2022 ජුලි 10 වන ඉරිදා

දෙල් ගහ වටේට කතා කෝටියක්!

 2022 ජුලි 10 වන ඉරිදා, පෙ.ව. 08:00 194

අද කතාව පටන් ගන්නේ තෙල් පෝලිමකින්. ඒත් මේක තෙල් ගැනවත්, පෝලිම් ගැනවත් කතාවක් නම් නෙවෙයි. ජීවිතේ ඈත කෙළවරක මතකයන් ගොන්නක සොඳුරු අවදිවීමක්. මේ මතකයන් දුහුවිලි වළාවකින් වැහිලා තිබුණේ. ටිකක් සුද්ධ පවිත්‍ර කරලා ගන්න තෙල් පෝලිමේ නැවතුම හේතු වුණා. 

දවසේ කතාව පටන් ගන්නේ මෙන්න මෙහෙම.. තාත්තා පෝලිමේ ඉඳලා හවස ගෙදර ආවා බෙහෙත් ටික බීලා රූට කාලා යන්න. ඉතින් මම පැය තුන හතරකට පෝලිමට එකතු වුණා. පෝලිමේ අපේ නැවතුම තිබුණේ හරි අපූරු තැනක. අපේ "පොඩි ඉස්කෝලේ" කිට්ටුව. පොඩි ඉස්කෝලේ කියලා කියන්නේ මම ඉගෙන ගත්ත පාසලේ කනිෂ්ඨ අංශය. එක වසරේ ඉඳන් අට වසර වෙනකල් පන්ති තිබුණෙ ඒ කොටසේ.

පොඩි ඉස්කෝලෙ තාප්පෙ, ගේට්ටුව දකින කොට මහ පුදුම හැඟීමක් දැනුණා. ජීවිතේ ලස්සනම කාලේ අවුරුදු අටක් ඔය තාප්පෙන් එහා පැත්තේ ගත කළා නේද? ආයෙ ඉස්කෝලේ යන්න හිතෙනවා. කාලේ ගතවෙනවා තේරුණේ නෑ. මතක මඟ දිගේ සෑහෙන ඈතකට හිත ඇවිදන් ගිහින්. එකපාරට ආයේ මම මේ මොහොතට ආවා. පිස්සෙක් වගේ තනියම ඒ පැත්ත බලාගෙන ඉන්න බෑ. ආ ම්ම්ම්.. හතර අතේ පෝලිමේ මිනිස්සු කල්ලි ගැහිලා. කට්ටියක් ඕමි බලනවා, කට්ටියක් දේශපාලන සංවාදයක, තෙල් එන වෙලාවක් දවසක් ගැන කවුරුත් දන්නෙ නෑ.

මම හිමිහිට අපේ තුන් රෝද රියට ගොඩවුණා. පිටිස්සෙ ආසනේ හාන්සියක් දාගෙන ජංගමයා දෝතට කැඳෙව්වා. ඉතින් මේ කතාව ලියන්න පටන් ගත්තා. මොහොතකට කලින් මගේ අනිමිසලෝචනයෙන් පිදුම් ලබපු මාලේවන්බද්ධ අපේ පොඩි ඉස්කෝලෙ මතකයන් තමා අවදි වෙන්නේ. ම්ම්ම්.. ඒ මතකවල දුහුවිලි පිහිදාන අතරේ මම කතාවක් කියන්නම්. මට වගේම මේ විදිහේ කතාවක් ඔයාටත් අනිවාර් ෙයන්ම ඇති, ඉතින් මේ කතාව කියවලා ඉස්පාසුවේ ඒ මතකවල මකුළු දැල් කඩා දුහුවිලි පිහිදාල ලෑස්ති වෙන්න.

පොඩි ඉස්කෝලෙ එහා පැත්තේ තාප්පෙ කෙළවරේ ඉඳන්, ඉස්සරහ ගේට්ටුව ගාවට වෙනකල් දේවල් මනසෙන් මවාගන්නයි මේ උත්සාහය. ඔව්.. පොඩි චාරිකාවක්.

පොඩි ඉස්කෝලෙ පිට්ටනියේ කෙළවරේ තිබුණේ පුංචි කැලෑ ගතියක්. ගුරුවරු කවුරුත් කැමති වුණේ නැහැ ඔතනට ළමයි යනවට. පඳුරු ගස් කිහිපයක් නිසා ආවරණය වුණු පාළුවට ගියපු ඒ හරිය ගැන පුංචිම කාලේ අපිට තිබුණේ බයක් මුහුවුණු කුතුහලයක්. හිමිහිට හිමිහිට ලොකු වෙද්දි ඔය කැලෑ කෑල්ල තරණය කරන වික්‍රමාන්විත වැඩේ අපි කවුරුත් කළා. පස්සේ පස්සේ අපේ සමහරු ඔය හරියේ කූරෝ අල්ලා උන්ගේ පස්සේ නූල් ගැටගහලා උඩ යැව්වා මට යාන්තමට මතකයි. ඒ වගේම අපි හැංගිමුත්තම් කරන්නත් ඔය කැලේ හරිය පාවිච්චි කළා. අට වසරෙදි වගේ සමහරු කාලච්ඡේදත් මඟහැරලා ඔය පැත්තේ හැංගිලා ඉඳලත් තිබුණා. 

ඒ වගේම ඔතන එක පැත්තකට වෙන්න තිබුණා දුර පනින්න භාවිත කරපු සුදු පාට වැලි වළක්. චූටිම කාලේ මට එතැන ලස්සන වෙනස් තැනක් විදිහට පෙනුණේ. එතැනත් අපි සෙල්ලම් කළා මතකයි. එතකොට “පොඩි පිච් එක" තිබුණෙත් ඔය පැත්තට වෙන්න. එහා කෙළවරේ තමයි (වොලිබෝල් කෝඩ් එක) තිබුණෙ. මැද (පිච් එකේ) සෙල්ලම් කරන්න හම්බවෙන්නේ 7 වසරට 8 වසරට වගේ ගියාම. පොඩි කාලේ හැමෝම හරියට ක්‍රිකට් අතක් ගැහුවා නම්, ඒ ගැහුවේ "පොඩි පිච්" එකේ. (පොඩි පිච්) එකේ ඉඳන් ඉස්කෝලේ පැත්තට ඇවිදගෙන එද්දි තමා පිටිපස්සේ ගේට්ටුව හම්බවෙන්නේ. එතැන එහා පැත්තේ සෙල්ලම් පිට්ටනිය.

පුංචිම කාලේ වේලාසන ඉස්කෝලේ ඇරෙනවා. ඉතින් මමයි මගේ යාළුවයි පාසල් වෑන් එක එනකල් ඔන්න ඔතන ඉන්නවා. වෙරළු ආච්චි කෙනෙක් හිටියා. තව බොම්බයිමොටයි මාමා කෙනෙකුත් හිටියා. අපි ගොඩක් වෙලාවට බොම්බයි ටිකක්, නයිස් එකක් කනවා. වතාවක් අපිට නොමිලේ නයිස් වගයකුත් දුන්නා ඒ මාමා. මතක විදියට අපි හිටියේ යාන්තම් එකේ දෙකේ පන්තිවල වගේ. සෙල්ලම් පිට්ටනිය කියන්නේ නම් ටිකක් අමුතු තැනක්. උඩින් පනින්න හදපු ටයර් වගයක්. එල්ලි එල්ලි යන්න පුළුවන් (ගැජට් එකක්( වගේ දේවල් කිහිපයක්ම එතැන තිබුණා.

ඒත් වැදගත්ම දේ තිබුණේ සෙල්ලම් පිට්ටනියේ තාප්පේ ළඟ. එහා පැත්තේ ගෙදර අය ළමයින්ට අයිස්, ඩොංගා, වෙරළු වගේ කෑම ජාති විකුණනවා. ඉතින් විවේක කාලයට මෙතන සෑහෙන්න කලබලයි. අපි හය, හත, අට වගේ පන්තිවල ඉඳිද්දි මේ පැත්තට අනිවාර්යෙන් එනවා. අවේලාවෙත් එනවා. අද නම් කල්පනා කරලා බලද්දි ඒ ගෙදර අය කළේ නීතිවිරෝධී වැඩක්. ම්ම්.. ඒත් ඩොංගා ගෙඩියක් ගන්න අපිට තිබුණු ඒ කලබලය අද සොඳුරු මතකයක් වෙලා.

තව පොඩ්ඩෙන් අමතක වෙනවා පරණ ආපනශාලාව. ඒක නම් කොහොමත්ම අමතක කරන්න බැරි තැනක්. තහනම් කලාපයක් විදියට නම් කරලා තිබුණත් ඒක අපේ සෙල්ලම් පාරාදීසයක්. පරණ ආපනශාලාව කියන්නේ ගරාවැටුණු ගොඩනැගිල්ලක්. ඉස්සර අය නම් එතන තිබුණේ මොකක්ද කියලා හරියටම දන්නවා ඇති. මට මතකයි එතන එක බිත්තියක ඉස්පිරිතාලෙක වගේ අපූරුවට රතු කුරුස ගහලා තිබුණා. 

කොහොමහරි ගොඩනැගිල්ලේ වහළ තැන් තැන්වලින් ගැලවිලා, ලොකු හිඩැස් තියෙනවා. බිත්ති කඩා වැටිලා. දොරවල් නෑ. පොළොව පුරා ගඩොල්, සිමෙන්ති, ගල් කෑලි. පනින්න පුළුවන් ජනේල දෙක තුනකුත් තිබුණා වගේ මතකයි. තුවක්කු විදිහට ලී කෑලි අරගෙන අපි මේ අමුතු ගොඩනැගිල්ල පුරා එහෙට මෙහෙට කැරකෙනවා. හමුදා සෙල්ලම්, අල්ලන සෙල්ලම් කරනවා. මේ යුද්ධය නැගලා කියපු කාලෙනෙ ඉතින්.

ඇත්තටම මට නම් මෙතන මතක යුද්ධයෙන් ගරාවැටුණු ගොඩනැගිල්ලක් වගේ. ආ.. මතක් වුණා.. පරණ ආපනශාලාවේ හොල්මන් ගැනත් එක එක කතා ඉස්කෝලේ පැතිරිලා තිබුණා. මම හිතන්නේ හැම ඉස්කෝලෙකම එහෙම කතා තියෙනවා. කොහොම වුණත් මෙතන අනතුරු බහුල තැනක්. ඒ වගේම අවදානමත් සෑහෙන්න තිබුණා. ඒත් අපිට ඒ කිසිම දෙයක් දැනුණෙ නෑ.

පරණ ආපනශාලාවේ මෙහා පැත්තට වෙන්න තිබුණා අලුතින් හදපු වැසිකිළි පේළියක්. ඊට ඉස්සරහ අපි ප්ලාස්ටික් බෝලෙන් ක්‍රිකට් ගැහුවා මතකයි. එතැන එහා පැත්තේ තමා පුස්තකාලය තිබුණේ. පුස්තකාලය ඉස්සරහ තමා පොඩි කාලේ ප්‍රධාන රුස්වීම තිබුණේ. කොහොම හරි ඔය හරියේ පොළොව හරි ඝනකමයි. ම්ම්ම්.. කොන්ක්‍රීට් හරි සිමෙන්ති හරි දාලා තිබුණද කොහෙද... 

කතාව හිතාගන්න බැරි විදිහට දික් ඇදෙනවා. මේ පැත්තේ ගේට්ටුව ළඟටම එන්න බැරිවෙයි වගේ. මේ හිතෙන හැමදේම අකුරු කරන්න බෑනෙ.

පැය දෙක තුනක් ගතවෙලා, තෙල් එන ආරංචියක් නම් නෑ. පොඩ්ඩක් එළියට පහළියට බැහැලා ආයේ ආවා. දැන්නම් කතාව ඉවර කරන්නම වෙනවා. 

ආ.. අන්තිමට දෙල් ගහත් මතක් කරන්න ඕන. දන්ත ශෛල්‍යාගාරය ඉස්සරහ තිබුණු දෙල් ගහ. එතන කොහොමද අමතක කරන්නෙ. වැස්ස දවසට එතන තිබුණා ලොකු වතුර වළක්. වළ ළඟින් යද්දි දුර ඉඳලා කවුරු හරි ගලක් ගහනවා වතුර වළට. ඒක නම් අපූරු සෙල්ලම. වැස්ස නැති කාලෙට ඔය දෙල් ගහ වටේත් අපි සෙල්ලම් කළා. දෙල් ගහ අද්දර හොඳ හොඳ මතක තිබුණු කට්ටිය හිටියා. හැමදේම කියන්න බෑ.. ඉඩකඩ මදි වෙනවා. එහෙම වුණොත් පොතක් තමයි ලියන්න වෙන්නෙ.
ඇත්තටම ජංගමයාගේ අකුරු පොතේ මේ සටහන මම දැන් ඉවර කරනවා. මතකයන් කෙළවරක් නෑ, දිගට හරහට අවදි වෙනවා. පොඩි ඉස්කෝලේ හැම අස්සක් මුල්ලක්ම මතක් වෙනවා. ප්‍රා.තා.කූ කාමරයයි අපේ 7 වසර පන්තියයි ඉස්සරහ තිබුණු පොඩි ඉඩ.. එතැන තිබුණු ජෑම් ගහ.. පොලීසියයි හය වසර පන්තියයි අතර දාලා තිබුණු වගාව... ආ එතකොට ඉස්කෝලෙ එහා පැත්තෙ පන්සල් වත්ත... ස්ථානීය මතක කොටියයි. අපිට වෙච්ච දේවල්, යාළුවො ගැන, ගුරුවරු ගැන කියන්නම බැරි වුණා.
ඇත්තටම මහ සයුරකින් දිය බිඳුවක් වගේ කොටසක් තමයි අකුරු වුණේ. ලේසි නෑ ඒ කාලේ මතකයන් පැහැදිලිව අවදි කරන එක. ඒත් තවත් සුන්දර විදියට මේ කතාව කියන්න තිබුණා පෝලිමක නොහිටියා නම්. එහෙමත් හිතෙනවා. කමක් නෑ.. තාත්තා එනකම්ම (ඇලට් එකක්) දාගෙන මම මතක මඟ දිගේ තව දුර යනවා. 

ඉතින් අවසානය. ආයෙත් ආරාධනාවක් තියෙනවා කරන්න. මේ වගේ මතක ඔයාටත් ඇති. ඉතින් මතක මඟ දිගේ පුංචි කාලේ ඉස්කෝලෙට ඔයත් ඇවිදගෙන යන්න ඉස්පාසුවක් ලද ඇසිල්ලක. නැවුම් බවක් දැනේවි පෝලිමකදි වුණත්.
ආ.. නොකියාම බැරි දෙයක් තියෙනවා. අපේ ඉස්කෝලෙ නම "අලුත්ගම මහා විද්‍යාලය". මේ අපේ මාලේවන්බද්ධ කනිෂ්ඨය ගැන මතකයන්. ඔයාගේ ඉස්කෝලෙ නම මොකක්ද? අඩු ගාණෙ ඔයාගෙ කතාව මුහුණුපොතට හරි ලියලා දාන්න අමතක කරන්න එපා.

I නිසල්