච්චි කළා නැතා මචෝ WeChat ලෝකය පුරා මිනිස්සු බිලියනයකට එකයි දශම දෙකකට අධික පිරිසක් භාවිත කරනවා. තව Social Media Ranking වල පස්වැනි ස්ථානය අරගෙන තියෙන්නේත් WeChat තමා.

සරලව කිව්වොත් චීනයේ විශාලතම සහ ජනප්‍රියම සමාජ මාධ්‍ය WeChat තමා. 2011 පටන් අරගෙන තියෙන්නේ. චීනයේ විශාලම සමාජ මාධ්‍ය ලෙස සැලකෙන TenCent සමාගමට තමා WeChat අයිති. WeChat Facebook Page වගේ සීන් එකක් තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ එක එක Companies, Celebrities ලා තමයි. මචෝ WeChat වල වැදගත්ම සේවාව තමයි මුදල් ගෙවීමේ හැකියාව. චීනේ අන්තර්ජාල ගනුදෙනුකරුවා WeChat Pay ප්‍රධානම එකක්. ජලය විදුලිය වගේ පොදු සේවයකට වගේම එදිනෙදා ගනුදෙනුවලටත් මේක පාවිච්චි වෙනවා.

TikTok 

සුදාලාට අමුතුවෙන් කියන්න දෙයක් නෑ, TikTok ගැන හැමෝම දන්නවා. චීන්නු ලෝකෙට අරගෙන ගිය ප්‍රධානතම සමාජ මාධ්‍ය වේදිකාව තමයි ටික් ටොක් කියලා කියන්නේ. ඒ නිසාම සමහර රටවල් TikTok තහනම් කරලත් තියෙනවා. කොහොම වුණත් මේ වෙනකොට ලෝකෙ පුරා බිලියනයකට අධික පිරිසක් මේ සමාජ මාධ්‍ය වේදිකාව භාවිත කරනවා. කොහොම වුණත් මේ වෙනකොට චීන ආයෝජකයන් සීයට විස්සක් ගෝලීය ආයෝජකයන් සියයට හැටක් වගේ ප්‍රමාණයක් මේ ආයතනයත් එක්ක ඉන්නවා. ඒ නිසාම TikTok චීනෙටම සීමා කරන්නත් බෑ.

මේ වගේ සමාජ මාධ්‍ය වේදිකාවන් ගොඩක් චීනේ තියෙනවා. ලෝකෙ සමාජ මාධ්‍ය තුළ වෙන හැමදෙයක්ම චීනේ සමීපව නිරීක්ෂණය කරලා, ඒ අත්දැකීම තමන්ගේ රටට ලබා දෙන්න කටයුතු කරනවා. ඒගොල්ලන්ට ඕනෑ පාලනය තමන්ගේ අතේ තියාගන්න. අලුතින් එන හැම සමාජ මාධ්‍යයකටම සමාන එකක් චීනය ඇතුළෙ හැදෙනවා. අලුතින් හඳුන්වා දෙන හැම option එකකටම සමාන option එකක් ඒගොල්ලොත් හදනවා. 

අනික් පැත්තට මචෝ චීනෙට මෙහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒ රටේ ඉන්න ජනගහනයත් එක්ක. මොකද එතැන හොඳ වෙළෙඳපොළක් තියෙනවා. වෙනත් පොඩි රටකට මේ වගේ දෙයක් කොහොමටවත්ම කරන්න පහසු නෑ. කොහොම වුණත් අනාගතයේ මොනවා වෙයිද කියලා නම් කියන්න බෑ. අධික ලෙස සීමා බන්ධනයන්වලට යටත්වෙලා ඉන්න මිනිස්සු කැමති නැහැ වගේම අධික නිදහසත් මිනිසුන්ව වැරදිවලට පොළඹවනවා. ඒ නිසා සුදෝ අපි බලාගෙන ඉමු චීනේ සහ ලෝකේ සමාජ මාධ්‍යවලට වෙන දේ.

I චමිඳු නිසල්