2023 අප්‍රේල් 02 වන ඉරිදා

සොවින් පිරි මගේ හදවත තුළින් මතුවෙවී පිටවන හැඟුම් කැටි ගැසී ගෙන දෙයි සිතට වේදනා...

 2023 අප්‍රේල් 02 වන ඉරිදා, පෙ.ව. 06:01 163

මනුෂ්‍යත්වයෙන් දිදුල සොඳුරු හදවතක අයිතිකාරයෙක් සහ ගාන්ධර්වයෙක් නික්ම ගිය වගයි... 

ඒ දවස අදත් සිහි කරමි.. ඒ ඔබ ගාන්ධර්වයෙක් වග සේම ස්වර සප්තකය සමඟ සබැඳි ඔබේ ජීවන සුවිසැරිය සුවහසක් හදවත් දන්නා නමුත්, ඔබ මිනිසුන් වෙත, ලෝකය වෙත මුදාහල මනුෂ්‍යත්වයේ අප්‍රමාණත්වය දන්නා සේම, නොදන්නා මිනිසුන්ද සිටින වග මම නිසැකවම දන්නා හෙයිනි. ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව, අපේ අමරදේව මාස්ටර් නික්ම ගිය ඉනික්බිති අමරදේව මාස්ටර්ට ඇති අපේ ආදරය වෙනුවෙන් හදසර කලා අතිරේකයේ පිටු දාසයම වෙන් කළ අපි තවදුරටත් අමරදේව මාස්ටර් ගැන ලියන්නට අවැසි වූ කල ප්‍රවීණ ගීත රචක සාහිත්‍යවේදී සුනිල් සරත් පෙරේරා සහ මහාචාර්ය සනත් නන්දසිරි ගාන්ධර්වයාණන් හමුවීමට වෙලාව වෙන් කර ගතිමු. 

උදෑසන හතයි දහයට ආසන්න වේලාවකදි අපි සුනිල් සරත් පෙරේරා වියතාණන්ගේ නිවසට යන විට පෙර දැනුම් දීමක් කිරීමට හෝ ප්‍රමාද වෙන්නට බැරි හේතුවක් යෙදී හෙතෙම නිවසින් බැහැරට ගොස් සිටියේ උදෑසන 10.00 ට පැමිණෙන බව කියන්න යැයි නිවැසියන්ට පණිවිඩය අප වෙත තබාය. සනත් නන්දසිරි සංගීතඥයා හමුවන්නට අප වේලාව යොදාගෙන තිබුණේ උදෑසන 10.30 ටය. ඒ දවස සඳුදා දිනයකි. බදාදාට කලා අතිරේකය මුද්‍රණයට බාරදිය යුතුය. ඊළඟ අතිරේක ද්විත්වය බ්‍රහස්පතින්දා හා සිකුරාදාට මුද්‍රණයට බාර දිය යුතුය. කාලය සමඟ නිරන්තරයෙන් කරන අරගලය තුළ වෙනත් විකල්පයක් නොවූයෙන් ඒ වෙලාවේ ආවට කමක් නැද්දැයි නොඅසාම මමත් අපේ ඡායාරූප ශිල්පියාත් මහාචාර්ය සනත් නන්දසිරිගේ නිවසට ගියෙමු. 
සංගීත් නිපුන් සනත් නන්දසිරිගේ ආදරණීය බිරිඳ මල්කාන්ති නන්දසිරි අපේ ළබැඳි ආමන්ත්‍රණයට අනුව මල්කාන්ති අක්කා සීනුව පළමුවර නාදවෙත්ම දොර ඇරියේ අනේ මොකුත් හිතන්න එපා... මම තාම මූණ හෝදලවත් නෑ නංගි යැයි කියමිනි. සිදු වූ දෙයත් අවශ්‍යතාවයත් කියූ සැණින් මහාචාර්ය සනත් නන්දසිරිගේ උත්තරය, මම තාම මූණ හෝදලා නෑ.. ඉක්මනට මූණ හෝදාගෙන එන්නම්.. එතකම් ඔහොම ඉන්න.. මම ලෑස්තිවෙලා හිටියේ 10.30 ට එයි කියලනෙ.. ආයි හරවලා යවන්න බෑ.. යන්නයි. මොනවද බොන්නෙ තේද? කෝපිද? කවුරුන් නිවසට ගියත් ගෙදර තියෙන කේක් කෑල්ලකින් රසකැවිල්ලකින් සංග්‍රහ කර තේ කෝප්පයක් පිරිනැමීම මල්කාන්ති අක්කාගේ සිරිතයි. ඇගේත් අනුරාධාගේත් වචනයක පවා තැවරී ඇත්තේ ආගන්තුක සත්කාරයේ ළතෙත් ස්වභාවයයි. 

පැය දෙකකටත් වැඩි කාලයක් අමරදේව මාස්ටර්ගේ සංගීත ජීවිතය ගැනත් අමරදේව මාස්ටර් ගැනත් කළ කතාබහ අතරතුර සිනහ නොවීම මහාචාර්ය සනත් නන්දසිරි කියූ රස කතා, විහිළු කතා අසමින් අපි සිනාසුණු තත්ත්පර බොහෝ විය.
කලාකරුවන් සුලභය. කලාවේදීන් විරලය. ආදරය, මනුෂ්‍යත්වය, සංවේදිත්වය සහ සහකම්පනය ඇති හදවතක් සහිතව ළතෙත් හැඟුමන් සමුදායක් නිෂ්පන්න හදවතින් කලාව, සාහිත්‍ය, සෞන්දර්ය, කවිය, ගීතය, සිනමාව සමඟ ආත්මීයව බැඳුණු, ආත්මීයව පෙම් කරන කලාවේදීන් සැබැවින්ම විරලය. ඒ අසුබ යථාර්ථය තුළ යුගයක් නැලවූ, ඉනික්බිති යුගයක් හඬවා නික්ම යන යුග සලකුණු බඳු උත්තම මිනිසුන්ගේ සමුගැනීම අකම්පාව දරාගැනීම සැබැවින්ම අසීරුමය. මහාචාර්ය සනත් නන්දසිරි සුළවතුනි... ඔබ අපට එවන් අහිමිවීමක් හිමිකර සමුගත් වග ඔබට නෑසුණත් නොකියා ඉන්නෙ කෙළෙසකද?

මුණගැසුණු සෑම වාරයකදිම මනුෂ්‍යත්වයේ සොඳුරු සේයාවන් තැවරැණු සිතින් ඔබ අප ආමන්ත්‍රණය කළ වග ඔබට නෑසුණත් නොකියා කෙළෙසකද? 1942 නවම් මස 15 වැනිදා ලෝකයට සපැමිණි 2023 මැදින් මස 28 වැනිදා ඔබේ හුස්ම මේ මිහිමත රුඳුණු අවසන් තත්ත්පරය තෙක් ඔබේ ජීවන යාත්‍රාවේ මං සොයා මේ මොහොතේ මම නොවෙහෙසෙමි. බොහෝ වර අකුරු කළ ඒ අතීතය යළිත් අකුරු කරන්නට නොසිතෙන්නේ ඔබ තුළ සිටි මහා සංගීතඥයා, ගාන්ධර්වයා, ශාස්ත්‍රීය මිනිසා කවුදැයි අලුතින් හඳුන්වා දෙන්නට අවැසි නැති තරමට ඔබේ ඒ සෞන්දර්යාත්මක කෞෂල්‍යයන්ගෙන් පිරිපුන් පෞරුෂත්වය ලාංකික සහෘදයන් මැනවින් දන්නා වග මම විශ්වාස කරන හෙයිනි.

ඒ සියල්ල කැටි කර, සම්මිශ්‍රණය කර ලියා තැබූ මේ හැඳින්වීම පමණක් ඉතින් මම සනිටුහන් කර තබමි.

''සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ මධුර ගායනය ත්‍රිස්ථානශෝභී වෙයි. මන්ත්‍ර, මධ්‍ය, තාර සහ ත්‍රිවිධ සප්තකයෙහිම ලැබෙන ස්වරයන් මධුරාකාරයෙන් සංකලනය කොට ස්වර සාධනය කිරීමේ ශක්තිය ත්‍රිස්ථානශෝභී ගායන ගුණයයි. ඒ ශක්තිය සනත් සතුව පවතින්නේය. සනත් නන්දසිරිගේ ලෝකය නාදාත්මකය. ඒ සුමධුර නාද ප්‍රවාහය තව තවත් ඉස්සර බලනු නියති. (1997 දී කරු හීනටිගල ප්‍රකාශයට පත් කළ සනත් නන්දසිරි සුළවත් පහන් සර කෘතියට විමල් අභයසුන්දර කළ හැඳින්වීමකි.)

නියත වශයෙන්ම, නිසැක වශයෙන්ම, වෙසෙසින්ම විමල් අභයසුන්දරයන් කී අනාවැකිය සත්‍යයක්මය. අදටත් ඒ හඬ ඔව්.. ඔව් මේ මොහොතේත් ඒ හඬ සංවේග සංධ්වනියක් ලෙස වුව විඳිමු අපි.

පායා පේනා චන්ද්‍රා පේමා ගීතය සිය සොයුරිය ඊඩා සමඟින් ගයමින් වයස අවුරුදු පහේදි ඇරඹි සංගීත යාත්‍රාවක යාත්‍රිකයා සමුගෙන ගියත් තවත් යුග ගණනක් ඒ භාවත්මක හඬ සංධ්වනිය සුවහසක් සවන්, සුවහසක් හදවත් සනහන වග නොකියා කෙළෙසද?

සොවින් පිරි මගේ හදවත, ඇවිළුණු ගිනි දැල් නිවි නිවි යදිදි ඈ මට හමුවූවා, එදා මෙදා තුර කඳුළට විවර වූ දෑස් පියන් පත් කවුළු වසා, පෙමාතුර හැඟුම්, ආදර සැමරුම් කැටි වූ, එක යායට මල් පීදුණු, සීත රෑ යාමේ, දේදුන්නෙන් එන සමනළුනේ, මේ ප්‍රථම වසන්තයයි, නුඹෙ සුවඳ පිරුණු පුංචි කාමරේ, ඒ වනාහි ඔහු ගැයූ ගී අනන්තයක ගී අල්පමාත්‍රයක් පමණි. 

කුහකත්වයෙන් තොරව ඇගයිය යුතු දේ ඇගයිය යුතු තැන ඔබ නිර්ලෝභීවම අගය කළේය. වරක් ඔබ මුණගැසුණු මොහොතක විශාරද අමරසිරි පීරිස් ගායකයාණන්ගෙන් ගීත පිළිබඳව මා කළ විමසීමකදී ඔබේ ප්‍රශංසනීය උත්තරය මට තවමත් මතකය.
ආචාර්ය පණ්ඩිත් අමරදේව වගේම වටිනා මනුස්සයෙක් අමරසිරි පීරිස් කියන්නේ... මම දුටුව විශිෂ්ටතම ගායකයෙක්... සුළවතුන් සේම දුහුනන්ද අගයමින් ඔවුන්ට මංපෙත් විවර කරනු වස් හැර දැමිය යුතු ද්වාරයන් වෙත්නම් ඒ ද්වාරයන් හැර දමා යන්න මග තැනූ ආදරණීය ගුරුවරයාණෙනි...

මනුෂ්‍යත්වය උදෙසා ඔබ සංනිදර්ශනයක් ලෙස දකින්නට මෙවැනි සහේතුක හේතූන් මා සන්තකයේ ඇති සංඛ්‍යාව ඉක්මවූ බොහෝ ප්‍රමාණයක් හේතු තවත් කොහේ කොහේ හෝ බොහෝ තැන්වල ඇති වගද මම ඉඳුරාම දනිමි. 

මේ ප්‍රථම වසන්තයයි
දිවි අරණේ මධු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා
මේ ප්‍රථම වසන්තයයි...
මහාචාර්යතුමනි, ගාන්ධර්වයාණෙනි, සුහදයාණෙනි,

ඔබ නිමා නොවන වසන්තයක් වග ලියා තබන්නට මට අවසර දෙන්න. 

ඔබේ හඬ යළි යළිත්, ඔව් යළි යළිත් ඇසෙන තාක් ඔබ නිමා නොවන වසන්තයක් වග ලියා තබන්නට මට අවසර දෙන්න...

මළානිකව හඳ එළිය ගලා එන අම්බලමක හෙවණේ
බලා හිඳිමි ඔබ හිඳින විමන් දොර දැල්වෙන එළිය බඳේ
වේදනාව නෙතු අගට ගලාලා ඉකිලන නිහඬ රැයේ
නීල නුවන් තරු කැට බොඳ වෙනවා කාටත් හොර රහසේ

සංසාර වීදියෙන් වීදියට භව පුරා නැවතෙන ජීවන අම්බලමක හිඳ මේ මොහොතේ හදවතට දැනෙන්නට රිදවමින් නික්ම යන උන් දෙස අපි බලා හිඳිමු. දිනක් සපැමිණෙනු නියතයකි; ඔබ මෙන්ම මාද මේ අම්බලම හැර දමා නික්ම යා යුතුය. සමුගනිමින් හමුවෙන්නෙමු. හමුවෙමින් සමුගන්නෙමු. සසර යාත්‍රාවේ භව සමාප්තිය තෙක් සරන දිගු චාරිකාව එහෙමයි.

ඉකිලන නිහඬ රාත්‍රින් සේම, කඳුළ ඇස් අගට පැමිණෙන්නට සේම නොපැමිණෙන්නටද වග වූ ජීවන ක්ෂණයන් මා මෙන්ම ඔබද කොතෙක් පසු කර ඇත්ද? මෙයද එවන් නිමේෂයකි. එහෙත් සසර මෙතෙකින් නිම නොවන වග මම දනිමි.

සුහදයාණෙනි..
සංසාර අනන්තයක සසර සක්මන සරා
නිසැකවම ඉතින් අපි හමුවේවි..

I සංජීවිකා

සේයාරූ - සුමුදු හේවාපතිරණ සහ අන්තර්ජාලයෙන්