2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

“එපා හිරු පායන්න“ මම ලීවේ ඇයටයි... - කුමාරදාස සපුතන්ත්‍රී

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 194

ඔබ ඔබේ අධ්‍යාපන කටයුතු කරන්නට ඇත්තේ ගමේ පාසලක විය හැක. නැතහොත් නගරයේ පාසලක විය හැක. ලඳු, ඕවිටි පසුකර කඳු හෙල් වැටි පසුකර, ගංඟා ඇළ දොළ මඟහැර මඟ දිගට හමුවන ගස්වැල්වල ගෙඩි අහුලමින්, කමින් පාසල නිමවී නිවසට ආ හැටි ඔබේ සිහියේ ඇතුවාට සැක නැත. නගරයේ කඩ සාප්පු අතරින් කහ ඉරි, සුදු ඉරි මතින් පාර මාරුවෙමින් බස් රථයට, දුම්රියට පෝලිමේ නැඟ ගෙදර ආ හැටි ඔබගේ මතකයේ අදටත් රුඳී තිබේ. අද ඔබ වැඩිහිටියකුව ඔබේ පාසල ළඟින් යන විට ඔබට කොතරම් නම් දේ සිහිවේද? ඒ පාසල ළඟින් ඔබ යන්නේ පාසල පැවැත්වෙන දිනයක පාසල ඇරුණු වෙලාවක නම් ඔබට සුනිල් එදිරිසිංහගේ හඬින් ගැයෙන මේ ගීය නම් 
අනිවාර් යෙන් සිහියට නැගෙනු ඇත.

ඉස්සර මං ගිය පාසල ඇරිලා
පුංචි පැටව් පෙරහැරෙ එනවා
හේවිසි ගහගෙන - හූ හඬ දීගෙන
ලන්ද පුරා දුව පැන එනවා

මේ ආදරණීය පාසල් සමය පිළිබඳ මතක අවුස්සන ගීතය ඇතුළු අප හද තුළ රුඳි ගීත රුසක් තම පන්හිඳෙන් මැවූ ගී පද රචක කුමාරදාස සපුතන්ත්‍රී නම් සොඳුරු ප්‍රවීණ නිර්මාණවේදියා තමා ගැන කී කතාවයි.

ඔහු අතින් ලියැවුණු බොහෝ ගීත සොබාදහම, මනුෂ්‍යත්වය, ප්‍රේමයේ සුන්දරත්වය මෙන්ම විරහවද ප්‍රස්තුත කර ගනිමින් ලියැවුණු අතර දශක ගණනාවක් තිස්සේ ජනප්‍රියත්වයේ ඉහළින්ම රුඳී තිබේ. තම ජීවන අත්දැකීම් ඔස්සේ සිතට නැගුණු සන්තාප, සෝ තැවුල් සියල්ලද කැටි කොටගෙන ගීත ලියූ ඔහු කෙනකු විමසූ විට පවා බොහෝ විවෘතව ගීතය ලියන්නට පදනම් වූ කරුණු පවා ප්‍රකාශ කරන්නේය.

පවුලේ එකම දරුවා වූ %සපූ^ තම මූලික අධ්‍යාපනය ලැබුවේ බේරුවල වලතර මහා විද්‍යාලයෙනි. කළුතර තිස්ස මහා විද්‍යාලයෙන් උසස් පෙළ සමත් වූ ඔහු කැලණිය ප්‍රදේශයේ තම ඥාති නිවසක සිට උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යොමුවිය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය වෙනුවෙන් ඔහු ජේතවන විශ්වවිද්‍යාල පිරිවෙනේ අධ්‍යාපනය හැදැරීම ආරම්භ කළේය. මේ කාලය ඔහුගේ ජීවිතයේ සුවිශේෂ පෙරළියක් ඇතිකළ කාල වකවානුවක් වූ වග ඔහු සිහිපත් කරයි.

ඒ අප රට තුළ දේශපාලනිකව විවිධ පෙරළි ඇතිවූ සමයකි. එමෙන්ම රට තුළ තරුණ පිබිදීමක්ද දක්නට ලැබුණි. එවක තරුණ තරුණියෝ විශාල වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමඟ එක්වන්නට වූහ. ඒ තරුණ පිරිස අතර එක් අයකු වූ ඔහු අද අපගේ කතානායකයාය. 

ක්‍රියාකාරීව ඒ හා සම්බන්ධ වූ ඔහුගේ ජීවිතයට ආදරයක මිහිර දැනෙන්නට විය. ප්‍රේමය කොතරම් ඔහුගේ ජීවිතය මිහිරෙන් පිරවුවද එයින් අනාගතය තුළ එක්ව ගමනක් යා නොහැකි වග ඔහුට දැනෙන්නට විය. හිත කොතරම් රිදුණද, නෙත කොතරම් හඬා වැටුණද අවසන අවබෝධයෙන් යුතුව සමුගන්නට මේ පෙම්වත්හු තීරණය කළහ. අවසන මේ රිදුම ඔහු තම පන්හිඳෙන් ලොවට හඬා ගා කිව්වේය. ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවත් කොට එය ගැයුවේය.

එපා හිරු පායන්න - අදින් පසු මගෙ ලොවට
අදයි අවසන් දවස - ඇගෙන් මා - මගෙන් ඈ
සමුගන්න

දස දහස් ගණනින් ලක්ෂ ගණනින් මිනිස් හදවත්හි වියෝගයේ සුසුම් ගිනි නිවන්නට වූ මේ ගී පදවැල් තවත් චිරාත් කාලයක් අප අතර රුඳෙනු ඇත. සංකීර්ණ තත්ත්වයන් රුසකට මුහුණ දෙමින් ගත කළ කටුක අමිහිරි වේදනාවන් රුසකට මැදිව ගත කළ මේ කාලය තුළ විඳි අත්දැකීම් පසුකාලීනව මානව ප්‍රේමයෙන් මෙරට ගීත කලාව පෝෂණය කරන්නට ඔහුට ඉවහල් වන්නට ඇත. ඔහුගේ ගීත රචනා පරිස්සමෙන් විමසා බැලුවොත් ඔබට ද ඒවා සොයාගත හැකිවනු ඇත.

හැත්තෑව දශකයේ අග භාගයේදී ඔහු ගුවන්විදුලියට එක්වන්නේ වැඩසටහන් සම්පාදකවරයකු ලෙසය. වසර දොළහක් පමණ සේවය කොට ඔහු ඉන් ඉවත්ව යන අතර නැවත ඔහුට උපදේශකවරයකු ලෙස ගුවන්විදුලිය සමඟ එක්වන්නට අවස්ථාව හිමි විය. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු, අධ්‍යක්ෂවරයකු ලෙසද ක්‍රියා කළ කුමාරදාස සපුතන්ත්‍රී මහතා 1994 වසරේදී ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයා බවට පත්වූ අතර වසර 2015 දී විශ්‍රාම යන තෙක්ම ඔහු එම තනතුර හෙබවීය. සිංහල අවුරුද්ද වෙනුවෙන් ගෙන එන විශේෂ වැඩසටහනෙහි නිරන්තර රචකයා බවට පත්වූයේ ඔහුය. පොසොන් උත්සව වෙනුවෙන් කළ අඹතලාව වැඩසටහන හා ගීත නාටක ආදිය ඔහු සම්පාදනය කළේය.

පාසල් යන කාලයේ ඔහු වැඩියෙන්ම ඇළුම් කළේ ක්‍රීඩාවටය. ඒ අතරින් ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු වැඩිපුර ප්‍රිය කළ අතර කෙදිනක හෝ එතුළින් ඉදිරියට යන්නට බලාපොරොත්තුවක් ඔහු තුළ විය. එහෙත් ඔහුට ඒ බලාපොරොත්තුව නම් ඉටුකරගත නොහැකි විය. පසු කලෙක පුවත්පත් කලාවට යොමුවීමටද ඔහුට කැමැත්තක් විය. සිය ලොකු තාත්තාගේ පුතකු වූ කරුණාරත්න, සපුතන්ත්‍රී සපූගේ ලෝකය තුළ එක කුස උපන් සොයුරයකු මෙන් විය. ලේඛකයකු වූ ඔහුගේ ඇසුර සපුතන්ත්‍රී නමින් නිර්මාණවේදියකු බිහි කරන්නට මහත් පිටිවහලක් විය. මීට වසර පහළොවකට පමණ පෙර සිදුවූ සිය සොහොයුරාගේ අභාවය තම ජීවිතයට දැඩි කනගාටුවක් වූ බවත්, දැඩි පාළුවකින් සිත පෙළන්නට එය හේතුවක් වූ බවත් සපුතන්ත්‍රී මහතා පැවසුවේ වේදනාවෙනි.

දවස පුවත්පත සමඟ එක්ව කෙටිකතා රචනයට යොමු වූ සපුතන්ත්‍රී වනිතා විත්ති ආදී පුවත්පත්වලට ඔහුගේ කවි ද එක් කළේය. දේශපාලනයට එක්වීම තුළ ඔහුට පුවත්පත් කලාවේ ඉදිරියට යාමේ සිහිනය සැබෑ කරගත නොහැකි වූ අතර ගීත රචනා කලාව තුළ තම සලකුණ තැබීමට නම් ඔහුට ඉඩහසර ලැබුණි.

සරල පද එකතුවකින් ගැඹුරු අරුත් ධ්වනිත වන සේ රචනා වූ ඔහුගේ ගීත එකතුව තුළ ආචාර්ය රෝහණ වීරසිංහ, විශාරද සුනිල් එදිරිසිංහ යන නාමයන් ද්විත්වය වඩාත් සුවිශේෂය. එම හමුවීමද ඔහුගේ ජීවිතයේ වඩාත් සුවිශේෂ හමුවකි. 

හැත්තෑව දශකයේ මැද භාගයේ එක් දිනකි. ඔහු සුදර්ශි ශාලාව අසලින් ගමන් කරමින් සිටියේය. පසෙකින් ඔහුට ඇසුණේ බෙර හඬකි. ඒ හඬ ඔස්සේ සුදර්ශියට ගිය ඔහුට දකින්නට ලැබුණේ නාට්‍ය පුහුණුවීමකි. එතැන දයානන්ද ගුණවර්ධනගේ නාට්‍ය පෙරහුරුවකි. එහිදී ඇතිවූ දැන හඳුනාගැනීම්වලින් අනතුරුව සපුතන්ත්‍රී මහතා ද එම නාට්‍ය පුහුණුව හා එක්විය. ලක්ෂ්මන් විජේසේකර, බන්දුල විජේවීර, බණ්ඩාර ආතාවුද ආදීහු එහී ඔහුට නිතර හමුවූහ. එමෙන්ම රෝහණ වීරසිංහ ඔහුට හමුවූෙය්ද සුදර්ශියෙනි. එහිදී ඔහුට ගීත ලියන්නට ඇරයුම් ලැබුණු අතර පසුව එඩ්වඩ් ජයකොඩි ඔහුට හමුවූයේද එම සම්බන්ධතා ඔස්සේය. 

කලෙක සපූ ලක්ෂ්මන් විජේසේකර, චන්ද්‍රා කළුආරච්චි යුවලගේ නිවසේ නතරව සිටියේය. ඒ නාරාහේන්පිටය. මේ කාලය තුළ ඔහුගේ ජීවිතයට යළි ආදරයක ප්‍රේමයක මිහිරියාව දැනෙන්නට වූ අතර එම ප්‍රේමය දිනාගන්නට ඔහුට ඉඩ ලැබුණි. දියණියකගේ සහ පුතකුගේ දෙමව්පියන් වූ ඔවුහු අද වනවිට දරුවන්ගේ දරුවන් ද සුරතල් කරති. වැඩිමල් දියණිය සහකාර නිෂ්පාදකවරියක ලෙස ස්වාධීන රෑපවාහිනියේ සේවය කරන අතර පුත්‍රයා තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවෙකි.

ලොවට අරුණලු නැගෙන මොහොතේ සිටම ගුවන්විදුලිය ඔස්සේ ඔහුගේ ගීත රචනා අපට ඇසෙයි. අද ඉපදුණු නැවුම් ලොව, දසමාර බිම්බර, සූවිසි වරමින් ආදී ගීත සේම මලින් මලට ඉගිලුණාට සමනලයන් නොවේ ආදී සමාජයේ දුක් විඳින මිනිසුන්ගේ විවිධ භූමිකා ගැන ද ඔහුගේ පන්හිඳ ඔස්සේ ගීත ලියැවී ඇත. ආදරය විඳින මොහොතක සේම ප්‍රේමයේ වියෝග හමුවේ වේදනා විඳින මොහොතක ද ඔහුගේ අතින් ලියැවුණු අප සිත නලවන සනසන ගී ගඟුලක් තවමත් ගලා යයි. 

1999 වසරේදී ඔහු තම %මලින් මලට^ ගීත රචනා කෘතිය එළිදැක්වූ අතර වසර 2000 දී ඒ වෙනුවෙන් ඔහු රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය. ගීත දහසකට ආසන්න සංඛ්‍යාවක් සිංහල ගීත කලාවට එක්කළ කුමාරදාස සපුතන්ත්‍රී මහතා මෙරට සිංහල ගීත කලාව පවතින තුරුම මතකයේ රුඳෙන සොඳුරු නිර්මාණවේදියෙකි. ඔහුගේ ගීත ඔස්සේ දහසක් දේ තේරුම් ගනිමින් අප ඉදිරියට යයි නම් මේ මතකය වඩාත් සොඳුරු තැනක් කරන්නට අපට ද ඉඩ ලැබෙනු ඇත.
දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ගීත කලාවට අපූරු ගී නිර්මාණ දායාද කරන කුමාරදාස සපුතන්ත්‍රී නම් මේ අද්විතීය ගීත රචකයාට හදසර අපි නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමු.

 මොනිකා සේරසිංහ

සේයාරූ - සුමුදු හේවාපතිරණ