2023 ජනවාරි 15 වන ඉරිදා

පොඩි එකාගේ සිට ලොකු එකා දක්වා මෙහෙව් රැප්!

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 92

ලෝකයේ එක එක කාලෙට එක එක Trend නිර්මාණය වෙනවා. සමහරක් වෙලාවට පරණ Trends මොඩිෆයි වෙලා ආයේ අපි අතරට එන සීන් එකකුත් තියෙනවා. ඉතින් මචෝ අද අපි කතා කරන්නේ Battle Rap කියන වර්ල්ඩ් ක්ලාස් Y Trend එක ගැන. මේකත් සුදෝ ලංකාවේ අපේ පරණ සීන් එක New version එකක් වගේ පේනව වෙලාවකට.

හැබැයි ඉතින් මේකේ වෙන්නම ජාතියට ආතල් සීන්කෝන් එකක්. සමහරුන්ට නම් දිරවන්නෙ නැහැ. ඒකත් ඉතිං මුලින්ම කියන්නට ඕනෑ. හරි Ok අවුලක් නෑ. සීන් එකට එන්ටර් වෙමු.

වස්තු, Battle Rap එහෙමත් නැත්තන් රැප් බැට්ල් එකක් කියන්නෙ එක්තරා ආකාරයක වූ වචන හරඹයකට. ඔයාලා මේ වෙනකොටත් දැකලා ඇති ඔය රැප් සීන් එකේ එකිනෙකාට බැණ අඬ ගහගන්න පිස්සුව සීන්කෝන් එක. ටිකක් දරුණු වචන එහෙමත් ඒ වල හුවමාරු වෙනවනෙ.

පහුගිය කාලේ ලංකාවෙත් සිංහල රැප් ඔය සීන්කෝන් එක නැගල ගියා. බැට්ල් රැප් එහෙමත් තිබුණා. වැඩ්ඩෝ වගේම රොඩ්ඩොත් පොඩ්ඩ පොඩ්ඩ මතුවෙලා ආවා. පස්සේ, කේස්බේස් එහෙමත් වැටුණා. මතකද අර සිඟිති පාතාල ආතල් එක. ඒ ජාතිය ආතල් නම් තාමත් ලාවට තියෙනවා පැංචෝ.

අපි කතාව පටන් ගත්තෙම අතීත තිබුණු Trend ගැන කතා කරලනෙ. ඒකට හේතුව තමා මේ කියන Battle Rap සීන් එකට සමාන Trends මීට සෑහෙන කාලෙකට කලින් අපේ රටේ තිබීම. ඒ සීන්කෝන් ඒකාලේ ලොකුවට නැගලා ගිහිල්ලා, ඒවලට අපේ සමාජ පිස්සු කොරවෙන්න ලව් කරලත් තියනවා.

එයින් එකක් තමයි මචෝ ඔය අපි කවුරුත් දන්න කවි කවිමඩු සීන් එකේ ''හිටිවන කවි'' සම්ප්‍රදාය. අනිත් එක මොරටුව ගල්කිස්ස පැත්තෙන්ම බිහිවුණු, කාලයක් බොහොම ජනප්‍රිය වෙලා තිබුණ ''වාද බයිලා'' සංස්කෘතිය. මේ දෙකේම අනන්‍ය ලක්ෂණ තියෙන බව ඇත්ත. ඒත් පොඩි පොඩි සමානකම් ටිකකුත් තියෙනවා. මේ වැඩවලදී ශිල්පීන් හිතලා මතලා ඒ වෙලාවේ වචන ගලපගෙන ගේම ගහන්න ඕනෑ. ඒ වගේම රිදම් එකක් පැට්න් එකක් තියාගන්නත් ඕනෑ.

කොහොමහරි අපි කියන්නේ නෑ, Battle Rap කියලා කියන්නේ හිටිවන කවි, වාද බයිලා වගේම සීන් එකක් කියලා සහෝ. හැබැයි ඉතින් පොඩි සමනකමකුත් නැත්තෙ නැහැ. හිතලා බලවත් හිතල හොයාගන්න ඕනෑ, pattern එකක් තියාගන්න ඕනෑ. ඔන්න ඔය වගේ දේවල් තමා ඉතින්.

Battle rap කියලා කියන්නේ එක්තරා ආකාරයක පුරසාරම් කියවීමක් කියලා කියන්න පුළුවන් සුන්දරා. මෙතැන නම් මූලික වෙන්නේ අපහාස සහ වචන ප්‍රයෝග කියන දේවල්. ඉතින් මේක රැපර්ස්ලා දෙදෙනෙක් හරි ඊට වැඩි ගණනක් අතර හරි සිදුවෙන සටන කියලා කියන්නත් පුළුවන්. ගොඩක් වෙලාවට මේ සීන් එක Live තමා එක වෙන්නේ.

සුදාලා සමහරවිට අහලත් ඇති රැප් සීන් එකේ Freestyle rap ගැන. අන්න ඒ ස්ටයිල් එක තමයි මෙතනත් පදනම් වෙන්නේ. Freestyle rap ගැන සහ ලංකාවේ ඉතින් එකට තියන තැන ගැන අපි වෙනම දවසක කතා කරමු.

Battle rap කියන්නේ එක්තරා ආකාරයක dark කල්ච් එකක් කියලා කියන්න පුළුවන් හරිය. වස්තුලට කියන්න, ලෝකෙ ගොඩක් ප්‍රසිද්ධ රැප් ගායකයෝ මේ සීන්එක හරහා බිහිවෙලා තියෙනවා. අදටත් මේ සීන් එක ඇතුළේ කල්ලි කණ්ඩායම් ඉන්නවා. තරගාවලි එහෙමත් සංවිධානය වෙනවා. පැරදුනාම බඩ කපාගන්න හිතෙන ලෙවල් වචන තමා මෙතැන හුවමාරු වෙන්නෙ. මේ සීන් එක ගැන චිත්‍රපට එහෙමත් සෑහෙන්න තියෙනවා. සමහර විට අපේ පැංචා පැංචියෝ බලලත් ඇති.
සමහරු නම් කියන්නේ මේ සීන්එකට අපරාධ ලෝකය සහ මත්ද්‍රව්‍යයක් යම් ප්‍රමාණයකට සම්බන්ධයි කියලා. එහෙම වෙන්න පුළුවන්. ඒකේ ඇත්තක් නැත්තෙම නැහැ. අදටත් මේක ලෝකෙ අඳුරු සංගීත සංස්කෘතියක්. හැබැයි ඉතින් සූදෝ එහෙම නොවන තැනුත් තියෙනවා. මොකද මේක අද වෙනකොට හොද market value එකක් තියෙන වැඩක්.

කාටද හොඳම වචන තියෙන්නෙ, කවුද හොඳට වචන රයිම් කරන්නෙ, කාගෙද හොඳම අදහස් තියෙන්නේ කියන එක තමයි මේ Battle rap වලදී වැදගත් වෙන්නේ. වර්තමානය වෙනකොට ප්‍රධාන දහරාවේ මාධ්‍ය සීන් එක දරුණුවට වැළඳගෙන මචෝ. ලොකු competition එහෙමත් පැවැත්වෙනවා. ඒ වගේම පහුගිය දශක තුන හතරේ ඇල්බම් විශාල සංඛ්‍යාවකුත් ඉකුත්වෙලා තියෙනව සීන් එක හරහා.

ඊළඟට පොඩ්ඩක් අපි සීන් එකේ අග මුල ගලපගමු. අපි හිතුවට අලුත් කියලා මේකත් ටිකක් විතර පරණ Trend එකක්. 80 දශකයෙ තමා වස්තු, මේක Battle rap සීන් එක ඇමරිකාවේදී ආරම්භ වුණේ. ඇමෙරිකානු කළු ජාතික සංස්කෘතිය එහෙමත් මේක නැගලා යන්න ලොකු බලපෑමක් කළා.

කොහොම හරි මේ රැප් සටන් ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙලා 90 දශකය වෙනකොට ඇමරිකාව පුරා වගේම ලෝකයේ ගොඩක් සංස්කෘතීන් හරහා මේක ගමන් කළා. මේ කාලයෙන් ලෝකෙන් නැඟලා ගියපු hip-hop culture එකේ එක්තරා පාට් එකක් විදියටත් Battle rap තිබුණා. කොහොම වුණත් ඇමරිකාව තමා මේකේ godfather.

පොතපතේ ඉතිහාස දත්තවල සඳහන් වෙලා තියෙන විදියට මචෝ, ඒ කාලේ සිද්ධ වෙච්ච සමහර රැප් සටන් මේ සීන්කෝන් එක ජනප්‍රිය වෙන්න ලොකු හේතුවක් වෙලා තියෙනවා. සුදාලා කැමතිනම් මෙන්න මේවා ගැන විස්තර ටිකක් හොයලා බලන්න.

''The Roxanne Wars (1984–1985), Juice Crew vs. Boogie Down Productions (1986–1988), Kool Moe Dee vs. LL Cool J (1987–1991), MC Serch vs. MC Hammer (1989–1994), Dr. Dre ''Snoop Dogg vs. Luke (1992–1993), Common vs. Ice Cube (1994–1996), MC Pervis ''Brand New Habits and LL Cool J vs. Canibus (1997–1998)''

හැබැයි වස්තු මෙතැනදි කියන්න ඕන තව සීන්එකක් තියෙනවා. මේ රැප් සීන් එකේදී ගොඩක් වෙලාවට අසභ්‍ය වචන, අසභ්‍ය අදහස් භාවිතා කරන එක සාමාන්‍ය සීන් කෝන් එකක්. අපහාස කිරීම කියන එකේ හොඳම එක තමා ඒක. එක්තරා ආකාරයකට මේක කුණුහරුප ලෝකයක් කියල කෙනෙක්ට කියන්න පුළුවන්.

ඒ නිසා මේ සීන්කෝන් එක පොඩි දරුවන්ට එහෙම එච්චර ගැලපෙන එකක් නෙවෙයි. ඒත් ලංකාවේ පහුගිය කාලේ පොඩි පොඩි ළමයිනුත් රැප් සීන් එකේ විකාර කියවනවා ඔයාලා දකින්න ඇති. අර සිඟිති පාතාලය සීන්. ඉතින් ඒකට හේතුව මේ culture එකේ බලපෑම කියල අපි හිතනවා.

ඔව්, මේක ඇතුළෙ තියෙන්නෙ කුණු රසයක්. හැබැයි මචෝ කුණු වුණත් ඒකත් රසයක්. අපේ සාහිත්‍යයේ ''බීබත්‍ස්‍ය රස'' කියලා එකක් තියෙනව සුදාලා දන්නවනෙ. ඕනේ නම් නම් වැඩි විස්තර ඒ ගැනත් හොයලා බලන්න. මෙය රැප් ගැන වගේම සාහිත්‍ය ගැනත් ගූගල් දෙයියො ළඟ සෑහෙන්න විස්තර තියෙනවා. කොහොම වුණත් මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි කියන එක තමා නිර්දේශය.

මෙතැනදී එක දෙයක් බොහොම පැහැදිලිව කියන්න ඕනෑ, අපි මුලින් කිව්ව හිටිවන කවි, වාද බයිලා කියන ඒවත් ඕනෑම කෙනෙක්ට හිතු හිතූ විදිහට කියන්න බෑ. ඒකට වෙනම දක්ෂතාවයක් ඕනෑ. ඉතින් ඒ වගේම තමා මේ Battle rap වලටත් වෙනම හැකියාවක් ඕනෑ. මේක ඇතුළෙත් styles තියෙනව සෑහෙන. අනෙක් හැම කලාවක් වගේම යම් අධ්‍යයනයක් පුහුණුවක් නැතුව නැතිව මේ වැඩේ කරන්න බෑ සුන්දරා.

මේ සීන්කෝන් එක ගැන basic idea එකක් තමා අද අපි සුදාලාට දුන්නේ. ලංකාවෙත් පහුගිය කාලේ මේක Y Trend එකක් වෙන්න පටන් ගත්ත මචෝ. සමහරු අදටත් රැප් සීන්එකේ ඉන්නව. ලංකාවේ විතරක් නෙවෙයි ඉන්දියාවේ මේක වෙනම කල්ට් එකක් වෙලා ඉවරයි. ඒ නිසා අනිවාර්යෙන්ම තව දවසක අපි මේ ගැන කතා කරමු.

ලංකාවේ, ඉන්දියාවේ වගේම වර්තමාන ඇමරිකාවේ, යුරෝපයේ මේ සංස්කෘතිය මොන වගේද කියල එදාට අපි ඔයාලට කියන්නම්. විස්තර නම් සෑහෙන්න. කාලයයි ඉඩකඩයි තමා මදී. එහෙනම් අදට මේ ටික ඇති. ආදරෙයි බොක්කෙන්ම. ගිහින් එන්නම්. එහෙම උම්මා.

I නිසල්