2022 මැයි 15 වන ඉරිදා

තොරණ බලන්නම ගමෙන් කොළඹට

 2022 මැයි 15 වන ඉරිදා, පෙ.ව. 10:00 128

වෙසක් එකට කලින් පන්සලේ ශ්‍රමදානයක් තිබිලා. යන්න නම් බැරි වුණා. ඒත් වෙසක් ගැන මතක ගොනුකරන්න ශ්‍රමදාන ආරංචිය අපූරු නිමිත්තක් වුණා. විදුලිය විසන්ධි වුණ රැයක ඉස්තෝප්පුවේ ඉඳගෙන තමා මේ කතාව ගලපන්න පටන් ගත්තේ. ඝණ වලාකුළු අතරින් විඩින් විඩේ පුරපස සඳ පෙනී නොපෙනී යනවා. මේ වෙසක් සඳ මෝරන දවස්. විදුලිය නැතත් මිදුලේ සඳ එළිය තියෙනවා යාන්තමට.

ම්ම්ම්... ඉස්සර නම් මේ වෙසක් කාලෙට අපිට තිබ්බා සෑහෙන්න වැඩ. මොකද අපි ගොඩදෙනකුගේ තුරුණු මල්විය, නව යොවුන්විය ගෙවිලා ගියේ පන්සලත් එක්ක. ඒ මතකයන් හරිම සුන්දරයි. ඇත්තටම එකපෙළට අමුණගන්න බැරි තරම් මතක කන්දරාවක් තියෙනවා. මේ ළා සඳ එළියේ ඉඳලා ඒ මතක කන්දරාවෙන් බිඳක් ඔයාලත් එක්ක බෙදාගන්න ආසයි. වෙසක් ගැන මේ වගේ මතක සමහරවිට ඔයාලටත් ඇති. ඉස්පාසුවක් ලද ඇසිල්ලක ඒ මතක මග දිගේ යන්න ඔයාලටත් අපේ කතාව නිමිත්තක් වේවි.

දහම් පාසලයි අපේ ලොකු හාමුදුරුවොයි අපේ ජීවිතවලට හැමදාම පත්තුවෙන පහන් කූඩු දෙකක් වගේ. අපිත් ඒ කූඩුවල රැළි ඇලෙව්වා. ඒ කාලේ වෙසක් එකට මොනවා හරිම වැඩක් අපිට යෙදෙනවා. භක්ති ගීත තරගයක්, දහම් පාසල් උත්සවයක්, නාට්‍යයක්, කූඩු තරගයක් ඔය වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. මොන වැඩේ යෙදුනත් අපි යාළු මිත්‍රයෝ එක්ක එකට එකතුවෙන්න ඒ වැඩ හේතු වුණා. සිංහල අලුත් අවුරුද්දට, වෙසක් එකට වගේම පොසොන් එකටත් කලින් සතියේ වැඩි දවසක් අපි ගත කළේ පන්සලේ.

මේ කාලේ අපේ ලොකු හාමුදුරුවොත් බොහොම තරුණයි. අපිට වඩා අවුරුදු හත අටක් වැඩිමල් ඇති උන්වහන්සේ. ඒ වුණාට පන්සල තනි අතට පාලනය කරන ගමන් අපේ ලොකු හාමුදුරුවෝ ඒ දවස්වල කළේ විශ්මකර්ම වැඩ. ඒ අතරින් ලොකුම වැඩේ තමා ඔය අපේ දහම් පාසල පටන් ගත්ත එක. ඒ කාලේ ගුරුවරයෙක් විදිහට වගේම සහෝදරයෙක් විදහටත් උන්වහන්සේ අපිත් එක්ක හදාගත්තා පුදුමාකාර බැඳීමක්. ඒ බැඳීම අදටත් එහෙම්මමයි.

මොන වැඩේ තිබුණත් වෙසක් එකට සිල් ගන්න එක ඒ කාලේ අපිට අනිවාර්යයි. උදේට අපි උපාසක මහත්තුරු හත්අටදෙනා කල්ලි ගැහිලා තමා සිල්ගන්න යන්නේ. සිල් කිව්වට අපිට තිබ්බේ වෙනම විනෝදයක්. කල්ලි ගැහිලා පන්සලේ එහෙ මෙහෙ අහුමුළුවල කයිය ගගහා අපි ඉන්නවා. ඔය බණ භාවනාවලට සම්බන්ධ නොවුණම නෙවෙයි. ඒ කොයිහැටි වෙතත් දවල් දානේ තමා අපිට නම් ලොකුම දේ. දානේ ගත්තාට පස්සේ සිල් පවාරණ කරලා ගෙදර යන්න තමා හැමෝගෙම කල්පනා කරන්නේ. සමහරුන් සිල් පිටින්ම පැනලා ගෙදර ගියා. අපිට නම් ඒක ටිකක් අමාරු වුණා. ඒත් වෙසක් දවසේ හවසට පන්සලේ අපිට කියලා එක එක රාජකාරි තිබුණා. ඒ නිසා වේලාසන සීල පවාරණය සම්බන්ධ විශේෂ වරප්‍රසාදයක් ලොකු හාමුදුරුවෝ අපට දීලා තිබ්බා.

හැබැයි අපිට මේ වරප්‍රසාද ලැබෙන්නේ එක කොන්දේසි කිහිපයක් යටතේ. අපිට ලොකු හාමුදුරුවෝ දෙනවා සංස්කෘත ශ්ලෝකයක්. ඒක අපි කටපාඩම් කරලා තේරුම එක්ක ලොකු හාමුදුරුවෝ ඉස්සරහා කියන්න ඕනෑ. ආ... දැන් අපි ලොකු හාමුදුරුවෝ කිව්වාට ඒ කාලේ උන්වහන්සේට හැමෝම කිව්වේ පොඩි හාමුදුරුවෝ කියලා. ඒ කොහොම වුණත් සංස්කෘත ශ්ලෝක වැඩේ නම් ලේසි නෑ. අපේ හාමුදුරුවෝ තදේටම හිටියා. සිල් පවාරණය කරන්නම ඕනෑ නිසා අපි ඒවා පාඩම් කළා. ඒ පාඩම් කරපු සංස්කෘත ශ්ලෝක එකක් දෙකක් තේරුමත් එක්කම අදටත් මට නම් මතකයි.

ඇත්තටම ඒක මහ පුදුමාකාර යුගයක්. අපි හරි නිදහස්... අපිට ඕනෑතරම් වෙලාව තිබ්බා. ඒ වගේම ඕනෑ දෙයක් කරන්න අපි ලෑස්ති වෙලත් හිටියා. මම හැමදාම හිතන්නෙ පන්සල කියලා කියන්නේ ජීවිතේ ක්ෂේමභූමිය. ආ... සීල පවාරණයේ අනිත් කොන්දේසිය තමයි ගෙදර ගිහිල්ලා ඉක්මනටම පන්සලට එන එක. වෙසක් දවසේ බෝධි පූජාව විශේෂයි. ගමේ කවුරුත් මේ බෝධි පූජාවට සහභාගි වෙනවා. සිල් පවාරණ කරලා ගෙදර ගිය පරක්කුවට කලිසමක් කමිසයක් දාගෙන අපි ආයෙ නතරවෙන්නෙ පන්සලේ.

පහන් වැටවල් හදන වැඩ වගේම අන්තිම මොහොත වෙනකල් සිද්ධ වෙන කොඩි වැල් ඇදිලි, විදුලි බුබුළු දැල්වීම, මදි පාඩුවට මල් කැඩීම වගේ දේවල්වලට අපේ පූර්ණ අනුග්‍රාහක දායකත්වය හිමිවුණා. ඒ කාලෙ නම් මේ වැඩවලදී දානශාලාව පැත්තෙන් අපිටත් හොඳ අනුග්‍රහයක් ලැබුණා. අපේ ලොකු හාමුදුරුවෝ ඔය ''ඉලෙක්ට්‍රික්'' වැඩවලට එහෙම හරිම දක්ෂයි. ඒ වගේම නියෝග දෙන්නත් උන්වහන්සේ තමයි ජගතා. කන්දෙන් නැත්තං කෙන්දෙන් හරි වැඩේ කෙරෙන්න ඕන එච්චරයි. මේ වැඩ පැවරිල්ල ගැන නම් ඇත්තටම ඒ කාලේ අපිට පුංචි ඔරොප්පුවක් තිබුණා. ඒත් පස්සෙං පහු ජීවිතේ නායකත්වය සංවිධාන ශක්තිය කියන දේවල්වලට ඇත්තටම හේතු වුණේ ඒ වැඩ කිරිල්ල තමා.

එකපාරක් නැත්නම් දෙපාරක් අපි වෙසක් එකට පහුවෙනිදා වගේ දහම් පාසල් උත්සවය කරා. ඒ දවස්වල නම් හුස්ම ගන්න බැරිතරම් වැඩ අපිට තිබ්බා. වේදිකා ගැහිල්ලෙ ඉඳන් භක්ති ගීත, නාට්‍ය වගේ හැමදේකටම අපිම තමා හිටියේ. දහම් පාසල් උත්සවය ගැන මතකය වෙනම දවසක අවදි කරන්න ඕනෑ. වෙසක් එකට කට්ටිය එකතුවෙලා තැන් තැන්වල භක්ති ගීත තරගවලටත් ගියපු දවස් මතකයි. කොහොමහරි අපි පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙද්දී වෙසක් කාලෙට අපිට අනිවාර්ය ගමනක් වැටුණා. ඒ ගමන වෙනුවෙන් අනුග්‍රහය සැපයුවේත් අපේ ලොකු හාමුදුරුවෝම තමා.

අපි වගේ ගැටව් කිහිපදෙනෙක් වගේම ගමේ තරුණයෝ කිහිප දෙනකුත්, තිස්ස මාමා වගේ ගමේ වැඩිහිටියෙක් දෙන්නෙකුත් මේ ගමනට එකතු වුණා. ලොකු හාමුදුරුවෝ කතාකරගත්ත වෑන් එකක කිටි කිටියෙ තදවෙලා අපි මේ යන්නෙ කොළඹ තොරණ බලන්න. වෙසක් සතියෙ දවසක අපි යන මේ අනිවාර්ය ගමන හරිම අපූරු ගමනක්. බෞද්ධාලෝක මාවත ඇතුළු කොළඹ අවට තියෙන සියලුම තොරණ අපි බලනවා. හැබැයි මේ තොරණ බලන්න යාමේ සැඟවුණු අරමුණක් අපිට තිබුණා. අපේ අරමුණ තමා පොසොන් එකට පන්සලේ ගහන හොඳ තොරණ තෝරගන්න එක. අදාළ ගණන් හිලව් වගේ දේවල් වැඩිහිටියෝ ඔය තොරණ පිටිපස්සට ගිහිල්ලා කතා කළා.

කොහොම වුණත් රෑ එළිවෙනකම් කොළඹ හතර අතේ ඇවිදලා මහ පාන්දර ගෙදර එන මේ ගමන නාබර යෞවනයේ හිටපු අපිට කවමදාවත් අමතක වුණේ නෑ. කොයි හැටි වෙතත් මේ ගමනට සහභාගී වන එකේ වරප්‍රසාදය නම් ලැබුණේ අපේ අයගෙන් අපි කිහිප දෙනකුට විතරයි. ඇත්තටම ඒ කාලෙ ඔය වගේ වික්‍රමාන්විත ගමනක් යන්න අපිට අවස්ථාව සැලසුණේ ලොකු හාමුදුරුවෝ නිසාම තමා. මේ ගමන අරන් යනවා මදිවට රූ තිස්සේ මග දිගට හාමුදුරුවන්ට අපි දුන්නේ පුදුම වදයක්. කොත්තු හරි, ආප්ප හරි අරන් දෙන්න කියලා අපි වෑන් එකේ කෑගහනවා. අද නම් මතක් වෙනකොටත් හිනා යනවා.

පන්සල ගැන, වෙසක්, පොසොන් ගැන, ලොකු හාමුදුරුවෝ ගැන,  අපි ගැන මතක එක යායට පූදිනවා. තනතුරු තාන්න මාන්න දිගට කියන් නැතුව ලොකු හාමුදුරුවන්ගේ නම මතක් කරනවා නම් උන්වහන්සේ අරියවිමලතිස්ස නායක හාමුදුරුවො. ඇත්තටම අපේ කතාව පොතක් පිරෙන්න අකුරු කරන්න පුළුවන්. ලබන මාසේ පොසොන් තොරන් කෙරුවාව ගැන මතක අවදි කරන්න ඕනෑ. වලාකුළු තුනීවෙලා පුරපස වෙසක් සඳ ඈතින් බබලනවා. ගහකොළවල සඳ එළියෙන් සෙවණැලි රටා ඇඳිලා. අපේ මතකත් හරියට සෙවණැල්ලක් වගේ. මුළු ජීවිතය පුරාවටම අපිත් එක්ක ඇවිදගෙන යනවා. තව ටිකකින් විදුලිය එයි. එහෙනම් මම අදට නවතින්නම්.

පිංබර වෙසක් පොහෝ දිනයක්...!

I නිසල්