2022 ජුලි 17 වන ඉරිදා

බනිනවා නම් මාර ආසයි

 2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00 602

පෙම්වතා සැර නොකිරීම ප්‍රශ්නයක්

මම 27 හැවිරිදි විවාහ අපේක්ෂිත තරුණියක් වෙමි. මාගේ පෙම්වතා ගොඩාක් හොඳ කෙනෙකි. අපි දෙදෙනාට දෙදෙනා ආදරයෙන් සෙනෙහසෙන් සිටිමු. අනෙක් පෙම්වතියන්ට නොමැති ගැටලුවක් මා හට කාලයක සිට ඇත. මාගේ පෙම්වතා මා සමඟ කිසිදිනක රණ්ඩු නොකිරීම මා හට ලොකු ප්‍රශ්නයකි. මා කුමක් කළත් කිසිදාක සැර කරලාවත් නෑ. ඔහු ඒ තරමට හොඳය. එහෙත් ඔහු මට සැර කරනවාට මම සිතින් ප්‍රිය කරමි. මාගේ හැඟීම මට ඔහුට කියාගන්නට බැරිය. ඔහුට කේන්ති නොයන්නේ මන්දැයි මම දිනක් ඔහුගෙන් විමසීමි. එවිට ඔහු පැවසූයේ ඒ ඔහුගේ ස්වභාවය යනුවෙනි. මා මේ ගැන මාගේ මිතුරියකට පැවසීමේදී ඇය මට පැවසූයේ එය කෙතරම් වාසනාවක්දැයි යනුවෙනි. මා කොතෙක් මේ හැඟීම වෙනස් කර ගැනීමට නොහැකි වුවත් මට එය තනිවම කරගැනීමට තවම බැරිවී ඇත. වෛද්‍යතුමනි, උපදෙසක් පතමි.

ශෂී - ගම්පහ

උපදෙස:

මෙයට හේතු කිහිපයක් තිබේ. පළමුවැන්න නම් දරුවකු කුඩා කලදී ඔහුට දැනුණහොත් යමෙකු බනින්නේ ගහන්නේ තරහට නොව ආදරේට බවත් එය සාමාන්‍ය දෙයක් බවටත් යනුවෙන් සිතට කා වැදී තිබුණොත් ඒ දරුවා විශ්වාස කරනවා එහෙම කරන කෙනෙක් තමයි තමන්ට ආදරේ කරන්නේ කියලා. ඊට අමතරව සමාජයේ මානුෂීය අදහස් ඇති අනුභූතික හැඟීම් තිබෙන සමහර පුද්ගලයෝ ජීවත් වෙති. ඔවුහු අනෙකා පීඩාවට ලක් කිරීමෙන් තොරව සමගිය ආරක්ෂා කරගනිමින් තනිවම විඳදරා ගනිමින් නිහඬව බලා සිටිති. සමහර අවස්ථාවලදී මිනිසුන් අතර මතයක් තිබෙනවා එහෙම අය ආදරයක් නැති සැලකීමක් නැති බොරු කරන පිරිසක් හැටියට. ආදරයක් තියෙන හරි පිරිමියෙක් නම් වරදක් කළාම මේ විදිහට නිහඬව ඉන්නේ නෑ වගේ අදහසක් අපේ සමාජයේ තිබෙනවා. ඒ වගේම සැරපරුෂ නොමැති අය නිවටයන් සේ සලකන ගතියක්ද තිබේ. ඒ සියල්ල වැරුදි මත. එවැනි මත තිබීමත් මෙවැනි තත්ත්වයට හේතුවීමට පුළුවන. මෙම ප්‍රශ්නයේදීත් මෙවැනි වැරදි හැඟීමක් ඔබට තිබෙන්නට ඉඩ ඇත. මෙම සරල කාරණාවලින් ඔබ්බට මීට වඩා සංකීර්ණ කාරණාවක් තිබේ. මෙය යම් රෝගී තත්ත්වයක් දක්වා යාමට හැකිය. එනම් යමකු සතුටට පත්වෙන්නේ අන් පුද්ගලයා තමන්ට හානි කරන විටයි. සැරෙන් බනිද්දී, අසභ්‍ය වචනයෙන් බනිද්දී, අනෙක් අය ඉදිරිපිට බනිද්දී ගහද්දී ඔවුහු සතුටු වෙති. එයින් ඔවුහු සැනසීමට පත්වෙති. මෙය එක්තරා රෝගී තත්ත්වයකි. එය ස්ව පීඩා කාමුකත්වය ලෙස හඳුන්වයි. මෙම ප්‍රශ්නය යොමුකරන ඔබ හට මෙවැනි තත්ත්වයක් ඇත්නම් එය වහාම ප්‍රතිකාර ක්‍රම මගින් නිවැරදි කරගැනීම අත්‍යවශ්‍යයි. මෙවැනි තත්ත්වයක් දක්වා දුරදිග යාමට ප්‍රථම වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන උපදේශනය මගින් සුවකර ගත යුතුය. සැබෑම ආදරය රුකවරණය යනු අනවශ්‍ය ආකාරයට සැර කිරීමවත් පහරදීමවත් නොවේ.

කතා කරද්දී ගොත ගැහෙයි

මට වයස 26යි. පෞද්ගලික ආයතනයක ලිපිකාරිණියක් විදියට වැඩ කරමි. කතා කරනකොට ගොත ගැහෙයි. හඬ හරියට පිට නොවෙයි. රුකියාවට ගිය පසු මෙම තත්ත්වය වැඩිවී තිබේ. සභාවක වගේ කතා කරද්දීත් මේ ස්වභාවය වැඩිවෙයි. ගොත ගැහෙන නිසා මම ගොඩක් අවස්ථාවලදී පීඩාවට පත් වී සිටිමි. මම තරමක් ලැජ්ජාශීලි කෙනෙකි. වැඩිපුර කතාබහ නොකරමි. ඉඳලා හිටලා හරි කාත් එක්කහරි කතා කළත් ගොත ගැහෙයි. මේ ගොතය නිසාත් මම කතාබහ නොකර මඟහැර සිටිමි. මේක මට ලොකු හිසරදයක්. මෙය නැතිකරගන්න ක්‍රමයක් තිබෙනවාද? 

හසිනි - කොට්ටාව 

උපදෙස:

යමෙකු කුඩා කල පටන් හැදෙන වැඩෙන පරිසරය සහ සමාජ පන්තිය අනුව පිරිසක් ඉදිරියේ කතා නොකරන ලජ්ජාශීලී කෙනකු වීමට පුළුවන්. විශේෂයෙන් මේ කියන දරුවා ගැහැනු දරුවකු නිසා අපේ රටේ තිබෙන සමාජ සංස්කෘතික සභ්‍යත්වය අනුව බොහෝ ගැහැනු දරුවන් හදන්නේ ලජ්ජාශීලීවයි. ලජ්ජාශීලී බව ගැහැනු දරුවකුට තදින්ම තිබිය යුතු යැයි විශ්වාස කරයි. ඒ හේතුවෙන් වැඩිහිටියන් සමඟ කතා කිරීමටත්, සමාජශීලී වීමටත්, තර්කානුකූල දරුවකු බිහිවීමටත් එය බාධාවක් වෙයි. ගැහැනු ළමයි වුණාම ඔහොමද? ඔහොම කියවනවාද? මෙවැනි අදහස් නිසා සමාජයට හුරුවීමට නොහැකිව සංස්කෘතිකමය වශයෙන් ඇතිවන ලජ්ජාව නිසා ඔබ පවසන තත්ත්වය ඇතිවන්නට පුළුවන්. එයම ගොත ස්වභාවයට හේතුවක් වීමටද බලපායි. මෙම තත්ත්වය වැඩිදුර යාමේදී උසස් අධ්‍යාපනය, සරසවි අධ්‍යාපනය ලබන අවස්ථාවලදී අනවශ්‍ය ආකාරයට නවක වදයට ලක්වීමට බලපෑවා නම් එවැනි අවස්ථාවලදීත් නොහික්මුණු පුද්ගලයන්ගේ හැසිරීම් හමුවේ මෙවැනි අවපීඩනයකට ලක් වූ ප්‍රතිරෝධී මානසික තත්ත්වයක් ඇතිවීමට පුළුවන්. පශ්චාත් ක්ලමථ අක්‍රමතාවක් ලෙස බලපායි. එය ඔහු හෝ ඇය යම් ස්ථානයක හැසිරීමේදී පෙර අත්විඳි කනගාටුදායක සිද්ධිය බලපාලා සංත්‍රාසක ප්‍රහාරයක් (panic attack) හේතුවෙන් බය වීම, වෙව්ලීම, ගොත ගැසීම, වචන පැටලීම වැනි තත්ත්වයක් ඇතිවීමට පුළුවන්. අනෙක් කාරණය සමාජ භීතිකා (Social phobia) තත්ත්වයයි. කතා කිරීමට අපහසු පැකිලෙන ස්වභාවය ඇතිවීමට මෙකී කාරණයත් බලපාන්න පුළුවන්. ඒ වගේම මානසික වශයෙන් ඉහත කී ආකාරයේ රෝග නිසා ගොත ගැසීම ඇතිවනවා සේම කායික රෝගී තත්ත්වයක් නිසාත් මෙය ඇතිවීමට පුළුවන. ස්වර තන්ත්‍රවල පිහිටීම, දිවේ පිහිටීම, ස්නායුවල අපහසුතා මෙන්ම ශ්‍රවණ හේතු බලපෑමෙනුත් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට පුළුවන්. එසේ නම් උගුර කන නාසය (ENT) වෛද්‍යවරයකුගේ සහ කථන පුහුණු චිකිත්සකවරයකුගේ පරීක්ෂාවට ලක් කිරීමෙන් එවැනි අයකුගේ උපදෙසක් ලබා ගැනීමත් වැදගත්. එවැනි කායික ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය නම් එම ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු නිසි මනෝ ප්‍රතිකාර ලබාගැනීමෙන් මෙම තත්ත්වය සම්පූර්ණයෙන් පහසුවෙන් සුව කර ගත හැකිය.

පුතා ඇයි මෙච්චර බය

මගේ චූටි පුතා දැන් ඉන්නේ 2 වසරේ. පුතා රජයේ පාසලක ඉගෙන ගන්නවා. මගෙ දරුවා ගෙදරදී හොඳ ක්‍රියාශීලි දරුවකු වුණත් පාසලේදී මුළුගැන්විලා සිටින්න උත්සාහ කරනවා. ගුරුවරුන්ට යාළුවන්ට ගොඩක් බයයිලු. පන්ති බාර ගුරුතුමියත් කිහිප වතාවක් මා දැනුවත් කර තිබෙනවා. පුතා ගෙදරදී එහෙම නැහැ. එයාගේ අයියා එක්කත් හොඳට සෙල්ලම් කරලා ඉන්නවා. ඒත් ඉස්කෝලෙදී යාළුවො එක්ක සෙල්ලම් කරන්නෙත් නැතිලු. පාඩම් වැඩ අහගෙන ඉන්නෙත් නැතිලු. මේ නිසා සමහර ගුරුවරු පුතාට බැනලා තියෙනවා. උගන්වන දේවල් අහගෙන ඉන්නෙ නෑ කියලාත් ගුරුවරු මට පවසා තිබෙනවා. ප්‍රශ්නයක් ඇහුවාම පුතා ගොඩක් බය වෙනවලු. උත්තර දැනගෙන හිටියත් එයා උත්තර දෙන්නෙ නැතිලු. මම මේ දේවල් ගැන පුතාගෙන් ඇහුවාම පුතා මොනවත් කියන්නෙ නැහැ. වෛද්‍යතුමනි, පුතාගේ මේ වෙනසට කුමක් කළ යුතුද?

මංජුලා - කඳාන

උපදෙස:

මෙම ප්‍රශ්නය සාකච්ඡාවට බඳුන් විය යුතු වැදගත් පැනයක්. ඒ වගේම මාධ්‍යයක් මගින් මෙම තත්ත්වය කතාබහට ලක්වන පළමු අවස්ථාව මෙය වීමටත් පුළුවන්. දරුවන් අතර අධි සංවේදී (Hyper sensitive ) දරුවන් කියා කොටසක් සිටිති. අධි සංවේදී දරුවන් ඉපදීමෙන් එම දරුවන් ඉතාම බුද්ධිමත්, දක්ෂයි. ඔවුහු අපවාදයට ලක්වීමට කැමැත්තක් නොදක්වති. කෑකෝ ගැසීම්වලට, අධික ශබ්ද අසෙනවාට, ඝෝෂාවලට රුචි නොවෙති. අහල පහළ රතිඤ්ඤා පුපුරද්දී, නිවෙසේ පිඟානක් සාස්පානක් බිම වැටුණාම බනිද්දී කෑ ගහද්දී වැනි අවස්ථාවලදී කන් දෙක වසාගෙන දුවන දරුවන් සිටින්නේ මෙවැනි දරුවන්ය. එවැනි දරුවන්ට මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් බලපායි. බොහෝ වේලාවට පාසල්වල අත්දකින දෙයක් වන්නේ ගුරුවරුන් මේසෙට වේවැල්වලින් පහරදීමත්, ඇතැම් දරුවන් කෑකෝ ගැසීමත්, තමන්ට නොවුණත් වෙනත් දරුවකුට බනිද්දීත් මෙවැනි දරුවෝ ඔවුන්ගේ අධි සංවේදී තත්ත්වය හමුවේ කැළඹීමකට ලක් වෙති. මේ හේතුවෙන් තමන් තුළ දැඩි බියක් තැති ගැන්මක් ඇතිවෙයි. මෙවැනි අධි සංවේදී දරුවෝ තමන්ට සුවපහසු පරිසරයකදී සාමාන්‍ය පරිදි සිටින අතර ඉන් ඔබ්බට වෙනස් විදිහකට හැසිරීමට පෙළඹෙති. මෙහි අනෙක් පැත්ත වීමටත් පුළුවන්. පාසලේ ගුරුවරයා ඉතාම සංවේදී වී පන්තිකාමරය සාමකාමී පරිසරයකදී නිවෙසේ තත්ත්වය ඝෝෂාකාරී නම් නිවෙසේදී මෙම තත්ත්වය බලපායි. මෙම දරුවාටත් මෙවැනි අධි සංවේදී බව තිබෙනවාදැයි පරීක්ෂා කර බලා මෙවැනි පරිසරයකට හුරු කරවීමට අවශ්‍ය දරුවාගේ පෞරුෂ වර්ධනය සහ ඒ ඒ අවස්ථා හඳුනාගෙන ඒවාට හැඩගැසීමට අවශ්‍ය පුහුණුව සහ ක්‍රියාකාරකම් මගින් මෙම දරුවා යථා තත්ත්වයට පහසුවෙන් පත් කරගත හැකිය.

(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මනඃකල්පිත බව සලකන්න)
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන් හමුවෙමු.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන