2022 ජුනි 26 වන ඉරිදා

තාත්තෙක් කතා කරයි

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 105

පැයකට කිට්ටු වෙන්න කොල්ලුපිටිය හන්දියේ හිටගෙන හිටියා. බස් එකක් නෑ. දුර බස් දෙකක් ගියත් අතරමඟ බහිනවට ඒ කවුරුත් කැමති නෑ. ඩුප්ලිකේෂන් පාරේ දික් ඇදුනු තෙල් පෝලිම නිසා බස් නවත්තන්නෙ පාරෙ මැද්දේ. හැමෝගෙම මුහුණුවල ලොකු කලකිරීමක වේදනාවක ලකුණු ඇදිලා තිබ්බා. මේ බස් එක ආවේ නොහිතපු වෙලාවක. දැන් මම ගමනින් අඩකට කිට්ටු වෙන්නේ පානදුර පසුකරන ගමන්. කතාව මුල ඉඳන්ම කියන්නම්.

දඩි බිඩි ගාලා බස් එකට ගොඩ වුණත් අසුන් හතර පහකට වඩා තිබුණේ නෑ. අන්තිමේදී මම තෝරගත්තෙ පිටිපස්සෙ අසුනක්. බස් එක ඉස්සරහට ඇදෙන්න පටන් ගත්තා. තෙල් පෝලිම නිසා ඩුබ්ලිකේෂන් පාර පටුවෙලා. බස් එකේ ගමන බාලවෙලා තියෙන්නෙ. සින්දු අහන ඇබ දෙක අරගෙන මම කනේ ගහගත්තේ වෙන කරන්න දෙයක් නැතිකමට. ටිකක් වෙලා ගතවෙද්දී නිදි දෙව්දුව ඇවිල්ලා හාදුදෙන්න පටන් ගත්තා.

බස් එක එකතැන නැවතිලා වගේ. එහෙම හැඟීමක් දැනුණු නිසා ඇස් දෙක ඇරලා වටපිට බැලුවා, වුවමනාවෙන්ම. සෑහෙන්න සෙනඟක් බස් එකේ. අපි ආයෙම තෙල් පෝලිම් තදබදයක හිරවෙලා. මම ඔරලෝසුව දිහා බැලුවා. මෙතැනට එන්න මිනිත්තු පනහක් විතර ගිහිල්ලා තියෙනවා. වටේ පිටේ සලකුණුවලින් නම් පේන්නේ මේ දෙහිවල ගල්කිස්ස හරිය.

තාමත් මගෙ සින්දු ඇබදෙක ක්‍රියාත්මක වෙන්වා. ම්ම්ම්... මම ඒක පොඩ්ඩක් නතර කළා. බස් එක ඇතුළ ටිකක් රස්නෙයි. සුපුරුදු නිහැඬියාව අද බස් එක ඇතුළෙ නෑ. එතකොට තමා මට ඒක තේරුණේ, මිනිස්සු ගොඩක් දෙනෙක් එකිනෙකාට මුමුණනවා. සැකයක් නෑ හැමෝම කතා කරන්නේ මේ වෙලා තියෙන ඇබැද්දිය ගැන. පරක්කුව ගැන. දේශපාලන ගැන.

මගෙ එහා පැත්තෙ ජනේලෙ ළඟ වාඩිවෙලා ඉන්නේ වයසක සීයා කෙනෙක්. එයා නම් හොඳට නිදි. පෙනුමේ හැටියට නම් කොහේ හරි ගමනක් ගිහිල්ලා ගෙදර යන ගමන්. පල්ලෙහා තියලා තියෙන රෙදි මල්ල ඇස ගැටුණේ ඒ වෙලාවේ. පේන විදිහට උණුවතුර බෝතලයක් වගේම පිඟානක් කෝප්පයක් වගේ දේවල් ඒකේ ඇතුළේ තියෙනවා. මෙම හිතන්නේ ඉස්පිරිතාලෙක නැවතිලා ඉඳලා ටිකට් කපාගෙන ගෙදර යනවද කොහෙද. ඉතින් ඉබේටම වගේ හිත සුසුම් හෙළනවා.

අනිත් පැත්තේ මැදිවියේ පිරිමි කෙනෙක්. කාර්යාලයක රාජකාරි කරන පෙනුමක් තියෙන්නේ. මම ආයේ හරිබරි ගැහිලා සකස් වුණා. බස් එක හිටපු ගමන් ටික ටික ඉස්සරහට ඇදෙනවා. දැන්නම් කළුවරත් වැටෙන්න පටන් අරගෙන. ජනේලෙන් එහා පැත්තේ පෝලිමේ මිනිස්සු කට්ටියක් එක තැනකට පොදි ගැහිලා. ''වලියක් වලියක්...'' ම්..ම්... එහෙම අදහසක් තමා මගේ ඔළුවට ආවේ. බස් එකේ අනිත් මිනිස්සුත් ජනේලයෙන් එබී එබී බලනවා.

''පාර වැහුවොත් නම් මාර කෙලියක් වෙන්නේ...''

කිව්වා නෙවෙයි කියැවුණා. මගේ එහා පැත්තේ හිටපු අර මැදිවියේ කෙනා. ඔහු කිව්වත් කියවුණත් ඒ කතාවට පිළිතුරු බඳින්න වෙන්නේ මට. මගේ කරට ඉහළින් තමා මේ මනුස්සයා අර කාලගෝට්ටිය බලන්නේ.

''රණ්ඩුවක්ද කොහෙද මොකක්ද දන්නේ නෑ සිද්ධිය...''

මම හිමීට කිව්වා. එතැනින් තමා බස් එකේ සංවාද පටන් ගත්තේ. අපේ බස් එක ඉබිගමනින් ඉස්සරහට ඇදුණ නිසා අර දර්ශනය අපිට මගහැරුණා. මට නම් හිතුනෙ මොකක් වුණත් ඒක සුළු සිද්ධියක් කියලා. ම්..ම්... ඒක දුරදිග යන එකක් නෑ කියලා.
''මල්ලි කොහෙන්ද බහින්නේ..''

ඔන්න මට ප්‍රශ්නයක්. දැන් ඔහු එක්ක දොඩමලු වෙන්න වෙනවා. බස් එකේ ගමන අවසාන අර්ධයේ තමා මම බහින නැවතුම තියෙන්නේ. මම ගම කිව්වා. ඔහු ඒ ගැන කණගාටු වෙනවා. මට තව සෑහෙන්න වෙලාවක් බස් එකේ ගත කරන්න වෙයි කියලයි ඔහු කියන්නේ. ඒක නම් ඇත්ත මටත් හිතුණා.

දැන් මේ මේ සංවාද ඉදිරියට ඇදගෙන යන එක මගේ වැඩක්. උත්තර දීලා නිහඬ වුණොත් ඒක හරි නෑ. බස් එක ඇතුළේ වගේම මහ පාරේත් සුහදශීලී මනුස්සයෙක් ඉදිරියේ නිහඬවීම සදාචාර සම්පන්න නෑ. ඕනම වුණත් මේ වගේ වෙලාවක එහෙම කරන්න බෑ. අන්තිමට මම ඔහු ගැන ඇහැව්වා.

පානදුරෙන් බහින්නේ. රාජකාරි ස්ථානය වතගොත කිව්වා. වෙනදට කෝච්චියෙලු වැඩට යන්නේ. අද වැඩකට එළියට ආපු නිසා බස් එකට ගොඩ වුණා. එතකොට මම හිනාවෙලා කිව්වා ''හරිම දවසෙ තමා බස් එකට ආවේ කියලා.'' ඔහු ඒක පිළි අරගෙන හිනාවුණා. ඒත් හිනාව අග රිදුම් දෙන කතාවක් තිබුණා.

අද රූ කීයට ගියත් හෙට උදේ වෙද්දී තෙල් ටිකක් හොයාගන්න ඕනමලු. ඔහු කියනවා. පානදුරෙන් බැස්සාට ටිකක් ඇතුළට යන්න ඕනලු ගෙවල්වලට. ම්ම්ම්.. ඔහු කියන විදිහට ඔහු හැමදාම  කෝච්චියට එන්නේ මෝටර් බයික් එකේ. පානදුර පාසලකට යන දියණියව බස්සගෙන එහෙන්ම දුම්රියපොළ කිට්ටුව තැනක බයික් එක දාල හවසට ඒකෙම ආයෙ ගෙදර යනවා.

ඔහු ඉන්න ප්‍රදේශය අනුව බස් එකට එන්න සැලකිය යුතු තරම් දුරක් පාරට එන්න ඕනෑ. එහෙම පාරට ඇවිල්ලා ඒ පස්සේ කියූ පානදුරට ඇවිල්ලා තමයි ඉතුරු වැඩ ටික කරගන්න ඕනා. ඔහු කියන විදියට තෙල් තියෙන්නෙ අද රූ ගෙදර යන්න විතරයි. හෙට උදේ පාරට එන්න විදිහක් නෑ. හෙට දරුවව ඉස්කෝලෙට දාන එකත් ප්‍රශ්නයක්. ඊයේ පෙරේදා රාත්‍රී දෙකක් පෝලිමක ගත කලැත් තෙල් ටික ගන්න බැරිවෙලා.

කතාව ගොඩක් දික්ඇදුණා. මගේ හිත වේගයෙන් බරවුණා. අන්තිමේදී මගේ විමසීමකින් තොරවම ඔහු ගොඩක් දෙවල් කිව්වා. ම්..ම්..ම්... ඔව් ගොඩක් දේවල්. බස් එකේදී මිනිස්සු දොඩමළු වෙන්නේ මොකක් හරි පිටතින් ප්‍රශ්නයක් ආවම. එහෙම දොඩමලු වුණත් බස් එකකදී මිනිස්සු පෞද්ගලික ජීවිතේ ගැන කතාකරන්නේ නැහැ. ඒත් අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්.

මම ඔහුගේ කතාවට හූමිටි  තිය තියා අහගෙන හිටියා. කතාවට බාධා කරන්නවත්, අඩුවෙන් ඇහුම්කන් දෙන්නවත් මට ඕනවුණේ නෑ. ඇත්තටම සමහරුන්ගේ සමහරක් ප්‍රශ්නවලට අපිට විසඳුම් දෙන්න බැහැ. ඒත් අපිට පුළුවන් ඒ අයට ඇහුම්කන් දෙන්න. ඒකෙන් ඒ අයගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබුණත් පුංචි හරි සැනසීමක් ලැබෙනවා.

ඔහුගේ කතාව පුරාවටම තිබ්බෙ ජීවිතේ විඩාබරව. බස් එකේදී වගේම මඟතොටේදී නිතර ඇහෙන දේශපාලනික දේවල් ඔහු කතා කරේ හරිම අඩුවෙන්. ඒ කටහඬ තාම ඔලුවේ දෝංකාර දෙනවා. ඔහු කියපු හැමදෙයක්ම අකුරෙන් අකුර ගළපන්න බෑ. ඒවා වචනවලට වඩා හැඟීම්. මේ මොහොතේ රටවටා දරුවෝ ඉන්න තාත්තලා දහස් ගාණකට ඒ හැඟීම් දැනෙනවා ඇති. සමහරක් විට ඔයාටත් දැනිලා ඇති.

මම මේ සටහන ලියන්න පටන් ගත්තෙ ඒ චරිතයට පානදුරෙන් සමුදුන්නට පස්සේ. පිංවත්ත හරියේ තවත් දරුණු තදබදය අපි කොටු වුණා. ඊට පස්සේ ලොකුම තදබදය හම්බවුනේ මග්ගොනදී. ම්..ම්...ම්... ඉතින් දැන් මං බහින්න ළඟයි. පැය එකහමාරක දෙකක ගමනකට මට පැය තුනහමාරකට වැඩිය දැන්ම කලය ගතවෙලා. මම ඉස්සහරයින් බහිනවා. ඔව් මටත් දැනෙන්නෙ පුදුම විඩාවක්.

මම ඔහුව අහගෙන හිටියා. ඔබ මාව අහගෙන හිටියා. අපි අනික් අයටත් ඇහුම්කන් දෙමු. විසඳුමක් නැතත් මොහොතක හරි සැනසුමක් හැමෝටම ලැබේවි. හැමෝම ඉන්නෙ වේදනාවෙන්. ගැටෙන්න එපා, කාටවත් රිදවන්න එපා. පුළුවන්නම් සනසන්න උත්සාහ කරන්න.

I නිසල්