2023 ජනවාරි 29 වන ඉරිදා

ලෝකෙම කළඹන හැරීගේ ’’ස්පෙයාර්’’ එක

 2023 ජනවාරි 29 වන ඉරිදා, පෙ.ව. 06:00 134

රැජිනගේ වියෝවෙන් පසු බ්‍රිතාන්‍ය රාජකීයන් කැළඹී ගියේ හැරී කුමරු විසින් රචිත ස්පෙයාර් (Spare) නම් කෘතිය නිසාවෙනි. හැරී කුමරුගේ චරිතාපදානය රැගත් මෙම කෘතිය පසුගිය ජනවාරි දහවැනිදා එළිදැක්වුණි. ලොවපුරා විශාල ආන්දෝලනයක් ඇති කළ මෙම කෘතිය පිළිබඳ තොරතුරු අපි ඔබ හා බෙදා ගැනීමට තීරණය කළෙමු.

ස්පෙයාර් (Spare) යන නාමය ''අමතර'' යන අර්ථයෙන් මෙම කෘතියට යොදා ඇති බව කියැවේ. කුඩාකළ හැරී කුමරු ස්පෙයාර් ලෙස හඳුන්වා ඇත්තේ කිරුළට ඇති හිමිකම නිසාවෙන් බව දැනගන්නට ලැබේ.

බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයෙක් වන හැරී කුමරු එක්සත් රාජධානියේ තෙවැනි චාල්ස් රජ සහ වේල්සයේ කුමරිය ඩයනාගේ බාල පුත්‍රයාය. සාමාන්‍ය රාජකීය තුළ දක්නට නොලැබෙන සුවිශේෂී ගති ලක්ෂණ වලින් හෙබි හැරී කුමරු කලක පටන් රජ පවුලේ පුවත් මවන්නා වී සිටි බව ලොවම දනී. ඔහුගේ හමුදා සේවය, විවාහය, කිරුළ අත්හැරීම, රජ පවුල පිළිබඳ සම්මුඛ සාකච්ඡාව ලොවපුරා මාධ්‍යයේ අවධානයට ලක්විය.

2020 වසරේ ජනවාරි මාසයේදී රාජකීය පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකත්වයෙන් ඉවත් වී උතුරු ඇමරිකාවේ පදිංචියට ගිය හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් කුමරිය ඉකුත් වසර කිහිපය පුරා ආන්දෝලාත්මක ප්‍රකාශ රුසක් සිදුකර තිබේ. ස්පෙයාර් (Spare) නම් කෘතිය කරළියට එන්නේ එහි දිගුවක් ලෙසයි. ස්පෙයාර් කෘතිය මේ වනවිටත් අලෙවිය අතින් වාර්තා රැසකට හිමිකම් කියයි. එක් දිනක් තුළ වැඩිම අලෙවියක් වාර්තා කළ ප්‍රබන්ධ සාහිත්‍යයට අයත් නොවන කෘතිය මෙම කෘතියයි.

මේ වනවිට වාර්තා වී ඇති පරිදි බ්‍රිතාන්‍යය, කැනඩාව, ඇමරිකාව යන රටවල හැරී කුමරුගේ චරිතාපදානය පළමු දිනයේම මිලියන 1.43ක අලෙවියක් සටහන් කර තිබේ. 'ස්පෙයාර්' එළිදැක්වීම සිදුවූයේ භාෂා 16කට පරිවර්තනය කරමිනි. ඒ අනුව හැරී කුමරුගේ කෘතිය විසින් බිඳදමා තිබුණේ මීට පෙර ජනාධිපති බැරැක් ඔබාමා විසින් රචනා කරනු ලැබූ ‘අ ප්‍රොමිස්ඩ් ලෑන්ඩ්’ කෘතිය තබා තිබූ ගිනස් වාර්තාවයි.

මෙම කෘතිය ජනවාරි දහ වැනිදාට පෙර වැරදීමකින් ස්පාඤ්ඤයේදී වෙළෙඳපොළට නිකුත්ව ඇති බවද කියැවේ. කෙසේ වෙතත් මෙම කෘතිය රචනා කිරීම සඳහා ඇමරිකාව ඩොලර් මිලියන 20ක අත්තිකාරමක් හැරී කුමරුට ලබාදී ඇති බවටද කතාවක් පැතිර යයි. වාර්තාව වන පරිදි මෙම කෘතිය රචනය සඳහා හැරී කුමරු සමඟ හවුලේ කටයුතු කර ඇත්තේ ජේ.ආර්. මොහින්ජර් (J.R. Moehringer) නම් ඇමරිකානු නවකතාකරුවෙකි.

මෙම කෘතිය හරහා රජ පවුල පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් සිදුවේ. එම හෙළිදරව් පිළිබඳ මේ දිනවල ලෝකය පුරා නිර්මාණය වී ඇත්තේ විශාල කතාබහකි. කෘතිය ඇරඹෙන්නේම හැරී කුමරුව රජ පවුල මඟින් තනිකළ සිදුවීමක් පිළිබඳ අතීත පශ්චාත්තාපය පුරෝකථනය කරමිනි.

තම වැඩිමහල් සහෝදරයා වන ඔටුන්න හිමි විලියම් කුමරු තමන්ට බිම ඇද වැටෙන්නටම පහර දුන් බවද හැරී කුමරු මෙම කෘතියේ සඳහන් තිබීම සුවිශේෂීය. සිය බිරිඳ මේගන් සම්බන්ධයෙන් හටගත් බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදු වූ බව ඔහු සඳහන් කර තිබේ. කේට් මිඩ්ල්ටන් සහ මේගන් මාකෙල් අතර ඇති වූ සිත් අමනාපකම් පිළිබඳ සහ ඊට හේතු වූ කරුණු පිළිබඳ මෙහිදී හැරී කුමරු තොරතුරු අනාවරණය කර තිබේ. ස්පෙයාර් කෘතියේ සඳහන් වන පරිදි කෙන්සින්ටන් මාලිගය අසල නිවෙසකදී මෙම පහරදීම සිදුව ඇති අතර විලියම් පෙරළා තමන්ට පහර දෙන ලෙස හැරීට පවසා තිබේ. එහෙත් තමා සහෝදරයාට පෙරළා පහර නොදුන් බව හැරී කුමරු සඳහන් කරයි.

මීට අමතරව සිය මව වන ඩයනා කුමරියගේ වියෝව පිළිබඳ මතකයන්ද හැරී කුමරු සිය ස්වයං චරිතාපදානය ඔස්සේ අනාවරණය කරයි. සිය මව මියයන විට වයස අවුරුදු 12ක් වූ තමා ස්කොට්ලන්තයේ බැල්මොරාල් මාලිගාවේ නිදා සිටි බව හැරී කුමරු කියා සිටී. සිය පියා චාල්ස් කුමරු පැමිණ ඔහු සැනසීමට උත්සාහ කළ බව පවසන හැරී කුමරු, එහෙත් හැඟීම්වලින් තොර තැනැත්තකු වුණු චාල්ස් තමන් වැළඳගෙන සැනසුවේ නැති බව ස්පෙයාර් කෘතියෙහි සඳහන් කරයි. ‘හැමදේම හරියාවි’ යැයි චාල්ස් එදා පැවැසුවත්, එතැන් පටන් කිසිවක් හරි නොගිය බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

හැරීගේ මව ඩයනා කුමරිය වුවත්, හැරීගේ සැබෑ පියා චාල්ස් නොවන බව කලක් පැතිර ගිය කටකතා පිළිබඳවද මෙම කෘතියේ තොරතුරු අන්තර්ගතය. එවක චාල්ස් කුමරුද මෙම සැකය සිත තබා තමා ඉදිරියේ විවිධ ප්‍රකාශ සිදුකළ බව හැරී මෙහිදී අනාවරණය කරයි. එවන් ප්‍රකාශ හේතුවෙන් තමා දැඩි කලකිරීමටත් සිත්තැවුලටත් පත් වූ අවස්ථා පිළිබඳ ඔහු වැඩිදුරටත් තොරතුරු අන්තර්ගත කර තිබේ.

රැජිනගේ මියයාම සහ ඒ ආශ්‍රිත සිදුවීම් යම් පමණකට මෙම කෘතිය හරහා හෙළිදරව් වේ. 2022 වසරේ ඇමෙරිකාවේ සිට එක්සත් රාජධානිය බලා තමන් පැමිණියේ රෝගී වී සිටි දෙවැනි එලිසබත් මහ රුජින බැහැදැකීමට බවත්, එහෙත් තමන් ගොඩ බසින විට රුජින මියගිය පුවත දැන ගැනීමට ලැබුණු බවත් හැරී කුමරු සඳහන් තිබේ. විලියම් කුමරු සහ රජ පවුලේ සෙසු සාමාජිකයන් රුජින මියගිය අවස්ථාවේ ස්කොට්ලන්තයේ බැල්මොරල් මාලිගයට ගිය නමුත්, තමන්ට එහි යෑමට අවසර නොලැබුණු බවත් හැරී කුමරු සිය කෘතියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

රජ පවුලේ තොරතුරුවලට අමතරව සිය හමුදා ජීවිතය පිළිබඳවද ආන්දෝලනාත්මක තොරතුරු රුසක් හැරී කුමරු විසින් අනාවරණය කරයි. එම තොරතුරු සම්බන්ධ විවේචනයන්ද එල්ල වීමට පටන් ගෙන තිබේ. ඇෆ්ගනිස්තානයේ ඔහු සිදුකළ ක්‍රියාන්විත පිළිබඳ හෙළිදරව් කිරීමත් සමඟ, තලේබාන් රජය පවසා සිටින්නේ හැරී විසින් ඝාතනය කර ඇත්තේ සිවිල් වැසියන් බවයි.

එසේම හැරී කුමරු සිය පළමු ලිංගික අත්දැකීම පිළිබඳ තොරතුරුද මෙම කෘතියේ අන්තර්ගත කර තිබීම සුවිශේෂී කරුණකි. වයස අවුරුදු 16ක 17ක පමණ කාලයේදී තමා ඇසුරු කළ කාන්තාව අශ්වයන්ට කැමති වැඩිමහල් කාන්තාවක් බව ඔහු කියා සිටියි.

කෙසේ වෙතත් හැරී කුමරුගේ කෘතිය සම්බන්ධ බ්‍රිතාන්‍ය රජ පවුල ප්‍රකාශයක් නිකුත් නොකිරීමට තීරණය කර ඇතැයි කියැවේ. මේ වනවිටත් ලොවපුරා විවිධ විවිධාකාර වූ විවාදයන්ට තුඩුදී ඇති මෙම කෘතිය පසුගිය සතිය වනවිට මිලියන 4ක පමණ අලෙවියක් සටහන් කර ඇත. මෙම කෘතිය බ්‍රිතාන්‍ය රජ පවුල සම්බන්ධ ඓතිහාසික හෙළිදරව්වක වී අවසන්ය.

I නිසල්