2022 මැයි 01 වන ඉරිදා

අපි වගේ ෆොන්තොලාට ඒක සුපිරි සැපක්

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 82

අපේ මචාලා සුදාලා දැකලා තියෙනවා සංගීත සංදර්ශන. ලෝකේ තියෙන ලොකුම සංගීත සංදර්ශනය මොකක්ද කියලා ඇහුවොත් අපේ සුදාලා කන්ෆිස් සුංග බුංගා වෙලා යනවා නේද? අද අපි Y Trend වලින් කතා කරන්නේ ලෝකෙ තියෙන ලොකුම Digital Music Stage එක ගැන. මේ වෙනකොටත් මේක ලෝකේ පට්ට Trend වෙන සීන් එකක්. ඒත් ලංකාවේ අපේ අය ලොකුවට මේ ගැන දන්නේ නම් නෑ. ඒ වුණත් අහලා දැකලා තියෙනවා ඇති. හරි කමක් නෑ. එහෙනම් සුදෝ අද කතාව Spotify ගැන.

එකපාරටම සීන් එක ගලපගන්න බැරි සුදාලා ඉන්නවා. ඒ නිසා  මුලින්ම අපි සරලව පැහැදිලි කරන්නම්. Spotify කියන්නේ ලෝකය පුරා තිබෙන ගීත, සංගීතය, නාද මාලා, මිලියන ගණනක් තියෙන Digital Platform එකක්. මේක නොමිලේ සංගීතය ඇහුම්කන් දෙන්න පුළුවන් පොඩ්කාස්ට් එකක්. මෙහෙම කියන්නත් පුළුවන්. It is one of the largest music streaming service providers. ලෝකය පුරා තියෙන ප්‍රසිද්ධ සංගීත ඇල්බම් ඒ වගේම තනි තනි ගීත ඔයාට මේ හරහා අහන්න විඳින්න පුළුවන් මචෝ. අනික් අතට Spotify ලා කරන්නේ ලෝකය පුරා තියෙන Recorded Labels වලට පහසුකම් සපයන එක කියලා කීවොත් හරි. අපි මොන මොන විදිහට පැහැදිලි කළත් සුදාලට සරලවම තේරුම් ගන්න පුළුවන් මෙහෙම. Spotify කියන්නේ සින්දු අහන්න පුළුවන් Mobile App එකක්.

මේ සීන් එක නොමිලේ කිව්වාට හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මචෝ. Free Spotify ඇතුළේ අඩු ශබ්ද ගුණාත්මකභාවක් තියෙන්නේ. ඒ වගේම වෙළඳ දැන්වීම් එහෙමත් එනවා. හැබැයි මචෝ ලොකු අවුලක් නෑ. අපි වගේ ෆොන්තොලාට ඒක සුපිරි සැපක්. ගෙවලා ගන්න ඕනෑ නම් ඒකටත් සීන්කෝන් එකක් තියෙනවා Spotify Premium එකට. මේකට ගෙවන අයට උසස් තත්ත්වයේ පටිගත කිරීම්වලට අඛණ්ඩව සවන් දිය හැකි හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ ඕනෑම ඩිවයිස් එකට සින්දු Download කරගන්නත් පුළුවන්. තව එකී නොකී වාසී තියෙනවා too complicated මචෝ.

කලබල වෙන්න එපා. ඔව්.. ඔව්... මචෝ මේ සීන් එකටත් ඔය YouTube Facebook එකට වගේ Data කැපෙනවා. මේ ගොල්ලෝ කියන විදිහට සාමාන්‍ය ගුණාත්මකභාවයෙන් ඔයාට 1 GB විතර භාවිත කරලා පැය 24 ක සංගීතය අහන්න පුළුවන්. උසස් තත්ත්වයේදී 1 GB පැය 15 කට අඩු කාලයකදී කැපිලා යනවා ඩෝන් පටෝන් ගාලා. අතිශය ගුණාත්මක තත්ත්වයේ පැය 7න් 1 GB ඉවරයි සුදෝ. ඉතින් මේ සීන් එක ලංකාවේ එච්චර ජනප්‍රිය නොවෙන්නත් හේතුව මේ Data සීන් එකම තමා. අපි දන්නවනේ Data කියන්නේ ලංකාවේ පට්ට වේදනාවක්නේ වස්තු. අනික් අතට වස්තු අපි කට්ටියට සින්දු බලන්නේ වගේම සිංදු අහන්නේත් YouTube එකේනේ. මොකක්ද මචෝ කෙන්දෙන් හරි කොස්සෙන් හරි වැඩේ වෙනවා නම් අපිට එචරයි ඕනෑ.

හැබැයි ලෝකයේ තත්ත්වේ මීට වඩා වෙනස්. මේ වෙනකොට ඇමරිකාව, බටහිර යුරෝපය, ආසියාවේ සමහර කොටස් සහ ඕස්ට්‍රේලියාව සහ ඒ අවට දූපත්වල මෙම Spotify යෙදුම භාවිත කිරීමේ පහසුකම සලසා තියෙන්නේ. එයිනුත් ඇමරිකාවේ සහ බටහිර තමයි මේක වැඩිපුර ජනප්‍රිය. 2021 දෙසැම්බර් වෙනකොට Spotify Free පාවිච්චි කරන ප්‍රමාණය මිලියන 236ක්. ගෙවන පාවිච්චි කරන ප්‍රමාණය මිලියන 180ක්. ඔක්කොම එකතු කරලා බැලුවොත් ලෝකෙ පුරා මේ මිනිස්සු මිලියන 436ක් මේ වෙනකොටත් Spotify භාවිත කරනවා. සෙල්ලම් නෑ වස්තු. මේක පට්ට වේගෙන් ව්‍යාප්ත වෙන්නේ.

මේ සීන් එකේ උපත ගැනයි ඉතිහාස කතාවක් ගැනයි ලාවට හරි නොකිව්වොත් අඩුපාඩුවක් වෙනවානේ මචෝ. Spotify කියන්නේ ස්වීඩන් සමාගමක්. Spotify 2006 දී තමා ආරම්භ කරන්නේ. වර්තමානයේ සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීන් වන ඩැනියෙල් ඒක් සහ මාටින් ලොරෙන්ට්සන් තමා සීන් එකේ නිර්මාතෘවරු. සුදාලටත් මතක ඇති ඔය 2000 දශකයේ මුල් භාගයේදී සංගීතය නිර්මාණය Digital ලෝකය ඇතුළේ කොල්ලකෑම් ආරම්භ වුණා. අපේ ලංකාවේත් සැරටම වැඩේ වුණානේ. ලෝකෙත් එහෙමයි ඉතින් මේ දෙන්නා ඒ අභියෝගයට ජයගන්න හිතාගෙන තමා සංගීත නිර්මාණය එළිදැක්වීම සඳහා නීතිමය ඩිජිටල් සංගීත වේදිකාවක් නිර්මාණය කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් වැඩේ සාර්ථකව වුණා. Spotify කියන්නේ ඒ උත්සවයේ ප්‍රතිඵලය.

කොහොම හරි මේගොල්ලන්ට ලැබෙන ආදායමින් සියයට විස්සක් Recorded Labels  වලට මෙයාල දෙන්න එකඟ වුණා 2008 දී විතර මචෝ. ඊට පස්සේ Facebook එකක් මෙයාලා එක්ක එකතු වුණා. පස්සේ තමා Mobile App එකක් විදිහට සීන් එක කලඑළි බැස්සේ. Instagram, Facebook, Samsung mobile &TV, Apple TV, Apple Watch, Chromecast, Google Maps, Fitbit  වගේ සේවාවන් Spotify එක්ක වැඩ කරන්න පහසුකම් සැලසීම හින්දා මේ සීන් එක ලෝකෙ වේගයෙන් ජනප්‍රිය වුණා සට සට ගාලා. කොහොම වුණත් මේ වෙනකොට මේකට විකල්ප විදිහට තරගකාරී ඇප් ගොඩක් ඇවිල්ලා තියෙනවා මචෝ. YouTube Music, Deezer, MusicUp, Soundcloud, BandCamp ගැන සමහරවිට සුදාලා දන්නවත් ඇති.
Spotify වල තියෙන විශේෂ දේවල් කතා කරන්න ගියොතින් ඒකට වෙනම වෙලාවක් ගන්න වෙනවා මචෝ. කටහඬ භාවිත කරලා ක්‍රියාකරවීමේ හැකියාව, multi-room audio ක්‍රියාකාරීත්වය, සුරතල් සතුන් සඳහා විශේෂයෙන් නාද වාදනය, ඒ ඒ අවස්ථාවන්ට ගැලපෙන සංගීතය වෙන වෙනම category කරලා තිබීම, උදාහරණ කිහිපයක් විතරයි. Spotify වලට පුළුවන් අපි අහන්න කැමති සංගීතය නාද නාදමාලා තේරුම් අරගෙන ඒවා අපි ළඟට අරගෙන එන්න. ඒකේ ඇල්ගො රිදම් එක සෙට්වෙලා තියෙන්නේ ඒ විදිහට. කොහොම වුණත් මචෝ ඒ සීන් එක නිසාම ලෝකෙ පුරා ගොඩක් දෙනෙක් මේකට පට්ට විදිහට ඇබ්බැහි වෙලා තියෙනවා දැන්. අපේ සුදාලා YouTube එකට Facebook එකට ඇබ්බැහි වෙලා තියෙනවා වගේ තමයි සමහරු Spotify වලට ඇබ්බැහි වෙලා තියෙන්නේ. ඒකත් වෙනම විශ්වයක් තමා මචෝ.

Spotify 2021දී තමයි නිල වශයෙන් බංග්ලාදේශය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තුළ අපේ කලාපේ රටවල්වල මෙහෙයුම් දියත් කරන්නේ සුදෝ. මේ වෙනකොටත් ලංකාවේ අපේ කලාකරුවන් ගොඩක් දෙනෙක් වගේම Music Labels සෑහෙන්න ප්‍රමාණයකුත් Spotify එක ඇතුළේ ඉන්නවා. ඒ වගේම මේක පරිශීලනය කරන සැලකියුතු පිරිසකුත් අපේ රටේ ඉන්නවා. ආ තව දෙයක්  ඒ පිරිසෙන් බහුතරය ඇති හැකි පොෂ් සංස්කෘතියේ අය. ඒ වගේම ලංකාව ඇතුළේ මේ වෙද්දී නැගලා යන Digital music වගේම Party Culture එක ඇතුළේත් Spotify වලට ලොකු තැනක් තියෙනවා. ඒ කොහොම වුණත් අපි ඉන්නේ තාම Spotify සීන් එකේ ආරම්භක අවධියේ මචෝ. කොතැනක දී හරී Spotify ලංකාව සම්පූර්ණයෙන් ආක්‍රමණය කරනවා අනිවා ඩෙපා ඒක ෂුවර් වස්තු. අන්න එදාට අපි මේ ගැන ආයේ Y Trend එකක් අරගෙන එන්නම්. අදට ඇතිනේ සුදෝ. ගිහින් එන්නම්.

I නිසල්