2022 අගෝස්තු 07 වන ඉරිදා

ටීචර් හින්දා පවුල අවුල්

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 457

තාත්තා ඉස්කෝලෙ යන්න හරි කැමතියිලු 

මගේ පවුලේ සිටින්නේ මමයි නංගීයි අම්මායි තාත්තායි. නංගිගේ වයස අවුරුදු 16යි. තාත්තා අපි තුන්දෙනාට ගොඩාක් ආදරෙයි. අපිත් එහෙමයි. මේ ළඟදී දවසක නංගි මට පොඩි කතාවක් කිව්වා. ඒ කතාව අහලා මම ගොඩාක් දුක්වුණා. ඒ කතාව ඒ තරමටම මට තාමත් හිතාගන්න බෑ. නංගිගේ පන්ති භාර ටීචර් සුදු ලස්සන කෙනෙක්. නංගි කියනවා එයාගේ පන්ති භාර ටීචර් එක්ක තාත්තාගේ සම්බන්ධයක් තියෙනවා කියලා. තාත්තා නිතරම වගේ ඉස්කෝලෙට ඇවිත් ඒ ටීචර් හම්බවෙලා යනවාලු. තාත්තා ඉස්කෝලෙට එන්නේ ඔයාව බලන්න නෙමෙයි ටීචර්ව බලන්න කියලා නංගිගේ යාළුවො නංගිට විහිළු කරනවා කියලා දවස් දෙක තුනක් නංගි මාත් එක්ක කියලා ඇඬුවා. තාත්තා ඉස්කෝලෙ ගේට්ටුවෙ ළඟට ඇවිත් ටීචර්ට අනංමනං දීලා යනවා ළමයි දැකලාත් තියෙනවා. මම මේ ප්‍රශ්නය ගැන අම්මාට තවම කියලා නෑ ගෙදර ප්‍රශ්න වෙන නිසා. අම්මාගේත් හිත රිදෙන නිසා. මේ ප්‍රශ්නයෙන් මගේ ඔළුව අවුල්වෙලා තියෙන්නේ. නංගිත් අඬනවා ඉස්කෝලෙ යන්න බෑ කියලා. නංගි සමහර වෙලාවට බලාගත්ත අත බලාගෙන කල්පනා කරනවා මම දැකල තියෙනවා. තාත්තා අපිට ආදරේ විදිහට මට හිතාගන්න බෑ තාත්තා එහෙම කරයිද කියලා. අපි දෙන්නා දැන් තාත්තට කතා කරන්නෙත් නැතිතරම්. ඇත්තටම කිව්වොත් එයාව පේන්නම බැරි තත්ත්වයට පත්වෙලා. මට මේ ප්‍රශ්නය තනිවම විසඳාගන්න බැරි නිසා මම මගේ හිතවත් විශ්වාසවන්ත අක්කා කෙනකුට මේ කතාව කිව්වා. ඒ අක්කා තමයි කිව්වේ මේ ප්‍රශ්නය පත්තරයට යොමුකරන්න කියලා. උපදෙසක් පතමි.

නිර්නාමික - මතුගම

උපදෙස:

මෙහිදී අනුමාන කළ හැකි වන්නේ මෙම ප්‍රශ්නය යොමුකරනු ලැබ ඇත්තේ පවුලේ වැඩිමල් දරුවකු හෝ දැරියක විසින් බවයි. මේ සම්බන්ධයෙන් පළමුව කළ යුතු වන්නේ ඇතැයි කියන සබඳතාවේ සත්‍ය අසත්‍ය බව පිළිබඳ සොයා බැලීමයි. පවුලේ සමීපතමයකුට සත්‍ය වසන් කිරීම එතරම් අනුමත කළ හැකි දෙයක් නොවුණත් පවුලේ සුබසිද්ධිය උදෙසා මෙම සිද්ධිය පිළිබඳ තහවුරු කරගැනීමෙන් පසු පමණක් මව දැනුවත් කිරීමට ඔබගෙන ඇති තීරණය සුදුසුය. එය අගය කළ යුත්තකි. එය පවුලේ සමගිය ආරක්ෂා වීමට හේතුවෙයි. පියා පවුලේ සාමාජිකයන්ට බොහෝ සේ ආදරය කරන බව මෙහි පවසා තිබේ. එහෙයින් පවුලේ වැඩිමල් දරුවා වශයෙන් ඔබට මෙම ප්‍රශ්නය සාමකාමීව පියාගෙන් විමසා ඇත්ත නැත්ත දැනගැනීමට හැකි නම් එය සිදුකිරීමේ වරදක් නැත. එහෙත් එය සිදුකිරීමේදී බුද්ධිමත්ව සිතා බලා පවුලේ සමගියට බාධාවක් නොවන අයුරින් සිදුකළ යුතුය. මෙවැනි සිදුවීමකදී බැඳීම් ඇති සමීපතමයන්ට දුකක් කලකිරීමක් ඇතිවීම සාමාන්‍යයි. එහෙත් මෙවැනි අවස්ථාවකදී එවන් පුද්ගලයන් තනි නොකිරීමට සැමවිටම වගබලා ගත යුතුයි. අනෙක් අතට මෙහි පවුලේ බාල දැරිය මානසික ගැටලුවකට මුහුණ පා සිටින බව පැව‍සෙයි. මෙහිදී නැගණියගේ මානසික මට්ටම යහපත් කිරීමට ශක්තිමත්ව කටයුතු කිරීම ඔබේ වගකීමයි. ගුරු වෘත්තිය යනු දේවත්වයෙන් සලකන වෘත්තියකි. කිසිදු පුද්ගලයකු නරක නාමයක් ලැබීමට උත්සාහ නොකරයි. එහෙයින් මෙහි සම්බන්ධතාවේ අනෙක් පාර්ශ්වය යැයි කියන ගුරුවරිගෙනුත් විශ්වසනීය තුන්වැනි පාර්ශ්වයක් සම්බන්ධ කරගනිමින් හෝ සත්‍ය විමසා දැනගැනීම වටී. මෙම ගැටලුව නිරාකරණයේ මූලික පියවර මෙයයි. මේ ආකාරයට සත්‍ය විමසා දැන ඉදිරි පියවර ගැනීමත් සුහදශීලීව මෙම ගැටලුව නිරාකරණය කරගැනීමට හැකිනම් එය වඩාත් සුදුසු පියවර වෙයි.

සරසවියට ගියත් පාරට බයයි 

මම මේ වනවිට පළමු වසරේ සරසවි සිසුවියක් වෙමි. මා කවරදාකවත් මේ වෙනකල් පාරක තනියම ගිහින් නෑ. අපේ අම්මා තාත්තා මට ආදරේ වැඩිකමට තනියම පාරක තොටක යැව්වේ නෑ. ගිය හැමදාම හැමතැනම අම්මා තාත්තා එක්කයි. ඉස්කෝලෙ ගියෙත් තාත්තා එක්ක. බස් එකේ ගියත් ගියේ අම්මා එක්ක. උසස් පෙළින් ඒ දෙකයි බී එකක් අරන් මම සබරගමුව සරසවියට සුදුසුකම් ලබා පැමිණියා. සරසවියට ආපු පළමු දවසේත් පවුලේ කට්ටියම ආවා. මුල් දවස්වල ගෙදර එන්නත් තාත්තා කිලෝමීටර 120ක් දුරක් ගෙවාගෙන මාව එක්කගෙන යන්න බෝඩිම ළඟට බස් එකේ පවා ඇවිත් හිටියා. මට ආදරේට තාත්තා හැමදේම කළත් තාත්තාට මේක හැමදාම කරන්න බෑ කියලා මම දන්නවා. මුල් දවස්වලින් පස්සේ මම ගෙදර එද්දී යාළුවෙක් එක්ක එන්න ගත්තා. මම දන්නවා මට හැමදාම යාළුවන්ට කරදර කරන්නත් බෑ. මට තියෙන ප්‍රශ්නය මට පාරක තනියම යන්න බයයි. බස් එකේ තනියම යන්නත් බයයි. සරසවියේ ඉඳන් ගෙදරට තනි බස් එකේ යන්න පුළුවන් වුණත් මට ඒක කරන්න පුරුදු නෑ. මම ගෙදරට දොස් කියන්නෙත් නෑ. මට පාර පනින්නත් බයයි.වාහනයක හැප්පෙයි කියලාම හිතෙනවා. සමහර වෙලාවට තනියම බස් එකේ යන්න පුරුදු නෑ කියල යාළුවන්ටත් කියන්න ලජ්ජයි. පාඩම් වැඩවලටත් බාධා වෙනවා මේ දේවල් ගැන හිතන්න ගියාම. මේ ගැන හිතලාම මගේ ඔළුවත් රිදෙනවා වෙලාවකට. ඒත් සමහර යාළුවන්ගේ ප්‍රශ්න ඇහුවාම අපිට තියෙන ප්‍රශ්න ගැන ඒවා ප්‍රශ්නද කියලා හිතෙන වාර අනන්තයි. තනියම බස් එකක යන්න මට පුරුදු වෙන්න ඕනෑ. ඒක කරන්නේ  කොහොමද?

ශෂිකලා - ගලගෙදර

උපදෙස:

ඔබ සරසවි සිසුවියක්. ජීවිතයේ තිබූ කඩඉම් විභාගවලින් බාධක මැද මේ ආ ගමන සේම මෙවැනි දුෂ්කරතා මැඩගෙන ජීවිතය නමැති විභාගයද ඔබ ජය ගත යුතුය. මෙම අභියෝගය භාරගෙන එම සමාජයට අවතීර්ණ වීමට ඔබට වුවමනාවක් ඇති බව ප්‍රශ්නය කියවීමේදී පැහැදිලි වෙයි. එම වුවමනාව යථාර්ථයක් බවට පත් කරගත යුතුය. සරසවි ගමනේදීත් පියා ඒ සඳහා ඔබ බොහෝ දුෂ්කරතා මැද කරන කැපකිරීම අවම කර සහායක් වීමට වැඩිමල් දියණියක වශයෙන් ඔබට වගකීමක් ඇත. මෙය එකවර නිවැරුදි කරගත නොහැකි වුවද මෙය ක්‍රමයෙන් හුරුවීමෙන් ජය ගත හැකි අභියෝගයකි. ඕනෑම දෙයක් මුල්වරට කිරීමට යාමේදී අපි හැමෝටම යම් තැති ගැන්මක් ඇතිවීම සාමාන්‍යයයි. මෙම අවස්ථාවේ ඔබ කිරීමට සුදුසුම දේ වනුයේ පියවරෙන් පියවර මේ සඳහා යොමුවීමයි.ඔබ මිතුරන්ගේ සහායෙන් සහ මවුපිය සහායෙන් සුළු දුර එහා මෙහා යාමට මුලින් උත්සාහ කරන්න. එය පුරුදු පුහුණු වූ පසු ක්‍රමයෙන් දුර වැඩිකරගන්න.පාර මාරුවීමේදීත් බියක් දක්වන බව කියා තිබෙනවා. එවැනි අවස්ථාවල සෑමවිටම පදික මාරු භාවිත කර මාර්ග නීති පිළිපදින්න. ඒ වගේම තනිවම පාර මාරුවීමට බියක් දක්වන්නේ නම් පාර මාරුවීමට පැමිණෙන පිරිසක් සමග එය සිදුකරන්න. එවැනි උපක්‍රම මගින් මේ සඳහා හුරුවක් ලබාගත හැකිය. සැමවිටම ධනාත්මක චින්තනයෙන් යුතුව කටයුතු කිරීමෙන් ඔබට මෙම අභියෝගය සාර්ථකව ජයගත හැකි වනු ඇත.මෙය තනිවම විසඳා ගැනීමට නොහැකිම අවස්ථාවක් පැමිණියහොත් සරසවියේ සිටින මනෝ උපදේශකවරුන්ගේ සහාය ලබාගැනීමට හැකිය.

නිදාගත්තාම  හීන පේනවා 

මම ආයෝජන කලාපයක සේවය කරන 34 හැවිරිදි කාන්තාවකි. සේවාස්ථානයට ආසන්න බෝඩිම් කාමරයක නැවතී සිටිමින් සේවය කරන්නීය. මගේ කාමරයේ තව යෙහෙළියක් සිටිනවා. මට ගොඩාක් දවසට රෑට නිදාගත්තාම හීන පේන්න ගන්නවා. ගොඩක්ම දකින්නේ බය හිතෙන හීන. මගේ යෙහෙළිය කියන විදිහට මම සමහරදාට හීන දැකලා කතා කරනවා කියලාත් කියනවා. එතකොට ඇහැරෙනවා. ඊටපස්සේ නිදාගන්න කොච්චර උත්සාහ කරත් ඉබේ නින්ද යනකල් හිතලා නින්ද යන්නේම නෑ. හීනෙන් බයවෙලා ඇහැරුණ සමහර දවසට පැය තුන හතරක් ඇහැරිලාත් ඉන්නවා. මේක මට ලොකු ප්‍රශ්නයක්. විසඳුමක් තිබේද ? 
ශාලිකා - කටුනායක

උපදෙස:

හීන පෙනීම සාමාන්‍ය තත්ත්වයක් බව පළමුවෙන් කිව යුතුමය. හීන නොපෙනෙනවා නම් එය බොහෝම කලාතුරකින් කෙනකුට සිදුවන්නකි. මෙහි ප්‍රශ්නය වනුයේ එලෙස දකින හීන වැඩිහරියක් භයානක හීන වීමයි. අපේ හිත සන්සුන් නොමැතිනම්, ප්‍රශ්නයක නම්, අපි පීඩනයක ගැටලුවක සිටීනම් මෙවැනි භයානක සිහින පෙනීමේ මූලික හේතුව එයයි. මෙහිදී ඔබ පළමුවෙන්ම ස්වයං මතකාවර්ජනයක යෙදිය යුතුයි ඔබට ඇති ප්‍රශ්න ගැටලු පිළිබඳව. තමන්ගේ සිතේ සිරකරගෙන තිබෙන ප්‍රශ්න ගැටලු ඔබට විශ්වාසනීය පුද්ගලයකුට පවසා සිත සැහැල්ලු කරගැනීම මුලින්ම කළ යුතුය. දෙවනුව ඒ පිළිබඳ ඔබට උපදෙසක් ලබාදීමට සුදුසු පුද්ගලයකු සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාගැනීමත් සුදුසුයි. නින්දට යන අවස්ථාවේදී සිතට එන කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. සිත සංසුන් කරගත යුතුයි. ඒ සඳහා ඔබ අදහන ආගම අනුව ආගමික වතාවත් සිදුකර නින්දට යාම වඩාත් යෝග්‍ය ප්‍රතිඵලදායක වණු ඇත.උදාහරණයක් ලෙස ඔබ බෞද්ධාගමික අයකු නම් නින්දට පෙර පිරිත් ශ්‍රවණය භාවනා කිරීම ආදී සිත තැන්පත් කරගැනීමේ ක්‍රම අනුගමනය කළ හැකියි.

(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)  
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.

 

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන