2023 මැයි 28 වන ඉරිදා

වැඩිය ගීත ලියන්න එපා කියලා මහගමසේකර මට කියද්දි අමරදේව ඇහුවා ඒ ඇයි කියලා... - සුනිල් සරත් පෙරේරා

 2023 මැයි 28 වන ඉරිදා, පෙ.ව. 06:00 143

 කළු බල්ලගෙන් බේරෙන්න අපි පණ එපා කියලා දිව්වා 

ඒ මහා කන්ද පාමුල මම පුංචි ළදල්ලක්... අනේක කුරුලු ගී සංධ්වනියන් රැව්පිලි රැව් නගන මහා වනස්පතියන් සේම සොඳුරුතම වර්ණ සුගන්ධ විහිදුවන කුසුම් ගස් අග අතු අගිසි සරසන, තුරු සේම ලතාවෝද ගස් අතරෙහි බැඳී වෙළී ගිය මහ කන්දක් යනු චමත්කාර පාරාදීසයකි. චමත්කාරය යනු සියලු සෞන්දර්යන්ගේ හරය එක්තැන් වූ අපූර්වතම තෝතැන්නක් නම් කවිය, ගීතය, සාහිත්‍යය අතරේ අනේක මං සෙවූ රසවතාණෙනි ඔබත් මහා කන්දක් යැයි මට සිතේ. වරු ගණන් පුරා හැන්දෑවන් ඔබේ නිවහනේ කවිය, ගීතය, සාහිත්‍යය මාතෘකාව වූ සල්ලාප අතරේ උණුසුම් තේ කෝප්ප හිස් කරමින් ගෙවා දැමූ රසවත්ම මතක මගේ මාධ්‍ය ජීවිතයේ මට කවදාවත් අමතක නොවන මතකයක් වන්නේ ඔබ දන්නා සියල්ලේ අවසාන අංශුමාත්‍රය දක්වා නිර්ලෝභීව දැනුම සේ පෙරා බෙදා දෙන්නට තරම් සෞන්දර්යාත්මක සිතක් ඔබ සන්තක වග මා මේ මොහොතේත් ගෞරවයෙන් සිහිපත් කරන හෙයිනි.

මතක නිම්නය පොත ඔබේ ජීවන සුවිසැරියේ යම් යම් මතක එක්තැන් කළ මෑතකදිම ඔබ ලියූ ග්‍රන්ථයයි. එහි මතක සහෘදයන් හා විඳගන්නට සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා නම් වූ ඔබ හමුවූ ඒ හැන්දෑවේ අප කළ දිගු කතාබහේ සටහනක් වෙනුවෙන් අකුරු වියමනක යෙදෙන්නට අවසරයි. 

ඒ එක්තරා උඳුවප් මාසයකි. හීගඩු පිපෙන සීතල නත්තල් කුණාටුව අඩුවක් නැතුවම රුගෙන එමින් සිටියේය. එක් හිමිදිරියක තම ආදරණීය බිරියගෙන් සහ දරුවන්ගෙන් සමුගත් සුනිල් සරත් පෙරේරා අම්පාර බලා පිටත් වුණේ ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඉතිරි කිරීමේ ව්‍යාපෘති නිලධාරියකු ලෙස තමාගේ රුකියාවේ වගකීම උදෙසාය. ඒ උඳුවප් මහ ගෙවී දුරුත්තේ උදාව සනිටුහන් වෙමින් තිබූ දිනකය. ''එදා ඒ මොහොත මේ දැනුත් මට මතක් වෙනවා. මම එදා ගෙදරින් යද්දි ඇස් දෙකේ මොකක්දෝ දුකක් හංඟගෙන මගේ බිරිඳ මගේ දිහා බලාගෙන හිටිය මොහොත දකිද්දි මට මතක් වුණේ ගම්පෙරළිය චිත්‍රපටයේ ජිනදාස සිංහලේ බලා යද්දී නන්දා ඔහු දිහා බලාගෙන හිටපු දුක්බර දසුනයි.'' මතකය කෙතරම් සොඳුරුද? හිතවත යැයි ලියන්නට සිත් වෙන්නේ ඒ මොහොත කොයි තරම් නම් හැඟීම්බරදැයි මටද හැඟෙන හෙයිනි. වචනවලින් කතා කරන දිගු සල්ලාපයන්ට වඩා වචන නැතුව කතා කරන අප්‍රකාශිත ප්‍රකාශන දිගහැරෙන නිහඬ මොහොතක් ඇත්තටම වචනවලින් විවරණය කරන්නට බැරි තරම්ම සුන්දරය. 

දිගාමඩුලු දනව්ව සුනිල් සරත් පෙරේරාට දැනුණේ සොබාදහමේ අප්‍රමාණ සෞන්දර්ය කියා දෙන සරසවියක් සේය. ගොවි ජනපදවල මහ පොළොවත් සමඟ හුස්මගත් මිනිසුන්ගේ ජීවිතයේ සුවඳත්, වැව්ගම්පත්තුවේ හා පානම්පත්තුවේ මෙන්ම බින්තැන්නපත්තුවේ කැලෑ ගම්වල ජීවිතයත් සමඟ ආදරයෙන් අරගල කළ ඒ මිනිසුන්ගේ කඳුළු, සුසුම්, දුක්ඛ දෝමනස්සයන් සේම ඒ සියල්ල මැද ඔවුන් දෙතොලඟ රඳවන සිනා කැන්හි නිශ්ශබ්ද චමත්කාරයද ඔහු හද පුරා විඳගත්තේ අම්පාරෙහි රාජකාරිය කළ ඒ කාලයේදීය. ''මහ බැද්ද වනයේ තිබුණේ සියවස් ගණනාවක් පැරණි රූස්ස ගස්වල අමුතු නිශ්ශබ්දතාවයක්. ශාන්ත බවක්. ගාම්භීරත්වයක්. ඒක හරියට මනරම් තුරුලියවලින් හැදිච්ච අසපුවක් වගේ. රාජකාරිය කරද්දි අරන් යන හම් බෑගය හැරුණම කාත් කවුරුත් නැති ඒ මහ බැද්දෙ වැව් කන්ද දිගේ වගේම කැලෑ පාරවල් ඔස්සේ මම තට්ට තනියම ඕන තරම් ඇවිදලා ඇති. මට අදටත් මතකයි. දමන ගමේ ඉස්කෝලෙට පයින්ම ඇවිදගෙන යන කිළිටි ඇඳුම් ඇඳගෙන දාඩිය පෙරාගෙන හිටපු අහිංසක දරුවන්. ඒ පුංචි උන්ගෙ අත්වල බඩගින්නට කන්න බඩඉරිඟු කරල්. දවසක් මම යද්දි මහත්තයා මහත්තයා කියලා මට කතා කරලා මම යන ගමන වැළැක්වුවා. ඒ පුංචි උන් එහෙම කරලා තියෙන්නෙ ළඟ තිබුණ හේනකින් මතුවෙච්ච වල් අලි තුන්දෙනෙක් දැකලා. දුප්පත්කම ඒ මිනිස්සුන්ගෙ ජීවිත අස්සෙන් කොච්චර වෑස්සුණත් ආදරයෙන් මනුෂ්‍යත්වයෙන් ඒ ගම් දනව්වල මිනිස්සු හරිම පොහොසත්.''

එකල අම්පාර දිසාපතිව සිටියේ ඩී.එම්. ආරියරත්න මහතාය. දිසාපති බංගලාවේ දිසාපතිවරයා සමඟ නැවතී උන් කාලයේ උසස් සාහිත්‍යය කලා රුචිකත්වයක් තිබූ ඔහු සමඟ සුනිල් සරත් පෙරේරා සාහිත්‍යවේදියාණන් සාකච්ඡා කළේ හරියට පුස්තකාල පහසුකමක්වත් නොතිබුණු අම්පාර ප්‍රදේශවල දරුවන්ගේ හා ගුරුවරුන්ගේ වින්දනය උසස් තලයකට ගෙන එනු පිණිස කුමක් කළ යුතුද යන්නයි. වරක් අරිසෙන් අහුබුදු මහතා එම ගමේ සාහිත්‍යය දේශන මාලාවක් පැවැත්වීමට ආවේ බොහෝ දුෂ්කරතා විඳගනිමිනි. ඒ සුනිල් සරත් පෙරේරා සමඟ දහඅට වංගුවද ගෙවාගෙන පොදු ප්‍රවාහන සේවයෙන්මය. තවත් වරෙක ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් තම බිරිඳද කැටුව අම්පාරට පැමිණියේ මින් පෙර නොලද වින්දනයක් අම්පාරේ ඒ දුගී දුප්පත් දරුවන් වෙත තිළිණ කරවනු පිණිසය. සැබැවින්ම එවැනි සංගීතමය විවරණයක් හා අත්දැකීමක් අම්පාරේ වැසියන් විඳගත්තේ පළමු වරටය. 

සුනිල් සරත් පෙරේරා ගීත රචකයාණන් ආදරය කළ දෑ අතර සොබාදහමේ සොඳුරු චමත්කාරයද විය. විශේෂයෙන් ඒ චමත්කාරයේ ඉසව් සොයා ඔහු සැරිසැරූ කාලයක් තිබුණි. ඒ ගමන් මඟ වැටී තිබුණු තැන් අතර හිමාලය අඩවියේ ගිරි දුර්ග හා වන දුර්ගත් සිරිලක හුදෙකලාවේ සෞන්දර්ය විහිදුණු කැලෑ ගම් හා වනාන්තරත් විය. මහා කැලෑවකට නිරන්තරයෙන් උරුම වූ අපූර්වතම නිශ්චලත්වය තුළ ඒ සෞන්දර්යාත්මක මිනිසා නිහඬවම විඳගත්තේ සොබා සෞන්දර්ය ගැඹුරින්ම ඉපදුණ නිශ්ශබ්දතාවයේ රසසාර සංධ්වනියයි. මුනිවර සිතක් ඇති සාහිත රසවතකුටම හැර නිහඬත්වයේ නිරාමිස ප්‍රකාශනයන්ට පෙම් බඳින්නට සහෘද සිතින් ආත්මීය බැඳීමක බැඳෙන්නට කාට නම් පුළුවන්ද? ඉතින්. ''එක දවසක් මගෙයි බිරිඳගෙයි රෑ නවාතැන වුණේ රාම් නදිය අසබඩ විසල් කුළුණින් යුක්ත සොල්දර සංචාරක බංගලාවක්. එදා අඩ සඳ පායපු දවසක්. හිමාලයේ කඳුකරයෙන් ඇහුණ රූ කුරුල්ලන්ගෙ හඬ ඒ වෙද්දි නැවතිලා. රාම් නදිය ඔහේ ගලාගෙන යනවා. ඇත්තටම හරිම ශාන්ත පරිසරයක් තිබුණෙ. මට ඒ වෙලාවෙ මතක් වුණේ එච්.එම්. අභයපාල ගායනා කරපු සරත් විමලවීර ලියපු සින්දුවක්. ඒ ශාන්ත සිතුවිලි මැවුණා වේ කියන ගීතයයි. ඒත් විනාඩියක් යද්දි ඔක්කොම වෙනස් වුණා. ඈතින් පිහිටි වනගත කඳවුරෙන් ඇහුණෙ දොරක් පහුරු ගාන රුදුරු ව්‍යාඝ්‍රයකුගේ ගොරවන හඬ සහ මිනිසුන් මර බියේ එකවර කෑමොර දෙන හඬ. ඒත් මුරකරුවෙකු අහසට තිබ්බ වෙඩිල්ලත් එක්ක මුළු වනයම නිහඬ වුණා.''  

හිමාලයේ ගිරි දුර්ග මාර්ගවල මෙන්ම යුරෝපා හිම කඳුකරයේද සොබාදහමේ මනස්කාන්ත දසුන් සොයා ගී පද රචකයා සැරිසැරූ මතක එමටය. ඒ සියලු සිරි මැද අසිරිමත්ම සැරිසැරීමක් වන්නේ පහළ කඩුගන්නාවේ දිය කඳුරු මුමුණන සංධ්වනියන්ට සවන් යොමමින් වන වදුලේ නිහඬ නිම්නයේ මිහිදුමෙන් මොහොතකට වැසී යන මිටියාවත් අතර බතලේගල හා දෙවනගල කඳු දෙස බලා ඔහු විඳි වින්දනයයි. ''දවසක් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ සහ මම නුවර ඉඳන් ආ ගමනකදි පහළ කඩුගන්නාවට එද්දි අපි ආව වාහනයේ හුළං බැස්සා. වාහනය අලුත්වැඩියා කරනකම් අපි කඩුගන්නාව මාර්ගය දිගේ පයින් ඉදිරියට යමු කියලා මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහත්තයා යෝජනා කළා. ඉතින් හඳපානේ අපි ඔන්න ඇවිදිනවා. ඒ අතර ඇහෙනවා කඳු පාමුල මහන්තේගම ගමේ පන්සලක මල් වට්ටි වෙන්දේසියක හඬ. හඳ එළියයි කඳුකරයයි පුදුමාකාර සෞන්දර්යක්. ඒත් සෞන්දර්ය හොයාගෙන ගිය ගමන එකවරම නැවතුණේ මහා කළු බල්ලෙක් බුරාගෙන ඉදිරියට ඒමත් එක්කයි. අපි දෙන්නා දිව්වා දිවිල්ලක් පණ එපා කියලා. අපි හති ඇරියේ වාහනේ ළඟට ඇවිත් නැවතිලා. ඒ මහ කළු බල්ලා එකපාරටම කොහොම අතුරුදන් වුණාද කියලා දැක්කෙ නෑ.'' මතකය සොඳුරුය. බියකරුය.

1993 ජූනි දෙවැනි දින සුනිල් සරත් පෙරේරා වියතාණන් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස වගකීම් සම්භාරයක් දෙවුර දරන්නට සැදී පැහැදුනේය. සැබැවින්ම ගී පද රචකයකු මෙන්ම සාහිත්‍යවේදියකු වශයෙන් පමණක් නොව, විවිධ පරිපාලනමය වගකීම් දැරූ විශිෂ්ටයෙක් ලෙසද සුනිල් සරත් පෙරේරා අපේ සම්භාවනාවට නිබඳ පාත්‍ර වේ. ''එක වරක් මම උපාලි අරඹේවල මහතා එක්ක හන්තාන කන්ද තරණය කරද්දි පටනංගල මුහුදු තීරයේ ගල් තලාවක රුඳී සිටිය කැමරා ශිල්පී රත්නසිරිගේ කැමරාව යොමුවෙලා තිබුණේ ත්‍රාසජනක සිදුවීමකට. අතුරු මාර්ගයකින් මතුවෙච්ච මහ වලසෙක් සංචාරක ජීප් රියක් මඟහැර ගල් තලාවට නගින දිහාවට ඔහු අපේ අවධානය යොමු කළා. මෙන්න මේ වලසා ටික වෙලාවකින් කැමරා ශිල්පියා සහ පටිගත කිරීමේ නිලධාරියා අසලට එනවා. මේ දෙන්නා බයේ දිව්වෙ නෑ. මේ දසුන් කැමරාවට හසුකර ගත්තා. ඔවුන් වෙතට ළං වූ වලසා කැමරා රඳවනයේ හඬට බියපත්ව ආපහු දුවලා යන දර්ශනයක් නරඹන්න ඉතින් අපට පුළුවන් වුණා.''
ජාතික රූපවාහිනිය එතෙරක සිට විකාශය කළ ප්‍රථම රූපවාහිනී වැඩසටහන වූ බුද්ධ පූර්ණිමා වැඩසටහන 1994 වසරේ වෙසක් පුන් පොහෝදා පෙරවරු 5.30 සිට 7.30 දක්වා සහ රාත්‍රී 8.30 සිට 9.30 දක්වා බරණැස ඉසිපතනයේ සිට විසිරණය කෙරුණේ එය එසේ කිරීමට සුනිල් සරත් පෙරේරා ගත් අප්‍රමාණ වෙහෙස නිසාමය. 

කොළොම්පුරයේ සයිව කඩ සහ භෝජන ශාලාද එකල දමිළ සංස්කෘතියේ රස කෑම සොයා සුනිල් සරත් පෙරේරා සහ යහළුවන් ඇදී ගිය තැන්වලින් එකකි. ''නාරද දිසාසේකර වගේම පාසල් කාලයේ මිත්‍රයො පිරිසක් හැන්දෑ යාමේ සරස්වතියට ගියේ රස කර කර තෝසෙ කන්න. දවසක් මට මගේ පිඟානට බෙදූ හොද්දට අමතරව සම්බෝල සහ හොදි වැඩියෙන් ලබාගන්න හිතිලා මම ඒක කීවේ කොංඤං කියන දෙමළ වචනයෙන්. ඒකෙ තේරුම ටිකක් කියලා. එදා නොදන්න දෙමළෙට ගිහින් මට වුණේ හිතේ හැටියට හොදි සම්බෝල කන්න බැරිවෙච්ච එක.''

ජීවිතයේ ගිමන් හරින මොහොතකදී මතක මංපෙත් දිගේ අතීතයේ දවස් සොයාගෙන ඇවිදිද්දි මුණගැසෙන මතක වරෙක ජීවිතයේ රිදුම් පිරිමදියි. තවත් වරෙක සිතේ ඉසියුම් තැන් සොය සොයා ජීවිතය රිදවයි. අංශුමාත්‍රික කඳුළු සේයා දෑස් මත දිදුලවයි. සොබාදහම සේම කවියෙහිත් සාහිත්‍ය‍යෙහිත් රස සාර ඉම් සොයා ලෝකයේ බොහෝ රටවල සංචාරය කළ සුනිල් සරත් පෙරේරා වියතාණන්ගේ මතක සුවිසැරිය දිගේ ඇවිද යද්දී යළි යළිදු ස්නේහයෙන් සිහිපත් කරන්නට සිතෙන බොහෝ තැන් එමටය. ''මහගම සේකර කියන්නෙ අපේ තාරුණ්‍යයේ වීරයා. කාලයක් යද්දි ඔහු මගේ සමීපතම මිතුරෙක් වුණා. හම් බෑගයත් අතින් අරගෙන ඒ කාලෙ සේකර මගේ ගෙදරට වගේම බැංකු කාර්යාලයටත් ආවා. කොල්ලුපිටිය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හයවන මහලේ පිහිටි කාර්යාලයේ මම ඉද්දි දවසක දහවල් ධම්ම ජාගොඩ සහ තවත් මිතුරෙක් එක්ක සේකර මගේ කන්තෝරුවට ආවා. ධම්ම ජාගොඩ ටික වෙලාවකින් ගියා. සේකර මාත් එක්ක හිටියා. සේකර ඇහුවා අපි දවල්ට එකට කමුද කියලා. ඒත් එදා මම මගේ බිරිඳට කියලා තිබුණෙ දවල් කෑමට ගෙදර එනවා කියලා. ඒ හින්දා සේකරට එයාගෙ බත් මුල කන්න තැනක් හදලා දීලා එයා කනකම් මම එයා ළඟට වෙලා හිටියා. බත් මුල ලිහාගන්න අතරෙ හම් බෑගයෙන් කොළ කෑල්ලක් එළියට ගත්ත සේකර ඒ කොලේ ලියා තිබුණ ඔහුගෙ අලුත් ගීතය ගැන මට කිව්වා. එදා හවස මම අමරදේවත් එක්ක රඹුක්කන යන්න යොදාගෙන හිටියෙ. මම සේකරට කිව්වා රඹුක්කන යමු කියලා. සේකර කිව්වා යමු, මම පහට ගුවන් විදුලියට එන්නම් කියලා.

මඩවල රත්නායක මහතාගේ ගුවන්විදුලි ශාස්ත්‍රීය සංග්‍රහය වැඩසටහන ඉවර වුණාට පස්සෙ අමරදේවත් බන්දුල ජයවර්ධනත් මමත් සේකරත් රඹුක්කන යන්න පිටත් වුණා. ගම්පහදි සේකර එයාගෙ නිවසට ගොඩවුණේ යන ගමන ගැන ගෙදර අයට කියන්න. සේකර එදා ඉඳගෙන ගියෙ මගේ ළඟ. සේකර මට කිව්වා වැඩිය ගීත ලියන්න එපා කියලා. ඇත්තටම ඒක උපදේශයක්. අමරදේව මහත්තයා ඒ වෙලාවෙ ඇයි එහෙම කියන්නෙ කියලා අහද්දි සේකර කිව්වා සුනිල් ලියන ගී අපිත් රසවිඳිනවා. ආයාසයෙන් ප්‍රසිද්ධිය පතා සංඛ්‍යාව වැඩිකර ගැනීමට යෑමෙන් රස හීන වෙන්න පුළුවන් කියලා. දැන් ඉතින් ඔහොම ගමන යද්දි අතරමඟදි අපි කාටත් මූත්‍රා කිරීමේ වුවමනාවක් ආවා. වාහනේ නතර වුණේ උඩරට හා පහතරට වෙන් කරන කඩඉම ලෙස සලකන වරකාපොළට නුදුරු හැලගල අසලදි. ඒ කාලෙ ප්‍රදේශය ජන ශූන්‍යයි. කළුවරත් වැටිලා. මම කිව්වා පාර අයිනෙ තණකොළ බිස්සෙ සරපයන් ඉන්න පුළුවන්, ඒ හින්දා පාර මැදම මේ කටයුත්ත කිරීම නුවණට හුරුයි කියලා. මේ වෙලාවෙ සේකර ප්‍රසිද්ධිය හා කීර්තිය අතර වෙනස පෙන්නුම් කරන්න අපූරු උපමාවක් ඉදිරිපත් කළා. ''අමරෙ, අපි මේ කටයුත්ත හෙට දහවල් දහයට විතර ගෝල්ෆේස් පිටියට යාබද පාර්ලිමේන්තු ගොඩනැගිල්ලෙ මුහුද දෙසට ඇදුණු විසල් පඩිපෙලේ සිට කළා නම් මොන තරම් ප්‍රසිද්ධියක් ලබාගන්න පුළුවන්ද? ප්‍රසිද්ධිය ඕනෑම බාල පහත් වැඩක් කර ලබාගත හැකි දෙයක්. එහෙත් කීර්තිය එහෙම අත්පත් කර ගන්න බැහැ.'' ඒ එදා සේකරගේ වචනයි. 

''සේකර පදිංචිවෙලා හිටියෙ ගම්පහ ශ්‍රී බෝධි පාර නිවසක. ඔහු පාවිච්චි කළේ මොරිස් මයිනර් වාහනයක්. දවසක හැන්දෑවෙ සේකර ගෙදර යද්දි විසල් පයිප්ප නල එලීමට කාණු කැපීම නිසා ඔහු යන මඟ අවහිර වෙලා. පයිප්ප නල දැමීමේ කොන්ත්‍රාත්තුව බාර අරගෙන තිබුණෙ ප්‍රංශයේ කොස්මන් කියන සමාගම. උදේ ආපු පාර හැන්දෑවෙ යද්දි ඇහිරිලා. සේකරගෙ මුවින් එකවරම හිටිවන කවියක් කියවුණා.

සක්මන් කරන මාවත අපි වැසුවාද
ඉක්මන ගමන අද අපි කොට කෙරුවාද
සිත් සන්තොසින් දුන් මුදලුත් ලැබුවාද
සොක්මන් මගෙ නමට කාණුව කැපුවාද

ඔය කවිය නාරද දිසානායක ඒ කාලෙ නිතරම මතකෙට නගපු කවියක්. සේකර කියන්නෙ අනතිමාන ගුණයෙන් සපිරුණු දුප්පතෙක්. කිසිම දවසක මුදල්වලට අවනත නොවුණු නියම මනුස්සයෙක්. යුගයෙන් යුගයට ඔහුව අමතක කරන්න බැරි ඔහුටම අනන්‍ය පෞරුෂයක් සහ ලස්සන රූපකායක් සේකරට තිබුණෙ. සේකර මැරුණ පුවත මම දැනගත්තෙ දයානන්ද ගුණවර්ධනගෙන්. එදා දයානන්දගෙ කඳුළු පිරිච්ච ඇස් මේ මොහොතෙත් මට මතක් වෙනවා. ඒ මොහොතෙම රඳාවාන බලා ගියා. වෙල් එළි මැදින් ඒ ගීය ගමනෙදි මගේ අතින් ලියවුණේ කවියක්.

සදා නොමියන
ගීතයකි ඔබ
සදා නොමියන
සිතුවමකි ඔබ
ගමේ ඕවිටි 
තැනිතලාවල
සදා ඔබ මට
මුණගැසෙනු ඇත''

නියත දහමට අවසඟව යා හැකි කිසිවක් මෙදියත නැත. ඉඳින් සපැමිණි අප නික්ම යා යුතු වග අරුමයක් නොවේ. එහෙත් හැර යන සියල්ලෝම මතකය හැර නොයති. ආදරයේත් ප්‍රේමයේත් බැඳීමේත් ස්වරූපය එයයි. එහෙයින් කාලයාගේ ඇවෑමෙන් හුදෙකලාව අත්විඳින බොහෝ තත්ත්පරයන්හි ආදරය තවරාන මතක නිම්න දිගේ අපි ඔහේ ඇවිද යමු. මොහොතකට වුව ඒ මතක සුවිසැරිය සොඳුරුමය. මිහිරිමය. 
සුලවතාණෙනි තවත් මතක නිම්නයකදී ඉතින් අපි හමුවෙමු.

වදන් වියමන හා සේයාරූ

I සංජීවිකා සමරතුංග