2022 මැයි 01 වන ඉරිදා

නොදන්නා දෙන්නෙක් සහ මනුස්සකමක්

 2022 මැයි 01 වන ඉරිදා, පෙ.ව. 10:00 80

රුපියල් ශත මිනිස්සුන්ව කොච්චර අසරණ කරනවද? ඒ අසරණකමට සරණක් වෙන එකත් කොච්චර අමාරුද? දහසකුත් සිතුවිලි එකිනෙක හිතේ පැටලෙන්න පටන් අරගෙන. ඒ අය මාත් එක්ක එක වචනයක් කතා කළේ නෑ තාමත්. කොටින්ම මම ඒ දෙන්නාගේ මුහුණු තාම හරියට දැකලත් නෑ. මේ කතාව ලියන්න ඕනෑ කියලා හිතුණේ මීට මිනිත්තුවකට දෙකකට කලින්. හම්ම්... මම මුල ඉඳන්ම කතාව කියන්නම්.

වෙලාව පාන්දර පහට කිට්ටුයි. කොළඹ කොටුවට නුදුරු තැනකින් මම මේ බස් එකට ගොඩවුණා. මේක තංගල්ල කොළඹ සී.ටී.බී. බස් එකක්. රැයක් නොනිදා පහන් කරපු නිසා බොහෝම තද නිදිමතක් දැනුණේ. බස් එකේ ටිකක් මැද හරියට වෙන්න තුනේ ආසනයක කෙළවරක ජනේලය ගාව වාඩි වුණේ. ජනේලේ තීරුවක් යාන්තමට ඇරලා පාන්දර සීතල සුළග එක්ක පොඩි නින්දක් දාන්න ඕනෑ කියලා හිතාගෙන හිටියේ. කොල්ලුපිටිය කිට්ටු වෙද්දී දහ පහළොස් දෙනෙක් බස් එකට ගොඩවුණා. මගේ ආසනය එහා පැත්තේ කෙළවරෙත් තරුණයෙක් වාඩිවුණා ඔන්න.

යාන්තමට ඇස් දෙක පියවෙන්න පටන් ගත්තා විතරයි.. කොන්දොස්තර ඇවිල්ලා සල්ලි ගන්න. මගේ අතේ ඉතුරුවෙලා තිබුණේ රුපියල් දාහේ කොළයක් විතරයි. මාරු සල්ලි නැද්ද? කොන්දොස්තර ටිකක් විතර අමනාපයෙන් ඇහුවා. එහෙම ඇහුවාම ගත් කටටම නෑ කියන්න පුරුද්දක් මගේ ළඟ නෑ. ළඟ නැතිවුණත් පොඩ්ඩක් සාක්කුවේ, පසුම්බියේ බලලා තමා ආයේ නෑ කියලා කියන්නේ. ඒකෙන් ඒ මනුස්සායගෙත් හිත හැදෙනවා. අනික් අතට මම නිකම් ප්‍රශ්නයක මැදි වෙන්නේ නෑ. විසඳුම දෙන්න වෙන්නේ එයාටමයි.

කොහොම හරි ගාස්තුව රුපියල් දෙසීයයි. මට ඉතුරු සල්ලි ලැබුණා. 

මගේ ආසනයට පිටිපස්සේ තරමක වයස යුවළක් වාඩිවෙලා ඉන්නවා. මෙයාලාගෙනුත් දැන්  කොන්දොස්තර ''ටිකට්'' කඩනවා. මාතරට තමා ''ටිකට්'' එක ඉල්ලුවේ. මට එච්චර ගාණක් තිබුණේ නෑ. කොන්දොස්තර එකපාරටම කිව්වා මාතර යන ගාණ. ඒක මට හරියටම තේරුණේ නෑ. හැබැයි කොන්දොස්තර කියන්නේ අතට දුන්න සල්ලි ගාණ මදි කියලා. අර දෙන්නා ළඟ තවත් සල්ලි නෑ. මට තේරෙන විදිහට ඒ ගෑනු කෙනා එච්චර හොඳ මානසික මට්ටමකත් නෑ වගේ. හැබැයි මේ කිසි දෙයක් පේන්නේ නෑ. ඔක්කොම සිද්ධ වෙන්නේ මගේ පිටිපස්සේ.

ඕකෙන් කොහාට වෙනකල් යන්න පුළුවන්ද?

අහංගමට විතරයි.

එහෙනම් අහංගමට ගන්න.

හරි අහංගමට ගන්නම්. හැබැයි අහංගමින් බහින්න ඕන. මේක සී.ටී.බී. බස් එකක්. සල්ලි නැතුව ටිකට් කඩන්න මට බෑ. 

කොන්දොස්තර තව මොන මොනවාදෝ කිව්වා. ඔහුගේ ස්වරය අකාරුණිකයි. කොහෙන්දෝ පැමිණි ඊයම් බරුවක් මගේ හදවතින් රුධිරය පොම්ප කරන නාළිකා අවහිර කර ඇතැයි දැනේ. තරුණයන් කිහිප දෙනකුම බසයට ගොඩවූ නමුත් කිසිවකුගෙන් වචනයක් පිට නොවේ. පාන්දර සීතල, නිදිමත මනුෂ්‍යත්වය මරා දැමූ සෙයකි. මම ගොලු වී සිටියේ කුමක් නිසාදැයි මට නොවැටහේ.

මාතරට කීයක් මදිද ?

වේදනාවත් ආවේගයත් අතරේ මම වචන ගලපා ගත්තේ ආයාසයෙනි. කොන්දොස්තර අත ඇති මුදල නැවත ගණන් කරයි. එවර මම එය සමීපව නිරීක්ෂණය කරන්න පටන් ගතිමි. ඇත්තටම එතන තියෙන්නේ පොඩි සල්ලි කොළ වැඩිපුර. කොන්දොස්තර හිතුවට වඩා වැඩි වෙලාවක් ගත්තා. 

තුන්සිය හතළිහක්..

අත ඉතිරිව ඇති රුපියල් අටසියයෙන් හාරසීයක් ගෙන මම කොන්දොස්තරට දුන්නා. මොහොතකින් ඔහු මට විස්සේ කොළ තුනක් ඉතුරු ලබා දී අර දෙමහල්ලන් හට මාතරට ටිකට් කැඩුවා. මම කිසිත් නොවූ ලෙස ජනේලෙන් ඉවත බලාගත්තා. මගේ අසුනේ කෙළවරේ සිටි අනෙක් තරුණයා කිසිවක් නෑසුණු කනින් සිටියි. මම හිතුවා ඔහු හරි අදහසක් බෙදාගනීවි කියලා. ම්ම් නෑ.. මේ වගේ දෙයක් වුණාම බස් එකේදි, කොච්චියේදි මිනිස්සු කතා කරනවා සාමාන්‍යයෙන්. ම්ම්.. ඒත් අද එහෙම නෑ. සමහරවිට මේ මහා පාන්දර හින්දා වෙන්න ඇති.

මම මේ සටන ලියන්න පටන් ගත්තේ මෙන්න මේ වෙලාවේ. දැන් මට පිළිතුරු නැති ප්‍රශ්න දෙකක් තිබුණා. ඇයි මේ මිනිසුන්ට සල්ලි නැති වුණේ. සමහරවිට බස් ගාස්තු වැඩි වුණු නිසා වෙන්න ඇති. මේ දවස්වල බස් ගාස්තු දෙගුණ වෙලානේ. අනේ මන්දා මේක ඊට වඩා ගැඹුරට හිතන්න පුළුවන් නේද? එක්කෝ ඕනේ නෑ.. ඒක කියවන්න ඔයාලට බාර කරනවා. අනික් ප්‍රශ්නය තමා ඇයි මේ අය මට ස්තූතියි කියලාවත් නොකියන්නේ. ඇත්තම ඒක ගැන නම් මට මුලදි කනස්සල්ලක් තිබුණා. ඒක පෘථග්ජන අපේ හැටිනේ. ඒ ඇත්තටම මට නම් දැන් හිතෙන්නේ.. එක්කෝ මේ අයට එච්චර සිහි කල්පනාව නෑ. නැත්නම් එයාලා ඉන්නේ ලජ්ජාවෙන්.

මේ සටහන් ටික ලියන්නේ උදේ ගෙදර ඇවිල්ලා. ඇත්තටම ජීවිතයේ අපි කොතැන කොයි විදිහට අසරණ වෙනවාද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා කෙනෙක් අසරණ වෙන තැනක පුළුවන් නම් අපි මුලින්ම ඒ කෙනා වෙනුවෙන් ඉදිරිපත් වෙන්න ඕනෑ. මට ඒ අය බස් එකෙන් බහින කල්ම වචනයක් කතා කළේ නෑ. මට බස් එකෙන් බහිද්දිත් ඒ අයගේ මුහුණු බලාගන්න අමතක වුණා. ඇත්තටම මම දන්නේ නෑ ඒ කවුද කියලා. ඇත්තටම ඒක මට වැඩකුත් නෑ. මහ ලොකු දෙයක් නොවුණත් පොඩි සතුටක් නම් තියෙනවා, එයාලා මාතරටම යන්න ඇතිනේ. ම්ම්ම්.

I නිසල්