2022 ජුලි 10 වන ඉරිදා

බැඳීමක් කියන්නෙම රිදීමක්

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 78

අස්වාභාවිකත්වය කියන්නේ මොකක්ද? ස්වභාවිකත්වය ඉක්මවා යන සෑම තැනකම නිර්මාණය වෙන යමක් වේද එය ස්වාභාවිකත්වය ලෙස සලකන්න මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ. ඒත් ඒ සියල්ල සාපේක්ෂයි. ස්වභාවිකත්වය නමින් යමක් ලොව ඇති නිසා තමයි එකී නිර්ණායක ඉක්මවා  යන සියල්ල අස්වාභාවිකත්වය ලෙසින් නම් ලද්දේ. සාමාන්‍ය අසාමාන්‍යතාවය පිළිබඳ නිර්ණායකයත් එහෙමමයි.. භෞතික හා ආධ්‍යාත්මික සාධක මත යමක් මෙසේ වේ යැයි තීරණය කරන්නෙ අපි. දරුවන් සාමාන්‍ය සහ අසාමාන්‍ය ලෙස වර්ග කෙරෙන්නෙත් එහෙමයි. එහෙත් ආදරේ කියන්නෙ කොයි වගේ නිර්මල හැඟීමක්ද කියලා ලෝකයටම කියා දෙන  අම්මගේ ආදරය දරුවෙක් කොයි විදිහට මේ ලෝකෙට ආවත් එක සමානයි. තිඹිරිගෙයි තුළම දරුවන් වෙනුවෙන් මරණය ඉරණම ලියන පව්කාර අම්මලා ඇරෙන්න වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දාරක ස්නේහය හඳුනන අම්මා කෙනෙක් කියන්නේ ආදරේ ගැන මේ ලෝකයට කියා දෙන දේවතාවියක්.

පපා හින්දි චිත්‍රපටය කතා කරන්නෙත් එහෙම අම්මා කෙනෙක්ගෙ ආදරේ ගැන. මම දන්නෙ නෑ සොබාදම ඇයි මෙහෙම කළේ කියලා. ඒත් සොබාදම හුඟාක් දේවල් නිර්මාණය කරලා තියෙන්නේ අසීමාන්තික විදිහට. කෙළවරක් වගේම අවසානයක් නැති විදියට. කෙළවරක් හෝ අවසානයක් නැති හැමදෙයක්ම අනන්තයක්. මම විශ්වාස කරනවා සොබාදහම ආදරය ගැන කතන්දරේ කියා දෙන්න ඒ වගේ නිමැවුම් ලෝකයට එක් කරන්න ඇති කියලා.

හරියට අම්මගේ ආදරය  සඳ එළිය වගේ. සඳ එළිය තරම්  සුපිරිසිදු, අකලංක නිර්මල  දෙයක් ලෝකයේ තවත් නෑ. සඳ එළිය කියන්නේ කිසිම දෙයකින් කිළිටි නොවුණු දෙයක්. ඒ නිසාම එය පවිත්‍රයි. සොබාදහම සඳ එළිය ගැන කියා දෙන්නේ අම්මගේ ආදරය මතක් කරමින් කියලයි මට හිතෙන්නේ.

දරුවෙක් නලවන පළමු තොටිල්ල අම්මගේ අත් දෙක. ඒ ඇඟිලිතුඩු අග්ගිස්සෙන් බිඳෙන්නේ ආදරය, දයාව සහ මෛත්‍රිය. අම්මා කෙනෙක්ගෙ නැලවිලි ගීයක තියෙන සුමිහිර මේ ලෝකයේ එක සංධ්වනියකවත් නෑ. නැලවිලි ගීයක් අම්මා කෙනෙක් ගයන්නෙ හදවතේ පතුලින්ම නැග එන අපිරිමිත ස්වරයෙන්. ලස්සන මලක් වගේ දරුවෙකු වුණත්, අවලස්සන දරුවෙක් වුණත්, ඒ කොයි දරුවා වෙනුවෙනුත් අම්මා කෙනෙක්ගෙ ආදරේ එක හා සමානයි.

පපා චිත්‍රපටයේ දරුවා  අසාමාන්‍ය රෝග තත්ත්වයකින් පෙළෙනවා. ඒ දරුවා වයසට වඩා අවුරුදු ගාණකින් වයසක පෙනුමක් උරුම කර ගන්නා රෝගයක්. ඒක දරුවන් ලක්ෂ ගණනාවක් අතුරින් එක් දරුවෙකුට හැදෙන රෝගයක්. දරුවාගෙ ඉන්ද්‍රිය පද්ධතියත් ඒ රෝගය අනුව වයස අවුරුදු ගාණකින් වර්ධනය වෙනවා. ඉක්මනින් වියපත් වන දරුවා ඉක්මනින් මරණයට පත්වෙනවා. අවාසනාවන්තම දේ තමයි දරුවෙක්ගෙ තියෙන සුකුමාර ලස්සන පෙනුම කවදාවත් එහෙම දරුවෙක්ගේ මුහුණෙ අතපයේ දකින්න නැති එක.

දරුවකු බිහිකළත් ඇය බිරිඳක් නෙමේ. ඇගේ කුසට දරුවෙක් පැමිණෙන්නේ ඇගේ පෙම්වතාගේ නමින්. දේශපාලන ගමනක් යන්න බලා සිටින ඔහුගේ ජීවිතයෙන් ඇය මඟහැරී යනවා. අවුරුදු ගණනාවකට පසු  ඇය මුණගැසෙන තෙක් ඔහු දන්නෙ නෑ තමන් තාත්තා කෙනෙක් බව. තමන්ගෙ ලෙයින් මේ ලෝකෙට බිහි වූ දරුවා කොයිතරම් අසාමාන්‍ය අස්වාභාවික දරුවෙක්ද කියලා දැනගන්න පළමු මොහොතේ ඔහු අත්විඳින්නෙ මහත් කම්පනයක්. අවසානයේදී ඒ දරුවා තමන්ගේ ඉරණමට අවනතව මේ ලෝකයෙන් නික්ම යනවා. ඒ දරුවා නික්ම යද්දී ඔහුත් ඇයත්  අවුරුදු ගණනාවකට පසු එක්වෙනවා. යමක් හිමිවෙද්දි තවත් යමක් අහිමිවෙන හැටි ජීවිතයේ  නියමයක් වගේ සමහර වෙලාවට.

ඔයාට හිතෙන්නෙ නැද්ද බැඳීමක් කියන්නෙ හරි රිදීමක් කියලා. මුදුන් මුල තෙක් දිවෙන මහා මුල් කන්දරාවකින් මේ මහ පොළොව අල්ලගෙන ඉන්න දැවැන්ත ගහක් වගේ අපි බැඳීම්වල මුල්වලින් මේ සංසාරය අල්ලගෙන ඉන්නවා. ඒ මුල් සිඳ බිඳ දමනකම් සංසාරය කියන්නෙ  නිමා නොවන ගමනක්. කොයිතරම් වේදනාත්මක බව දැන දැනත් සංසාර ගමන තවත් ගැටගහගන්න අපි මේ ජීවිතය පුරවගන්නවා බැඳීම්වලින්. ඒ බැඳීම් ලිහාගෙන ලිහාගෙන ගිහින් සංසාරයෙන්  නික්මෙන සැනසිල්ලෙ ද්වාරයක් ළඟ  නවතින්න පාරමිතාවක් පුරන්නෙ අපි කීයෙන් කී දෙනාද?

සංජු