ජීවිතයේ ඉසියුම් ලෙස විඳින තැන් සියුම් ලෙස පිරිමදින්න අපි ගිහින් නවතින තැන් අපේ ජීවිතවල තියෙනවා. හැන්ඳෑවට මුහුදු වෙරළ කියන්නේ අපි එහෙම ගිහින් නවතින එක තැනක්. ඉල්ලන නොඉල්ලන හැමදේකම එකතුවක් වෙච්ච ජීවිතේ රිදෙන තැනක් නැති කෙනෙක් නැති තරම්. හෝ ගානා රිද්මය ඇතුළේ මුහුද කතා කරන හඬ ඔයාට ඇහිලා තියෙනවද? මුහුද විතරක් නෙවෙයි මේ සොබාදහමම කතා කරනවා. එයාගේ හදවත තේරුම් ගත්ත එයාට ආදරය කරන මිනිස්සුත් එක්ක එයා කතා කරනවා. මුහුද දකින තාක් මුහුද නොදැකීම කියන්නේ එක්තරා සිහිනයක් කියලයි මට හිතෙන්නේ. එහෙම සිහිනයක් සොයාගෙන ගිය දුප්පත් ගමක දුප්පත් ඉස්කෝලෙක පුංචි දරුවන් ගැන තමයි හෝ ගානා පොකුණ සිනමා රෑපකාරකයෙන් කතා කරන්නෙ. මේ සිනමා වියමන ළඟ මගේ හිත නැවතෙන්න එක හේතුවක් තමයි ඒ යථාර්ථය පිරිසිඳ ඕනෑ තරම් සාක්ෂි අප මේ ජීවත් වන පොළොව මත තියෙන එක.
කොළඹ ඉපදුණු අයට කොළඹ කියන්නේ එක නගරයක් විතරක් වුණාට ඈත ගම්වල ඉපදිච්ච හුඟාක් අයට කොළඹ කියන්නෙත් එක්තරා හීනයක්. මුහුද කියන්නේ ඒ හීනේ එක්තරා පාටක්. දුප්පත් ගමක ජීවත්වෙන පුංචි දරුවන් පිරිසක් ඉස්කෝලෙන් එන විනෝද චාරිකාවක් වෙනුවෙන් දවස් ගාණක් තිස්සේ හීන දකිනවා. එයාලා එන්න හීන දකින්නේ කොළඹට. මුහුද බලන එක ඒ හීනයේ ලොකුම කොටසක්. පන්තියේ ගුරුතුමිය ඇතුළු පිරිසක් එක්ක කොළඹට එන දවසේ කුණු කඳුවලින් අනේක විදිහෙ සටකපටකම්වලින්, මැරකම් සොරකම්, මේ හැමදේකින්ම පිරුණු කොළඹ නගරයේ කළු පාට වෙනුවට ඔවුන්ට පේන්නෙම අහසට නැගෙන්නට තරම් උස් වෙච්ච අමුතු අමුතු ගොඩනැගිලි විතරයි. පුංචි ඇස් ලොකු කරගෙන ඒ පුංචි පැටව් ආගන්තුක කොළඹ දිහා බලන්නේ සුරපුරයක් දිහා බලන විදියට. දුප්පත් ගම සහ කොළඹ කියන්නේ උන්ට අහස පොළොව තරම් වෙනසක් තියෙන තැන් දෙකක්. වැලි බොරළු මැද රෝස මල් දකින්නට පෙරුම් පුරන මේ පුංචි පැටවුන්ට ඒ රෝස මල් නෙලා ගන්න වෙන්නේ නටුව කටු මතින් සීරි ලේ ගලන ඉරණමක ඇඟිලි තුඩුවලින්. ඒත් ඒ අනේක වේදනාවන් දුෂ්කරතාවයන් විඳගෙන රෝස යායවල් මතින් ඇවිදින ජීවිත හිමි මිනිසුන්ගේ කතන්දර අපි ඕන තරම් කියවලා තියෙනවා.
කොළඹ දකින්නට කොළඹට එන මේ පුංචි පැටවුන්ගෙ කතාවත් මොන තරම් දුක්බර වුණත් උන්ගේ ප්‍රාර්ථනාවන් ගැටගැහිලා තියෙන්නෙත් ඒ වගේ ලස්සන හීන එක්ක. කොළඹට ඇවිත් මුහුද දුටු පළමු තත්පරයේ ඒ පුංචි උන් කෑ ගහන්නේ, ඔල්වරසන් හඬ දෙන්නේ මුළු ලෝකයක් දිනාගත්තා වගේ හැඟීමකින්. නිදහසේ අසීමාන්තික අනන්තයක තනිවුණා වගේ හැඟීමකින් උන් වෙරළ පුරා දුවනවා, පනිනවා, කෑගහනවා. මුහුදේ හෝ ගානා සද්දය උන්ට ඇහෙන්නෙ මෙතුවක් ජීවිතේ විඳගත්ත සොඳුරුතම තාලය විදිහටයි.
ඇත්තටම මුහුද කියන්නේ මහා පුදුම දෙයක්. ඇත්තටම මුහුද කියන්නේ වෙනම ලෝකයක්. ඒ ලෝකය දකින්න නම් මහා සාගර පතුල සොයාගෙන හදවතින් හරි පීනන්න ඕනෑ. මට හිතෙනවා කොළඹ හොයාගෙන ආව පළමුවෙනි දවසෙම ඒ පුංචි උන් ගැඹුරු මහ මුහුද හොයාගෙන උන්ගේ හීන ලෝකේ පිහිනුවා කියලා... ලොකු වෙච්ච අපිට විඳින්න බැරි හුඟාක් දේවල් ඒ පුංචි උන්ට ඇති තරම් ඇති ඇතිපදම් විඳින්න පුළුවන්.
අපිට මුහුද උන්ට මුහුදක් නෙවෙයි. හෝ ගානා පොකුණක්... අපි දකින අසීමාන්තික අනන්තය උන් දකින ඒ පොකුණ ඇතුළෙ උන් නොදකිවා ඇති..
මුහුද මුහුදක් ලෙස සහ මුහුද පොකුණක් ලෙස දකින එකම රටක තල දෙකක ජීවත් වෙන දරුවන්ගේ වෙනස තීරණය කරන්නේ උන්ගේ හිත්වල ඉපදෙන සිතුවිලි විතරක් නෙවෙයි. සමානාත්මතාවය කියන සංකල්පය හුදෙක් සංකල්පයක් පමණක්ම වෙච්ච ලෝකයක මිනිසුන් බෙදා වෙන් කළ සෑම ගෝත්‍රික සාධකයක්ම ඒ වෙනස වෙනුවෙන් වගකිව යුතුයි සේම වග විය යුතුයි. ඇත්තටම විශ්ව ගම්මානය කියන සංකල්පය තුළට ලඝු වුණේ ලෝකය එක මිටට කියවිය හැකි තාක්ෂණයේ වපසරිය තුළ විතරයි. ඒ වෙනුවට මනුෂ්‍යත්වය හා සබැඳි ආදරෙන් හා සමානාත්මතාවයෙන් ලෝකයම ගම්මානයක් බවට පත් කරන්න පුළුවන් වුණා නම් මේ ලෝකය කියන්නෙ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හරිම සුන්දර තෝතැන්නක්... ඒත් මට හිතෙන්නේ ඒක කවදාවත් යථාර්ථය තුළ දකින්න නොලැබෙන තෝතැන්නක් විතරමයි. මුහුද මුහුද සහ මුහුද පොකුණ ලෙස දකින දෘෂ්ටිය හැමදාමත් ලෝකෙට වලංගුයි... කවුරු කොහොම කතා කළත් රජවරුන් සිටුවරුන් හිඟන්නන් දුප්පතුන් නොපතන ලෝකයක් කවදාවත් ඇස් දෙකින් දකින්නට ලැබෙන්නේ නෑ කියන එක මගේ විශ්වාසයයි.