2024 ජනවාරි 20 වන සෙනසුරාදා

මොන රසත් වහ හලෝ... ඒ හින්දා දුරින් ඉඳන් බදාගන්න

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 02:00 34

Music කියන්නෙ වැඩිපුරම Y Trend හදන ක්ෂේත්‍රය. ඒ නිසාම මේක ඇතුළේ අමුතු අමුතු දේවල් සිද්ධ වෙනවා. ලංකාවේ මේ කාලේ ගොඩක් ලොකුවට තරුණ පරම්පරාව අතර Music Beet Track නැත්නම් Techno Music, House Music ජනප්‍රිය වෙලා තියෙනවා. ඒත් මේ Trend එකේ තරම අපේ රටේ බහුතරයක් වැඩිහිටියන් නම් දන්නේ නෑ. ඩක් ඩක් ශබ්දය එන බීට් එකක් එක්ක කොල්ලෝ කෙල්ලෝ ඔලුව හොල්ල හොල්ලා නටන සීන් එක විතරයි ගොඩක් දෙනා දන්නෙ.

සුදාලා DJ Music දන්නවනේ. සින්දුවට යටින් Track එකක් ඇහෙන්නේ? සමහරක් වෙලාවට සින්දුවක් නැතුව ඒ Track එක දිගට Play වෙනවා. ආන් එව්වා මෙව්වා... 'බීට්' විතරයි වචන නෑ පුතී. ඒකට  එකතු‍වෙලා මනසින් වෙනම එකක් හදාගෙන ආතල් එකක් ගන්න එක තමයි අපේ අලුත් පරම්පරාවේ සෙට් එක කරන්නේ.

මේක ලංකාවෙ ගොඩක් දෙනෙක්ට තේරුම් ගන්න අමාරුයි. ගොඩක් දෙනෙක් හිතන්නේ මේ වැඩේ කිසිම තේරුමක් නැහැ කියලා. මොකද අපි Music කියලා හිතාගෙන ඉන්නේ වෙනම දේකට. අපිට සරලව ඇහෙන 'බීට්' ඇතුළේ පවසන සංගීත ශානරයක් තියෙනවා. Techno Mixes, Tech House Music, Deep House, Hard Techno, Melodic Techno, අපිට හිතාගන්න බැරි ලොකු ක්ෂේත්‍රයක මේ සීන් එක පැතිරිලා ගිහිල්ලා තියෙන්නේ. 

මේක ඇතුළේ පොඩි cultural සීන් එකක් තියෙනවා. හැබැයි ඒක ටිකක් භයංකාරයි. භයංකාරයි කතාව නම් නූතන නර්තනය, සංගීතය, එතකොට රසායනික විෂ මත්ද්‍රව්‍ය මේ සංස්කෘතිය ඇතුළේ තියෙනවා. සරලවම කිව්වොත් සුදෝ පෙති, මුද්දර වගේ නූතන මත්ද්‍රව්‍ය සඳහා උත්තේජනයක් විදිහට තමා මේ Modern Music තරුණ තරුණියෝ භාවිත කරන්නේ. හැබැයි එහෙම නොවෙන තැනුත් තියෙනවා. ඒ නිසා Music වලට මත්ද්‍රව්‍ය ලේබලය අලවන්න අපි කැමති නැහැ.

අපි සරලව මේකේ තුළ තියෙන සංගීත ශානරයන් දෙක තුනක් ගැන කතා කරමු. Techno Music ඔයාලට පුළුවන් YouTube එකේ හොයලා බලන්න. මේ සංගීතය එයටම ආවේණික වූ සුවිශේෂී ශබ්දයක් සහිත විශේෂිත සීන් එකක්. 1970 දශකයේ අග නිව්යෝර්ක් ඩිස්කෝවලින් තමා මේ Techno Music යාන්තම් කරළියට ආවේ. සාපේක්ෂව ලංකාවේ update වුණු කට්ටිය මේ සීන් එක ගැන යම් මට්ටමකට දැනගෙන හිටියා මුල ඉඳලම. කොහොම හරි මචෝ  1980 දශකයේ මැද භාගයේ ඇමෙරිකාවේ මිචිගන්වල මේක ජනප්‍රිය වුණා ඉලෙක්ට්‍රොනික නර්තන සංගීතයක් විදිහට.

House Music කියන්නෙත් ඉලෙක්ට්‍රොනික නර්තන සංගීත ප්‍රභේදයක් මචෝ. ඒකත් 1980 දශකයේ චිකාගෝ සමාජ සංස්කෘතියෙන් මතු වුණු එකක්. සුදාලා දන්නවා ලෝකේ කාටත් චිකාගෝ නගරය මතක් කළාම මතක් වෙන්නේ අමුතුම සංස්කෘතියක්. අපරාධ, මත්ද්‍රව්‍ය, පාතාලය... ඔව් මේ සීන් ඇතුළේ ඒවා නැත්තෙ නැහැ. 

මේ වගේ සංගීත ප්‍රභේද ගොඩක් තියෙනවා. ඒවායේ වෙනස්කම් තියෙනවා, සමානකම් තියෙනවා. එකින් එකට Mix වෙලත් තියෙනවා. සාමාන්‍ය අයට ඒක තේරුම් ගන්න අමාරුයි. ඒත් පස්සේ පොප්, රෙගී සංගීතේ එක්ක මේ techno Music සමහර තැන්වලදී Mix වුණා. ලංකාවෙත් ඒ විදියට හැදුණු ගීත නිර්මාණ ඕනෑ තරම් තියෙනවා.

සූදාලට මතක ඇත්නම් 90 අග 2000 මුල හිපොප් ලංකාවේ පිස්සුවක් වෙන්න පටන් ගත්තා. Hippo එක්ක මේ Music එක්ක තදේටම බැඳිලා තියෙන්නේ. නමුත් මුල් කාලේ ලෝකේ තුළ වෙනම සංගීත සම්ප්‍රදායන් ප්‍රබලව තිබුණනේ. ඒ නිසා මේ සංගීතයට ලොකූ තැනක් තිබුණෙ නෑ. ලංකාවෙත් කතාව එහෙමම තමා. ඒත් මේ වෙනකොට තත්ත්වය කණපිට පෙරළෙමින් තියෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු තිහට පල්ලෙහා නගරබද සහ වෙරළාසන්න තාරුණ්‍ය මේ සීන් එකේ දරුණුවට එල්ලිලා ඉන්නවා.

ලංකාවේ සීන් එක පැතිරුණේ Party සීන් එක හරහා. මේ දවස්වල රට යථා තත්ත්වයට පත්වීමත් එක්ක අයේම සාද සීන් එක නැගලා යන්න පටන් අරගෙන තියෙන්නෙ. සංචාරකයන් ඉලක්ක කරගෙන දකුණු වෙරළ තීරයේ ඕනෑ තරම් සාද සංවිධානය වෙනවා. මේ Music තමයි ඒවායේ භාවිත වෙන්නෙ. මේ ගැන ගැඹුරින් කතා කරන්න ගියොත් ගොඩාක් සංකීර්ණයි මචෝ. කොහොම වුණත් සංචාරක කර්මාන්තයට මේ Music හරහා යම් පිටුබලයක් ලැබෙනවා කියලා පිළිගන්න ඕනෑ. පහුගිය කාලේ ලෝකේ ප්‍රකට මේ ජාතියේ artist ලත් ලංකාවට ආවා.

ඒත් මේක ඇතුළේ මත්ද්‍රව්‍ය තියෙනවා කියන එක අපි ආයේ කියනවා. මේකේ හරි වැරුද්ද ගලපන එක පහසු නෑ. පහුගිය කාලේ tablet එකක් දෙකක් ගෙනල්ලා කාලා, 'ස්ටෑම්' පාරක් දාලා හතර පස්දෙනෙක් Bluetooth device එකක් සෙට් කරගෙන නිදහස් place එකක මේ Music දාගෙන ආතල් ගන්නවා අපි දැකලා තිබුණා. 

මේ සීන් එකේදී වෙන්නේ Bluetooth වලින් Sounds System එක Connected කරලා track එකක් දාගන්න එක. Techno, House Music තමා මෙතැනදී වැඩිපුර අහන්නේ. YouTube එකේ වගේම Sound Cloud වල ඕනෑ තරම් Track තියෙනවා. ඉන්දියානු ආභාෂයත් එක්ක මේ සංගීත රටාවට අලුතින්ම එකතු වුණු Mantra ත් මතක් කරන්න ඕනෑ. ඒවත් මෙයාලා අහනවා. එතැනදි ඉන්දියානු ශ්ලෝක, බජන්, දේව යාතිකා වගේ දේවල් තමා මේ Music එක්ක mix වෙන්නෙ. ඒකෙත් අමුතු feeling එකක් තියෙනවා.

අපි ඒ විශේෂතා ටික බලමුකෝ පැංචෝ. මේ සංගීතය එකදිගට පැය ගාණක් වාදනය කරන එකක්. නිකම් අපි සින්දු අහනවා වගේ නෙවෙයි. පැය ගාණක් නවත්තන්නේ නැතුව එකදිගට වාදනය කරන එක කලාවක්. ඒකේ Feeling හසුරවන්න ඕනෑ... මේක ගමනක් වගේ වැඩක්. හරියට පඩිපෙළක් නගිනවා වගේ. හොඳ DJ Artists ලා කියලා මේ කාලේ කියන්නේ ඔන්න ඔය වැඩේ හරියට කරන අයට. Lighting කියන්නෙත් සීන් එකේම කොටසක් සහෝ.

ලෝකෙ මේ නව සංගීත ප්‍රභේද පිළිබඳව තවමත් ලංකාවේ කවුරුත් හොඳ පැහැදිලි කිරීමක් කරලා නෑ. ඇත්තටම ඒක ලොකු ගැඹුරු පැහැදිලි කිරීමක් වෙන්න ඕනෑ. ඒක විෂයානුබද්ධ පැහැදිලි කිරීමක් වෙන්නත් ඕනෑ. හැබැයි මේ ගැන ලංකාවේ අලුත් පරම්පරාවේ තරුණයෝ තරුණියෝ දන්නවා. අපි කතා කළේ මේක වටේ නිර්මාණය වෙලා තියෙන Trend එක ගැන විතරයි.

රෙගේ එක්ක ගංජා.... Musical එක්ක බෝතල් ලංකාවේ අපට නුහුරු දේවල් නෙවෙයි. මේක තමයි ඒකෙ ඊළඟ දිගුව. ලෞකික ලෝකෙ තත්ත්වය මේක තමා. නීතියෙන් සදාචාරයෙන් කතා කරන්න ගියොත් වැඩේ පට්ට අවුල්. කලාව, නිදහස, සංස්කෘතිය වගේ විෂයන් හරහා කතා කරන්න ගියොත් කතාව වෙනස්. හැබැයි සුදූ කියන්න තියෙන්නේ එක දෙයයි. ඕනෑම දෙයක් ඕනෑවට වඩා හොඳ නෑ. පරිස්සමෙන් ඉස්සරහට යං. 

I චමිඳු