මෑතකදී ශ්‍රී ලංකාවට පැමිණි බොලිවුඩ් සුපිරි නළු රිතික් රෝෂන් ගැන පසුගිය දිනවල බොහෝ දෙනා කතාබහ කළා. කොළඹ ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ (City of Dreams) හෝටලයේ සමාරම්භක උත්සවයට සහභාගි වීම සඳහා තමයි ඔහු මෙවර ලංකාවට පැමිණියේ. ඔහුගේ පැමිණීම ලංකාවේ රසිකයන්ට අමතක නොවන අත්දැකීමක් වුණේ, ඔහුගේ මංගල චිත්‍රපටයේ ජනප්‍රියම ගීතය වූ ‘කහෝ නා... පෙයාර් හේ’ (Kaho Naa... Pyaar Hai) ගීතයට නර්තනයක් ඉදිරිපත් කිරීම හේතුවෙන්.
ඔහුගේ මේ පැමිණීමත් සමඟ නැවත වරක් ලංකාවේ රිතික් රෝෂන් පිළිබඳ කතාබහක් ඇතිවුණා. ඇත්තෙන්ම අපේ බොහෝ දෙනෙක් ඔහු කවුද, ඔහුගේ සිනමා ගමන කොහොමද ඇරඹුණේ සහ ඔහුගේ ජීවිතය ගැන ගැඹුරින් දන්නේ නැහැ. මේ ලිපියෙන් අපි ඔහු පිළිබඳව තොරතුරු ටිකක් විමසා බලන්න තීරණය කළා.
රිතික් රෝෂන් 1974 ජනවාරි 10 වැනි දින උපත ලැබූ කෙනෙක්. ඔහුගේ වර්තමාන වයස අවුරුදු 51ක්. ඔහු උපත ලැබුවේම සිනමාවට සම්බන්ධ පවුලක වීම විශේෂත්වයක්. ඔහුගේ සීයා වූ ජේ. ඕම් ප්‍රකාශ් (J. Om Prakash) ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක්. ඔහුගේ පියා රාකේෂ් රෝෂන් (Rakesh Roshan) බොලිවුඩයේ ජනප්‍රිය නළුවෙක්, අධ්‍යක්ෂවරයෙක් සහ නිෂ්පාදකවරයෙක්. මේ නිසා රිතික්ට සිනමාව කියන්නේ හුරුපුරුදු ලෝකයක්.
ඔහු කුඩා කාලයේදී ‘ආශා’ (Aasha) සහ ‘ආප්කේ දීවානේ’ (Aap Ke Deewane) වැනි චිත්‍රපට කිහිපයක ළමා නළුවෙක් විදිහට රඟපෑවා. පසුව ඔහු තම පියාගේ චිත්‍රපට කිහිපයකම සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කටයුතු කළා. මේ අත්දැකීම් ඔහුට නළුවෙක් විදිහට ඉදිරියට යන්න විශාල රුකුලක් වුණා.
රිතික්ගේ සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ 2000 වසරේදී ඔහුගේ පියා අධ්‍යක්ෂණය කළ ‘කහෝ නා... ප්‍යාර් හේ’ චිත්‍රපටයයි. මේ චිත්‍රපටයේ ඔහු ද්විත්ව චරිතයක් රඟපෑවා. වාණිජමය වශයෙන් අතිශයින් සාර්ථක වූ මේ චිත්‍රපටය නිසා ඔහු එක රැයකින් සුපිරි තරුවක් බවට පත්වුණා. ඔහු දැක්වූ රංගන කුසලතාව සහ සුවිශේෂී නර්තන හැකියාව නිසා රසිකයන්ගේ ආදරය දිනාගන්න ඔහුට හැකි වුණා.
විශේෂයෙන්ම ලංකාවේ රසිකයන් අතර රිතික් ඉතාම ජනප්‍රිය වුණේ ඔහුගේ ‘කෝයි... මිල් ගයා’ (Koi... Mil Gaya) චිත්‍රපටය නිසයි. මේ චිත්‍රපටයේ ඔහු රඟපෑ මානසික ආබාධ සහිත දරුවාගේ චරිතය ලාංකික රසිකයන්ගේ සිත් කොතරම් දිනාගත්තාද යත්, අදටත් එම චරිතය බොහෝ දෙනාගේ මතකයේ රැඳී තිබෙනවා.
ජනප්‍රිය තරුවක් වුණත්, රිතික්ගේ ජීවිතය පහසු එකක් වුණේ නැහැ. ඔහු කුඩා කාලයේදී කතාවේදී පැකිලෙන (stutter) ගැටලුවකින් පීඩා වින්දා. ඒ වගේම ඔහුගේ දකුණු අතේ අමතර මහපට ඇඟිල්ලක් තිබීම නිසා පාසල් මිතුරන්ගෙන් ඔහුට හිරිහැර පවා එල්ල වුණා. මේ සියලු අභියෝග ඔහු ජය ගත්තා.
ඔහුට වයස විසි ගණන්වලදී කොන්දේ ආබාධයක් (scoliosis) ඇතිවීම තවත් විශාල අභියෝගයක් වුණා. වෛද්‍යවරුන් ඔහුට නැවත නර්තනයේ යෙදෙන්න හෝ සටන් ජවනිකාවලට දායක වෙන්න නොහැකි වේවි කියා පවසා තිබුණත්, ඔහු තම දෛනික ව්‍යායාම මගින් සුවය ලබා නැවත සිනමාවේ සාර්ථකත්වයට පත් වුණා.
වන විට රිතික් රෝෂන් සිනමා ක්ෂේත්‍රයේ විශාල සම්මාන සංඛ්‍යාවක් දිනාගෙන තිබෙනවා. ඔහුගේ ප්‍රධානතම ජයග්‍රහණයක් ලෙස හොඳම නළුවා සඳහා ඔහු දිනාගත් ෆිල්ම්ෆෙයාර් (Filmfare) සම්මාන හතර සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම, ඔහු ඉන්දියානු සිනමාවට කළ සේවය වෙනුවෙන් බොහෝ සම්මාන උළෙලවලදී අගය කිරීම්වලට ලක්ව තිබෙනවා. ඔහුගේ විස්මිත නර්තන හැකියාව, විවිධාකාර චරිත නිරූපණය කිරීමට තිබූ හැකියාව සහ සිනමාවට කළ දායකත්වය නිසා ඔහු ඉන්දියාවේ පමණක් නොව ලොව පුරා සිනමා රසිකයන්ගේ ප්‍රසාදය දිනාගෙන තිබෙනවා.
රිතික් රෝෂන් 2000 වසරේදී සුසෑන් ඛාන් (Sussanne Khan) සමඟ විවාහ වුණා. ඔවුන්ට පුතුන් දෙදෙනෙක් සිටිනවා. වසර 14ක විවාහ ජීවිතයෙන් පසු 2014 දී ඔවුන් දෙදෙනා වෙන් වුණා. ඔවුන් දික්කසාද වුවත්, දරුවන් වෙනුවෙන් හොඳ මිතුරන් ලෙස කටයුතු කිරීම විශේෂත්වයක්. කොහොම වුණත් වර්තමානයේ රිතික් රෝෂන් නිළියක් සහ ගායිකාවක් වන සබා අසාද් (Saba Azad) සමඟ සම්බන්ධතාවක් පවත්වනවා. ඔවුන් දෙදෙනා 2022 වසරේදී ප්‍රසිද්ධියේ සිය සම්බන්ධය තහවුරු කළා.
නළුවකුට එහා ගිය චරිතයක් විදිහට ඔහු ඉන්දියාව තුළදී හඳුන්වන්න පුළුවන්. ඇත්තෙන්ම රිතික් විවිධ ක්ෂේත්‍රයන්හි දස්කම් දක්වන බහුවිධ චරිතයක්. "HRX" කියන්නෙ රිතික් රෝෂන් විසින් ආරම්භ කරන ලද විලාසිතා සහ යෝග්‍යතා සන්නාමයක්. මෙම වෙළෙඳ නාමය යටතේ ක්‍රීඩා ඇඳුම්, සපත්තු සහ යෝග්‍යතා උපකරණ වෙළෙඳපොළට නිකුත් කරලා තියෙනවා. යෝග්‍යතාවය (Fitness) කෙරෙහි ඔහු තුළ ඇති උනන්දුව සහ කැපවීම නිසා තමා මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමට ඔහු පෙළඹී තියෙන්නෙ. අද වන විට HRX ඉන්දියාවේ සාර්ථකම සහ ජනප්‍රියම යෝග්‍යතා සන්නාමයක් බවට පත්වෙලා තියෙනවා රිතික්ගේ මේ වෙළෙඳ නාමය.
ඔහු සමාජ සේවා කටයුතු සඳහා ද නිරන්තරයෙන් දායක වෙන කෙනෙක්. විශේෂයෙන්ම ආබාධිත දරුවන්ගේ සුබසාධනය සඳහා රිතික් විශේෂ අවධානයක් යොමු කරනවා. ඔහුගේ ජීවිතයේ අභියෝග ජයගත් ආකාරය නිසා, සමාජයේ අභියෝගවලට මුහුණ දෙන අයට උදව් කිරීමට ඔහු උනන්දු වන බවක් තමා පේන්න තියෙන්නේ.
තවදුරටත් මේ අපූරු නළුවාගේ සුවිශේෂී බව ගැන සඳහන් කළොත් රිතික් නළුවෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් සහ ගායකයෙක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. ඔහු තම චිත්‍රපටවල බොහෝ ගීත සඳහා ස්වකීය හඬ මුසු කර තිබෙනවා. ඒ වගේම ඔහුගේ නර්තන හැකියාව ගැන බොලිවුඩයේ තියෙන්නෙ ඉහළම ගෞරවයක්. ඔහුගේ චලනයන්හි සුමට බව, වේගය සහ ශෛලිය නිසා ඔහුට ‘බොලිවුඩයේ ග්‍රීක දෙවියා’ යන විරුදාවලිය ලැබී තිබෙනවා. ඇත්තටම ඔහුගේ ඇස් හැම අතින්ම ග්‍රීක මිථ්‍යා කතාවල ඉන්න දෙවිවරුන්ට සමානයි.
කොහොම නමුත් ඕනෑම නළුවෙක්ගේ ජීවිතේ තියෙන ආන්දෝලනාත්මක සිදුවීම් රිතික්ගේ ජීවිත කතාව තුළත් තියෙනවා. 2000 වසරේදී නේපාලයේ සිදුවූ සිදුවීම ඉන් ප්‍රධානයි. “රිතික් රෝෂන් නේපාලයට සහ නේපාල ජනතාවට වෛර කරනවා,” යන ව්‍යාජ ප්‍රචාරයක් නිසා නේපාලයේ සිසුන් විරෝධතා පවත්වා තිබෙනවා. මෙය ඔහුගේ ජනප්‍රියත්වයට ඊර්ෂ්‍යා කළ කණ්ඩායමක් විසින් සිදුකළ කුමන්ත්‍රණයක් බව පසුව හෙළි වුණා.
තවත් ප්‍රකට සිදුවීමක් වුණේ බොලිවුඩ් නිළියක් වන කන්ගනා රනවුත් (Kangana Ranaut) සමඟ ඇතිවූ ගැටුමයි. කන්ගනා ඔහුව “මගේ මෝඩ හිටපු පෙම්වතා” (silly ex) ලෙස හැඳින්වීමත් සමඟ මේ ගැටුම ප්‍රසිද්ධියට පත් වුණා. මේ සිදුවීම සයිබර් අපරාධ පරීක්ෂණයක් දක්වා දුරදිග ගියත්, එය බොලිවුඩයේ විශාල ආන්දෝලනයක් ඇති කළා.
රිතික් රෝෂන් මීට පෙරත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඔහු සමහර වෙළෙඳ දැන්වීම් සහ උත්සව සඳහා ලංකාවට පැමිණියා. ඔහුගේ නවතම පැමිණීම ‘වෝර් 2’ (War 2) චිත්‍රපටයේ ප්‍රවර්ධන කටයුතු සඳහාත් විශේෂ වුණා. මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ IMAX සිනමා ශාලාවක ප්‍රදර්ශනය වන පළමු හින්දී චිත්‍රපටය ලෙස ඉතිහාසයට එක්වීමට නියමිතයි.
මෙවර පැමිණීමේදී ඔහු ශ්‍රී ලංකාව ගැන ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් කතා කරලා තිබුණා. තමන්ගේ ඊළඟ උපන් දිනය ලංකාවේදී සමරන්න එනවා කියලත් රිතික් සඳහන් කළා.
“ශ්‍රී ලංකාව ප්‍රසිද්ධ වන්නේ එහි විශ්මයජනක භූ දර්ශනය සහ උරුමය සඳහා පමණක් නොවේ. එය ලොව පුරා ප්‍රසිද්ධ වන්නේ එහි හදවත සහ ආත්මය නිසා.”
ඇත්තටම ශ්‍රී ලාංකිකයන් ඔහු වෙත පළ කළ ආදරය ගැන ඔහු ගොඩක් සතුටු වුණා වගේම පුදුම වුණා.
රිතික් රෝෂන් කියන්නේ අභියෝග ජයගෙන, තම දක්ෂතාවයෙන් සහ කැපවීමෙන් ලෝකයම දිනාගත් සිනමා තරුවක්. ඔහුගේ නවතම පැමිණීම ශ්‍රී ලංකාවේ රසිකයන් අතර ඔහුගේ ජනප්‍රියත්වය තවදුරටත් තහවුරු කළා.
• චමිඳු නිසල් ද සිල්වා
කුෂාන් පතිරාජ