2022 ජුලි 24 වන ඉරිදා

අවසන් කෝ්ච්චි ගමන එයයි!

 2022 ජුලි 24 වන ඉරිදා, පෙ.ව. 08:00 90

පසුගිය ඉරිදා දහම් පාසල පැත්තෙන් ලැබුණු ඇමතුමකින්  කියැවුණේ දහම් පාසලේ දරුවෝ විවාදයක් කරන්න සූදානම් වෙන බව. මේ දරුවන්ට පුරුදු පුහුණුවීම් කරන්න එන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඔන්න අද තමා ඒ දවස. පන්සල පැත්තේ ගියා. දරුවන්ට විවාදයක් කියන්නේ මොකක්ද කියන එක කියලා දීලා, කරුණු ටිකකුත් හොයලා දීලා කටයුත්ත ඉවර කරලා ගෙදර ආවා. 

හිත මතක මඟ දිගේ බොහෝ ඈත ඇවිදගෙන යනවා. මේ විවාද උණුසුමයි හේතුව. ඒ මතක ඇවිස්සුණාම තාමත් හිතට වේදනාවක් දැනෙනවා. ම්ම් කමක් නෑ, මම ඒ කතාව ලියා තියන්න හිතුවා. ඒ වෙනදා තරම් සුන්දර කතාවක් නෙවෙයි. හැමෝගෙම මතකවල මේ වගේ කතන්දර ඇති. එහෙනම් මම කතාව කියන්නම්.

එතකොට අපි නවය වසරේ. පන්ති කඩලා ළමයි මාරු කරලා. හැමදේම අලුත්. අපි කණිෂ්ඨයෙන් මහා විද්‍යාලයට ඇවිත්. ඇත්තටම අපි අලුත් අත්දැකීම්වලින් කුල්මත් වෙලා සිටිය අවුරුද්දක්. ඒත් පන්ති කඩපු නිසා සමීපතම යාළුවෝ හිටියේ ටික දෙනයි. අනිත් අය අලුත්. ඒත් දැන හඳුනාගැනීම්වලට එච්චර කාලයක් ගත වුණේ නෑ. 

ඔන්න දවසක් අපූරු දෙයක් සිද්ධ වුණා. මම ආපන ශාලාවට ගිහිල්ලා හරි, පුස්තකාලයට ගිහිල්ලා හරි හිටියේ. මම එනකොට මගේ පහ වසර ඉඳන් හිටපු යාළුවෙක්, ගණිතය අච්චු පොත ඇතුළේ පුංචි කොළ කෑල්ලක් ලියලා දාලා තිබුණා. ඒකෙ තිබුණෙ විවාද කණ්ඩායමකට කට්ටිය තෝරාගන්නවා.. මෙන්න මේ කාලච්ඡේදෙදි එතනට යන්න කියලා. ජීවිතය වෙනස් කරපු සටහන ලියලා තිබුණු යාළුවගේ නම ශානක. සාමාන්‍ය පෙළින් පස්සේ තාම මට ඔහුව මුණගැහිලා නෑ. "ස්තූතියි මචං" කොහොම හරි එදා කණිෂ්ඨ විවාද කණ්ඩායමට මම තේරුණා. කතාව ඒක නෙවෙයි. ඔක්කොම අපි හය දෙනෙක් හිටියා. තරග කරන්නේ හතර දෙනයි. දෙන්නෙක් අතිරේක. නම් වලින්ම මතක් කළොත් හේෂාන්, ශෙහාන්, චමීර, ප්‍රමෝද්, අශේන්. අපි පුරුදු වුණේ අන්තර් පාසල් විවාද තරගාවලියක් වෙනුවෙන්. 

වෙන පන්තියක ඉඳලා අපේ පන්තියට අලුතින් ආපු මේ කියන මිත්‍රයාව මට හම්බවුණේ විවාද කෙරුවාව නිසා. ඉගෙන ගන්න වගේම මේ වැඩවලටත් ඔහු දක්ෂයෙක්. නම චමීර. තවත් මිත්‍රයෙක් හිටියා අපේ පන්තියේ ප්‍රමෝද් කියලා. අපි තුන්දෙනාම විවාද කණ්ඩායමේ වැඩවලට යන්නෙ එන්නේ එකට. හිතාගන්නවත් බැරි වේගයෙන් චමීර මගේ හොඳම යාළුවෙක් බවට පත් වුණා. 

ඔහු අපේ විවාද කණ්ඩායමේ දෙවැනි පුරුක. මම  තුන්වැනියා. මේ විවාද තරගාවලිය නිසා අපි පන්ති කමරේ ගත කළාට වඩා වැඩි කාලයක් ගත කළේ පාසලේ ප්‍රධාන ශාලාවේ. ජ්‍යෙෂ්ඨ විවාද කණ්ඩායමේ හර්ෂ, ක්‍රිශාන්, සමීර, අසිත් වගේ අයියලා තමා අපිව බාරව හිටියේ. මේ වෙනකොටත් පාසලෙන් ඉවත්වෙලා සරසවි ගමන ආරම්භ කරලා තිබුණු හසිත අයියා තමා අපේ ප්‍රධාන පුහුණුකරු. අපිට තිබුණේ හිතාගන්න බැරි පරිමාවක උනන්දුවක්. කරුණු හොයන්න ගුරුවරුන්ට සෑහෙන්න වදයක් දුන්නා. පුස්තකාලෙට ගිහිල්ලා කරුණු හෙව්වා.

මේ කාලේ චමීර නිතරම ඉස්සරහින් හිටපු චරිතයක්. හැමෝගෙම ආදරේ වගේම ගෞරවයත් මිත්‍රයාට ලැබුණා. රතු පාට දේශපාලන පක්ෂයට සම්බන්ධ පවුලකින් ආපු නිසා වෙනස්ම අදහස් ඔහුට තිබුණේ. අපි හසිත අයියලගෙ ගෙදර ගිහිල්ලත් පුරුදු වුණා. යන්තම් අවුරුදු දාහතරක් වුණත් දේශපාලන වාද විවාදවලට පවා අපි පැටළුණා. චමීර ප්‍රමුඛයා. ඒ කාලයේ රතු පාට දේශපාලන කඳවුරේ හිටපු ප්‍රධාන කථිකයෙක් තමා චමීරගේ වීරයා. දවසක් මට මතකයි ඔහු කිව්වා ඔය රතු දේශපාලන චරිතයයි හසිතයි තමයි ලංකාවේ ඉන්න හොඳම කථිකයෝ කියලා. ලොකු අය හිනා වුණා.

කොහොම හරි අපි පළවෙනි විවාද තරගාවලියට ගියා. ඉදිරිපත් වුණු පළවෙනි විවාද තරගාවලියම අනුශූරතාව අපිට ලැබුණා. ඒ වෙනකොට දිස්ත්‍රික්කයේ විවාද සම්බන්ධ ලොකුම පාසලත් අපි පරාජයට පත් කළා. මේ ජයග්‍රහණයත් එක්කම පාසල ඇතුළෙ අපි හැමෝටම ලොකු අවධානයක් ලැබුණා. අපිව වෙනස් විදිහෙ ගමනක් එක්කගෙන යන්න ගුරුවරු කිහිප දෙනෙක් පෙළගැහුණා. ඒ හැමෝම චමීරට ගොඩක් ආදරේ කළා. මිත්‍රයාගේ කටකාරකම ඒකට ලොකු හේතුවක් වුණා.

මේ කාලේ උසස් පෙළ කලා අංශය නවය වසරේ හිටපු අපිට නිතර යන්න එන්න පුළුවන් තැනක් බවට පත් වුණා. අපේ ජ්‍යෙෂ්ඨ සහෝදරයෝ හැමෝම නිතරම අපිට අවස්ථාවක් දුන්නා. මාධ්‍ය ඒකකය බවට පත්වුණේ අපි. උදෑසන රැස්වීම මෙහෙයවූයේ අපි. මේ හැමදේම සිද්ධ වුණේ මාස කිහිපයක් ඇතුළත. මම විශ්වාස කරන විදියට ඒක තමයි අපේ ජීවිතවල පරිවර්තනය ආරම්භ වුණු අවුරුද්ද.

මේ කාලේ දහම් පාසල් මට්ටමේ තරගාවලියක් ආවා. ඒක තිබුණෙ දර්ගා නගරේ අඹගහ හන්දිය පන්සලේ. අපේ දහම් පාසලින් මාව ඉදිරිපත් කරද්දී, චමීරව එයාලගේ දහම් පාසලින් ඉදිරිපත් කරලා තිබුණා. අපේ දහම් පාසලින් මාව වැරදීමකින් ජ්‍යෙෂ්ඨ අංශයට දාලා. මිත්‍රයා නිවැරදි විදිහට කණිෂ්ඨ අංශ‍යේ. මේක මහ පැටලිල්ලක්. මම කලබල වෙලා හිටියේ. චමීර කිව්වා අවුලක් නෑ.. දෙන්නා දෙපැත්තෙන් දිනමු කියලා. කොහොම හරි අපි දෙන්නම තරගෙට ගියා. ප්‍රතිවාදියෝ නොවිච්ව එක ගැනයි අපි එතනදි ගොඩාක්ම සතුටු වුණේ.

දර්ගා නගරය මැද්දේ වේදිකාවක තමයි තරගය පැවැත්වුණේ. මට අද වගේ මතකයි මිත්‍රයාට ලැබුණේ ජාතික සමගිය ගැන මාතෘකාවක්. ඇත්තටම චමීර එදා මුළු නගරෙම හෙල්ලෙන්න කතා කළා. ඒක බොහොම සැර ලස්සන කතාවක්. ඒ කතාව ගැන ගොඩක් අය ප්‍රසාදයෙන් කතා කරපු බව මට පස්සේ තේරුණා. කොහොම හරි එදා දවසේ චමීර සහභාගි වූ අංශයෙන් චමීර පළවෙනියා වුණා. මම සහභාගි වූ අංශයේ දෙවැනියා වුණා. අපිට තෑගි විදිහට ලැබුණේ එක ජාතියේ කොපි පොත්. මේ දේවල් ඔකොම සිද්ධ වුණේ 2006 අවුරුද්ද මුල් මාසවල.

හසිත අයියා.. ඒ කියන්නේ වර්තමාන වේල්ස් කුමර විදුහලේ විදුහල්පතිතුමා.. අපිට කථික පොතක් හදාගන්න කියලා කිව්වා. අපි දෙන්නම කථික පොත විදිහට අරගෙන ඇවිල්ලා තිබුණේ අර තරගයෙන් දිනපු එක ජාතියේ පොත් දෙකක්. අපි හැමෝගෙම ගෙවල්, දුරකථන අංක කථික පොත් පිටිපස්සේ ලියාගත්තා. හසිත අයියාගේ ගෙදර දී චමීර එක්ක අපි පොත පිටිපස්සේ අත්සනුත් පුරුදු වුණා. විවාද කථික තරග වෙනුවෙන් භාවිත කරන ආරම්භ, අවසාන පොතේ මුල් පිටුවල ලිව්වා. චමීරගෙන් දැනුණේ සහෘද බවක්. අපි මේ වෙද්දි හොඳ මිත්‍රයො වෙලා හිටියේ මාස කිහිපයක් ඇතුළත.

ඒත් ඇත්තටම අපිට ලොකු කාලයක් තිබුණේ නෑ. ඒ දවස උදා වුණා. අන්තර් පාසල් කථික තරගාවලියට චමීරව තමා පාසලෙන් තෝරාගෙන තිබුණෙ. මම මේ තරගවලට ඇතුළත් වුණේ නෑ. චමීර තරගයට ගිහිල්ලා තිබුණෙ තාත්තත් එක්ක. ඒක තමයි තාත්තගෙයි පුතාගෙයි අවසාන ගමන වුණේ. ඇත්තටම මේ කතාව මතක මඟ දිඟේ ගැඹුරටම ගෙනියන්න මට දැන් වුවමනාවක් නෑ. 

එදා නිවාඩු දවසක්. හවස් වෙද්දි දුම්රිය අනතුරක් ගැන ආරංචි පැතිර යමින් තිබුණේ. ඒත් කවුද කින්ද මන්ද කියලා කවුරුත් දැනගෙන හිටියේ නෑ මුලින්. කොහොම හරි හවස් වෙද්දී අපේ ගෙදර අය විස්තරය දැනගෙන. ඒත් මට කිව්වේ නෑ. හර්ෂණ අයියා කතා කරලා කියලා තිබුණේ මම හිතන්නේ.

හවස් වෙද්දී මගේ හිතට ලොකු සැකයක් ඇවිල්ලා තිබුණා. රෑ ප්‍රවෘත්තිවලදී මම දැක්කා චමීරගේ කථික පොතයි පැන්සල් පෙට්ටියයි පෙන්නනවා. මට ඒක දරාගන්න බැරි වේදනාවක් වුණා. අර පොතේ පිටිපස්සේ ලියලා තිබුණු අපි පස්දෙනාගේ අංකවලින් පළවෙනියට තිබුණේ  ෂෙහාන් - හේෂාන් කියන අපේ කණ්ඩායමේ හිටපු නිවුන් සහෝදරයන්ගේ ගෙදර අංකයයි. අනතුර වුණු තැන හිටපු අය කතා කරලා තිබුණෙ එයාලට. 

මම එදා ඇඬුවා. බලන්න යන්නම ඕන කිව්වා. අන්තිමට ගෙදර අය මාව චමීරලගේ ගෙදර අරගෙන ගියා. ඒක බොහොම බොඳ වුණු මතකයක්. හැමෝම කිව්වේ මගේ මිත්‍රයාට එතනින් අයින් වෙන්න පුළුවන්කම තිබුණත් අවසන් මොහොත වෙනකම් තාත්තාව අල්ලගෙන හිටියා කියලා. කොහොම හරි "ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකක්." පළවෙනි වතාවට තදින්ම දැනුණේ එදා. චමීරගේ අවසන් කටයුතු කෙරුණු දවස ජීවිතයේ අමතක නොවන දවසක් වුණා. මම දැක්කා අපේ ගුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨයන්ගේ කඳුළු. පළමුවෙනි වතාවට මමත් මළගෙදරකදී ඇඬුවා.

“දෙවැනි පුරුක අහිමි වූ අලුත්ම විද්‍යාලයේ විවාද කණ්ඩායම" කියලා කවි කොළයක් අපේ ජ්‍යෙෂ්ඨ සහෝදරයෝ එදා බෙදුවා. තවමත් ඒක මගේ ළඟ පරිස්සමට තියෙනවා. කථික විවාද සම්බන්ධ දක්ෂතා දක්වන දරුවෝ දැක්කම අදටත් මට චමීරව මතක් වෙනවා. ඉතින් මම අද ඒ මතකයේ ගැඹුරටම ගියා. 

ඇත්තටම අපේ හැම මතකයක්ම සුන්දර නෑ. මතක මාවත එක සැරිසරද්දී මේ වගේ වේදනාත්මක මතකයන් අපිට හම්බ වෙනවා. ජීවිතය කියලා කියන්නේ වෙන්වීම්, හමුවීම්වලින් පිරී ඉතිරිලා යන තැනක්. හැම හමුවීමක් අගම වෙන්වීමක් තියෙනවා. ඒක තමා ලෝක ස්වභාවය.

I නිසල්