2022 මැයි 15 වන ඉරිදා

ඊර්ෂ්‍යාව හින්දා තමයි ඔක්කොම වුණේ...

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 945

දුව ගෙදර ඇවිත් තනියම අඬනවා

මගේ දරුවාට වයස අවුරුදු 11යි. දුවගේ අම්මා පසුගිය වසරේ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා. දුව කලින් ඉගෙනගන්න දක්ෂ වුණත් අම්මාගේ අභාවය නිසා මානසිකව ගොඩක් වැටුණා. ශිෂ්‍යත්ව විභාගය පවා අසමත් වුණා. පාසලේ වැඩකටයුතුවලින් ගොඩක් ඈත්වුණා. තනියම ඉන්න උත්සාහ කරනවා. පාසලේදී උගන්වන දේවල්වත් අහගෙන ඉන්නෙ නැතුව වෙන වැඩ කරනවා කියලා ගුරුතුමිය කිව්වා. සමහර දවසට දුව පන්තියෙ ඉන්නෙත් නැතිලු. ගුරුවරුන්ගෙන් බැණුම් අහලා දුව ගෙදර ඇවිත් තනියම අඬනවා. දුවගේ ප්‍රශ්න ගැන ඇහුවත් මටවත් එයා ඒ ගැන කියන්න කැමති නැහැ. එයාට වෙනත් සහෝදර සහෝදරියෝ කවුරුවත් නැහැ. දුව ගුරුවරුන්ගෙන් බැණුම් අහන නිසා එයාට කලින් හිටිය යාළුවො පවා දැන් නැහැ කියලා කියනවා. සමහර දවසට ඉස්කෝලෙ යන්න බැහැ කියනවා. ඉස්කෝලෙ යන්න ලෑස්තිවෙලත් සමහර දවසට අසනීපයක් කියලා ගෙදර නවතිනවා. මට දුවව සාමාන්‍ය තත්ත්වයට ගන්න ඕනෑ. ඇයගේ මානසික තත්ත්වය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන්න මම මොකක්ද කරන්න ඕනෑ?  

පිළිතුර:

ඔබ යොමුකර ඇති ප්‍රශ්නය සලකා බැලීමේදී මෙම දැරියට මව අහිමි වූ කම්පන තත්ත්වය බලපා ඇතැයි සිතේ. මෙහි සඳහන් කර ඇති පරිදි දැරියගේ වයස 11 කියන්නේ මවුපියන් දරුවා සමඟ සිටිය යුතුම කාලයක්. දැරිය මව සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් එය එකවර මෙවැනි අත්දැකීමකට මුහුණ දීමට සිදුවීමේදී එය දරාගැනීමට අසීරු වෙනවා. පියකු වශයෙන් මෙහිදී ඔබට කළ හැකි සුදුසුම දේ වනුයේ දරුවාට සමීප වෙන්න. දරුවාට ආදරය කරන්න. ඒ වගේම මවුපිය දෙපාර්ශ්වයෙන් යම් ඥාති කාන්තාවක සිටී නම් මෙම දරුවාට සමීප වීමට එයත් දැරියගේ මානසික තෘප්තියට පිටිවහලක් වෙයි. මවගෙන් අහිමිවුණු ආදරය යම් තරමකට හෝ ලබාදීමට එය හේතුවක් වෙයි. ඒ වගේම පාසලේ පන්තිභාර ගුරුවරයාට හෝ ගුරුවරියටත් යම් වගකීමක් තිබෙනවා මෙම දැරියගේ හැසිරීම් රටාව සහ වෙනස්කම් හඳුනාගැනීමට සමත් වූයේ නම් එය අව‍බෝධ කරා ගෙන දැරියට ශක්තියක් වෙන්න. නැතිනම් පියා වන ඔබට පාසලේ විදුහල්පතිවරයා සමඟ සාකච්ඡා කර මේ සඳහා සුදුසු ක්‍රමවේදයක් ඔවුන් සමඟ එක් වී සිදුකිරීමට හැකියි. එසේත් නැතිනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිටින උපදේශකවරුන් හරහා මෙම දැරිය සම්බන්ධ කර ගනිමින් මෙයට ඔවුන්ගේ මැදිහත් වීම සෘජුවම ලබාගත හැකිය. උපදේශකවරයාට පාසල සමඟ සෘජුවම සම්බන්ධ වී කතා කිරීමට නෛතික අයිතියක් තිබෙනවා. අනෙක් කාරණය මෙම දැරියගේ රුචිකත්වය අනුව ඇය කැමති අංශවලට සෞන්දර්යාත්මක විෂයවලට යොමු කිරීමෙන් මෙම පසුගාමීත්වය ක්‍රමානුකූලව මඟහරවාගත හැකිය.

මිනිස්සු අතරට යන්න බයයි

මම වයස අවුරුදු 21ක තරුණයෙක්. තවම ඉගෙනගන්නවා. මිනිස්සු ගොඩක් ඉන්න තැන්වලට මම යන්න බයයි. ගෙදරට කවුරුහරි ආවොත් මම එළියට යන්නෙම නැතිතරම්. මට යාළුවොත් වැඩිය නැහැ. හොඳම යාළුවෙක් කියලා කවුරුවත් ඇත්තෙත් නැහැ. පොඩි කාලෙ නම් හොඳම යාළුවො හිටියා. මට ඉක්මනට යාළුවෙක් හදාගන්නත් අමාරුයි. මට හිතෙනවා මම එච්චර වැදගත් චරිතයක් නෙවෙයි කියලා. මිනිස්සු මාව ගණන් ගන්නෙ නැහැ කියලා හිතෙනවා. මිනිස්සු ඉන්න තැන්වලදී මම කොන්වෙලා වගේ. කවුරුවත් මාත් එක්ක කතා කරන්නෙත් නැහැ. ඒ නිසා මම මිනිස්සු අතරට යන්න බයයි. මෙය මානසික ගැටලුවක්ද? මම කුමක් කළ යුතුද?

සංජන - ගලෙන්බිඳුනුවැව

පිළිතුර:

ඔබ යොමු කර ඇති පැනයේ මෙම ස්වභාවය ඇතිවූ කාලසීමාව සම්බන්ධයෙන් සඳහන් කිරීමක් ‍කර නැත. එහෙත් මෙහි ඔබ සඳහන් කර තිබෙනවා කුඩා කල පටන් යහළුවන් සිටියා කියලා. එහෙයින් අපට උපකල්පනයක් කළ හැකියි මෙය පසුකාලීනව ඇති වූ තත්ත්වයක් කියලා. මෙහෙම වීමට හේතුව කුමක්දැයි සොයා බැලිය යුතුයි. තමන්ට සිදුවූ අසාධාර‍ණයක් හේතුවෙන් සමාජය සමඟ කලකිරීමක සිටිනවා වීමටත් පුළුවන්. මෙවැනි පුද්ගලයන්ට සමාජ භීතිකාව වැනි රෝගී තත්ත්වයක් තිබෙන්නටත් පුළුවන්. මේ සියලු තත්ත්ව සලකා බැලීමට ඔබට මා යෝජනා කරන සුදුසුම පියවර වන්නේ උපදේශනයකට සම්බන්ධ වීමයි. උපදේශනය ඔස්සේ සමාජයට මුහුණ දෙන්නේ කෙසේදැයි අවබෝධ කර ගත හැකිය. සිතිවිලි වෙනස් කර ගැනීමෙන් චර්යාව වෙනස් කර ගත හැකිය. මෙහිදී තව කියැවෙන දෙයක් වන්නේ මිනිසුන් තමා ගණන් ගන්නේ නෑ කියලා හිතෙනවා කියලා. තමන් තමන් පිළිබඳ අවතක්සේරුවකින් සිටීම නරකයි. වැඩිදුර අධ්‍යාපනය ලබන තරුණයකු හැටියට මේ ආ ගමන්මහේ ලැබූ ජයග්‍රහණ පිළිබඳ සිතන්න.ධනාත්මකව සිතන්න. උපදේශනයකට යොමු වීමෙන් මෙවැනි ගැටලු නිරාකරණය කර ගත හැකිය.

බිරිය දාලා ගියාම ගෑනු එපා වුණා

මම අවුරුදු 21න් රජයේ සේවයට යොමුවුණා. මගේ මව මට හරිම ආදරෙයි. එහෙත් මා විවාහ වූ දවසේ පටන් වෙනස්කම් කළා. බිරිය මුලින්ම ගෙදර ආවාම ඇයගේ සාරිය සොරකම් කළා. වතුර කළයට වස මිශ්‍ර වෙලා තිබුණා. මා රෝහල් සේවයක නිරත වූ නිසා දරුවන් අරගෙන මා කුලී ගේකට ගියා. ගත්ත කුලී ගෙයත් මහගෙදරට ළඟයි. දරුවන් අතේ අම්මාට කෑම බීම යවන්න හැදුවත් දරුවන් ඒකට කැමති නෑ. ඔවුන් ආච්චිට බයයි. මට ඉන්නේ දුවලා දෙන්නායි එක පුතායි. ටික කාලෙකින් මගේ බිරියත් මා එක්ක තරහ වෙලා මා අතහැර ගියා. එතකොට මගේ වයස අවුරුදු 31යි. මට ගැහැනු එපා වුණා. පිරිමි සම්බන්ධතාවලට යොමුවෙන්න හිතුණා. මත්ද්‍රව්‍ය පානයට යොමු වුණා.  පවුලේ සහෝදර සහෝදරියන් හැමෝම හොරකම් කරනවා. මම අම්මාට බැංකුවලින් සල්ලි අරන් දුන්නා. දැනට අම්මා ජීවත් වෙනවා. අම්මාගේ වයස අවුරුදු 99 යි. දැනට මගේ වයස අවුරුදු 69යි. අම්මා දැනට අසාධ්‍යය තත්ත්වයේ ඉන්නේ. මම හින්දී සින්දුවලට ආසයි. හින්දී සින්දු කියනවා. මගේ නැටුම් හැකියාව මම දන්නේ බිව්වාමයි. සාමාන්‍යයෙන් පැයක් විතර මට සතුටුයි. එතකොට මට හොඳට නින්ද යනවා. මට නිරිමරද්දී ගොත ගැහෙනවා. මට නින්ද යනවා අඩුයි. වෙන ගෙදරක ඉද්දී ගොත ගැහෙනවා. යාළුවො එක්ක ඉඳිද්දී කිසිම ප්‍රශ්නයක් නෑ, මට මේක මානසික පීඩනයක්. මට දැනගන්න ඕනෑ මෙය රෝගී තත්ත්වයක්ද? 

සී.සී.ආර් - මාතර

පිළිතුර:

ඔබ යොමුකර ඇති පැනය අනුව මෙහි ප්‍රධානම ප්‍රශ්නය වී තිබෙන්නේ මවගේ හැසිරීමයි. මනෝවිද්‍යාවේදී එය ඊඩිපස් සංකීර්ණය ලෙස හඳුන්වයි.අම්මා කෙනකු සහ පුතෙකු‍ගේ අතර ඇතිවන බැඳීම. මව - පුතා සම්බන්ධය වගේම පියා - දුව සම්බන්ධය. පවුලේ විවිධ කෙනෙහිලිකම්වලට හේතු වූවා යැයි සැලකිය හැකි වන්නේ ආදරය නිසා ඇති වූ ඊර්ෂ්‍යාවක් විය හැකියි. ඔබ පවසා ඇති සිදුවීම් සිදු වී කාලයක් ගත වී තිබේ. ඔබගේ වයස අවුරුදු 69යි. මවගේ වයස අවුරුදු 99 යි. ඔබ පවසා ඇති ආකාරයට ඔබ යොමු වූවා යැයි කියන සියලු පුරුදු මේ පැනය යොමු කරන මොහොත වනවිට නවතා තිබෙන්නටත් පුළුවන. ඔබ ඔබේ අසීරු කාලය පසුකර අවසන් වීමට පුළුවන. තමන්ගේ දුකක් වේදනාවක්. තව කෙනකුට පැවසූ පසු එය මානසික වශයෙන් තමන්ට ලොකු නිදහසකි. පසුගිය සිදුවීම් ගැන සිතා කනස්සල්ලට පත් වී ඵලක් නැත.‍ දරුවන් මුනුපුරු මිනිපිරියන් සිටී නම් ඔවුන් සමඟ සතුටෙන් කාලය ගත කිරීම සුදුසුයි. තමන්ට කැමති සුදුසු විෂය ක්ෂේත්‍රවලට යොමුවෙන්න. ජීවිතයේ යථාර්ථය අපි අවබෝධ කර ගත යුතු වෙමු. තමන්ගෙන් අනුන්ට ඉටු විය යුතු යුතුකම් වගකීම් ඉටු කර සතුටු වීමට හැකි නම් එය වටී. හින්දී සින්දු කීමට කැමතියි කියා තිබෙනවා. එවැනි දේවලට යොමු වීමෙන් ඔබේ මනස සතුටෙන් තබා ගත හැකිය. ආගමික කටයුතුවල නිරත වීමෙන් යහපත් කාලයක් උදා කර ගත හැකිය.

(මෙහි එන පෞද්ගලික අත්දැකීම්වල නම් ගම් මන‍් :කල්පිත බව සලකන්න )  
ලබන සතියේ ඔබේ ප්‍රශ්නයෙන්  හමුවෙමු.

ආදරය , විවාහය , ජීවිතය ගැන තරුණ ඔබ විඳවන ප්‍රශ්නය ඔබ කැමැති නමකින් කෙටියෙන් අපට කියන්න. ඔබේ නම, රුකියාව කුමක් වුවත් හිතේ විඳවන ප්‍රශ්නයට හොඳම උත්තරය හදසරෙන්. 

‍ෆේස්බුක් ෆෑන් පේජ් මැසේජ්
ජීවිතේ  රිදෙන තැන් (Jeewithe ridena then)
ෆේස්බුක් නැත්නම් මෙහෙම ලියන්න.
Email - Jeewitheridenathen@gmail.com

සංස්කාරක, 
“ජීවිතේ රිදෙන තැන්”
හදසර අතිරේකය, දේශය පුවත්පත
නො 08, හුණුපිටිය හරස් පාර, කොළඹ 02.

I සසංක චලන ගිම්හාන