අපේ සිංහල සිනමාව කියන්නේ හරිම ලස්සන අතීතයක් තිබුණු කලා මාධ්‍යයක්. ලෙස්ටර් ජේම්ස් පීරිස්, සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකර වගේ සිනමාවේදීන් බිහි කරපු දැවැන්ත නිර්මාණ සිනමා රසිකයන්ගේ හදවත් තුළ තවමත් විරාජමානයි. එහෙත් ගෙවී ගිය දශක තුනකට අධික කාලය තුළ ස්වර්ණමය යුගයේ තිබුණු ගුණාත්මක සිනමාව අපිට දකින්න ලැබුණේ නැහැ. අවර ගණයේ නිර්මාණ සහ හැදෑරීමක් නොමැති ශිල්පීන් නිසා දවසින් දවස මේ කර්මාන්තය ගමන් කළේ වළපල්ලට. නිරස වුණත් මේ සත්‍ය වසන් කළ යුත්තක් නෙවෙයි.
කොහොම නමුත් පහුගිය කාලේ ගුණාත්මක ආකර්ෂණීය ප්‍රේක්ෂකාගාර පිරී ගිය නිර්මාණ කිහිපයක් අපේ සිනමාව තුළ දැකගන්න ලැබුණා. පසුගිය දශක කිහිපයේම අවාරේ විටින් විට දැකගන්න ලැබුණු මෙවන් නිර්මාණ ගොන්නක් එක පෙළට දැක ගැනීමට ලැබීම වාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසාම බොහෝ දෙනෙක් මෙම නිර්මාණ සහ අලුතින් නිර්මාණය වෙමින් තියෙන සිනමා සංස්කෘතිය පිළිබඳව කතා කළා. ඒත් ජරාජීර්ණ වූ කර්මාන්තයේ දුගඳ මේ ඔස්සේ වසා දමන්න බැහැ. මේ කර්මාන්තය විනාශ කරන්නන්ගේ නිරුවත පෙර කී නිර්මාණ කිහිපයෙන් වසාගන්න හැකියාවක් නැහැ.
කර්මාන්තය පිළිබඳ අල්පමාත්‍රික හෝ බලාපොරොත්තුවක් උපන් මොහොතේ මෙහි තවදුරටත් රැඳී සිටින වෘත්තීමය නොවන විනාශකාරී පිරිස් පිළිබඳ අනාවරණය කිරීම මාධ්‍යයේ යුතුකමක්. ඍජුව නම් ගම් නොකීවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ භාවිතයන් පිළිබඳව ප්‍රේක්ෂකාගාරය දැනුවත්ව සිටිය යුතුමයි. ශ්‍රී ලාංකික සිනමා කර්මාන්තය සඳහා අපේ මේ සංවර්ධනාත්මක විවේචනාත්මක මැදිහත්වීම පෞද්ගලික අභිප්‍රායන්ගෙන් තොර වූවක්.
අපි මේ කතාව මුලින්ම ආරම්භ කළ යුත්තේ සිනමාවේ අපි කවුරුත් රිදී තිරය මත දකින චරිත මතින්. ඔවුන් තමයි නළු නිළියන්. අපේ සිනමාවේ හොඳම කාලේ ගැන කතා කරද්දි ඇත්තටම රඟපාන්න පුළුවන්කම තිබුණු ප්‍රේක්ෂක හදවත් දිනාගත්ත අපූරු කලාවේදීන් ගොඩක් හිටියා. ගාමිණී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, මාලිනී ෆොන්සේකා, ෆ්‍රෙඩී සිල්වා, විජය කුමාරණතුංග, අනෝජා වීරසිංහ වගේ නම් කිව්වම ඒ අය රඟපෑව චරිත අපිට මතක් වෙනවා. ඒ අය නිකම්ම නළු නිළියෝ විතරක් නෙවෙයි, ඇත්තටම කලාවේදීන්. චරිතයකට පිවිසුණාම ඒ චරිතය ජීවමාන කරන්න ඔවුන්ට පුදුම හැකියාවක් තිබුණා.
විෂය අනුබද්ධ හැදෑරීමක් නොවුණත් අතීතයේ හිටපු ශිල්පීන්ට එහෙම හැකියාවක් ලැබිලා තිබුණේ ඔවුන් තුළ තිබුණු කැපවීම, අත්දැකීම් සහ ජීවිතාවබෝධය නිසා. හැකියාව වගේම තරු ගුණයත් මේ යුගයේ හිටපු සිනමා තාරකාවන් අතර තිබුණා. මේ දෙකම එක්තැන් වුණු නිසා තමයි විශාල ප්‍රේක්ෂක ආකර්ෂණයක් ඔවුන්ට ලැබුණෙ. ඒත් වර්තමානයේ කතාව මීට වඩා වෙනස්. හැකියාව සහ තරු ගුණය කියන දෙකම එකම තැනකට එක්තැන් වුණු චරිත අපිට හමුවෙන්නේ ඉතාම අතලොස්සක්. ඒ අතරිනුත් සමහරුන්ගේ හැසිරීම් අතිශය කලකිරවන සුළුයි.
මේ වෙනකොට සිංහල සිනමාව ඇතුළේ කටයුතු කරනවා සිනමා රංගනය පමණක් සිදු කරන ශිල්පීන් කිහිප දෙනෙක්. ඔවුන් අංක එක දීලා තියෙන්නේ සිනමාවට. ලංකාව වගේ ඉතා කුඩා වපසරියක පැතිරුණු, ජරාජීර්ණ වී ගිය කර්මාන්තයක මේ වගේ කැපකිරීමක් කිරීම අගය කළ යුතුයි. ඒත් සිනමාවට පමණක් සීමා වූ පමණින්ම ඔවුන් දක්ෂයන් යැයි කීම සාධාරණ නෑ. තමන් සිනමාව තුළ පමණක්ම රැඳෙන නිසා මේ අතරින් සමහරු “මම පොර” මානසිකත්වයේ සිටින බව මේ වන විට අපිට පැහැදිලිව පේන්න තිබෙනවා. ඒත් ඔවුන්ට පොරක් වෙන්න තරම් කර්මාන්තයක් අපේ රටේ නැති බව මතක් කරන්න ඕනෑ.
මේ පුංචි රටේ අතලොස්සක් වූ සිනමා රසිකයන් අතරට ගිහිල්ලා හිනාවෙලා කතා කරන්න බැරි උද්දච්චකමක් සමහරු පෙන්නුම් කරනවා. අධ්‍යක්ෂවරුන්ට ජ්‍යෙෂ්ඨයන්ට ගරු නොකරන තත්ත්වයක් ඔවුන් තුළින් දැකගන්න ලැබෙනවා. ඇත්තටම ඔවුන් උත්සාහ කරන්නේ ලොකු වටිනාකමක් තමන්ට තියෙනවා කියන එක පෙන්නන්න. ඔව්, මේ කර්මාන්තය තුළ ඔවුන්ට ලොකු වටිනාකමක් නිර්මාණය වෙලා තියෙනවා. මොකද මේ පිරිස ඉතා සීමිත කොට්ඨාසයක් නිසා. ඒත් ඔවුන් අතර ඉන්න මේ හිස උදුම්වාගත් චරිත කර්මාන්තයට කරන්නේ සේවයක් නෙවෙයි විනාශයක්.
අනෙක් අතට අද සිංහල සිනමාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රඟපෑමේ හැකියාව හරිම අඩුවීම. අද සිනමාවට එන බොහෝ අයට රඟපෑම ගැන හරි පුහුණුවක් හෝ ගැඹුරු දැනුමක් නැහැ. ගොඩක් වෙලාවට ටීවී එකෙන් හෝ වෙනත් තැන්වලින් ජනප්‍රිය වෙලා තමයි සිනමාවට එන්නෙ. ලංකාවේ මේ කර්මාන්තයේ වපසරියත් එක්ක, ඒක වරදක් කියලා කියන්න අපිට බැහැ. ඒත් මේ තත්ත්වය නිසාම චරිතයක් හොඳින් තේරුම් අරගෙන, ඒක වෘත්තීමය විදිහට රඟපාන්න ඔවුන්ට හැකියාවක් නැහැ. මූලික රංගන පාඩම් පවා ඔවුන් දන්නේ නැති බව මෑත කාලීන සමහර නිර්මාණ දකිද්දී අපිට හොඳින්ම වැටහුණා.
මේ නිසාම රිදී තිරය සහ පුංචි තිරය අතර තියෙන වෙනස පිළිබඳ කිසිදු හැදෑරීමක් හැඟීමක් නැතුව රඟපාන නළු නිළියෝ දැන් මේ කර්මාන්තය තුළ වැහි වැහැලා. අකමැත්තෙන් වුණත් කියන්න ඕනෑ සමහර නළු නිළියන්ගෙ රඟපෑම් නිසා, සිනමා නිර්මාණයක් නරඹලා අහවර වුණාම “මොන ජරාවක්ද මේ” කියන හැඟීම දැන් ප්‍රේක්ෂකයන් තුළ ඇතිවෙනවා. මේ මොහොතේ ජනප්‍රිය ටෙලි තරු කිහිපයක් සිනමාවේ කටයුතු කරනවා. ඔවුන් දිහා පොඩ්ඩක් උවමනාවෙන් බැලුවොත් තේරෙයි ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නේ එකම විදිහට රඟපාන එක. විවිධ චිත්‍රපටවල එකම මුහුණේ ඉරියව්, එකම කටහඬ, එකම ශරීර භාෂාව තමයි ඔවුන් පාවිච්චි කරන්නේ. චරිතවලට අනුව මේ දේවල් වෙනස් කරගන්න ඔවුන්ට බැහැ. මේ නිසා සිනමාව ප්‍රේක්ෂකයාට ඉතාම කම්මැලි අත්දැකීමක් බවට පත් වෙනවා.
නිර්මාණවේදීන් විසින් මේ කර්මාන්තයට කරන හානියට ලොකුම හේතුවක් තමයි ජනප්‍රියත්වය තියෙන අයට විතරක් රඟපාන්න අවස්ථා ලබාදීම. මේ හේතුව නිසා හැකියාව තියෙන අයට අවස්ථා නැති වෙනවා. ටෙලිනාට්‍යවලින්, සමාජ මාධ්‍යවලින් ජනප්‍රිය වෙන බොහෝ දෙනෙක් සිනමාවට එන්නේ කිසිම දැනුමක් නැතුව. මේකෙන් වෙන්නේ හොඳ රඟපෑමක් කරන්න පුළුවන් අයට සිනමාවට එන්න අවස්ථාව අහිමිවීම. අනිත් අතට සිනමා පටයකට පූර්වේ නළු නිළියන් ඒ සඳහා හැඩගැස්වීමේ නිසි වැඩපිළිවෙළක් ගොඩක් නිර්මාණවේදීන්ට නෑ. ඒකත් බරපතළ ගැටලුවක්.
සිනමාව කියන්නේ කලාත්මක මාධ්‍යයක්. ඒකට දක්ෂ රංගන ශිල්පීන් අනිවාර්යයි. මේ තත්ත්වය පැහැදිලි කරන්න හොඳම උදාහරණය තමා මෑත කාලීනව සිනමා ශාලා පුරවාලන්න සමත් වුණු නිර්මාණ කිහිපය. කතා තේමාව, සිනමාවේදීන්ගේ භාවිතාව වගේම නළු නිළි වරණය ඒ නිර්මාණවල සාර්ථකත්වයට දැවැන්ත බලපෑමක් කළා. සාම්ප්‍රදායික ජනප්‍රිය තලයේ ඉන්න නළු නිළියන් වෙනුවට තරගකාරීත්වය සමඟ වසන් වී ගිය චරිත කිහිපයක් නැවත කරළියට පැමිණියා. මේ ලිපියේදී කිසිම කෙනෙක්ගෙ නම් ගම් අපි නොකිව්වත් “ප්‍රියන්ත සිරිකුමාර” මේ තත්ත්වයට කදිම උදාහරණයක් බව සඳහන් කළ යුතුයි.
අද සිංහල සිනමාවේ රඟපෑමේ අඩුපාඩු වගේම සිනමාකරණයේ අඩුපාඩු රැසකුත් දැකගන්න පුළුවන්. ඒ පිළිබඳවත් අපි පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. කවුරු හරි නිෂ්පාදකයෙක් අල්ලගෙන මොකක් හරි පිටපතකට මොනවා හරි නිර්මාණයක් අටවලා කීයක් හරි හොයාගන්න ව්‍යාජ නිර්මාණකරුවෝ පිරිසක් මේක තුළ නිර්මාණය වෙලා ඉන්නවා. සමහරු නිර්මාණයක් කරන්න උත්සාහ කරන්නෙම ගාණක් කපාගන්න හිතාගෙන. ඒ නිසාම අද ගොඩක් චිත්‍රපට හැදුණත් ඒවායින් බොහොමයකට ප්‍රේක්ෂකයන්ගේ හිත් දිනාගන්න හෝ කලාත්මක වටිනාකමක් දෙන්න බැරිවෙලා.
මෙතැනදි ප්‍රධානම ප්‍රශ්නයක් තමයි කතාව ලිවීමේ (තිර රචනයේ) තියෙන දුර්වලතා. වර්තමානයේ බිහිවන ගොඩක් චිත්‍රපටවලට පැහැදිලි කතාවක් හෝ ගැඹුරක් නැහැ. චිත්‍රපටයක් පටන් අරගෙන ඉවර වෙනකම්ම කතාවක් ගලාගෙන යන්නේ නැහැ. ගොඩක් වෙලාවට තේරුමක් නැති කතා, වැඩක් නැති දර්ශන සහ ප්‍රේක්ෂකයාට කිසිම දෙයක් නොදෙන සිදුවීම්වලින් තමයි කතා පිරවෙන්නේ. චරිතවලට හරියට හැදෙන්න අවස්ථාවක් නැහැ. නළු නිළියෝ නිකන් බෝනික්කෝ වගේ එනවා යනවා. සමහර චිත්‍රපට ‘ෆැෂන් ෂෝ’ එකක් වගේ. ප්‍රේක්ෂකයාට සිනමාත්මක හැඟීමක් ඇති කරවන්නෙ නෑ.
මොනවා හරි අකුරු ටිකක් ගලපලා ලියාගන්න පුළුවන් වුණා කියලා කාටවත් තිර පිටපත් රචකයෙක් බවට පත්වෙන්න බෑ. විශේෂයෙන්ම සිනමා තිර පිටපත් රචනය කියන්නේ කලාත්මක වගේම තාක්ෂණික කටයුත්තක්. ඒ සඳහා මනා හැදෑරීමක් අවශ්‍යයි. ඒ හැදෑරීමත් එක්කම එකතු වන හොඳ පරිකල්පනයක් සහිත පුද්ගලයෙක් තමා සැබෑ පිටපත් රචකයෙක් බවට පත්වෙන්නෙ. දැන් මේ කර්මාන්තය ඇතුළේ පිටපත් රචකයෝ වර්ග තුනක් හඳුනාගන්න පුළුවන්. එක පිරිසක් තාක්ෂණික හැදෑරීම විතරක් තියෙන අය. අනිත් පිරිස පරිකල්පනීය හැකියාව විතරක් තියෙන අය. මේ දෙගොල්ලෝ තමා වැඩිපුර ඉන්නෙ. ඉතාම අතලොස්සක් ඉන්නවා ඔය හැකියාවන් දෙකම එකතු වුණු අය.
නළු නිළියන්ගේ දුර්වලතා, තිර පිටපතේ දුර්වලතා වගේම ඊළඟට අධ්‍යක්ෂණයේ අඩුපාඩුත් වර්තමාන සිනමා කර්මාන්තයේ කඩා වැටීමට ලොකු හේතුවක්. ගොඩක් අධ්‍යක්ෂවරු අලුත් අත්හදා බැලීම් කරන්නේ නැතුව, පරණ විදිහටම තමයි වැඩ කරන්න උත්සාහ කරන්නෙ. මූලික දැනුම තියාගෙන එහෙම කිරීම යම් තරමකට හරි සාධාරණයි. ඒත් ඒ ඔස්සේ සිදුවෙන්නෙත් මේ කර්මාන්තයට හානියක්. ඒ වගේම ලංකාවේ ඉන්න ප්‍රවීණ අධ්‍යක්ෂකවරු වැඩි දෙනකුත් තාමත් සාම්ප්‍රදායික සීමාවලම හිරවෙලා ඉන්නවා. ඇත්තටම ඔවුන් හැත්තෑව දශකයෙන් අසූව දශකයෙන් පස්සට යාවත්කාලීන වෙලා නෑ.
හොඳ චිත්‍රපටයක් හදන්න නම් අධ්‍යක්ෂවරයාට හොඳ දැක්මක්, අලුත් අදහස් තියෙන්න ඕනෑ. ඒ වගේම මනා හැදෑරීමක් තියෙන්න ඕනෑ. කැමරාවක් අටවාගන්න පුළුවන් වුණු පලියට, වීඩියෝකරණය ගැන දැනුමක් තිබුණු පලියට, කාටවත් සිනමා අධ්‍යක්ෂවරයෙක් වෙන්න බැහැ. හැබැයි ලංකාවේ එහෙම වෙලා තියෙනවා. වැරදීමකින් හරි එහෙම වුණා කියමුකෝ. ඒ වගේ අයව මාධ්‍යවලින් පොරවල් බවට පත් කරලත් තියෙනවා. අතුරු කතාවක් විදිහට අකමැත්තෙන් වුණත් කියන්න වෙනවා, ශ්‍රී ලංකාවේ සිනමාව සම්බන්ධ මාධ්‍යකරණයත් හරිම ගෝත්‍රික එකක්. ඒ පිළිබඳ ස්වයං විවේචනයක් සහ ලැජ්ජාවක් අපිට තියෙනවා.
ඊළඟට සඳහන් කරන්න ඕනෑ තාක්ෂණික පැතිවල (කැමරාව, සංස්කරණය, සංගීතය, ශබ්ද පරිපාලනය) තියෙන අඩුපාඩුත් චිත්‍රපටයක ගුණාත්මකභාවයට බලපානවා. හොඳ පින්තූරයක්, හොඳ ශබ්දයක් නැති නිසා ප්‍රේක්ෂකයාට චිත්‍රපටය රසවිඳින්න බැරි වෙනවා. තාක්ෂණික පැතිකඩ පිළිබඳ දැනුමක් නැති අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකයෝ මේ දේවල් ගැන ලොකුවට තකන්නේ නැහැ. ඒ නිසාම ප්‍රමිතිය පිළිබඳ වෙනම ප්‍රශ්න ටිකක් අපේ කර්මාන්තය තුළ නිර්මාණය වෙලා තියෙනවා. අපිට තාක්ෂණය නෑ, පහසුකම් නෑ, කියමින් බොරුවට කෑගහන ගොඩක් දෙනෙක්ට ඇත්තටම නැත්තේ හැදෑරීමක්, යාවත්කාලීන වීමක්.
අපේ සිනමා කර්මාන්තය වැටීම සම්බන්ධව හේතු කාරණා රැසක් පසුගිය දශක කිහිපය පුරාවටම කතාබහට ලක්වුණා. ඒත් මේ කඩා වැටීමට ඇත්තම හේතුව ගුණාත්මකභාවයෙන් තොර නිර්මාණ. ප්‍රේක්ෂකයන් සිනමාහල්වලින් ඉවත් වුණේ ඒ නිසා. ලංකාවේ සිනමාවේ කඩා වැටීමට හේතුව රූපවාහිනී ආගමනය සහ ප්‍රබලත්වය කියලා සමහරු කියන්න උත්සාහ කරනවා. ඒත් ඒක සත්‍යයක් නොවන බව ලෝක සිනමාව දිහා බැලුවම අපිට පැහැදිලියි. යාවත්කාලීන නොවීම සහ ගුණාත්මකභාවය දවසින් දවස හීනවීම තමා ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයේ කඩා වැටීමට හේතුව. කොහොම නමුත් ඒක වෙනම කතා කළ යුතු ගැඹුරු සංවාදයක්.
මෙතැනදි අපි දිගටම ගුණාත්මක සිනමාව කියලා කියන්නේ සමස්තය පිළිබඳ අදහසකින්. කලාත්මක සිනමා නිර්මාණ, වාණිජ සිනමාව වගේ බෙදීමක් මෙතැනට අදාළ වෙන්නෙ නෑ. ඕනෑම ශානරයක නිර්මාණයක ගුණාත්මක බව තියෙන්න ඕනෑ. රංගන දායකත්වය සපයන නිර්මාණවේදීන් තුළත් වෘත්තීමයභාවය සහ ගුණාත්මක බව තියෙන්න ඕනෑ. ඇත්තටම ශ්‍රී ලංකා සිනමාව තුළ විවිධාංගීකරණය ඉතාම අවම මට්ටමක තියෙන්නෙ. මේකට හේතුව තමයි රැල්ලේ දිවීමට කර්මාන්තයේ නියුතු නිෂ්පාදකයන් දක්වන අසීමාන්තික ඇල්ම.
ලංකාවේ හරි ලෝකයේ හරි මොනවා හරි සාර්ථක නිර්මාණයක් දැක්කොත් ඒ වගේ එකක් කරන්න තමයි නිෂ්පාදකයන්ට ඕනෑ වෙන්නෙ. මේක දන්න අධ්‍යක්ෂවරුත් කල දුටු කල වළ ඉහගන්න උත්සාහ කරනවා. අවසානයේ බිහිවෙන්නේ කිසිම හැඩයක් වටිනාකමක් නැති නිර්මාණයක්. කොපි කිරීම පවා කලාවක්. වෙනත් රටක නිර්මාණයක් කොපි කරලා නිර්මාණයක් කිරීම ගැටලුවක් නැහැ. ඒක ලෝක සිනමාව තුළ දකින්න ලැබෙන සාමාන්‍ය තත්ත්වයක්. ඒත් ලංකාව තුළ හැදෙන කොපි පිළිබඳව නම් බොහෝ විට අපිට දැනෙන්නේ ලැජ්ජාවක්. සමහරු පැහැදිලිවම නිර්මාණ කොපි කරලා කොපි නොකළ බව කියනවා.
මේ හැම අඩුපාඩුවක්ම තිබුණත්, අද සිංහල සිනමාවේ හොඳ චිත්‍රපට ටිකකුත් හැදෙනවා කියලා කියන්න ඕනෑ. අපි ඒක පහුගිය දවස්වල දැක්කා. ඒත් කාලෙකට කලින් හොඳ නිර්මාණ කියලා අපි හඳුනගත්තේ ජාත්‍යන්තර සම්මාන දිනාගන්න නිර්මාණ විතරයි. ඒ නිර්මාණ අපි විවේචනය කරන්නෙ නෑ. ඒ නිර්මාණ සාමාන්‍යයෙන් ඕනෑම සිනමා කර්මාන්තයක් තුළට වටිනාකමක් රැගෙන එන නිර්මාණ. ඒත් මේ මොහොතේ අපිට අවශ්‍ය වෙන්නේ ලංකාවේ ප්‍රේක්ෂකාගාරය පුරවන නිර්මාණ, ප්‍රේක්ෂකයන්ට සැබෑ සිනමාත්මක අත්දැකීමක් ලබා දෙන නිර්මාණ. මෑත කාලීනව නිර්මාණය වුණු ඒ වගේ නිර්මාණ කිහිපයක් අපි දැක්කා. ඒ නිර්මාණකරුවන්ට හිස නමා ආචාර කරන්න අපි අමතක කරන්නේ නෑ.
ඒත්, මේ හොඳ චිත්‍රපට ටිකක් හැදෙන එකෙන් මුළු සිනමාවේම තියෙන අඩුපාඩුව වහන්න බැහැ. ගොඩක් චිත්‍රපට තාමත් ප්‍රමාණවත් ගුණාත්මක මට්ටමක් පෙන්නුම් කරන්නෙ නෑ. සරලවම කිව්වොත් ඒවාට මිනිස්සු ආසා නැහැ. හොඳ චිත්‍රපට ටිකක් හැදුණා කියලා විතරක් සිනමා ක්ෂේත්‍රය නැවත හදන්න බැහැ. සමස්තයේ ගුණාත්මකභාවය ඉහළ දැමීම තමයි වැදගත් වෙන්නෙ. ඒ සඳහා මුළු ක්ෂේත්‍රයම එකට එකතුවෙලා ලොකු වෙනසක් කරන්න ඕනෑ. මේ මොහොතේ වෙන්නේ මහන්සිවෙලා වැඩ කරපු, අනන්ත කැපවීම් කරපු නිර්මාණවේදීන් කිහිප දෙනෙක්ගේ නිර්මාණ කිහිපයක් මතින්, වගකිවයුත්තන් සිය නිරුවත වසා ගැනීම විතරයි. ඒ නිසයි අපි මේ විදිහේ මැදිහත්වීමක නිරත වෙන්න තීරණය කළේ.
සිංහල සිනමාවට නැවතත් අතීතයේ තිබුණු තැනට එන්න පුළුවන් වෙයිද නැද්ද කියලා කියන්න බෑ. ඒත් අපේ සිනමාවට අලුත් තැනක් හදාගන්න පුළුවන්. මුළු සිනමා ක්ෂේත්‍රයටම නැවත හිතලා බලන්න දේවල් ගොඩක් අපි මේ වන විටත් අවධාරණය කරලා තියෙනවා. නළු නිළියන්ට හරි හැදෑරීමක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් වෙන්න ඕනෑ. සැබෑවටම ඔවුන්ට අවශ්‍ය වෙන්නේ ගුණාත්මක උප සංස්කෘතියක්. ඒ තුළින් තමයි නළු නිළියන්ට වටිනාකම් එකතු කරගන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම නළු නිළි වරණය ඉතාම වැදගත් කටයුත්තක් බවට පත්වෙන්න ඕනෑ. හැකියාවට සහ කැපවීමට වැඩි ඉඩකඩක් වෙන් වෙන්න ඕනෑ. ජනප්‍රියත්වය විතරක් බලලා රඟපාන්න අවස්ථා දෙන එක නවත්වන්න දැන් කාලය හරි.
හොඳ කතා (තිර රචනා) ලියන්න දිරිමත් කරන්න ඕනෑ. අලුත් අදහස් තියෙන අධ්‍යක්ෂවරුන්ට අවස්ථා දෙන්න අවශ්‍යයි. මේ සඳහා හොඳ වැඩපිළිවෙළක සහ බුද්ධිමය මැදිහත්වීමක අවශ්‍යතාව තියෙනවා. ඒක මේක සිනමා ක්ෂේත්‍රයේ ඉන්න හැමෝගෙම වගකීමක්. අපිට රාජ්‍ය ව්‍යුහයක් පවා සිනමාව සම්බන්ධව තියෙනවා. ඉතින් නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු, නළු නිළියෝ, කැමරා ශිල්පීන්, සංස්කාරකවරු, මේ හැමෝම එකට එකතුවෙලා, සිනමාව ගොඩනගන්න දැන්වත් පටන්ගත යුතුයි. අපි හිතන්නේ මේ මොහොතේ ඒ සඳහා අවස්ථාවක් තියෙනවා.
ප්‍රේක්ෂකයන්ට ගරු කරමින්, ප්‍රේක්ෂකයන් නැත්නම් සිනමාවට පැවැත්මක් නොමැති බව මතක තබා ගනිමින් සියල්ලන් එකතුව දැන් වැඩ ඇරඹිය යුතුමයි. මාධ්‍යකරණයේ වගකීම තමා සංවර්ධනාත්මක විවේචන ඉදිරිපත් කිරීම. ඒ සඳහා ඉතාමත් සරල නමුත් ප්‍රබල ප්‍රවේශයකින් අපි සූදානමින් සිටිනවා. අද අප මෙලෙසින් නිම වන්නේ “හදසර” ඒ සඳහා තබන පළමු වෙඩි මුරයයි.
• චමිඳු නිසල් ද සිල්වා