2022 නොවැම්බර් 20 වන ඉරිදා

මම නළලේ මොට්ටුවක් තියන්නේ ඇස්වහ වදිනවට...- ස්විනීතා වීරසිංහ

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 69

සිංහල සිනමාව නම් ආකාසය පුරා පායා රැඳී දහසක් තරු අතර පායා හිඳ තමනට හිමි වූ සීමාව තුළ පායා දිලිසෙමින් දශක පහකටත් වැඩි කාලයක් පුරා තම ආලෝකය විහිදුවන සොඳුරු තාරකාවක හමුවන්නට අප සූදානම්. රජුන්, රැජනන් ගණනාවක් අතර තම අප්‍රමාණ රංග කුසලතාව මතින් නොමැකෙන ලෙස තම නාමය සනිටුහන් කළ ඇය රැජනක් යැයි විරුදාවලි නොලැබූයේ ඇයි යන්න ප්‍රශ්නය රංගනය හා රංගන කුසලතාව පිළිබඳ වැටහීමක් ඇති බොහෝ දෙෙනකුගේ ප්‍රශ්නයකි. සිනමා සම්මාන උළෙල හා විචාරක ඇගයීම් ආදී වේදිකා කෙසේ වුවද ඇය සිංහල සිනමා ප්‍රේක්ෂකාගාරයේ අග රුජනක වග දැනෙන්නේ අදටත් ඇයට හිමි ඒ රසික ආදරය නිසාමය. ඒ රසික ආදරයට නිර්ලෝභීව කෘතවේදී වෙමින් තම ආදරය හා සෙනෙහස සමාජයට බෙදා දෙන ඇය ප්‍රවීණ රූපනවේදිනී ස්විනීතා වීරසිංහ නම් වන්නීය. අද හදසර My Story කතාබහ ඇය සමඟය.

"මල්ලිලාම පස්දෙනෙකුගේ ලොකු අක්කා තමයි මම. මගේ තාත්තා බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරියෙක්. ඔහු ෆ්‍රුන්සිස් වීරසිංහ. අම්මා රැකියාවක් නොකර අපිව රැකබලා ගනිමින් පෝෂණය කරමින් නිවසේ රැඳී සිටියා. ඇය කැරොලින් මුදලිගේ. අපි දෙහිවල ප්‍රදේශයේ. මම මුලින්ම ගියේ දෙහිවල ප්‍රදේශයේ පාසලකට. නමුත් අප පවුල බුද්ධ දර්ශනය ගරු කරන පවුලක් ලෙස පසු කලෙක මාව බෞද්ධ කාන්තා විද්‍යාලයට ඇතුළත් කළා. කුඩා කාලේ ජීවිතය හරි සුන්දරයි. අම්මා, තාත්තා දෙන්නා තමයි මගේ ජීවිතයේ ශක්තිය. ඔවුන් මට ආදරය, රැකවරණය විතරක්ම නොවෙයි, ජීවිතයම ලබා දුන්නා. ඒ දෙන්නා ගැන මගේ සිතේ තිබෙන ආදරය, ගෞරවය වචනවලින් කියන්න බැරි තරම්. මේ මහ පොළොවේ දෙපයින් නැගී සිටින්නට වගේම සියල්ල දරාගෙන උපේක්ෂාවෙන් ජීවිතයට මුහුණ දෙන්න අම්මයි තාත්තයි ලබා දුන් මඟපෙන්වීම කිසිදා අමතක කළ නොහැකියි." ඇය පවසන්නේ දිලිසෙන දෙනෙතිනි.

නිවසට ඇතුළු වූ තැන සිටම බුදුන් ෙදවියන් කෙරේ ඈ දක්වන භක්තිය, ගෞරවය කෙතරම්ද යන්න දකින්නට හැකිය. සුවඳ දූමයෙන් මුළු නිවසම පිරී ගොසිනි. සිය ආදරණීය සැමියා නන්දලාල් මාලගොඩ සමඟ ඉතා සුන්දර නිස්කලංක ජීවිතයක් ගෙවන ඇය හා කතාබහේ යෙදෙමින් ගෙවුණු දෙහෝරාව තුළ එම ආගමික නැඹුරුව හා අවට පරිසරයේ ඊට ඇති අනුකූලතාවය මැනවින් විඳින්නට අපට හැකි විය. කහ වර්ණය ඇගේ ප්‍රියතම වර්ණය වූ නිසාමදෝ ඇය අප හමුවේදීද සැරසී සිටියේ කහ වර්ණයෙන්මය. බාහිර රූපලාවණ්‍ය සත්කාරවලට වඩා තමන් විශ්වාස කරනුයේ චිත්ත අභ්‍යන්තරයේ තිබිය යුතු සුන්දරත්වය බව ඇය පවසයි. 

"මට තිබුණේ ඉතා දිගු වරලසක්. ඒක නිදහසේ විසිරී තිබෙන්නට හරින්න පොඩි කාලේ ඉඳන්ම මම කැමතියි. අම්මා කියනවා මට මතකයි පොඩි කාලේ අම්මා මගේ කොණ්ඩෙ ලස්සනට ගොතලා ගැටගැහුවාම ඇය පැත්තකට ගිය ගමන් මම කොණ්ඩය ලිහාගන්නවාලු. අදටත් ඉතින් මම නිළියක් වුණා කියා අනවශ්‍ය විච්චූර්ණ විලාසිතා කරන්නෙ නැහැ. චාම්, සැහැල්ලු අවස්ථාවට උචිත විලාසිතා පමණයි. හැබැයි මම හුඟාක් වෙලාවට නළල මත මොට්ටුවක් තියනවා. මොට්ටුවක් තිබ්බම ඇස්වහ වදින්නෙ නෑ." තිරයට අවශ්‍ය රංගනය කැමරාව ඉදිරියට පමණක් සීමා කොට සැබෑ ජීවිතයේ සරල කාන්තාවක ලෙස ඇය ගෙවන්නේ සුන්දර දිවි පෙවතකි.

ස්විනීතා වීරසිංහ චිත්‍රපට රංගනයට පිවිසුෙණ් නව යොවුන් වියේදීය. ඒ පුවත්පතක පළවූ දැන්වීමක් නිසාය. 

"මම පුංචි කාලේ සංගීතයට හරිම කැමතියි. ගීත ගායනයට හරි උනන්දුයි. පාසලේදි, ගෙදරදි ඕනෑම වෙලාවක මම ගීත ගායනා කිරීමට ඉදිරිපත් වුණා. හැමෝටම උදව් කරන පරිත්‍යාගශීලී දරුවෙක් විදිහට තමයි මම හැදුණේ. පාසලේ කලා කටයුතුවලට මම එක් වුණා. ඒත් කලාවට අවතීර්ණ වෙනවා කියන අපේක්ෂාවකින් නොවේ. මගේ අම්මටයි තාත්තටයි දෙන්නටම ඕන වුණේ මට ඉහළටම උගන්වන්න. මටත් අධ්‍යාපන කටයුතු කරගෙන එද්දි අවශ්‍ය වුණේ වෛද්‍යවරියක් වෙන්න. එතැනදීත් බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට තමයි මම කැමති වුණේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වෙන්නත් මට හැකි වුණා. නමුත් මට උරුම වී තිබෙන්නට ඇත්තේ එය නොවේ. වෛද්‍යවරියක් ලෙස මා ළඟට පැමිණෙන රෝගීන් විමසා බලා ඔවුන්ට ගතට සුවයක් ලබා දීමට හැකියි. ඒ ඔස්සේ සිත සුවපත් කරන්නටත් හැකියි. එහෙත් මට උරුම වූ රංගනය ඔස්සේ දහස් සංඛ්‍යාත පිරිසක් සුව කිරීමට හැකියි. එම සුව කිරීම මා නිළියක ලෙස අද දක්වාම කරනවා. මා විශ්වාස කරන්නේ සිත සියල්ලටම මුල්වන වගයි."

ඒ අනුව ඇය එළඹුණු වෘත්තිය ඔස්සේ ඈ සතු වගකීම මැනවින් ඉටුකළ වග ප්‍රේක්ෂකාගාරය සපථ කරනු ඇත. වඩා පුළුල් අවකාශයක පැතිරුණු සිය රංගන වින්‍යාසය ඔස්සේ ඇය මෙරට සිනමා වංශ කතාවේ ස්විනීතා වීරසිංහ නම් නාමයට පරිච්ඡේදයක් වෙන්කොට ගත්තාය. රංගනයේ මෙවන් හැකියාවන් පෙන්වන ඇය කුඩා කාලයේදී පාසලෙන් පෙන්වනු ලැබූ යම් යම් චිත්‍රපට දර්ශන හැරෙන්නට වෙනත් සිනමා අත්දැකීමක් විඳ නොතිබුණාය.

"මගේ මව යම් තරමක සාම්ප්‍රදායික සරල කාන්තාවක්. නමුත් තාත්තා බටහිර පන්නයට සමීප ජීවිතයේ කලාව රසවින්දනය ආදිය සමඟ සිටි කෙනෙක්. මා මේ අන්තයන් දෙකම සියුම්ව ග්‍රහණය කර ගනිමින් මගේම ස්වාධීන පැවැත්මක් තහවුරු කරගත් කෙනෙක්. ඉතින් තාත්තා දවසක් පුවත්පතක දැන්වීමක් දැකලා තිබුණා නළු නිළියන් තෝරන පරීක්ෂණයක් පිළිබඳව. රොබින් තම්පෝ නම් අධ්‍යක්ෂවරයාගේ චිත්‍රපටයක් සඳහා තමයි මෙලෙස දැන්වීමක් පළකොට තිබුණේ. තාත්තා මේක දැකලා අම්මත් එක්ක කතා කළා. ඔවුන් මගේ පෙනුම සහ දක්ෂතාව මැනවින් හඳුනාගෙන තිබුණා. ඒ නිසාම ඔවුන් මාව මෙයට යොමු කළා. ලංකා චිත්‍රාගාරයේ තමයි සම්මුඛ පරීක්ෂණය තිබුණේ. එතැනට බොහෝ පිරිසක් පැමිණ සිටියා. නමුත් මා දන්නා කෙනෙකුට හිටියේ සන්ධ්‍යා කුමාරි පමණයි. රොබින් තම්පෝගේ සුදු කඳේ කළු වලා තමයි මා ඒ පරීක්ෂණයෙන් සමත්ව ප්‍රධාන චරිතයකින් සිනමාවට, ප්‍රේක්ෂකයා ඉදිරියට ගෙන ආ මුල්ම චිත්‍රපටය. 1963 වසරේදී තිරගත වූ එයට බොනිෆස් ප්‍රනාන්දු, ෆ්ලොරිඩා ජයලත්, ධර්ම ශ්‍රී රණතුංග, ඩොමී ජයවර්ධන රංගනයෙන් එක් වුණා. 'සුදු දිවි පිදුම' චිත්‍රපටයේ නර්තන ජවනිකාව තමයි සිනමාවේ මුල්ම ඉදිරිපත් කිරීම."

ආරම්භයේදී රොබින් තම්පෝ ඇයට රිදී තිරයේ ලබා දුන් ඉඩ ඇය අදට ද සිහි කරන්නේ ඉමහත් ගෞරවයෙනි. තම්පෝගේම නිර්මාණයක් වූ 'සුදෝ සුදු' හි හීන්මැණිකා ලෙස ඇය රඟපෑවේ ප්‍රවීණ රංගධර ගාමිණී ෆොන්සේකා සහ බොනිෆස් ප්‍රනාන්දු සමඟය. විචාරකයන්ට අනුව ස්විනීතා වීරසිංහ නම් රූපනවේදිනිය සිනමාවට පැමිණියේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'දෙලොවක් අතරින්' ය. එසේ පැමිණි සිනමා ගමනක ස්විනීතා නම් වූ නාමය ඇය මුද්‍රා තැබුවේ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහගේ 'වැලි කතර' තුළය. ගාමිණී ෆොන්සේකා හා ජෝ අබේවික්‍රම නම් සිංහල සිනමාවේ දැවැන්ත ප්‍රතිරූප සමඟ ගැටෙමින් ඇය එදා 1971 වසරේ තිරය මත මැවූ ගීතා රන්දෙණිය රසික හදවත්වල අදට ද ජීවමානය. ලංකාවේ ප්‍රථම සිනමාස්කෝප් චිත්‍රපටය ඔස්සේ සිංහල සිනමාව තුළ ඇය ගොඩනැගූ කාන්තා ප්‍රතිරූපය අතිශය දැවැන්තය. ඒ වන විටත් සිනමාවේ දැවැන්තයන් දෙදෙනෙකු සමඟ රඟපාමින් වුව තම චරිතය ප්‍රේක්ෂකාගාරය වෙතට ගෙන යන්නට ඇයගේ රංගන පරාසයට හැකි විය. ඇගේ සුන්දර කාන්තා ලාලිත්‍යයට එක්වූ පෞරුෂය සමඟ ඈ රඟපෑ සීමිත චිත්‍රපට ප්‍රමාණය තුළ මතකයේ රැඳුණු රංගවේදිනියක් වූවාය. එවන් හැකියාවැති ඇය යළි ප්‍රධාන චරිතයක් ඔස්සේ සිනමාවට පැමිණියේ වසර හතරකිනි. ඒ එච්.ඩී. ප්‍රේමරත්න කුළුදුල් සිනමා නිර්මාණය වූ 'සිකුරු ලියා' සමඟිනි. සිනමාවේ සිහින කුමරෙකු වූ විජය කුමාරණතුංග හා ඇය තිරයේ එක්වූයේ එහිදීය. ජෝ අබේවික්‍රම, බන්දුල ගලගෙදර එහි රංගනයට එක්වූ අනෙකුත් ශිල්පීන්ය. 

වසන්තයේ මල් කැකුළයි - දසන්තයේ නළ රැල්ලයි
මගේ ගෙලේ හරි සොල්ලයි - ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
අදත් මගෙ අතින් අල්ලයි

ඉන්ද්‍රානි පෙරේරා ගැයූ එම ගීයට කළ රංගනය සමඟ ඇය තාරුණ්‍යයේ සිත් වසඟ කරන්නට සමත් විය. ශෘංගාරයට බර වූ චරිත කිහිපයකින්ම ඇය ඉන් පසු අප හමු වූවාය. ඇය චරිතය තමන්ට අභියෝගයක් කොට නොගෙන චරිතයට අභියෝග කළ හැකි නිළියක වූවාය.

"චරිතයට අවශ්‍ය චරිතය, ඉල්ලන ඇඳුම හා රංගන වින්‍යාසය අවබෝධයෙන් අප පිළිගත යුතුයි. එහෙත් ඒ තිරයට පමණයි. කැමරාව ඉදිරිපස පමණයි. නමුත් ඉන් බැහැර වූ විට අපත් සාමාන්‍ය මිනිසුන්. මා හැමවිටම විශ්වාස කරන දෙයක් තමයි රංගන ශිල්පීන් වුවත් තරු වුවත් සැබෑ ජීවිතය තුළ අටලෝ දහම අවබෝධ කරගෙන ජීවත් වීම වඩා වැදගත් බව. සැබෑ ජීවිතය තුළ රඟපාන්නට නොවේ, එහි ජීවත් වන්නටයි අප ඉගෙන ගත යුතු. මම රඟපෑමෙන් මහා ධනයක් ගොඩගසාගෙන නැහැ. නමුත් ලැබුණු දේ ඉතා අරපිරිමැස්මෙන් ඉතිරි කරගෙන තිබෙනවා. අද ඉන් වැඩි ප්‍රමාණයක් මා වෙන් කරන්නේ පින්කම් සහ සමාජ සේවා කටයුතු වෙනුවෙන්. මීට වසර කිහිපයකට පෙර ක_ර මිනිසුන් පිරිසක් තලා පෙලා දැමූ අහිංසක කුසුම යාපනේ විද්‍යා වෙනුවෙන් මා අදටත් මගේ උදව් උපකාර එම පවුලට ලබා දෙනවා. ඇය මා හඳුනන්නේ නැහැ. නමුත් පුවත් දැකීමෙන් ඇතිවූ හෘද කම්පනය නිසාමයි මා ඒ වෙනුවෙන් මැදිහත් වුණේ. පසුගියදා වන අලි පහර දීමකින් මියගිය හසලක අනුත්තරා දියණිය වෙනුවෙනුත් මම පින් අනුමෝදන් කළා දානමය පින්කමක් කරලා. ඇයත් මා දන්නේ එම අවාසනාවන්ත මරණයෙන් පසුයි." 

ඇයගේ පින්පොත පිරී ඇත්තේම එවන් අපූරු පින්කම්වලිනි. ජීවිතයේ බොහෝ දරාගැනීම්වලට මේ සියල්ල ශක්තියක් වෙමින් ඈ වටා රුඳී ඇත. සැබෑ ජීවිතය සේම රංගනය තුළ ඇය එලෙස බොහෝ දේ දරාගත් පරිණත ගැහැනියකි. පෙම්වතියකි. බිරිඳකි. මවකි. මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රථම සිනමා ගීය වූ 'අනූපමා' හි ඇයට ඇරයුම වූයේ 'මාර්තා' චරිතයයි.

"මම දර්ශන තලයට ගියාම තමයි මමයි අනූපමා කියලා දැනගත්තේ. නමුත් මම අනූපමා බාරගත්තා. එවැනි සිදුවීම් බොහොමයක් එක්ක මට ඉවසීම, දරාගැනීම ප්‍රගුණ කළා. සිනමාවේ තිරය මත මෙන්ම ඉන් බැහැරවත් ආදරය, ප්‍රේමය, විවාහය, දරුවන් ආදී සියල්ල තුළ මට තිබුණා බොහෝ දේ දරාගන්න." ඇය පැවසුවේ පුරුදු සැහැල්ලු සිනාවෙන්මය.

පුංචි තිරය, වේදිකාව, රිදී තිරය ඔස්සේ තමන්ට ලැබුණු සියල්ල ඉවසා දරාගනිමින් රසික සිත් පිනවන ඇය හැටේ දශකයේ සිනමාවට එක්වූ මෙරට අග්‍රගණ්‍ය රංගවේදිනියක ලෙස පසුගියදා 'Silver Screen' සම්මාන උළෙලේදී සම්මානයට ද පාත්‍ර වූවාය. 'චිත්‍රා' (දෙලොවක් අතර), ගීතා (වැලි කතර), සුබා (හුලවාලි), නාමලී (සිකුරුලියා) වූ ප්‍රවීණ රංගවේදිනී ස්විනීතා වීරසිංහ තව ඔබට චිරාත් කාලයක් යෙහෙන් වැජඹෙන්නට හදසර අපේ සුබ පැතුම්!

I මොනිකා සේරසිංහ
සේයාරූ- සුමුදු හේවාපතිරණ