2022 ජුලි 24 වන ඉරිදා

ගිම් නිවන්න සුවදායී පපුතුරක්!

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 66

තීරණයක්... ජීවිතය කියන්නේම තීරණ සමුදායක එකතුවක්. එක් මොහොතකදී... පියවි සිහියෙන් සිටිනා තාක් අප දකින යථාර්ථය පියවි සිහිය අප වෙතින් නික්ම යන මොහොතකදි මායාවක් ලෙසින් දැනෙන්න පුළුවන්. එහෙත් ජීවිතයේ ගනු ලබන තීරණ යම් මොහොතක නිවැරදි සේම තවත් මොහොතක වැරදී යන්නත් පුළුවන්...

ඒ කිසිදෙයක් අපට නිශ්චිතව අර්ථකථනය කරන්න බැහැ. කෙනෙකුට පියවි සිහියෙන් දුරස්ව ජීවත් වෙන්න සිදුවන පසුබිමක් සකස් වුණොත් එය කොතෙක් දුරට වේදනාත්මක වෙන්න පුළුවන්ද? එහෙම කතාවක් ගැන තමයි අතීරන් හින්දී චිත්‍රපටයෙන් කතා කරන්නේ.

ඇය මානසික රෝගී තත්ත්වයකට ලක්වෙන්නේ ළමා වියේදීමයි. ඒත් ඇයව තනි නොකරන ආදරයක් ඇයට ඇගේ අම්මාගෙන් සහ තාත්තාගෙන් ලැබෙනවා. අම්මා තාත්තා හැරුණම කුඩා වියේ සිටම ඇගේ ජීවිතයට හුඟාක් ළඟ මිත්‍රයෙක් ඉන්නවා. ඒ තමා විනෙයි. නමුත් ජීවිතයේ මුහුණදෙන අවාසනාවන්ත සංසිද්ධීන් සමුදායක් සමඟ ඔවුන් වෙන් වෙනවා. ඇය මානසික රෝගීන් සඳහා වෙන්වූ රෝහලක තනිවෙනවා. ඇගේ පියා ඝාතනයට ලක්වීමත් එක්කයි ඇගේ ඒ ලස්සන පුංචි කැදැල්ල ඒ විදිහට සීසීකඩ වී යන්නේ.

විනෙයිත් අවසානයේ මානසික රෝගී තත්ත්වයකට ලක් වෙනවා. එහෙත් ඇය කොතැනද, ඔහු කොතැනද, කිසිවෙක් දන්නෙ නෑ. ඇගේ තරුණ ජීවිතය මානසික රෝහලක කළුවර බිත්ති හතරක් තුළ කොටු වී තියෙද්දි දවසක් එම රෝහලට එනවා තරුණ මනෝ වෛද්‍යවරයෙක්. මේ තරුණ වෛද්‍යවරයා ඇයව කළුවර කාමරයෙන් එළියට අරගෙන ඇයට අලුත් ජීවිතයක් කරා රුගෙන යාමට උත්සාහ දරනවා. මෙවැනි සංසිද්ධීන් සමුදායක් අවසානයේ නිරාවරණය වන සත්‍ය තමයි ඒ රෝහලට පැමිණි නව මානසික වෛද්‍යවරයා කියන්නෙත් මානසික රෝගියෙක්. ඒ මානසික රෝගියා තමයි විනෙයි. විනෙයි තමයි මනෝ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටින්නේ. අවසානයේ විනෙයි තමන් පුංචි දවස්වල සිටම ආදරය කළ තම පෙම්වතිය කැටුව යනවා තමන්ගේම තැනකට. මනෝ වෛද්‍යවරුන්ට අනුව ඔවුන් මානසික රෝගීන් වුණත් ඔවුන්ට ආදරය, දයාව, රැකවරණය වැනි මනෝභාවයන් හොඳ හැටි වැටහෙන හිතක් තියෙනවා. ජීවිතය උනුන් හා විඳින්න එනයින් ඔවුන්ට එය කිසිසේත් බාධාවක් වෙන්නෙ නැහැ.

ජීවිතය වෙහෙසකර ලෙස දැනෙන හැම මොහොතක්ම මට හිතෙන්නෙ හැම කෙනෙක්ම මානසික ආතතියකින් පෙළෙන මොහොතක්. ජීවිතය කියන්නේ කොයි මොහොතක කවර දිශානතියක් ඔස්සේ ගමන් කරන්නක්ද කියලා මට නිශ්චයෙන්ම නිශ්චය කරන්න බැහැ. එහෙත් ජීවිතය සුබවාදී ගමන් මඟක, යථාර්ථවාදී ගමන් මඟක ගමන් කරවන්න පුළුවන් නම් ජීවිතය කවදාවත් උසුලාගෙන සිටිය නොහැකි බරක් ලෙස දැනෙන්නේ නැහැ. 

හුදෙකලාව කොයි තරම් සොඳුරු අත්දැකීමක් වුණත් ජීවිතයේ ගිම් නිවන්න සැනසිලිදායක උරහිසක් හැමකෙනෙක්ම ඉල්ලනවා කියලයි මට හිතෙන්නේ. උරහිසක හිස තියාගෙන ජීවිතයේ මහන්සිය නිවන්න මොහොතක් එනතුරු බලා සිටින අය මේ ලෝකයේ ඉන්නවා. ශුද්ධ වූ බයිබලයේ කියන විදිහට සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි. ඒ ප්‍රේමය තුළ ඊර්ෂ්‍යාව, පාරට්ටු කිරීම්වලට, නින්දාවට ඉඩක් නැහැ. ඒ ප්‍රේමය තුළ ඉඩක් තියෙන්නේ ඉවසිලිවන්ත ප්‍රේමයටම විතරයි. එනයින් ප්‍රේමය තරම් ලෞකික සිත සුවපත් කරන සුවදායී සුවපත් හැඟීමක් එදා මෙදාතුර මේ විශ්වයේ කොහෙවත් තිබුණේ නෑ වගේම තියෙන්න විදිහකුත් නැහැ. පැවතුණේ නැහැ වගේම පවතින්න විදිහකුත් නැහැ. මනෝ වෛද්‍යවරයෙකුටවත් සුවපත් කළ නොහැකි වූ ඇගේ සිතේ හැම අඳුරු අහුමුල්ලක්ම සීරුවෙන් අතපත ගාමින් සුවපත් කළ හැකි වූයේ විනෙයිටයි. ඔහුගේ නොවෙනස් අකලංක ආදරයටයි. ආදරය තුළින්ම නිෂ්පන්න සුරක්ෂිත බවටයි. ආදරය විතරක්ම ජීවන ඉවුරු දිගේ ගලා යනවා නම් ජීවිතය කොයි තරම් නම් සුන්දරද? ඇත්තටම ජීවිතය කොයි තරම් නම් සුන්දරද?