2025 අගෝස්තු 09 වන සෙනසුරාදා

එක මාසයක්! තාත්තා මට සැලකුවේ තාත්තා කෙනෙක් විදියට නෙවෙයි - Shenuki Dishalya

 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 88

මම ශෙනුකි කියන්නද... එමී කියලා කියන්නද?

මගේ නම ශෙනුකි දිසල්‍යා. එමී කියන්නේ මම රඟපාපු “මදර් ලංකා”‍ චිත්‍රපටයේ චරිතයයි. ඒ නිසා අපි ශෙනුකි කියලම කියමු නේද?

“මදර් ලංකා” චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වුණේ අනූෂ සංජීව එදිරිමුණි. අනූෂ කියන්නේ ඔබේ පියා. මෙම චිත්‍රපටයේ තිර පිටපත ක්‍රිෂාන්ති කුලසූරියගේ. ක්‍රිෂාන්ති කියන්නේ ඔබගේ මව. මේ චිත්‍රපටයට අවස්ථාව ලැබුණේ තාත්තා නිසාමද... එහෙමත්නැත්නම් මීට පෙර ශෙනුකි රංගනයට දායක වෙලා තිබුණද?

“මදර් ලංකා” කියන්නේ මම රඟපෑ මුල්ම සිනමා පටයයි. මීට පෙර මම වෙළෙඳ දැන්වීම් කිහිපයක්ම කරලා තියෙනවා. හැබැයි කවදාවත් සිනමා පටයකට හෝ ටෙලිනාට්‍යයකට දායක වෙලා තිබුණේ නැහැ. මුලින්ම තාත්තා මට චිත්‍රපටයට තෝරාගැනීමේ පරීක්ෂණයට එන්න කිව්වා. ඒකට කිහිප දෙනෙක්ම ඇවිත් හිටියා. කොහොම හරි අවසානයේදී මාව තේරුණා. තාත්තා සහ අම්මා පමණක් එකතුවෙලා මාව තෝරාගත්තේ නැහැ. කිහිප දෙනෙක්ගේම තෝරාගැනීමක් විදියට තමයි එමීගේ චරිතයට මාව තෝරාගත්තේ.

මීට පෙරත් ඔයාට රංගනයට ආරාධනා ලැබුණා කියලයි ආරංචිය?

ඔව්... මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. හැබැයි අම්මයි තාත්තායි මට ඒවාට සම්බන්ධ වෙන්න දුන්නේ නැහැ. රංගනය සම්බන්ධව හරි පුහුණුවක් නැතුව ඒ දේවල්වලට සම්බන්ධ වෙනවට තාත්තා කැමති වුණේ නැහැ. ඒ නිසා ‘මදර් ලංකා’ චිත්‍රපටයේ රංගනයට දායක වෙන්න කලින් තාත්තා මට රංගනය සම්බන්ධව පුහුණුවක් ලබා දීලයි මේ සඳහා දායක කර ගත්තේ. මාස ගණනාවක පුහුණුවකින් පස්සේ තමයි එමීගේ චරිතය මම රඟපෑවේ.

එමී කියන්නේ ක්‍රීඩිකාවක්. ශෙනුකි කියන්නෙත් ක්‍රීඩිකාවක්. එහෙම නේද?

ඔව්... මම ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක්. මම ජිම්නාස්ටික්, පිහිනීම වගේ ක්‍රීඩාවලින් ජාතික මට්ටමේ රන් පදක්කම් ලාභිනියක්.

‘මදර් ලංකා’ සිනමා පටයේ ශෙනුකිට රඟපාන්න ලැබුණේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන තරින්දි ප්‍රනාන්දු සහ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන ධනංජය සිරිවර්ධන සමඟයි. මොවුන්ගෙන් රංගනය පිළිබඳව ලැබූ අත්දැකීම් කොහොමද?

ක්‍රීඩාව සම්බන්ධයෙන් මට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි රංගනයට මම හරි අලු‍ත්. රංගනයේදී තරින්දි අක්කා වගේම ධනංජය අයියාත් මට ලොකු සහයෝගයක් දුන්නා. එයාලගෙන් මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. එතැන හරියට රංගන පාසලක් වගේ. රඟපාන්න අමාරු වුණු තැන් තිබුණා. හැබැයි හැමෝගෙම සහයෝගයෙන් එමීගේ චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා.

පාසලේදී කලාවට සම්බන්ධ වෙලා කටයුතු කළේ නැද්ද?

මම ඉගෙන ගත්තේ කොළඹ බිෂොප් විදුහලේ. පාසලේදි මම ක්‍රීඩා කටයුතුවලට සම්බන්ධ වුණා. ජයග්‍රහණ අත්පත් කර ගත්තා. ක්‍රීඩා කටයුතුවලට වගේම අධ්‍යාපන කටයුතුවලට හොඳින් මුහුණ දුන්නා.

ඔයාගේ පවුලේ විස්තර ටිකක් කියන්න?

මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තායි මමයි අක්කයි මල්ලියි. අක්කා විවාහ වෙලා ඉන්නේ.

පුංචි කාලේ හීනය වෙලා තිබුණේ කවුරු වෙන්නද?

 මගේ හීනය වෙලා තිබුණේ ක්‍රීඩාව පැත්තෙන් ඔලිම්පික්වලට සහභාගි වෙන්න වගේම චිකිත්සකවරියක් වෙන්න. මේ වෙද්දී මම ඒ සම්බන්ධව ඉගෙන ගන්නවා.

මේ වෙද්දි ශෙනුකිට තවත් ආරාධනා ලැබිලා කියලයි ආරංචිය?

ඔව්... සිනමා පටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකෙ රූගත කිරීම් ළඟදීම ආරම්භ කරන්න නියමිතයි. ‘මදර් ලංකා’ වගේ සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් නිර්මාණයකට දායක වෙන්න මම කැමැත්තෙන් හිටියේ. මගේ දෙවැනි සිනමා පටයත් එවැනි සමාජයට පණිවිඩයක් දෙන සිනමා පටයක්.

“මදර් ලංකා” සිනමා පටයේ රූගත කිරීම් කොපමණ කාලයක් තිබුණද?

අපි මාසයක් පමණ රූගත කිරීම් කළා. ඒ මාසය පුරාවට මම ලබපු අත්දැකීම් බොහොමයි. රංගනයට අලු‍ත් නිසා චිත්‍රපටයක හඬ කැවීමේ කොටසක් තියෙනවා කියලා මම දැනගත්තේ මේ චිත්‍රපටයේදීයි. ඒ වගේ අලු‍ත් අලු‍ත් දේවල් බොහොමයක් ඉගෙන ගත්තා.

අනූෂ සංජීව එදිරිමුණි කියන අධ්‍යක්ෂවරයාව ශනුකි දකින්නේ කොහොමද?

මේ චිත්‍රපටයෙන් තමයි මම පළමු වරට අධ්‍යක්ෂවරයෙක් වුණු තාත්තාව දකින්නේ. “මදර් ලංකා”‍ කියන්නේ තාත්තාගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි. ඒ මාසය තුළ තාත්තා මට සැලකුවේ තාත්තා කෙනෙක් විදියට නෙමෙයි, අධ්‍යක්ෂවරයෙක් විදියටයි. නිර්මාණයේදී තාත්තාට මම තවත් එක් චරිතයක් විතරයි. මට කියලා විශේෂත්වයක් දුන්නේ නැහැ. මට වැරදෙන තැන් තාත්තා ආයෙ ආයෙත් රූගත කළා.

චිත්‍රපටය පුළුල් තිරයේ දකිද්දී මොකද හිතුණේ?

එදා මුලින්ම දැකපු දවසේ පුදුම සතුටක් දැනුණා. මම ගොඩක් සංවේදී කෙනෙක් නෙමෙයි. හැබැයි චිත්‍රපටය දකිද්දි මටම ඇඬුණා. ඊට පෙර අපි දැකලා තිබුණේ චිත්‍රපටය කැමරාවෙන් දැකපු කොටස්. එහෙම නැතුව අර වගේ පුළුල් තිරයක දැකලා තිබුණේ නැහැ. ඉතින් ඒ වගේ පුළුල් තිරයක මට මාවම දකිද්දි පුදුම හිතුණා. මට මම ගැන පුංචි ආඩම්බරයක් දැනුණා.

2023 වසරේ Miss Teen වුණේ ශෙනුකි?

ඔව්... මම නිරූපණ ක්ෂේත්‍රයටත් කැමතියි. මම හිතන්නේ මාව මේ හැමදේකටම හැඩගැස්සුවේ රංගන ශිල්පිනියක් වීම වෙනුවෙන්.

නිරූපණ ශිල්පිනියක් සහ ක්‍රීඩිකාවක් කියන්නේ වෙනස්ම චරිත දෙකක්. නිරූපණ ශිල්පයේදී සුන්දරත්වය ගැන උනන්දු වෙන්න ඕනෑ. ක්‍රීඩාවේදී එහෙම අමාරුයි. අපි අව්වේ ඉන්න කාලය වැඩියි. එහෙම නේද?

ඔව් ඒක ඇත්ත. ක්‍රීඩාවේදී අපි කරන ක්‍රීඩා, ව්‍යායාම නිසා අපේ ශරීරය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මම මාවම බලා ගන්නවා. හැම වෙලේම මම ගැන හිතනවා. ව්‍යායාම කරද්දි ගන්න ආහාර ගැනත් හොඳට හිතනවා. තමන් තමන්ට ආදරේනම් ඕනෑම දේකට ඉක්මනට හැඩගැහෙන්න පුළුවන්.

ඊළඟ බලාපොරොත්තු ඉලක්ක මොනවාද?

රංගනය පැත්තෙන් තව බොහෝ දේවල් මට හදාරන්න තියෙනවා. රංගනයට තාම මම ආධුනිකයි. තාම ඒ සම්බන්ධව මම ඉගෙනගෙන තියෙන්නේ බොහෝ පුංචි කොටසක් විතරයි. ඒ නිසා රංගනය ගැන හොඳට හදාරලා රංගනයේ යෙදෙන්න මම ආසයි. මම සතුන්ට හරි ආදරෙයි. විවේකයෙන් ඉන්න වෙලාවට මගේ ගෙදර ඉන්න සුරතලා එක්ක දවස ගෙවන්න මම හරි ආසයි.

• දිශානි ජයමාලි
• සුමුදු හේවාපතිරණ