2023 මැයි 07 වන ඉරිදා

සුගත් - රසික සංකර්ෂා ඔබ අබිමුවට

 2023 මැයි 07 වන ඉරිදා, පෙ.ව. 06:00 126

 ලියපු සින්දු ෆයිල් පිටින් උස්සන් ගියත් එදා හැමෝම ඒවා ප්‍රතික්ෂේප කළා - රසික 
 ''ඕන් ඕකට තමයි මම උඹ ලව්වා කවි ලියවන්නේ'' බාප්පගේ ඒ වචන තදින්ම දැනුණා - සුගත් 

ලස්සනම වැස්සක් වසින්නට නියමිතය...

ඒ වැස්සට නමක් තියේ... ඒ නම නම් සංකර්ෂා
වහින දවස - සෙනසුරාදාවක්
දිනය - 2023-05-13
වේලාව - හවස 2.00 ට
කොළඹ අහස යට වහින ඒ මහා වැස්සට තෙමෙන්න එන්න...
ඇති තරම් නොමිලේම තෙමෙන්න... හිතේ හැටියට ඒ මහා වැස්ස විඳින්න... ඒ වැස්සට තුරුල්වෙලා කැමති කැමති හීන අතරේ නැලවෙන්න... 
ඉතින් ඔබත් එන්න...

ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ ඉඳන් ඔබ එනතුරු බලා ඉන්න ඒ දෙන්නා... සුගත් සෝමවීර සහ රසික ඩී දුමින්ද...

ඉතින්... සංකර්ෂාට මහා වැස්සක් කියලා කියන්න මට හිතුණේ වැස්සක් තරම් මා නිවාලන අන් යමක් තවත් තියෙනවද කියලා මට හිතෙන හින්දා... හිතේ රිදුණු තැන් පිරිසිඳ හදවතට කතා කරන්න පුළුවන් මහා වැස්සකට... හිත් දෑලේ කවි, ගී, නවකතා, සිනමා සිත්තම් වියමන් මවන්න පුළුවන් මහා වැස්සකට. ඉතින් අහන්න... සුගත් සහ රසික ලියූ ගී සමුදායක් එක දිගටම එකටම වෑස්සෙන ප්‍රසංගය සංකර්ෂා ගී සංධ්වනියට මහා වැස්සක් කියන්න මට හිතුණෙ ඒ හින්දයි. ඒ වැස්ස අරගෙන එන සුගත් සෝමවීරත් රසික ඩී. දුමින්දත් මා අභිමුව... ඉතින් ඒ දෙන්නත් එක්ක මම නිදහසේ කතා කරන්නම්; සංකර්ෂා ගැන ඔබට ලියනු පිණිස.

සුගත් ගීත ලියන්න පටන් ගන්න හිතුණෙ ගීතය ගැන තිබුණු ආසාවක් හින්දමද?

මගේ ගම නවගත්තේගම. මගේ තාත්තයි බාප්පයි දෙන්නම කවියො. තාත්තා සිරිල් සෝමවීර. බාප්පා හුංගමුවේ ජයවීර. කොළඹ යුගයේ කවි ලියැවුණු අවසාන කාලය තමයි එයාලා කවි ලියපු කාලය. මගේ බාප්පා ඒ කාලේ මම ලව්වා එයාගේ කවි ලියවනවා. 2002 අවුරුද්දෙ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ අවුරුදු දහතුනේ ගුණ සමරුව වෙනුවෙන් තිබුණු තරගෙකට මම ලියපු සාදු මල් පිපුණු පොළොවේ කියන ගීතයට ජයග්‍රාහී සම්මානය හම්බවුණා. ඒ සම්මානයත් අරගෙන මම ගෙදර යද්දි බාප්පා මට කිව්වා ඕන් ඕකට තමයි මම උඹ ලව්වා කවි ලියවන්නෙ කියලා. එදා ඒ බාප්පා කියපු වචන ටික මට මාරම විදිහට හිතට දැනුණා. 2000 විතර ඉඳන් මේ වෙනකම් මම සින්දු ලිව්වත් ඒ ගීතය තමයි ගායකයෙක් විසින් ගායනා කරපු මගේ පළමු ගීතය බවට පත් වුණේ. උසස් පෙළ ඉන්න කාලෙ මම කවි ලිව්වා. යාළුවන්ගේ ඉල්ලීම් වෙනුවෙන් එයාලගේ ප්‍රේම කතා වෙනුවෙන් සින්දු ලිව්වා. එක යාළුවෙක් දවසක් එයාගේ පෙම්වතිය වෙනුවෙන් සින්දුවක් ලියලා ඉල්ලුවාම ඒක ලියලා දුන්නා. එයා මට පසුව ගීත ගැන ලියවිච්ච පොත් ගෙනත් දුන්නා කියවන්න. ඇත්තටම මම මුල් කාලෙ හුඟාක් කළේ දිගටම සින්දු අහපු එක. ගුවන්විදුලියේ ගීත අහද්දි ඒ ගීතවල පද ලියාගන්න පුරුද්දක් මට තිබුණා. ඒ වගේම මේ වෙද්දි මම ගීත ලියනවා වගේම ගීත රසවින්දන වැඩසටහන්වලත් ගී රසවින්දනය ගැන කතා කරනවා. 

මේ වෙද්දි ගීත කීයක් විතර ලියලා තියෙනවාද?

ගීත එකසිය හතළිහක් විතර ලියලා තියෙනවා.

2014 සිට ගීත ලියන්න පෑන අතට ගත් රසික අතින් මේ වෙද්දි ගීත හැත්තෑවක් පමණ ලියවී තියෙනවා. ක්‍රිෂාන්ත එරන්දක ගයන අවසන් හුස්ම ගිලිහුණු මතු යම් දිනක ඔහු අතින් ලියවුණු ජනප්‍රිය ගීතයක්. එවන් ජනප්‍රිය ගීත බොහොමයක් රසික ලියා තියෙනවා. 

රසික ඔබ ගීතයට ආදරය කරන්න පටන් ගත්තෙ කොයි විදිහටද?

ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් කවියට, ගීතයට හරි ආසයි. ඒ ආසාව කොච්චරද කියනවා නම් අවස්ථාවක් නොලැබුණත් දිගටම මම සින්දු ලිව්වා. ඒ කාලෙ ජනප්‍රිය කැසට් නිෂ්පාදන ආයතනවලට ෆයිල් පිටින් මම ලියපු සින්දු අරගෙන ගියා. ඒත් කවදාවත් කවුරුත් තැනක් දුන්නෙ නෑ. 2014 තමයි පළවෙනි සින්දුව කළේ. 

මඟ දෑල අතු රිකිලි දළුලන ගස් පිරුණු කැකුළු පූදන අතු අගිසි අගිසි ගාණෙ මල් පිපෙන වසන්ත ඍතු ජීවිතයේ පාර දිගේ ඇවිදිද්දි හමු නොවෙන යථාර්ථය මා සේම ඔබද විඳ තිබෙන්නට පුළුවන. ජීවිතය යනු ඕනෑම රළු බිමක පය තබා ඇවිද යනු උදෙසා ඔබ ඔබ තුළින්ම උපයාගත යුතු ආදරය, ධෛර්ය සහ ශක්තියයි. එසේ ආ හෙයින් අද රසික සහ සුගත් මල් පිපෙන දවස් ළඟ ජීවිතය අතුරා ඇත. සංකර්ෂා යනු ඒ පැමිණි ගමනේදි නෙලාගන්නට පේවී හිඳින එක් සොඳුරුම සුගන්ධවත්ම පුෂ්පයකි. 

''අවංකවම අපේ සින්දු අහන, විඳින, ඒ සින්දුත් එක්ක බද්ධ වෙන ශ්‍රාවක බහුතරයක් කියන්නෙ ඇත්තටම සල්ලි දීලා ඇවිත් ප්‍රසංගයක් බලන්න තරම් වත්කමක් නැති අයයි. අපිට හිතුණා ඒ අය වෙනුවෙන් නොමිලේ ප්‍රසංගයක් පවත්වලා නිස්කාන්සු සුවයෙන් ජීවිතය රස විඳින පැය දෙක තුනක් ඒ ආදරණීය ශ්‍රාවකයන්ට තිළිණ කරන්න. ඒ අරමුණ තුළින් තමයි සංකර්ෂා ප්‍රසංගය ඉපදුණේ. 13 වැනි සෙනසුරාදා ප්‍රසංගය පවත්වන වෙලාව හවස දෙකට දැම්මෙත් ඇඹිලිපිටියේ ඉඳන් ශ්‍රාවකයෙක් ආවත් පහේ බස් එකේ ආපහු ගෙදර යන්න පුළුවන් වෙන විදිහට ඒ අයට ඉඩ තියෙන්න ඕන හින්දා.'' ඒ සුගත් සහ රසික සංකර්ෂා ගැන පැවසූ දෙයයි.

විශාරද එඩ්වඩ් ජයකොඩි, දයාන් විතාරණ, ක්‍රිෂාන්ත එරන්දක, ශෂිකා නිසංසලා, ශානිකා සුමනසේකර, හර්ෂණ දිසානායක, තිළිණ සුදේශ් වන්නිනායක වැනි ගායක ගායිකාවන් පිරිසක් නොමසුරු සිතින් සංකර්ෂා හැන්දෑව තම ගී සංධ්වනියෙන් වර්ණවත් කරනු ඇත. 

දැන් ඉතින් සමුගන්න, සඳ එළිය තවරන්න, හිනා වෙන්නට මමත් ආසයි, සුනිල නෙත්, අලුත් වත්සුණු, වියපත් වී නැත, මල්සරා ඉතින්, වසන්තයේ මල්, අම්බපාලි නංගියේ වැනි ගී ලියූ සුගත් සෝමවීරගේ ගීතාවලියෙන් ගීත දහයක් එකොළහක් පමණක්, අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනෙක, ප්‍රේමයේ හිමිකාරියේ නුඹ පමා වී ආවා වැනි ගී ලියූ රසික ඩී. දුමින්දගේ ගීතාවලියෙන් අරගත් ගීත දහයක් එකොළහක් පමණ සංකර්ෂා තුළ සම්මිශ්‍රණය වී රස උපදවනු ඇත. 

ප්‍රේමයේ හිමිකාරියේ නුඹ පමා වී ආවා
ජීවිතේ දුර නවාතැන්පොළ නුඹම වූවා නම්
සුසුම් සිර කළ රිදුමකින් හිත බර නොවෙනු තිබුණා
නුඹ පමා වී ආවා

අහිමි බව දැන දැනම ලියූ කවි 
අතර දුක තිබුණා
දුක දරාගෙන එහෙත් ළබැඳිය
අපි දුරක් ආවා
අමාවක රුය ළඟදි වුව අපි
සඳ ළකුණු හෙව්වා
හිමි අහිමි බව ලියා අවසන්
හිතක් ළඟ නැවතී
හෙටක් නැතිමුත් හිතින් අපමණ
සිහින ළඟ උවැසි
නුඹයි භවයෙන් භවය සොයනා
මගේ පෙම්වන්තී 

(සංගීතය - දීප්ති ජයසූරිය - ගැයුම - දිනේන්ද්‍ර ජයවීර බණ්ඩාර)

රසික ලියූ ගී අතරේ මගේ හිත වඩාත් නැවතුණු ගීතයක් තමයි ඒ.

දැන් ඉතින් සමුගන්න
සිනා දෙතොලට ගන්න
දුක් කඳුළු සන්තාප
මගෙ නමට පවරන්න

මල් කැකුළු අග අඬන 
පිනි කඳුළු මට දෙන්න
හැමදාම හැර නොයා
ළඟ රුඳුණ
මල් සුවඳ ඔබ ගන්න
අතීතය මට දෙන්න
එපා අරගෙන යන්න
හැමදාම මල් පිපී ඵල දරන

වසන්තය ඔබ ගන්න (සංගීතය - මහේෂ් විතාන - ගැයුම - හර්ෂණ දිසානායක)

සුගත් ලියූ ගී අතරේ ගී ගීතය මගේ හිතට හුඟාක් දැනුණු ගීතයක් සේම ඒ ගීතය ගැන සුගත් කියන විශේෂ සඳහනක්ද මේ මොහොතේ මතකයට නැගේ.

''එකොළහක් දොළහක් විතර තරුණ ළමයි මට කතා කරලා කියලා තියෙනවා, ලියුම් එවලා තියෙනවා එයාලගේ ප්‍රේම සම්බන්ධතා බිඳී ගියාට පස්සෙ සියදිවි නසාගන්න හිතුණු එක නවත්වලා ජීවිතය හදාගත්තෙ මේ සින්දුව අහලා කියලා. ඒ වචන මට පුදුම සතුටක්. මට දැනුණෙ මම ජීවිතයක් බේරගත්තා වගේ සතුටක්. ගී පද රචකයෙකුට සමාජ වගකීමක් තියෙනවා, සමාජ යුතුකමක්, සමාජ මෙහෙවරක් තියෙනවා. ඒ වෙනුවෙන් ලබන සම්මානයක් වගේ මේ වචන මට වටිනවා. ඒ වචන සුවඳ මල් පොකුරක් වගේ.''

සැබැවින්ම ගීතය සහ සංගීතය යනු විවිධ දිශානතීන් ඔස්සේ විහිදුණු කලාවෙහි මා දකින ඉසියුම්ම සහ සෞන්දර්යාත්මකම ශානරයයි. ගීතයක් යනු වරෙක සිත නිවාලන අාත්මීය අාලයකි. සංගීතයට ආත්මීයවූ වේදනාවන් බොහෝ දුර ඈතකට රුගෙන ගොස් හදවත සැහැල්ලුවටත්, වින්දනයටත්, නිරාමිස සුවයටත් පත් කළ හැකිය. මා විශ්වාස කරන එකම දෙවියන් වහන්සේ වන ස්වභාවධර්මය සතු සියලු රිද්මයන් එක්තැන් කළ, සියලු සෞන්දර්යන්ගේ හරය පෙරා වත් කළ චමත්කාරයේ රසෝඝය ගීතය සහ සංගීතය යැයි මම හඟිමි. ගී පද රචකයා එහිදී වඩාත් සුවිශේෂ වන්නේ ගීතය යන මාධ්‍ය නිෂ්පන්න වන තෝතැන්න ගී පද රචකයාගේ හදවත වන බැවිනි. ඒ හදවතේ උපදින සිතුවිල්ල සංකල්ප සමඟ මුසු වී අවසානයේ ගීතයක් ලෙස උත්පත්තිය ලබයි. ඒ වදන් වියමන සාර සුබාවට හැඩගැන්වුණු සංධ්වනියක් බවට පරිවර්තනය කරන්නේ සංගීතඥයාය. ගායකයා හෝ ගායිකාව යනු ඒ සංධ්වනිය ඈත ඈත ඉසව් කරා ගෙන යන වාහකයාය. ඉඳින් ඒ දිගහැරුම තුළ මගේ ගවේෂණයේදී ගී පද රචකයා වඩා සුවිශේෂී වන්නේ ගීතයේ පළමු හුස්ම රුඳෙන්නේ ඔහුගේ හදවත තුළ වන බැවිනි. ඉතින් එවන් හදවත් දෙකක ජනිත වී තිළිණ වූ ගී පද සමුදායකින් සැරසුණු සංකර්ෂා ඔබ වෙනුවෙන්මය. ඔබට අසනු පිණිසමය. 

ඉතින් එන්න... ඒ හැන්දෑව ස්නේහයෙන් විඳගන්න. 

♦ සංජීවිකා
සේයරූ I සුමුදු හේවාපතිරණ